UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මුසාවාදා වේරමණී ශික්ෂාපදය

මුසාවාදා වේරමණී ශික්ෂාපදය

මෙම ලිපියේ මුල්කොටස වෙසක් පුර පසළොස්වක (03 වැනිදා) පත්‍රයේ පළවිය.

මේ නිසාම සමාජයේ සෑම අංශයකටම පාහේ පරිහානිකර තත්ත්වයක් උද්ගතවී ඇත. ආර්ථික,දේශපාලනික මෙන්ම සංස්කෘතික වශයෙන් ද ගත් කල ශ්‍රී ලාංකේය ජන සමාජය තුළ එදාට වඩා පරිහානිකර තත්ත්වයක් දැකිය හැකි ය.

ආයතනයක් පරිහානියට පත්වන්නේ එම ආයතනය තුළ විනයක් නොමැති කල්හි ය. විනය නම් හික්මීමයි. සංවරයයි. එම හික්මීම, සංවරය අව්‍යාජ වූවක් විය යුතු ය. එම අව්‍යාජ වූ හික්මීම ආයතන ප්‍රධානියාගේ පටන් සාමාන්‍ය සේවකයා දක්වා තිබිය යුතු ය. තමන් අව්‍යාජ නොවූ කල්හි ව්‍යාජත්වය වසන් කිරීමට විවිධ උපක්‍රම භාවිතා කිරීමට සිදුවෙයි. මුසාවාදය යනු ඉන් එක් ක්‍රමයකි. ඇතැම් රාජ්‍ය ආයතනවල ආයතන ප්‍රධානියාගේ පටන් සාමාන්‍ය සේවකයා දක්වා මෙකී ව්‍යාජත්වය දැකිය හැකිය. එපමණක් ද නොව තම ව්‍යාජත්වය වසන් කිරීමට මුසාබස් දහස් ගණනින් තෙපලනා මොවුහු නිර්මල නිකැලැල් පුද්ගලයන් සේ පෙනී සිටීමට ගනු ලබන්නේ මහත් වූ වෑයමකි.

මුසාවාදය හෙවත් බොරු කීම වර්තමාන සමාජය තුළ සාමාන්‍ය කරුණක් බවට පත් වී ඇති අයුරු දැකිය හැකිය. පාලකයින් මුසාබස් තෙපලනුයේ පාලිතයින් රවටා තම බලය තව තවත් තහවුරු කර ගනු පිණිස ය. එමෙන් ම තමන් විසින් මහා පරිමාණයෙන් සිදුකරන වංචා දූෂණ ඉදිරියටත් කරගෙන යාම පිණිසය. පාලිතයින් හෙවත් සාමාන්‍ය ජනයා මුසාබස් තෙපලනුයේ පාලකයින්ගේ ප්‍රසාදය දිනාගනු පිණිස ය. තව තවත් පාලකයන්ගෙන් වරදාන ලබා ගනු පිණිස ය. මෙසේ පාලක පාලිත යන උභය පාර්ශවය ම ඔවුනොවුන්ට මුසාබස් තෙපලමින් ඔවුනොවුන් රවටා ගනිමින් කටයුතු කරනු දක්නට ලැබීම මහත් වූ ඛේදනීය තත්ත්වයකි.

