UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලාවෙන් උදාවූ සදහම් සුවය රට පුරා පැතිර ගියා

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ අසිරිමත් ලංකා ගමනය සිදුවූ ඓතිහාසික පුදබිම මිහින්තලාවයි. “අම්බස්ථලය” නමින් හැඳින් වූ මෙම ස්ථානය එදා සිට මිහින්තලාව නමින් හැඳින්වුණා.

සදේවක ලෝකවාසීන්ගේ අපමණ වන්දනාවට පාත්‍ර වූ මිහින්තලාව අපේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරයෙහි මූලස්ථානය ලෙසද සැලකිය හැකිය.

බුදුරජාණන් වහන්සේලා හතරනමකගේ පාදශ්පර්ශය ලද පූජනීය ස්ථානයකි. දේවානම්පියතිස්ස මහ රජතුමාගේ පටන් රජවරු මෙන්ම රාජ රාජ මහා මාත්‍යාදීන් විසින් ඒ ඒ රාජ්‍ය සමයන්හි දී මිහින්තලා පුදබිමෙහි කරවන ලද වෙහෙර විහාර, පිරිවෙන්, පොකුණු, රෝහල් ආදී විවිධ වූ පූජනීය වස්තුන්ගෙන් මිහින්තලාවේ පුරාවෘතය වර්ණවත් වේ. එදා මහ රහතන් වහන්සේලා වැඩ සිටි විහාර සැට ලෙන්, දානශාලා ආදී ඓතිහාසික පූජනීය අංගවලින් මිහින්තලාව සමන්විතය. පංචශීල ප්‍රතිපදාව මෙන්ම පැවිද්ද, උපසම්පදාව, වස්විසීම ආදිය ආරම්භ වූයේද මිහින්තලාව කේන්ද්‍ර කරගෙනය. එවන් උත්තරීතර ඓතිහාසික උරුමයන් රටට හිමිකර දෙමින් මිහින්තලාව ප්‍රෞඪ ඉතිහාසයකට හිමිකම් කියයි.

මිහින්තලාවත් පොසොන් පොහොයත් දෙකක් නොව එකක් වන තරමට බැඳී පවතී. පොසොන් උදාවත් සමඟ මෙරට ජනතාවගේ හදවතට නිරන්තරයෙන් සිහියට නැඟෙන්නේ මිහින්තලාවයි. ඒ නිසාම මෙවර මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව පුරා දින පහක් පමණ පැවැත්වේ. ඊට ලංකා විදුලිබල මණ්ඩලය සම අනුග්‍රහය දක්වනු ලැබේ. අබාන්ස් ආයතනය, ලංකා බැංකුව, ඩයලොග් සමාගම, නේචර්ස් සීග්‍රරට් ආදී රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලින් ලැබෙන අනුග්‍රහය පින්දෙමින් සිහිපත් කරමි.

කිත්සිරි මෙවන් රජ දවසින් පසු මිහිඳු මහ රහතන් වහන්සේ වෙනුවෙන් පුරා තුන්මාසයක් උපහාර පින්කම් සිදුකළ බව කියැවේ. උන්වහන්සේ පිදීමට දින නියමයක් නොමැති අතර ඒ නිසාම ලංකාවාසී බෞද්ධ පින්වතුන් මුළු වසර පුරා මිහින්තලා පුදබිම වන්දනා කිරීමට පැමිණෙන බව ද මෙහිදී සිහිපත් කළ යුතුව ඇත. කෙසේ වුවද මෙවර ආලෝක පූජා උළෙල පැවැත්වෙන දින පහක් පුරා ලක්ෂ විස්සකට අධික ජනතාවක් මිහින්තලාවට පැමිණෙතැයි අපි අපේක්ෂා කරමු.

එදා රනින් ප්‍රතිමා නිම කර මිහිඳු මාහිමියන් වෙත උපහාර දක්වා ඇති බවට අපේ ඉතිහාසය සාක්ෂි දරයි.

