UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මව්පිය දූදරු සබඳතාවය

මව්පිය දූදරු සබඳතාවය

කවර පුද්ගල සම්බන්ධතා ක්‍රමයක් වුවද එය පුද්ගලයාගේ සුරක්ෂිත බවත් (ඛෙමා) නිර්භයතාවයත් (අප්පටිභයා) සලසන්නක් විය යුතුය යන්න බුදුදහමේ සුවිශේෂි ආකල්පයයි. පවුල් සම්බන්ධතාවේදී මව්පිය සහ දූ දරු දෙපාර්ශ්වයටම ඒ රැකවරණය ඒ නිර්භයතාව තිබිය යුතුම ය. නිසැක වශයෙන් ම ඒ සැකසීමට පදනම වන්නේ දහම් මග සමඟ යමකු බුදුසව්වකු වන්නේ සද්ධා, සීල, සුත, චාග, පඤ්ඤා යන මූලික ශ්‍රාවක ගුණ දිවියට එක්කර ගැනීමෙනි. එකී ගුණ පැහැදිලි කිරීමට මෙහිදී ඉඩ අවකාශ නැති බව කරුණාවෙන් සලකන්න. මව්පියනුත් දූ දරුවනුත් එකී ගුණ සහිත නම් ඒ දෙපාර්ශ්වයේ සබඳතාව නිරවුල්ව පැවැත්විය හැකිය.

අපි ජීවිතය දෙස බැලිය යුතු වන්නේ ඉපදී මියයාම අතර කාලයේ අපේක්ෂා කරන භෞතික සාර්ථකත්වයට සීමා වී නො විය යුතුය.අතීත සසරක සැකසුණ කර්ම ප්‍රවාහය වත්මන් පැවැත්මට පදනම දමා ඇත. මේ මොහොතේ ගොඩනගන මතු අපේක්ෂාවන් මතු පැවැත්ම සකස් වීමට පදනම දමනවා ඇත. මෙහිදී බුදුසව්වකු වන පුද්ගලයා කරන්නේ යට කී ශ්‍රාවක ගුණයන් අතර එන පඤ්ඤා (ප්‍රඥා) යන්න භාවිතා කරමින් සවිඥානක කය ඇසුරු කරගෙන ලබන බාහිර නිමිති ඔස්සේ ගොඩනැගෙන කල්පනා ලෝකය අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් දකින්නට යොමුවීමයි. ඒ නිසා කර්ම නියාමය සිඳලීමේ මාර්ගයට ඔහු අවතීර්ණ වී සිටියි. එබඳු අය සසර වැඩි කල් රැඳෙන අය නොවේ. සද්ධා, සීල, සුත, චාග යන ගුණයන්ට ස්ථාවර පදනමක් සපයන්නේ මෙකී ප්‍රඥාවමය.

මෙකී ගුණ සැකැස්ම පදනම් කරගත් එනම් නිවන් මගට අවතීර්ණ වුණ ගෘහස්ථ කාමභෝගී ජීවිතයක් බුදුසමයෙහි අනුමතය. මනා ස්වාමි භාර්යා සබඳතාවයක් හා මනා මව්පිය දූදරු සබඳතාවක් නියත ලෙසම අපේක්ෂා කළ හැක්කේ මෙම ගුණ ඇති කල්හිය. ඔවුනට පංචකාමගුණයෙහි සංයමයක් ඇත. රූප ශබ්දා දී අරමුණු හුදෙක් කාමගුණ විනා කාමය නොවන බවත් කාමය යනු තමාගේම සංකල්පනාවනට ඇලීම බවත් ඔවුහු දනිති.

එවන් අවබෝධයක් නැති අය අරඹන යුග දිවිය ආශාවන්ට මුල්තැන දුන්නකි. ආශාවන්ට මුල් තැන දුන් තරමටම ගැටුම ද වැඩිය. එහෙයින් දුකද වැඩිය. එවන් පවුල්වල උපදින්නෝ සසරේ අඳුරු තල වලින් ආයු කෙළවර කර මද පිනකින් මිනිසත් බවට තල්ලු වන පින්මද සත්වයෝය. ඔවුන්ගේ ස්වභාවය පහසුවෙන් අකුශලයට තල්ලු වීමය. පඤ්චකාම ගුණයෙහි ඔවුුහු ගිජුවෙති. මුළා වෙති. සිතින් ගිලගත්තෝ වෙති. එහි ආදීනව නො දක්නෝ වෙති. අවසාන වශයෙන් අතහැරීමට ඇති දේ බව නො දකිති.