වරෙක බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා දේශනා කළේ සම්පජාන මුසාවාදයෙන් යුක්ත වූ පුද්ගලයාට කළ නොහැකි පාපකර්මයක් නොමැති බවයි. සම්පජාන මුසාවාද නම් දැන දැන බොරුකීමයි. ඉතිවුත්තක පාලියෙහි සම්පජාන මුසාවාද සූත්‍රයෙහි අන්තර්ගත වන මෙම කරුණු අද අපට ඉතා මැනවින් පසක් වී තිබේ. දේශපාලකයින් සම්පජාන මුසාවාදීන් හෙවත් දැන දැන බොරු කියන්නන් බවට පත් වී සිටිති. බලලෝභී දේශපාලකයින් මුසාවාදයෙන් සමාජය රවටමින් තමන් සිදුකළ සිදුකරන මහා පරිමාණ වංචා දූෂණ වසාගනිමින් තවදුරටත් තමන්ගේ බලය රැක ගැනීමේ අරගලයක නියැළී සිටින අයුරු දැකගත හැකිය. දේශපාලනයේ දී මුසාවාදය අවියක්කොට ගෙන ඇත්තේ තමන්ගේ පටු දේශපාලන අරමුණු ඉටුකර ගැනීම සඳහා ය. එකිනෙකා පරයා නැඟී සිටීමේ බල තණ්හාවෙන් මත්වූ දේශපාලකයින් බොහෝ සෙයින් තෙපලන මුසාබස් පැතිකඩ තුනක් ඔස්සේ විග්‍රහ කළ හැකිය.

සිදු නොවූවක් වුවා යැයි පැවසීම මෙන්ම සිදු වූවක් නො වූවා යැයි පැවසීම.

සිදු නොවන්නක් වෙනවා යැයි පැවසීම මෙන්ම සිදු වන්නක් නො වෙනවා යැයි පැවසීම.

මතු සිදු නොවන්නක් සිදු වෙනවා යැයි පැවසීම මෙන්ම සිදුවිය හැක්කක් නො වෙනවා යැයි පැවසීම.

දේශපාලනික, ආර්ථික මෙන්ම සංස්කෘතික වශයෙන්ද රටෙහි සිදුවූ පරිහානිය පිළිගැනීමට බොහෝ දේශපාලකයින් තුළ කැමැත්තක් නොමැති බව පෙනී යයි. එබැවින් ඔවුහු මුසාබස් තෙපලති. දේශපාලනයේ දී දේශපාලකයින් බොහෝ සෙයින් මුසාබස් තෙපලනුයේ එකිනෙකාට මඩගැසීමේ මඩ දේශපාලනයේ එක් අංගයක් වශයෙන් මෙන්ම තමන් සිදුකළ මහාපරිමාණ දූෂණ, වංචා, වැරදි වසා ගනිමින් තවදුරටත් බලය රැකගැනීමේ බලකාමිත්වයෙනි. ද්වේෂය, වෛරය, පළිගැනීම, ඊර්ෂ්‍යාව වැනි පාපී චේතනාවන් මෙහෙය වනුයේද මුසාවාදයටයි. මුසාබස් පවසනුයේ අනෙකාගේ දියුණුව දැක ඔහු කෙරෙහි හටගත් ඊර්ෂ්‍යාවෙන් එම තැනැත්තාව විනාශ කිරීමට ය. එසේ නැතිනම් යම්කිසි කරුණකට පළිගැනීමටයි. දේශපාලකයින් මේ සඳහා බොහෝ උපක්‍රමද භාවිතා කරනු ලබයි. ඇතැම් දේශපාලකයින් මාධ්‍ය තුළ මුසාවාද සංදර්ශන ද පවත්වනු ලබති. මේවා දෙස ඇස්කන් අයා නිදිවර්ජිතව බලාසිටින අනුවණයෝ ද සිටිති. ඔවුහු මේවා ඉස්මුදුනින් පිළිගනිති. අදහති. විශ්වාස කරති. මෙවන් අනුවණයින් බොහෝවිට සත්‍ය පසක් වුව ද එය සත්‍යවශයෙන් පිළිගැනීමට මැලිවෙති. මොවුහු මුසාවාදයෙන් තමන් තමන්ව රවටා ගන්නවා සේම අන් අය ද රැවටීමට උත්සාහ දරති. මෙය දේශපාලනයට අද අත්ව ඇති අනුවේදනීය තත්ත්වයයි.

