UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 37

සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 37

දඹදිව බුද්ධ වන්දනාවේ යෙදෙන විට සැවැත්නුවර නව ජේතවනාරාම විහාරයේ ඇති බිතු සිතුවම් නැරඹීමට කල්පනා කළෙමු. එය අංක පිළිවෙළින් ලියා දක්වමි. එම විහාරයට ඇතුළු වී මේ සිතුවම් රාමු දෙස මොහොතකට බලන්න.

1. ජේතවන උයන මිලදී ගැනීම.

අනේපිඬු සිටුවරයා රන් කහවණු අතුරා ජේත කුමාරයාගෙන් ඉඩම ලබාගන්නා අයුරු. කරත්තවල පටවාගත් රන් කහවණු බිම අතුරන අයුරු පැහැදිලි වේ. (සිතුවම් අංක 06, 07)

2. ආනන්ද බෝධිය රෝපණය කිරීම.

බුදුරජාණන් වහන්සේගේ උපදෙස් පරිදි මුගලන් මහරහත් හිමියන් විසින් බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධියෙන් ගෙන ආ බෝ ඵලය ආනන්ද හාමුදුරුවන් හා අනාථ පිණ්ඩික සිටුවරයා විසින් රෝපණය කිරීම. බුදුරජාණන් වහන්සේ ද, මුගලන් සහ සැරියුත් මහ රහතන් වහන්සේලා කොසොල් රජතුමා හා මල්ලිකා දේවිය බලා සිටීම. (සිතුවම් අංක 08)

3. පූර්වාරාමය කරවීම.

විශාඛාව විසින් තම මේල පළඳනාව විකුණන ලද මුදලින් නගරයේ නැගෙනහිර දොරටුව අසල පූර්වාරාමය කරවා බුදුරජාණන් වහන්සේට පූජා කරන ලදී. බුදුරජාණන් වහන්සේ එහි වස් කාල 06ක් වැඩ වාසය කළ සේක. මුගලන් රහත් හිමියෝ උපදෙස් දෙති. විශාඛාව සේවකයන්ට අණ කරයි. සේවකයෝ ලහි ලහියේ වැඩ කරති. (සිතුවම් අංක 09)

4. චක්ඛුපාල හිමියන්ගේ කතාව


ජේතවනාරාම පින් බිම

බුදුරදුන් කිසා ගෝතමියට පිහිට වීම

පෙර සංසාරයේ කරන ලද පවුකම් ඵලදීම මඟින් ඇස් අන්ධ වීම හා කරන ලද පින් ඵල දී රහත් භාවයට පත් විය. චක්ඛුපාල හිමියන්ගේ ඇස් අන්ධ වීම සහ රහත් වීම එකවර සිදුවිය. (සිතුවම් අංක 10) චක්ඛුපාල හිමි සක්මන් භාවනාවේ යෙදෙන අයුරු නිරූපණය වේ.

5. මට්ටකුණ්ඩලීගේ කතාව

තම පියාගේ අධික මසුරුකම නිසා මරණයට පත් වීමට මට්ටකුණ්ඩලීට සිදුවිය. නමුත් බුදු රදුන් කෙරෙහි සිත පහදා ගනිමින් දෙව්ලොව උපදින ලදී. (සිතුවම් අංක 11 ) මට්ටකුණ්ඩලී ඇඳේ වැතිර සිටින විට බුදුරදුන්ගේ ඡායාව මට්ටකුණ්ඩලීගේ ඉදිරිපස බිත්තියේ ඇඳී ඇත.

6. කාලි යක්ෂණියගේ කතාව

පෙර ආත්ම භවයන්හි සිට එන වෛරය නිසා දරුවන් මරා කයි. තම දරුවා බේරා ගැනීම සඳහා තම දරුවා රැගෙන බුදුරජාණන් වහන්සේ හමුවට යයි. එමනිසා දරුවා බේරා ගැනීමට හැකියාව ලැබිණි. (සිතුවම් අංක 12) බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ දහම් දේශනා කරයි. දරුවා සමඟ මව ද පසක සිටියි. කාලි යකින්නද ඉදිරියෙන් සිටියි.

7. අරුනුවන් මැටි හා කඩුපුල් මල් ගෙන ඒමට ගිය දුගී සේවකයාගේ කතාව

ජනපද චාරිකාවේ යෙදුණු කොසොල් රජු සුන්දර ස්ත්‍රියක් දැක ඇය පිළිබඳව රාගය උපදවාගෙන ඇයගේ ස්වාමියා රාජ්‍ය සේවයට සම්බන්ධ කරගෙන ඔහුට අරුනුවන් මැටි හා කඩුපුල් මල්ගෙන ඒමට නියෝග ලැබිණි. ඔහු මේවා රැගෙන එන විට රජු නුවරට ඇතුල් වන දොරටු වසා තිබූ නිසා බුදුරජාණන් වහන්සේ හමුවට ගොස් ධර්මය අසා සිත පහදා ගත්තේ ය. (සිතුවම් අංක 16) බුදුරදුන් අබියස කොසොල් රජු හා මල්ලිකා දේවියත් ඊට පසෙකින් සේවකයාත් සිටියි.

