UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බෝධි පූජාව

 බෝධි පූජාව

බෞද්ධයන් “බෝධි පූජා පැවැත්වීම” ආරම්භ කිරීමට අවුරුදු දහස් ගණනකට ඉහත දී ද නව ශිෂ්ටාචාරයන් සොයා යමින් සිටි ලොවැ ප්‍රදේශ කීපයකම විසුවෝ ස්වාභාවික වස්තුන් වන්දනාවට ද පෙලඹී සිටියාහුය. විශේෂයෙන්ම ඔවුන්ගේ මෙම පූජාවනට පාත්‍ර වූයේ “වනස්පති” වෘක්ෂයන් වේ. බෞද්ධ ජනතාවගේ පූජාර්භ වස්තුවක් වූ මෙම බෝධි වෘක්ෂය ද වනස්පෙති වෘක්ෂයෙකි. අසතු (අස්වත්ථ) යනු මෙහි නියම නාමය වෙයි.

සම්මා සම්බුදු දහම අදහන වත්මන් ලක්වැසි බෞද්ධ ජනතාවගේ අතිශය ගෞරවාදරයට පාත්‍රවැ ඇති ආමිෂ පූජා අතර බෝධි පූජාවට ද හිමි වන්නේ සුවිශේෂ වූ ස්ථානයෙකි. ගිහි –පැවිදි සියලු දෙනා ම විවිධ වූ පරමාර්ථයන් සපුරා ගැනුම්වස් මෙම බෝධි පුජා පින්කම්හි නිරතුරු නිරත වෙති. ලෝකෝත්තර වූ පරම සුවයක් හැකි ඉක්මණින් සාක්ෂාත් කරගනු රිසියෙන් පසු වන බෞද්ධයන් අතර මෙසේ බෝධි පූජාවන් පිළිබඳව දැඩි උද්‍යෝගී බවක් ඇති වීමට හේතුවූ කරුණුද රැසෙකි.

බෞද්ධයන් “බෝධි පූජා පැවැත්වීම” ආරම්භ කිරීමට අවුරුදු දහස් ගණනකට ඉහත දී ද නව ශිෂ්ටාචාරයන් සොයා යමින් සිටි ලොවැ ප්‍රදේශ කීපයකම විසුවෝ ස්වාභාවික වස්තුන් වන්දනාවට ද පෙලඹී සිටියාහුය. විශේෂයෙන්ම ඔවුන්ගේ මෙම පූජාවනට පාත්‍ර වූයේ “වනස්පති” වෘක්ෂයන් වේ. බෞද්ධ ජනතාවගේ පූජාර්භ වස්තුවක් වූ මෙම බෝධි වෘක්ෂය ද වනස්පෙති වෘක්ෂයෙකි. අසතු (අස්වත්ථ) යනු මෙහි නියම නාමය වෙයි. මොහෙන් ජොදාරෝ –හරප්පා වැනි භාරත දේශයේ ආදි කාලීනවැ විසූ ජන කොටස් මේ බඳු වූ ඇදහීම් සඳහා භාවිතා කළ මෙවලම් අතර වෘක්ෂ වන්දනාව සදහා යොදා ගත් උපකරණ ද විය.ඇසතු (බෝධි) වෘක්ෂය පැහැදලිව ම හඳුනා ගත හැකි සංකේත කීපයක්ම මේ අතර වෙයි. මෙසේ වෘක්ෂය පූජාර්භ බවට පත්වැ ඇත්තේ “එයට අධිගෘහිත දේවතා කෙනෙක් සිටිති”යි. යන විශ්වාසයක් මෙම ජනතාවන් අතරැ පැවැති හෙයිනි. එම දේවතාවන් හට කරනු ලබන සියලු පුද සත්කාර එම වෘක්ෂයට කළ විටැ දෙවිඳුන්ගෙන් ලබා ගත යුතු ආරක්ෂාවන් බලාබොරොත්තු සියල්ලම සපුරා ගැනුමත් සිදුවන බව ඔවුන්ගේ විශ්වාසය විය. මෙ බඳු ජාතක කථා ද රැසක්ම අපගේ ජාතක පොතෙහි ද දැක්වේ.

ආදි කාලීනයන් අතර මෙසේ ප්‍රචලිතවැ පැවැති වෘක්ෂ වන්දනා කිරීම් ව්‍යාප්ත වෙත්ම වෛදික ඇදහීම් මගින් එම දේවත්වය වෘක්ෂයට ම පසු කාලයෙහි ආරෝපණය කරන ලදී. මෙහිම ප්‍රතිඵලයක් වශයෙන් ඇසතු (බෝධි) වෘක්ෂයම වෛදිකයන් අතර “ත්‍රිමූර්තිය” බවට පසු කාලයෙහි පත්වැ ඇත.