මුසාවාදය තුළින් රටෙහි දේශපාලකයින් පිරිහෙන්නේ යම්සේ ද ඒ හා සමානවම රටෙහි ආර්ථිකය ද පරිහානියට පත්වෙයි. රටෙහි ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් තීන්දු තීරණ ගනු ලබන්නේ දේශපාලකයින් විසිනි. බොහෝ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ දේශපාලකයින් හරහා ය. මේ අනුව දේශපාලකයින් විසින් සිදුකළ, වංචා, දූෂණ මුසාවාදය තුළින් යටපත් කරගැනීමේ ඊළඟ අවාසිය සිදුවන්නේ රටෙහි ආර්ථිකයටයි. මෑතකාලීන දේශපාලනය තුළ දේශපාලකයින් විසින් ආර්ථිකමය වශයෙන් සිදුකළ වංචා, දූෂණ බොහෝ ය. මහා පරිමාණයෙන් මුදල් වංචා කිරීම් මෙන්ම අනෙකුත් සම්පත් වංචා කිරීම්ද සිදුවිය. ඇතැම් අවස්ථාවලදී මෙබඳු මහා පරිමාණ වංචා, අපරාධ ඉතා රහසිගතව සිදුකළ අතර බොහෝ වංචා දූෂණ සිදුකළේ එළිපිටය. මැරවැරකම් මඟින් තමන් සිදුකරන වංචා දූෂණයන්ට එරෙහි වන්නන් මැඬපැවැත්වීමට මෙම දේශපාලකයින් සමත් වූ අතර නීතිය හමුවේ කුමන හෝ උපක්‍රමයකින් ඉන් ගැලවීයාමට ද සමත් වූහ. රටෙහි සංවර්ධනයට මුවා වී මොවුහු මෙලෙස මහාපරිමාණයෙන් වංචා, දූෂණ සිදුකළා මෙන් ම තම බලය රැක ගැනීමේ බලකාමී පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ද වංචා, දූෂණ සිදු කළහ. මොවුන් මෙසේ මහාපරිමාණයෙන් වංචා කළේ රටෙහි ආර්ථික සම්පත්ය. එතුළින් රටෙහි විශාල ආර්ථික පරිහානියක් සිදු වූ බව කවුරුත් දන්නා කරුණකි. කෙසේ වුවද මුසාබස් තෙපලමින් තවදුරටත් තමන් කළ වැරදි සඟවා ගනිමින් බලයේ රැඳී සිටීමට මොවුහු දරන ප්‍රයත්නය පිළිකුලෙන් යුතුව හෙළා දැකිය යුතු ය.