8. යමක මහා ප්‍රාතිහාර්යය

තීර්ථකයන් නිරන්තරවම බුදුරජාණන් වහන්සේට අපහාස කළහ. එම හේතුව පදනම් කරගනිමින් බුදුරජාණන් වහන්සේ තෙවන වරට යමක මහා ප්‍රාතිහාර්යය පා ඉන් අනතුරුව තම මවට දහම් දෙසීම සඳහා තුසිත දෙව්ලොවට වැඩම කළ සේක. (සිතුවම් අංක 24) ගන්ධබ්භ වෘක්ෂය අබියස යමා මහා පෙළහර පෑම. නිගණ්ඨයන් හිස් ලූ ලූ අත දිව යාම හා මිනිසුන් සාධුකාර දීම මෙහි සිතුවම් වේ.

9. විඩූඨභ රජු විසින් ශාක්‍ය සංහාරය කිරීම.

තමන්ට ශාක්‍යයන් අවමන් කිරීම නිසා අධික කෝපයට පත් විඩුඩභ ශාක්‍ය සංහාරය සඳහා තෙවතාවක් ම උත්සාහ කළ ද බුදුරදුන්ගේ මැදිහත්වීම නිසා එය අසාර්ථක විය. නමුත් හතරවන වරට සූදානම් වී ශාක්‍යයන් මරා දමන ලදී. ඉන්පසු අචිරවතී වැලි තලාවේ නවාතැන් ගත්හ. මහා ජල කඳක් පැමිණ විඩූඩභ හා පිරිස ගසාගෙන ගොස් විනාශ වූහ. (සිතුවම් අංක 15) විඩූඩභගේ යුද සේනාව අචිරවතී ගඟේ ගසාගෙන යන අයුරු සිතුවම් වේ.

10. පූතිගත්තතිස්ස හිමිගේ කතාව

කිසිවකුගේ පිහිටක් නොමැති ව සැරව ගෙඩිවලින් මුළු ශරීරයම වැසී තිබුණු තිස්ස භික්ෂුවට උපස්ථාන කරමින් බුදුරජාණන් වහන්සේ ගිලානෝපස්ථානය බුදුන්ට කරන උපස්ථානයක් බවට ප්‍රකාශ කරමින් තිස්ස භික්ෂුව නහවා පිරිසුදු කර ධර්මය දේශනා කරමින් උතුම් රහත් භාවයට පත් කරන ලදී. (සිතුවම් අංක 14) බුදුරජාණන් වහන්සේ පූතිගත්තතිස්ස හිමිට උවටැන් කරයි. ආනන්ද හිමියන්ද භාජනයක් අතැති ව ළඟින් සිටී.

11. අංගුලිමාල කතා පුවත

සැවැත්නුවර සිටි අහිංසක කුමරු හට තම ගුරුවරයාට ගුරු පඬුරු පිණිස ඇඟිලි පූජාවක් සිදු කරන්නට නියම විය. මේ නිසා මිනිසුන් මරා ඇඟිලි කපන නිසා ඔහු අංගුලිමාල විය. මිනිසුන් 999 දෙනෙකු මරා ඇඟිලි දහස සම්පූර්ණ කිරීමට තව ඇඟිල්ලක අවශ්‍යතාවය තිබූ අතර මව මරා හෝ එම ඇඟිල්ල ලබා ගන්නට උත්සාහ දරන්නට පෙර බුදුරජාණන් වහන්සේ එම ස්ථානයට වැඩම කර අංගුලිමාල දමනය කර උතුම් රහත් හිමි නමක් බවට පත් කළ සේක. (සිතුවම් අංක 22 ) මහ වනය මැද බුදුරජාණන් වහන්සේ පසුපස අංගුලිමාල ලුහුබඳී. අංගුලිමාලගේ මව පසෙකින් පැමිණෙයි.