ශාක්‍ය මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ සම්මා සම්බෝධි ඥානය ලබාගත් පසුවැ ඉපැරැණි භාරත දේශීය ජනතාවන් අතර පැවැති මෙම වෘක්ෂ වන්දනාව ද නිසරු වූ ක්‍රියාවක් වශයෙන් ම හඳුන්වා දුන් සේක. ඛුද්දක නිකායට අයත් ධම්මපද පාලියෙහි මෙසේ දැක්වේ.

බහුං වෙ සරණං යන්ති
පබ්බතානි වනානිච
ආරම රුක්ඛ වෙත්‍යානී
මනුස්සා භය තජ්ජිතා
නෙතං ඛො සරණං ඛෙමං
නෙතං සමරනමුත්තමං
නෙතං සරණමාගම්ම
සබ්බ දුක්ඛා පමුඤ්චති”

(බියෙන් තැතිගත් බොහෝ දෙනා වන පර්වත ආරාම වෘක්ෂ හා විවිධ වූ පූජනීය ස්ථානයන් (එම දුක් පීඩාවන් දුරු කර ගැනුම් පිණිස) සරණ යති. හෙවත් පිහිට කොටැ ගනිති.

එහෙත් මෙම සරණ යාම නිසා සැනසීමක් ලබාගත නොම හැකිවේ. එහෙයින් ම මෙය උත්තම සරණයාමක් ද නොවේ. එසේම සියලුම (සසර) දුක් නිමා කරගැනුමට ද මෙම වන්දනා ක්‍රම මගින් පුළුවන්කමක් ද නැත)

අනතුරුවැ බුදුරජාණන් වහන්සේ තෙරුවන් සරණ යමින් ආර්ය සත්‍ය ධර්මයන්හි පිහිටා සිටීම මගින්ම සියලු සසර දුක් දුරුකොට ගෙනැ සදාකාලික වූ සැනසීම උදාකර ගත හැකි වන බව ද වැඩිදුරටත් පහදා දෙන සේක.

“බෝධි පුජා පිළිබඳව විස්තර කථාවක් අපට පාලි සාහිත්‍යකෘතීන්ගෙන් පළමුවෙන් ම හමුවන්නේ ජාතක අට්ඨ කථාවෙහිදීය. කාලිංග බෝධි ජාතක අටුවාවෙහිද මෙම විස්තර කථාව හමු වේ. එහි දැක්වෙන පරිදි ශාක්‍ය මහා මුනීන්ද්‍රයාණන් වහන්සේ බුද්ධත්වයෙන් විසි එක් වන වසර (21) සාවත්ථි නගරයෙහි ජේතවනාරාම මහා විහාරයෙහි වැඩ සිටියැදී (තමන් වහන්සේ පිට ප්‍රදේශයකට වැඩම කළ විටැ) තමන් වහන්සේ වෙනුවෙන් පූජෝපහාර දැක්වීමට ගයාහි පිහිටි ශ්‍රී මහා බෝධින් වහන්සේගේ (අශ්වත්ථ වෘක්ෂයේ)( අංකුරයක් රෝපණය කර ගැනීමට අවසර දෙන සේක”. “ආනන්ද බෝධිය” රෝපණය කොටැ ගන්නා ලද්දේ එහි ප්‍රතිඵලයක් වශයෙන්ය.

මෙම අවස්ථාවෙහිදීම මහා කාරුණිකයාණන් වහන්සේ කාලිංග බෝධි ජාතකය දේශනා කළ බවත්, එසේම කාලිංග නම් වූ සක්විති රජතුමා එදා පැවැත් වූ එම බෝධි පූජා පින්කම් පිළිබඳවැ (බුදු රදුන් එදා කළ) විස්තරයකුත් අට්ඨකතාවේ සඳහන් වේ. එසේම ශී‍්‍ර මහා බෝධි මණ්ඩලය හා එම ස්ථානයෙහි පවතිනා අසිරිමත් බව පිළිබඳව දීර්ඝ විස්තරයක් ද මෙහි දැක්වේ. මෙම අට්ඨකථා විස්තරයට අනුව බෞද්ධයන් අතර බෝධී පූජා පින්කම් ආරම්භ වී ඇත්තේ බුද්ධත්වයෙන් එක් විසි වන වස සාවත්ථී නගරයෙහි ජේතවනාරාම උදාන භූමියෙහි සම්මා සම්බුදුරදුන්ගේ ජීවමාන සමයෙහි දීමය.