එහෙත් සද්ධා ශීලාදී ගුණ හඳුනන්නෝ පංචකාමය සෙවුනේ නමුත් එහි සංයමයෙන් යුතු වෙති. එහි ගිජු නො වුවාහුය. (අගථිතො) නො මුලා වූවාහුය. (අමුච්ඡිතො) සිතින් ගිලගත්තාහු නො වෙති. (අනජ්ඣාපන්නො) එහි ආදීනව දක්නාහු වෙති. (ආදීනව දස්සාවි) අත්හැරීමට ඇති දේ බව දැන පරිභෝග කරති. (නිස්සරණපඤ්ඤො පරිභුඤ්ජති) එවන් ගුණ ඇති අය මව්පියන් කොට උපත ලබන්නෝ බොහෝ විට උසස් තල වලින් මිනිසත් බවට එන සත්වයෝය. එනිසා පින් ඇති දූදරුවන් කැමැති වන මව්පියවරුන් පළමුව සද්ධා, සීල, සුත , චාග, පඤ්ඤා යන සසුන් ගුණ ජීවිතයට එක්කරගත යුතුය. දරු සම්පත් ලැබෙන්නේ මව්පියන්ගේත් දරුවන්ගේ කර්මවේග සැසදීම්වල හැටි හැටියට ය. ඒ බව දැනගෙන කල් ඇතිවම පස් පවින් දශ අකුශලයෙන් මිදී සද්ධා සීලාදී ගුණ සකසා ගැනීමට වගබලා ගත යුතුය. තමාත් තම අතර ප්‍රජාවත් මරණින් මතු දුගතීන්ට නො වැටෙනු පිණිස වු ධර්මානුකූල රක්ෂණාවරණය මේ දැහැමි පදනම බව අමතක කළ යුතු නොවේ.

තවමත් නො නැසී පවතින බුදුසසුනෙන් ගත යුතු මඟපෙන්වීම අමතක නො කළ යුතුය. බුදුදහම පවුල දෙස බලන්නේ ළමා කේන්ද්‍රීය ආකල්පයකිනි. පවුල හැඳින්වීමේ දී ධර්මයේ පළමුව දක්වන්නේ “සබ්‍රහ්මක කුල” යන්නයි. බ්‍රහ්මයින් සහිත පවුල යනු එහි තේරුමයි. දරුවනට සතුරු නොවන බැවින්ද (මෙත්තා) දරුවනට දුක් සලසන අය නොවන බැවින් ද (කරුණා) දරුවන්ගේ සැපතෙහි සතුටු වන බැවින්ද (මුදිතා) දරුවන්ගේ වරද ඉදිරියේ මුත් මැදිහත් වන බැවින් ද (උපෙක්ඛා) මව්පියවරු බ්‍රහ්ම නම් වෙති. දෙවැන්න “සපුබ්බාචරියක කුල” යන්නයි. පූර්වාචාර්යයින් සහිත පවුල යනු එහි තේරුමයි. දරු සම්පත අපේක්ෂා කරන තැන් සිටම දරුවා පිළිබද මනා මෙහෙයැවීමක් සිදු කරන නිසා (ආපාදකා) කායික මානසික පෝෂණය සලසන නිසා (පෝසකා) ලෝකය දැකගන්නට සලස්වන නිසා (ඉමස්ස ලෝකස්ස දස්සෙතාරො) මවුපියවරු පූර්චාර්යවරු වෙති. තෙවැන්න “සපුබ්බදෙවකුල” යන්නයි. පූර්ව දේවතාවරුන් සහිත පවුල් යනු එහි තේරුමයි. දරුවනට රැකවරණය සලසන බැවින් ඔවුහු පූර්ව දේවතාවරු වෙති. සිවුවැන්න “සාහුනෙය්‍යක කුල”යන්නයි. හුන් තැනට ගෙනවුත් දෙන පූජා ලැබීමට සුදුස්සන් සහිත පවුල යනු එහි තේරුමයි. මවුපියවරු දරුවන් විසින් දුර සිට කද බැඳගෙන ඇවිත් සංග්‍රහ කරනු ලැබීමට සුදුස්සෝ වෙති.