ගෙවී ගිය අඩ සියවසකට අධික කාලයක් හෙවත් වසර 53 ක් පුරා ලේක්හවුස් මිහින්තලා ආලෝක පූජාව සිදු කරන ලද්දේ දින තුනක් පමණි. මිහිඳු මහ රහතන් වහන්සේ අනුස්මරණය කිරීමට අවස්ථාව ලැබීම පවා ජීවිතයේ මහා භාග්‍යයක් ලෙස වටහා ගත යුතුයි. රටටම ආලෝක පූජාව හඳුන්වා දුන් ආයතනය ලේක්හවුස් ආයතනයයි. නැතිනම් ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමයි. ඒ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජා මහෝත්සවයයි. ලේක්හවුස් ආයතනය පමණක් මෙයට පනස් තුන් වසරකට පෙර එදා ආරම්භ කළ ආලෝක පූජාව මඟින් එම පූජාව පමණක් නොව රටටම ආදර්ශයක් ද ලබා දෙන ලදී. වර්තමානය වන විට ඊට ආයතන රාශියක් ඒකරාශී වී තිබීමද සතුටට කරුණකි.

ලංකා විදුලිබල මණ්ඩලය මේ සඳහා සම අනුග්‍රහය දක්වන අතර විශේෂයෙන් මෙවර සතුටුවිය හැකි අයුරින් ආයතන රාශියක් ඒකරාශී වී තිබේ. අබාන්ස් ආයතනය, ලංකා බැංකුව, ඩයලොග් සමාගම ස්වාධීන රූපවාහිනී සේවය, ලක්හඬ, මැලිබන් ආයතනය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, මහාභාරකාරතුමිය, බුද්ධශාසන අමාත්‍යාංශය, බෞද්ධ කටයුතු කොමසාරිස්තුමා, විශේෂයෙන් උතුරු මැද පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න මහතාගේ පූර්ණ අනුග්‍රහය සහිත උතුරු මැද පළාත් සභාව, අනුරාධපුර මහ දිසාපතිතුමා, මිහින්තලාවේ ප්‍රාදේශීය ලේකම්තුමා, මිහින්තලේ පොලිස් ස්ථානාධිපතිතුමා ආදී රාජ්‍ය හා පෞද්ගලික ආයතන රාශියක් මෙසේ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට දායකවීම මිහිඳු මහ රහතන් වහන්සේට දක්වන මහා ගෞරවයකි. මහා උපහාරයකි. එමෙන්ම කෘතගුණ දක්වන ජනතාවක් ලෙස අගය කළ හැකිය.

මිහිඳු මහ රහතන් වහන්සේ වැඩම කළ මිහින්තලා රජමහා විහාරයේ මෙම කටයුතු වලට සහාය දැක්වීම, දායකත්වය දැරීම, මහා භාග්‍යයකි. මෙවැනි ඓතිහාසික පුදබිමක පැවැත්වෙන ආගමික කටයුතුවලට දායකත්වය දැරීමට අවස්ථාව ලැබෙන්නේත් සසර කළ පින් මහිමය නිසාම වන්නට පුළුවන්. මිහින්තලා රජ මහා විහාරයේ දායකයකු ලෙස ජීවිතයේ සැනසීම ලබා ගැනීමත් භාග්‍යයක් ලෙස වටහ ගත යුතුයි. එය පෙර පින් මහිමයක්ද විය යුතු ය. මෙම වසරේ මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව දින පහක් සිදුකිරීම විශේෂත්වයකි. අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ 2322 ලංකා ගමනය සිහිපත් කරන මේ මොහොතේ ලබන වසරේ දී ආලෝක පූජාව දින හතක් පුරා පැවැත්වීමට කටයුතු කරමු. ඊට හේතුව නම් විශේෂයෙන් පොසොන් සමයේ දී මෙරට නන්දෙසින් පැමිණෙන විවිධ ජාතික විවිධ ආගමික ලක්ෂ ගණනක් වූ සියලු සැදැහැවතුන්ටත් බැතිමතුන්ටත් මෙම පුදබිම දැකබලා ගැනීමට සුදුසුම සමය මෙය නිසාත් මිහිඳු මහරහතන් වහන්සේට ද එය මහා පූජාවක් ලෙස අනුස්මරණය කළ හැකි වන නිසාත් ය.

ලබන වසරේ දී මෙම පින්කම සිදුකිරීමට තව තවත් රාජ්‍ය හා පෞද්ගලික ආයතන වල දායකත්වය සහ අනුග්‍රහයද අපේක්ෂා කරමු. මෙම පුදබිමේ ආරක්ෂාව මෙන්ම සංවර්ධනයට ද එය මාහැඟි අවස්ථාවක් වන බව පෙන්වා දිය යුතු වේ.