දීඝ නිකායෙහි මහා පරිනිබ්බාණ සූත්‍ර දේශනාවෙහි මෙසේ දැක්වේ. ගෞතම අංගීරස මහා මූනීන්ද්‍රයාණන් වහන්සේ හා සම්බන්ධ වූද බෞද්ධයන් විසින් දැකියැ යුතු දැක පහන් සංවේග උපදවා ගත යුතු වූද එසේම සත්කාර සම්මාන කටයුතු වූ ද ස්ථාන සතරක් ඇත. ඒවා මෙසේය.

1.බුදුරදුන් උප්පත්තිය ලද (ලුම්බිනි ශාල වනෝද්‍යානය) භූමිය

2.සම්මා සම්බෝධියට සපැමිණියා වූ (බුද්ධගයා) බෝධි මණ්ඩලය

3.ප්‍රථම ධර්ම දේශනය පැවැත් වූ (ඉසිපතන) මිගදාය හා

4. මහා පරිනිර්වාණය සිදු වූ (කුසිනාරා නුවර) උපවත්තන සල් උයන යන මේ ස්ථානයන් ඒවා වේ. මෙහිදී (1( සම්බුදුරදුන්ගේ උප්පත්තිය සිදුවීම (2) සම්මා සම්බෝධියට සපැමිණීම (3) ප්‍රථම ධර්ම දේශනය පැවැත්වීම සහ (4) පිරිනිවනට සපැමිණීම යන මෙම ප්‍රධාන සිදුවීම් සිහිපත් කිරීම අපේක්ෂා කොටැ ඇති එයින් දෙවන ස්ථානය දඹදිව මධ්‍ය දේශයෙහි බුද්ධගයාහි මෙම ඇසතු වෘක්ෂය (ජය ශ්‍රී මහා බෝධි මණ්ඩපය) පිහිටා ඇති පුණ්‍ය භුමිය වේ. පසු කාලයෙහි මෙම ස්ථානයෙහි පූජෝපහාර දැක්වීම සඳහා බෞද්ධ ජනතාව විසින් දක්වන ලද ඉමහත් වූ උද්‍යෝගයට මුල් වන්නට ඇත්තේ මහා මුනීන්ද්‍රයාණන් විසින් අනුමත කළ පරිදිම (බුද්ධත්වයෙන් එක් විසි වන වර්ෂයෙහි සිදු වූ ) ආනන්ද බෝධි රෝපණය සහ කාලිංග බෝධි ජාතක දේශනාවත් එසේම එයින් තවත් වර්ෂ 24කට පමණ පසුවැ සිදුවූ මහා පරිනිර්වාණ සූත්‍රයෙන් ඉදිරිපත් කළ උපදේශයනුත් විය යුතුය.”

බෝධිය නම් කුමක්ද?

“බුද” ධාතුයෙන් නිපන් අතීත කර්ම කාරක කෘදන්ත නාම පදයක් වූ “බුද්ධ” නාමය ඍග්වේද සංහිතා යුගයෙහිදී ද (ඍග් වේද සංහිතා ම වන මණ්ඩලය – 75 වන සූක්තය දක්වන පරිදි) “බෝධීන් මනසා” යනුවෙන් “අස්වින්” දේවතාවන් හැඳින්වීමට ද යොදා ගෙනැ ඇත. “පිබිදුණූ මනසක් ඇත්තා” යනු මෙම නාම පදයෙහි අරුත වේ.

ඉතිරි කොටස පොසොන් අව අටවක ජුනි 9 වනදා පත්‍රයේ පළවේ...

 

  
  පොසොන් මස පුර පසළොස්වක පෝය

පොසොන් මස පුර පසළොස්වක පෝය ජුනි මස 01 වැනිදා සඳුදා අපරභාග 10.04 ට ලබයි. 02 වැනිදා අඟහරුවාදා අපරභාග 9.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජුනි මස 02 වැනිදා අඟහරුවාදාය.

මීළඟ පෝය
ජුනි මස 09 වැනිදා අඟහරුවාදාය.
 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජුනි 02

Second Quarterඅව අටවක

ජූනි 09

Full Moonඅමාවක

ජූනි 16

First Quarterපුර අටවක

ජූනි 24


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]