දේශපාලනයේ හා සහ ආර්ථිකයේ පරිහානියට මුසාවාදය යම් තරමකින් බලපාන්නේ ද ඒ හා සමානවම රටෙහි සංස්කෘතික පරිහානියට ද මුසාවාදය බලපායි. කිසියම් රටක, ජාතියක සංස්කෘතිය යනු එම රටෙහි ජාතියෙහි කැඩපතයි. සංස්කෘතිය යම් විදියකින් පිරිහෙන්නේ ද එම රට ද එම ජාතිය ද පරිහානියට පත්වෙයි. සංස්කෘතියක් ගොඩනැඟෙන්නේ සදාචාරය, සභ්‍යත්වය මතය. එබඳු සභ්‍යත්වයෙන් යුතු සදාචාරවත් සංස්කෘතියකට හිමිකම් කී ජාතියකි ශ්‍රී ලාංකීය ජාතිය. එහෙත් නිදහසින් පසු වර්තමානය දක්වා ගත වූ කාලපරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකේය සංස්කෘතිය ක්‍රමයෙන් පරිහානියට පත්වනු දැකිය හැකිය. අවංකත්වය, සාධාරණත්වය, යුක්ති සහගත බව පසක ලා සැමවිටම අනුන් රවටා තම මඩිය තරකර ගැනීමට උත්සාහ දරන පටු ආත්මාර්ථකාමී මිනිසුන් බහුලවීම මෙකී සංස්කෘතික පරිහානියට බලපෑ මූලික හේතුවයි. මුසාවාදයෙන් පිරිහී ඇත්තේ සාමාන්‍ය මිනිසුන් පමණක් නොවේ. සදාචාරයට සභ්‍යත්වයට සංස්කෘතිකත්වයට මඟ පෙන්වන ඇතැම් ආගමික නායකයින් ද නියෝජිතයින් ද මුසාවාදයෙන් පරිහානියට පත්ව තිබේ. ආගමික නායකයින් සැමවිටම ආධ්‍යාත්මික පෝෂණයෙන් යුක්ත වූ ශික්ෂිත පුද්ගලයින් විය යුතු ය. එහෙත් වර්තමානයේ ජනසමාජය තුළ එබඳු ආගමික නායකයින් දැකිය හැක්කේ අතළොස්සකි. මෙම කාරණය බෞද්ධ භික්ෂූන්ට ද පොදු වුවකි. බෞද්ධ භික්ෂූන් යනු සදාචාරවත් සමාජයකට ආධ්‍යාත්මික නායකත්වය දෙන පිරිසකි. එනමුදු වර්තමානයේ බිහිවී සිටින ඇතැම් බෞද්ධ භික්ෂූන් බොහෝ සෙයින් පිරිහී ඇති සෙයකි. ඇතැම් භික්ෂූන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් ආදිය භික්ෂූත්වයට නොගැළපෙන ගර්හිත මිත්‍යා ක්‍රියාකාරකම්වල නියැළෙමින් මුදලට ගිජුව කටයුතු කරනු දැකිය හැකිය. භික්ෂු වේශයෙන් පෙනී සිටිමින් ගිහියන් සේ කටයුතු කරන මොවුහු තැන තැන තවමත් සිටීම ශාසනික පරිහානියට හේතුවකි. මුසාබස් තෙපලමින් ධර්මය විකෘති කරමින් ශාසනික සම්ප්‍රදායට පටහැනිව ක්‍රියා කරන මෙම අලජ්ජී භික්ෂූහු අධිසුඛෝපභෝගි ජීවිත ගත කරමින් සම්බුද්ධ ශාසනයට සිදු කරනුයේ අති මහත් හානියකි. ඛේදනීය තත්ත්වය නම් මොවුන් ශාසනික සම්ප්‍රදායන් නිර්භයව විවේචනය කරමින් විවිධ වූ මිථ්‍යා මතවාද මිනිස් සමාජය තුළ පැතිරවීමය. එමෙන්ම මොවුන්ගේ මුසාබස් ඉස්මුදුනින් පිළිගෙන ඒ ඔස්සේ කටයුතු කරන විශාල අනුගාමිකයින් පිරිසක් ද කලින් කලට බිහිවීම කනගාටුදායක කරුණකි. මෙම කරුණෙහිලා උත්තරිමනුස්සධම්ම පාරාජිකාපත්තිය යළිඳු සිහිපත් කරනු කැමැත්තෙමි.

මෙහිදි බුදුරජාණන් වහන්සේගේ දේශනාවක් සිහිපත් කරනු කැමැත්තෙමි. සුත්ත නිපාතයේ පරාභව සූත්‍රයේ දී පෙන්වාදෙන පරිදි යම් කිසිවෙකු ආගමික නායකයින්, උගතුන්, බුද්ධිමතුන් මුසාවාදයෙන් රවටයි නම් එය පිරිහීමට හේතුවන ප්‍රධාන කරුණුවලින් එකකි. මුසාවාදය මහත්ම පාප කර්මයකි. දැන දැන මුසාබස් පවසන පුද්ගලයාට කළ නොහැකි පාපකර්මයක් නැතැයි යන සම්බුද්ධ දේශනාව මෙහිලා යළි යළිත් සිහිපත් කරනු කැමැත්තෙමි.

 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]