මෙවැනි පුදබිමික කරන පින්කම් දැක දෙව් බඹුන් පවා සතුටු වන හෙයින් ඊට අත හිත දීම සියලු දෙනාගේ වගකීම වේ.

එමෙන්ම මෙයට පනස් වසරකට පෙර මිහින්තලා පුදබිමේ දී දොරට වැඩි සාරධර්ම සංග්‍රහයක් ලෙස ගිහි පැවිදි උභය සමාජයේ මහත් ගෞරවයටත් පාඨකයන්ගේ ඉමහත් ප්‍රසාදයටත් පත්ව තිබෙන “බුදුසරණ” පුවත්පතෙහි 50 වන සංවත්සරයද මෙම පොසොන් පෝදා යෙදී තිබේ. එවකට මිහින්තලා රාජ මහා විහාරාධිපතිව වැඩ විසූ වළවාහැංගුණවැවේ ශ්‍රී රතනපාල රතනජෝති නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට එදා බුදුසරණ මුල් පුවත්පතේ පිටපත පළමුව පිළිගැන්වූයේ මෙම පුදබිමේදී ය. වසර පනහක් සපිරෙන මේ මොහොතේ ද එම වළවාහැංගුණවැවේ සඟ පරපුරේ හිමිනමක් මෙම පුදබිමෙහි ආධිපත්‍යය දැරීමද දෛවෝපගත සිදුවීමක් ලෙසද කල්පනා කරනු ලැබේ.

විශේෂයෙන් මෙවර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා මෙම ආලෝක පූජා, මහෝත්සවයට සහභාගි වීම ඓතිහාසික කරුණකි. රටේ ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමා ඇතුළු රජයේ පූර්ණ සහාය මෙම මහා පුණ්‍ය කර්මයට නිරන්තරයෙන් හිමිවන බව පුණ්‍යානුමෝදනා කරමින් සඳහන් කළ යුතු ය. ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ පැමිණීම රටටම මහා ගෞරවයක් බවද සඳහන් කරමි. මෙසේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට ප්‍රධානත්වය සලසමින් රටවාසීන්ට මිහින්තලා පුදබිම පිළිබඳ අවධානය ලක්කිරීමට කටයුතු යෙදීම මහත් වගකීමකි.

මහා මාර්ග පිළිසකර කරමින් මහ සෑ රදුන් සායම් ආලේප කිරීමෙන් පුදබිම පිරිසුදු කිරීම් ආදී සියල්ල මේවන විට සකස් වෙමින් පවතී.

මෙවැනි සමයක මිහින්තලා පුදබිම වන්දනාවට පැමිණෙන සැදැහැවතුන් සිය චාරිකාව විනෝද චාරිකාවක් සේ නොසළකා මහත් ශ්‍රද්ධා ගෞරවයෙන් වන්දනාමාන කළ යුතු ය.

වන්දනා කරුවන් හැකිතාක් සුදුවතින් සැරසී පැමිණෙන ලෙසත් පොලිතීන්, ප්ලාස්ටික් ආදිය රැගෙන ඒමෙන් වැළකී පරිසරය පවිත්‍රතාවයෙන් පවත්වාගෙන යාමට දායක වන ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමු.

ඉධ නන්දති පෙච්ච නන්දති
කත පුඤ්ඤෝ උභයත්ථ නන්දති
පුඤ්ඤං මේ කතන්ති නන්දති
භිය්‍යො නන්දති සුග්ගතිං. ගතො

මෙලොවත් සතුටුවිය හැකි පරලොවදිත් සතුටු විය හැකි උදාර පින්සිතිවිලි උපදවා ගැනීමට මිහින්තලා පුදබිම වන්දනා කර ගැනීමෙන් දෙලොවම යහපත සලසා ගනිමින් අර්ථවත් ජීවිතයක් ගත කිරීමට මෙවර පොසොන් සමයේ අධිෂ්ඨාන කර ගනිමු.


සංස්කෘතික පුනරුදයෙහි අරුණෝදය සලකුණු කෙරෙන කේන්ද්‍රස්ථානය වේ

මිහින්තලය අපේ සංස්කෘතික පුනරුදයෙහි අරුණෝදය සලකුණු කෙරෙන කේන්ද්‍රස්ථානය වේ. මිහිඳු මහ රහතන් වහන්සේ සමඟ පැමිණි පිරිවර කෙරෙන් පිරිනැමුනු දායාදයන් අදත් අපේ සංස්කෘතික ජීවිතය පෝෂණය කිරීම උදෙසා සලසනු ලබන පිටිවහල ඉමහත් ය.