12. පටාචාරා කතා පුවත

සැවැත්නුවර ධනවත් පවුලක විසූ පටාචාරා තම මාලිගාවේ සේවකයකු සමඟ හොර රහසේ පැන ගොස් දරුවන් ලබා අචිරවතී ගඟෙන් එගොඩ වාසය කළා ය. තම දෙමාපියන් බලන්නට සැවැත්නුවරට පැමිණෙන විට ඇයට තම ස්වාමියා හා දරු දෙදෙනා ද අහිමි ව තිබූ අතර සැවැත්නුවරට පැමිණෙන විට තම පියා, මව හා සහෝදරයා ද ඇයට අහිමි ව තිබුණි. සම්පූර්ණ මනස ම විකෘති වී ඇය පිස්සියක් බවට පත් විය. (සිතුවම් අංක 19) අචිරවතී නදියේ දරුවෙකු ගසාගෙන යන අයුරු, තවත් දරුවකු උකුස්සකු ඩැහැගෙන යන අයුරු හා ස්වාමියාට නයෙක් දෂ්ඨ කිරීමෙන් මියගොස් ඇති ආකාරය සිතුවම් ව ඇත. තවද එම සිදුවීම් නිසා සිහිවිකල් වූ ඇය දිවයන අයුරු ද දකුණු පස දම් සභා මණ්ඩපය තුළ බුදුරජාණන් වහන්සේ පටාචාරාවට ධර්මය දෙසන අයුරු ද සිතුවම් වල ඇත.

13. කිසාගෝතමී කතා පුවත

අප්‍රමාණ දරු සෙනෙහස නිසා තම මියගිය පුතු තුරුලු කරගනිමින් බෙහෙත් සොයා සැවැත්නුවර පුරා ඇවිද අවසානයේ දී බුදුරජාණන් වහන්සේ වෙත පැමිණ දරුවාට සුවය ලබාදෙන ලෙස ඉල්ලා සිටි අතර බුදුරජාණන් වහන්සේ දරුවා සුව කරන්නට නො මළ ගෙයකින් අබ මිටක් අරන් එන්න යයි දෙසූ සේක. මේ නිසා අබ සොයා ගිය කිසාගෝතමියට මරණය සැමට පොදු බව දැන තම මියගිය පුතු සොහොනකට දමා නැවත ජේතවනාරාමයට ගොස් බණ අසා උතුම් රහත් තෙරණියක් බවට පත් වූවා ය. (සිතුවම් අංක 20) බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ වැඩ වාසය කරන විට කිසාගෝතමිය මළ දරුවා රැගෙන පැමිණ ඇති අයුරු සිතුවම් ව ඇත.

14. කොසොල් රජුගේ බිරිඳ, මල්ලිකා බිසවට දුවක් ලැබීමේ කතා පුවත

කොසොල් රජු නිතර නිතර බුදුරජාණන් වහන්සේ හමුවීමට ජේතවනාරාමයට යන එන අතර පැමිණ බුදුරජාණන් වහන්සේ හා සුහද පිළිසඳරක යෙදෙන්නට විය. රාජපුරුෂයෙකු පැමිණ මල්ලිකා බිසවට දුවකු ලැබුණු බව කියා සිටි අතර රජු මහත් කනස්සල්ලට පත්ව සිටී. නමුත් බුදුරජාණන් වහන්සේ ස්ත්‍රීන්ගේ වටිනාකම දක්වමින් “ධීතු සූත්‍රය” දේශනා කළ සේක. (සංයුක්ත නිකාය) (සිතුවම් අංක 21) වම් පස මල්ලිකා දේවියට දුවක් ඉපදීම දකුණු පස රාජපුරුෂයන් හා පණිවිඩකරු රජුට පණිවුඩය දැන්වීම රජතුමා කනස්සල්ලෙන් පසුවීම හා බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කිරීම.

15. චිංචි මානවිකාව බුදුරදුන්ට අපහාස කිරීම.

බුදුරජාණන් වහන්සේගේ කීර්ති නාමයට අවමන් කිරීම සඳහා තීර්ථකයන් චිංචි මානවිකාව යොදාගත් අතර ඇය බුදුරජාණන් වහන්සේට අපහාස කිරීම සඳහා දරු ගැබක් ලෙස දර මිටියක් කුසේ බැඳ තමන්ට දරු ගැබක් ඇති බවත්, එම දරුවාගේ පියා බුදුරජාණන් වහන්සේ බවත් කියා චෝදනා කළාය. බලාසිටි මිනිසුන්ට පුදුම උපදවමින් ශක්‍ර දෙවියන් පැමිණ. දරුගැබ ලෙස මවාපෑ දර මිටියේ රැහැන් පොටවල් කපා දමන ලදී. මේ නිසා ලැජ්ජාවට පත් ඇය දුවන්නට වූවා ය. අවසානයේ දී බුදුරජාණන් වහන්සේට අපහාස කිරීමට පැමිණි ඇය අවීචි මහා නරකයට ඇදගන්නා ලදී. (සිතුවම් අංක 23) බුදුරජාණන් වහන්සේ දම් සභා මණ්ඩපයේ වැඩ සිටින අතර චිංචි මානවිකාව බුදුරජාණන් වහන්සේට චෝදනා කරයි. මිනිසුන් පුදුමයෙන් බලා සිටියි.

තවත් කොටසක් වෙසක් අමාවක පොහෝදා මැයි 17 වනදා පත්‍රයේ


සම්බුදු උපත සිදුවූ බුද්ධභූමි වන්දනාව 36

 

 

 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]