යට කී අසිරිය අත්දැකීමට නම් සද්ධා සීල සුත චාග පඤ්ඤා ගුණ පදනම තිබිය යුතුම ය. වසර දහස් ගණනක බොදු උරුමයක් ඇතැයි ආඩම්බර වන ලක්බිමේ යට කී අසිරිය අත්දකින්නට ඇත්තේ ඉතාමත් කලාතුරකිනි. වැඩිපුර ඇත්තේ මරණින් මතු දුගතියට විවෘත වුණ පවුල් සබඳතාවයන්ය. අකුශලයෙන් පිරි අයගේ ජීවන පුවත් කොතරම් දුක්ඛදායක ද යන්න පිළිබද සාක්ෂි අපේ සමාජය දෙස බැලීමෙන් දැකගත හැකිය. මේ ගැන ගැඹුරින් හිතා බැලීමට මේ ගතවන පොසොන් සමය හොඳ නැකත් හෝරාවක් කරගන්නට කවුරුත් කල්පනා කරන්නේ නම් එය තමන්ගේම යහපත පිණිසත් පින් ඇති දරුවන් ලොවට දායාද වීම පිණිසත් හේතු වනවා ඇත.

සැමියකුට පරම මිතුරිය වන්නේ බිරිඳයි. (භරියාච පරවො සඛා) ස්තිය‍්‍රකගේ වටිනාකමේ සලකුණ වන්නේ සැමියා. (භත්තා පඤ්ඤාණමිත්ථියා) මනුෂ්‍යයාට වස්තුව වන්නේ දරුවාය. (පුත්තා වත්තු මනුස්සානං) මවුපියෝ දරුවන් නමැති ප්‍රජාවට සාකනුකම්පිත වන්මෝ වෙති. (පජාය අනුකම්පකා) නුවණැති පින්වත් දරුවෝ මවුපියන් කෙරෙහි ගෞරවයෙන් ක්‍රියාකරති.

තස්මා හි නෙ නමස්සෙය්‍ය සක්කරෙය්‍යාථ පණඩ්තො
අන්නෙන අථ පානෙන වත්ථෙන සයනෙනච
උච්ඡාදනෙ නහාපනෙ පාදානං ධොවනෙන ච
තාය නං පාරිචරියාය මාතාපිතුසු පණ්ඩිතා

ඉධෙව නං පසංසන්ති පෙච සග්ගෙ පමොදති යනුවෙන් දැක්වෙන පරිදි දහමින් පෝෂණය වුණ දරුවා මැනැවින් මවුපියනට උපස්ථානශීලි වන්නේය. මව්පියන් නමදින්නේය. තවදුරටත් නුවණැති දරුවා ආහාරපානයෙන් ද වස්ත්‍ර යනාදියෙන්ද ඇඟ ඉලීමෙන්ද නැහැවීමෙන්ද පා දෙවීමෙන්ද සත්කාර කරන්නේ ය. මවුපියන් කෙරෙහිලා කරණ ඒ වතාවත් නුවණැත්තෝ මේ ලෝකයේ දීම ඒ දරුවා පසසත්. දරුවා පරලොව ගොස් සුගතිගාමීව සැප විපාකයෙන් සතුටුවෙයි.

මිසදිටු ලෝකයේ බලපෑමට යටත්ව බුදුනු සමාජ හරයයන් ගිලිහෙන්නට ඉඩහැර මිසදිටුු සමාජ හරයයන් උසස් කොට ගැනීමේ ප්‍රතිවිපාකය වශයෙන් ළමා නිවාස හා මහලු නිවාස යන අංග දෙක සමාජයට එක්වී තිබේ. පසිඳුරන් පිනවීමෙන් අන්‍යතර ආධ්‍යාත්මික සුවයක් නො හඳුනන සමාජයක දුක්ඛදායක අතුරු ප්‍රතිඵල රැසක් මේ වන විට උදා වී තිබේ. මෙය බාහිර ප්‍රතිසංස්කරණයන් තුළින් පිලිතුරක් ලැබෙන්නේ නැති බව ඉර හඳ සේ පැහැදිලිය. පිළිතුර ඇත්තේ ධර්මය තුළයි. දුගති භය විමුක්ත සම්බෝධීපරායන මනසක් සකස් කරගැනීම දෙවැනි කොට සලකා මේ ලෝකයේ ප්‍රමුඛතාවට පත් කරන්නට තරම් වැදගත් දෙයක් නැත. සද්ධා සීල, සුත, චාග, පඤ්ඤා ගුණ වඩාගන්නට මව්පියවරුන් දරුවන්ටත් දරුවන් මව්පියන්ටත් උපකාර කළ යුතු වේ. මව්පියනට ඒ උපකාර කරන දරුවා මව්පිය මෙහෙවරට පෙරළා වැඩිපුරත් එක්ක ණය ගෙවූවකු වේ යැයි බුදුරජාණන් වහන්සේ සුප්පතිකාර සූත්‍රයේදී දේශනා කර ඇති බව සිහියට ගන්න.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]