මිහිඳු මහ රහතන් වහන්සේගේ සම්ප්‍රාප්තිය සමඟ අපි අවි අතහැර, දඩබිමෙන් නික්ම ආධ්‍යාත්මික විමුක්තිය සොයා යන ගමනකට අවතීර්ණ වූයෙමු. සතාට සීපාවාට පවා ආදරය කරන, ඔවුන්ගේ සුවදුක් විමසන මිනිසුන් බවට පත් වූයෙමු. සැබැවින්ම නව දැනුමක, නව දර්ශනයක ආලෝකය අප කරා පතිත වූයේ මිහින්තලා ගිරි සිරස මතිනි. වත්මනෙහි අප ගමන් කරමින් සිටින්නේ ද සියලු අවභාවිතයන් පිළිකෙව් කොට යහපත, සදාචාරය, නිදහස වැනි සාධනීය හර පද්ධතීන් ගරු කොට සලකන සමාජයක් කරාය.

පොසොන් පොහොය දිනකදී අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ දේවානම්පියතිස්ස රජතුමාට ‘නවතිනු’ යැයි අණකොට දේශයක, ජාතියක ගමන්මග වෙනස් කළ, භූමිය අති වන්දනීය පූජනීය භූමියක් බවට විවාදයක් නැත. අපේ අනාගතය පිළිසිඳගත් එකී වන්දනීය පින්කෙත පොසොන් සමයේ ආලෝකමත් කොට බැතිබර ආලෝක වන්දනාවක යෙදෙන ශි‍්‍ර ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම (ලේක්හවුස්) පුරා පනස් තුන් වසරක් තිස්සේ ඉටු කරනුයේ අතිමහත් ජාතික සහ ආගමික පින්කමකි.

එහිලා පුරෝගාමී වූ ආදී කර්තෘවරුන්ටත්, එම සද්කාර්යය වසරක් පාසා පිළිවෙතක් සේ ඉටුකරනු ලබන සියලු දෙනාටත්, මේ උතුම් කටයුත්තේ අනුශාසකත්වය උසුලන මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන්වහන්සේටත් අනුග්‍රහය දක්වන සියලු ආයතනයන්ටත් ස්තුතිවන්ත වෙමි. අඩසිය වසක් තිස්සේ ජාතික සහ ආගමික මෙහෙවරක යෙදෙමින් දොරින් දොරට දහම් දැනුම රැගෙන යන බුදුසරණ පුවත්පතේ පනස් වැනි ජන්ම දිනයට ද සුබපතමි.


ආලෝකය සමාජය වෙත ගෙනයන දහම් මහෝඝයක් වනු ඇත

පියවි ලොව වෙළා පවත්නා අඳුර දුරලනු පිණිස පහන් දල්වන්නා සේම, මනුෂ්‍ය සන්තානයේ ලැගුම් ගන්නා මෝහාන්ධකාරය, අවිදු අඳුර දුරලනු පිණිස අප සිත් සතන් තුළ මෛත්‍රියේ, ප්‍රඥාවේ පහන් දල්වාලිය යුතු ය. වසර 53 ක් සපුරන මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව සහ ඊට සමගාමීව දියත් වන අනෙකුත් ආගමික, අධ්‍යාපනික, සමාජයීය පුණ්‍ය කටයුතු එම ආලෝකය සමාජය වෙත ගෙන යන දහම් මහෝඝයක් වනු ඇත.

පෙරදිග බිහි වූ විශිෂ්ටතම අධ්‍යාත්මික දර්ශනය අප මව්බිමට උරුමයක් ලෙස තිළිණ වූ උත්තරීතර පොසොන් පොහොය සමරනු වස්, සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ ආදි කර්තෘ ඩී.ආර්.විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ සංකල්පයක් මත, මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කළේ එවකට ලේක්හවුස් සභාපති රංජිත් විජයවර්ධන මහතා විසිනි.

