UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

වෙසක් අව අටවක 2015.05.11

දිනයේ උතුම් බව

අසිරිමත් වෙසක් පුර පසළොස්වක පොහොය ගෙවී යත්ම උදාවන සතර පොහොය දිනයන්හි වෙසක් අව අටවක පොහොය දිනය අද උදාවී ඇත. පසළොස්වක අවඅටවක, අමාවක සහ පුර අටවක යනුවෙන් මසකට පොහොය දින හතරක් උදාවෙයි. එහෙත් ඇතැම් බෞද්ධයන් බොහෝ දුරට දැනුම්වත්ව සිටින්නේ මසකට වරක් උදාවන ප්‍රධාන පොහොය දිනය වන පුර පසළොස්වක පොහොය දිනය ගැනය. ඒ අතර නගරයේ මෙන්ම ග්‍රාමීයවද බොහෝ විහාරස්ථානවලදී සතර පොහොයටම සීල සමාදාන පින්කම් ඇතුළු බොහෝ පින්කම් පැවැත්වේ. ඇතැම් විට පසළොස්වක පොහොය දින මෙන් අනෙකුත් පොහොය දිනවලදී අවම වශයෙන් ධර්ම දේශනාදී පින්කම් හෝ පවත්වා මසකට ඇතුළත්වන සතර පොහොය පිළිබඳව බෞද්ධයන් දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවද ප්‍රකට කරුණකි.

අනෙකුත් පොහොය දිනවලදී කවර හේතුවක් නිසා මග හැරී ගියද වෙසක්, පොසොන්, ඇසළ ආදී පසළොස්වක පොහෝ දිනයන්හිදී පෙහෙවස් සමාදන්වීම සිරිතක්ව පවතී. කවර හෝ අතපසු වීමකින් එවන් උතුම් දිනයක පෙහෙවස් සමාදන්වීමට නොහැකි වුවහොත් ඒ ගැන පසුතැවෙනු ඇත.

ඈත අතීතයේ පෙහෙවස් සමාදන් වීම පොහොය දින පැය දොළහකට පමණක් සීමා නොවූවකි. අද පවා බොහෝ වෙහෙර විහාරස්ථානවල පොහොය දින විසිහතර පැයේම සිල් පවාරණයකින් තොරව සිල්වත්ව හා ගුණවත්ව එදින ගත කරන බෞද්ධයන් ලක්ෂ ගණනකි. පොහොය දින අටසිල් හෝ දසසිල් සමාදන් වී විසිහතර පැය පුරාම සිල්වතෙකු ලෙස ගත කරන ජීවිතය ආධ්‍යාත්මික ගමන් මගෙහි මහත් සැනසීමක් ලබන මඟකි. පොහොය දිනය පුරාම ප්‍රතිපත්ති පූජාවෙහි යෙදෙනුයේ එහි අගය වටිනාකම මැනවින් අවබෝධ කර ගැනීම තුළිනි.

ආමිස පූජාව සහ ප්‍රතිපත්ති පූජාව යන දෙආකාරයෙන්ම බුදුරජාණන් වහන්සේ පිදීමට අවස්ථාව ඇත. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත්, ගෞරවයත් වර්ධනය කර ගනිමින් ආමිස පූජාවෙහි නිරත වුවද එම ආමිස පූජාවෙන් ප්‍රතිපත්ති පූජාවටද නැඹුරුවීමට උනන්දු විය යුතුය.

උදාවූ අසිරිමත් වෙසක් පොහොයටම පමණක් දෙවැනි වන තවත් ඓතිහාසික පොහොය දිනයක් තවත් දින කීපයකින් උදාවෙයි. එනම් අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ මෙරටට වැඩම කළ පූජනීය ඓතිහාසික දිනය අනුස්මරණය කරන දවස පොසොන් පුර පසළොස්වක පොහොය දිනයයි.

ඓතිහාසික පොහොය දිනයන්හි වටිනාකම අවබෝධ කරගත් බොහෝ දෙනා පොහොය දිනය ආගමික දිනය ලෙසම සලකා එදින කය, සිත, වචනය යන තුන්දොර සංවරව කටයුතු කිරීමට පුරුදු පුහුණු වී සිටිති. අතීත මුතුන් මිත්තන් පරපුරෙන් පරපුරට නිහඬව අප වෙත කියා දුන් මහඟු, ආදර්ශයක් ද වනුයේ අනෙකුත් දිනයන්ටත් වඩා පොහොය දිනයන්හි තෙරුවන් කෙරෙහි අපමණ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් ක්‍රියා කළ යුතු බවයි. ගුණබර ජීවිතයක් ගත කිරීමෙහිලා පොහොය දින පමණක් සිලවත්ව විසීමෙන් සෑහීමට පත් විය නොහැකිය. පොහොය දිනයෙන් අරඹන සිල්වත් බව, ගුණවත් බව ජීවිතයේ හැම මොහොතකම වර්ධනය කරගත යුතුය. පෝෂණය කළ යුතුය. ආරක්ෂා කළ යුතුය.

එළඹෙන පොසොන් පෝදා තම දිවි ගමනේ අනුස්මරණීය දිනයක් ලෙස ගත කිරීමට ආගමික වශයෙන් දහම්හි හැසිරෙමින් ධර්මානුකූල ජීවිතයත් ගත කිරීමට අදිටන් කර ගනිමු. එය අනුබුදු හිමියන් අනුස්මරණය කැරෙන මහඟු ක්‍රියාවක් වනු ඇත.

 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]