මගේ සමීපතම ඥාතීන් වන ලේක්හවුස් නිර්මාතෘවරුන් විසින් ආරම්භ කරන ලද, මාගේ පියාණන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මැතිඳුන් ලේක්හවුස් කළමනාකාර අධ්‍යක්ෂ ධුරය හෙබවූ සමයේ මහත් ගෞරවයෙන් දායක වූ මිහින්තලා ආලෝක පූජාව ඉදිරියටත් සාර්ථකව පැවැත්වීමට අවශ්‍ය සහය ලබා දීම මගේ ද වගකීමක් ලෙස සලකමි.

වර්තමානයේ ඒ සඳහා අනුශාසකත්වය සපයන මිහින්තලා රජමහා විහාරාධිපති වළවාහැංගුණවැවේ ධම්මරතන ස්වාමීන් වහන්සේට ද, එය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන ලේක්හවුස් කාර්යය මණ්ඩලයට ද, සමස්ත සැදැහැවතුනට ද මාගේ ගෞරවනීය ස්තුතිය පුදකරමි.

පොසොන් පෝ දා මිහින්තලා පුද බිමේ දී මුල් වරට දොරට වැඩි, මෙම වසරේ තම 50 වෙනි ස්වර්ණ ජයන්තිය සමරන බුදුසරණ පුවත්පතට ද මාගේ හෘදයාංගම ශුභාශිංසන පිරිනමමි. ධර්මය, මනුෂ්‍යත්වය එක්තැන් කළ උත්තරීතර සමාජ මෙහෙවරකට ලේක්හවුස් ආයතනය පරමාදර්ශයක් වේවා යි ප්‍රාර්ථනා කරමින්, මිහින්තලා ආලෝක පූජාව සර්වප්‍රකාරයෙන් සාර්ථක වන්නට සුබ පැතුම් එක්කරමි.

තෙරුවන් සරණයි,


ජාතික සහ ආගමික උත්සවයන්හි දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි

පුවත්පත් මහගෙදර ලෙසින් ජනතා ප්‍රසාදය දිනාගත් ලේක්හවුස් ආයතනය ජනතාවගේ තොරතුරු දැන ගැනීමේ අයිතියට සැබෑ වටිනාකමක් ලබාදෙන කීර්තිමත් ආයතනයකි. සමාජයේ විවිධ පැතිකඩ නිරූපණය කරමින් විවිධාකාරයේ පුවත්පත් එළිදක්වන ලේක්හවුස් ආයතනයය විසින් බොදු ජනතාව ඉලක්ක කරගෙන ප්‍රකාශයට පත් කරන ‘බුදුසරණ’ පුවත්පත 1965 වසරේ සිට බොදු ජන හදවත්හි ලැඟුම් ගත් පුවත්පතක් බව පැවසීම අතිශෝක්තියක් නොවේ.

පුවත්පත් ආයතනයක් ලෙස සමාජය දැනුවත් කිරීමේ කාර්යභාරයට උර දෙන ලේක්හවුස් ආයතනය ඉන් නොනැවතී ජාතික සහ ආගමික උත්සවයන්හි දී ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරයි. ඒ බැව් පසක් කරමින් 2015 ජාතික පොසොන් මංගල්‍යය නිමිත්තෙන් ‘මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව‘ පැවැත්වීමට එම ආයතනය සූදානමින් සිටියි. මෙවර එය පැවැත්වෙන්නේ 53 වන වතාවටය. සිරිලකට බුදු දහම දායාද වීමේ සුවිශේෂී අවස්ථාව සමරන පොසොන්පුර පසළොස්වක පොහෝදා මිහින්තලාව පහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීම පනස් දෙවතාවක් නොකඩවා සිදු කිරීම සුළුපටු කාර්යයක් නොවේ. මෙම කාර්යය අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ලේක්හවුස් ආයතනයට අපගේ ප්‍රශංසාව හිමිවිය යුතුය.

1965 වසරේ බෞද්ධයා වෙනුවෙන් ප්‍රකාශයට පත් කළ බුදුසරණ පුවත්පතේ ආරම්භය සිදුවූයේ මිහින්තලාවේ දී ය. එදා මිස්සක පව්වෙන් මිහිදු මහරහතන් වහන්සේ ප්‍රමුඛ ධර්ම දූත කණ්ඩායම ධර්ම ප්‍රචාරය ආරම්භ කළ පරිද්දෙන් ලේක්හවුස් ආයතනය මීට අඩසිය වසරකට පෙර බුදුසරණ පුවත්පතෙන් ධර්ම ප්‍රචාරය ආරම්භ කළේ ය. එතැන් පටන් තෙරුවන් සරණ ගිය, පංචශීල ප්‍රතිපත්තියෙහි පිහිටා කටයුතු කරන බෞද්ධයාගේ අචල ශ්‍රද්ධාව වර්ධනය කිරීමට බුදුසරණ පුවත්පත දරන වෑයම විශේෂයෙන් අගය කළ යුතුය. එම වෑයම ගුණගරුක සමාජයක් බිහිකරලීම උදෙසා සවිමත් පදනමක් වනු නොඅනුමානය.

වත්මන් කෘෂිකර්ම අමාත්‍යවරයා ලෙස මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාවට සුබ පැතුම් එක් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශය සතුටට පත්වෙමි. අනුරාධපුර පුණ්‍ය භූමියේ උපන් පුද්ගලයෙකු ලෙස එම භූමියේ මිහින්තලා පුදබිම ඒකාලෝක වනු දැකීම මා ලද භාග්‍යයකි. නිර්මල වූ බුදු දහමේ චිරස්ථිතිය පිණිස කැපවීමට බුදුසරණ පුවත්පතට ධෛර්ය, ශක්තිය ලැබේවායි ඉතසිතින් ප්‍රාර්ථනා කරන අතරම මිහින්තලා ලේක්හවුස් ආලෝක පූජාව බොදු ජන හදවත් ඒකාලෝක කිරීමට සමත් වේවායි හදවතින් ම සුබ පැතුම් එක් කරමි.


බොදු ඉතිහාසය වර්ණවත් කරන්නක්

බුදු සසුන ලක්දිව ප්‍රතිස්ඨාපනය වීමේ ඓතිහාසික සංසිද්ධිය සිහිපත් කරමින් බොදු ජනතාව චිරාත් කාලයක සිට පොසොන් පොහෝ දින අනුරාධපුර පූජා නගරය කේන්ද්‍ර කොට ගනිමින් අති උත්කර්ශවත් ලෙස පුණ්‍යෙීත්සව පවත්වති. ආමිස හා ප්‍රතිපත්ති පූජාවන්හි නියැළෙති.

ශිෂ්ට සම්පන්න ජාතික මූලාරම්භය සනිටුහන් වූ පුණ්‍ය භූමියේ දී ම 50 වසරක් පුරා ශ්‍රී ලාංකීය ජනතාවට ධර්මාවබෝධය ලබා දුන් බුදුසරණ ජාතික බෞද්ධ පුවත්පත සිය ස්වර්ණ ජයන්ති සැමරුම් උළෙල පැවැත්වීම ද බොදු ඉතිහාසය වර්ණවත් කරන්නකි.

ශ්‍රී සම්බුද්ධ ශාසනය හෙවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ධර්මයෙහි චිර පැවැත්ම පිණිස කටයුතු කිරීම ධර්ම දානයයි. ‘තෙපිටක බුද්ධ වචනං සවනං සවනානුත්තරියං නාම ඒ අනුව සඳහන් වන්නේ මෙලොව යම් දීමක් වේද, යම් කතාබහක් වේ ද, යම් ඇසීමක් හෝ කියවීමක් වේ ද ඒ සියල්ල අතුරින් ධර්මය ප්‍රස්තුත කොට ගැනීම ශ්‍රේෂ්ඨ වන බවයි.

වසර 50ක් පුරා පාඨක ප්‍රසාදය නොඅඩුව ලබමින් බුදුසරණ ජාතික බෞද්ධ පුවත්පත කළ මෙහෙවර හැඳින්විය හැක්කේ ද උතුම් වූ ධර්ම දානයක් ලෙසිනි.

ආර්ය ධර්මය නොදැන, ආර්ය ධර්මයෙහි නොහික්මුණු, කළයුත්ත නොකළයුත්ත පින පව නොදන්නා, සසර මුලා වී අවිචාරවත් ව හැසිරෙන අශ්‍රතවත් පෘථග්ජනයා ආර්ය ශ්‍රාවකයෙක් බවට පත් කරන්න බුදුසරණ කැප වී ක්‍රියා කළේ නිස්සරණාධ්‍යාසයෙනි.

ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා බුදුසරණ පුවත්පත තවත් බොහෝ කලක් ලාංකීය සමාජයට මෙහෙවර කරනු දැකීම අප සැමගේ ඒකායන ප්‍රාර්ථනාවයි.

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]