UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

 පූජාච පූජනීයානං

දිඹුල්කුඹුරේ ශී‍්‍ර සරණංකර විමලධම්ම අනු නාහිමි

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ගෞරවාර්හ දිඹුල්කුඹුරේ ශ්‍රී සරණංකර විමලධම්ම නාහිමිපාණන්ගේ 75 වෙනි ජන්මෝත්සවය අපේ‍්‍රල් 16 වෙනිදාට යෙදී තිබුණි.

යටිනුවර වතුර කුඹුර කණිෂ්ඨ විදුහලේ ධර්මාචාර්ය නමක් වශයෙන් අධ්‍යාපන සේවයට පිවිස නියෝජ්‍ය විදුහල්පති, විදුහල්පති වශයෙන් වසර පහළොවක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිරතවු විමලධම්ම අනුනායක හිමියෝ, දරුවෙකු වශයෙන් මල්වතු මහා විහාරයට වර්ෂ 1950.12.23 මුලින්ම පැමිණ කුඩා අවධියේදීම මල්වතු මහා විහාරයීය සංඝරාජ මහ පිරිවෙන ධර්ම මූල ස්ථානය කරගෙන ධර්ම ශාස්ත්‍රය ප්‍රගුණ කර ගත්හ. අමුණුගම ශ්‍රී රාජගුරු විපස්සි මහානායක මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් හා පණ්ඩිත රත්හින්දේ අනෝමදස්සි ලේඛකාධිකාරි පණ්ඩිත රඹුක්වැල්ලේ සුමංගල හිමියන මහ තෙරවරුන්ගේ කර්මාචාර්යත්වයෙන් ඓතිහාසික මංගල උපෝසථාගාරයේදි 1965.12.30 වෙනි එකම දින පැවිද්දත්. උපසම්පදාවත් ලබාගත්තේ ගුරුදේවයන් වහන්සේලාවන ඉලුක්වත්තේ ධම්මානන්ද වතුරුකුඹුරේ ඤාණවිමල මහතෙරවරු දෙනමගේ ආචාර්යත්වයෙනි. සසුන් කෙතත් මහ සඟ පරපුරත් බැබළවු අමුණුගම රාජගුරු ශ්‍රී විපස්සි , පණ්ඩිත පහමුණේ , ගුණානන්ද පණ්ඩිත ලේඛකාධිකාරි යටිගම්මන ඤාණවිමල පණ්ඩිත රත්නින්දේ අනෝමදස්සි යන මල්වතු මහා විහාරයේ බහුශ්‍රැත පඬිරුවන් වෙතින් සංඝරාජ පිරිවෙනේ දීප්තිමත් ධර්මධර ශිෂ්‍ය රත්නයක් වීමට විමලධම්ම අනුනායක හිමිපාණන්ට හැකි විය. එම අධ්‍යාපනයේ ප්‍රගුණතාවය නිසාම 1970 -1975 යුගයේ කොළඹ විශ්ව විද්‍යාලයේදි ඉතිහාසය විෂය පිළිබඳව ගෞරව උපාධිය හිමිකරගත් විමලධම්ම අනුනායක හිමියෝ පණ්ඩිත සිරිමල්වත්තේ විමලකීර්ති ශ්‍රී සුමන මල්වතු මාහිමිපාණන් විසින් මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවට පත්කරනු ලැබූහ. අවස්ථා දෙකදීම ශ්‍රී දළදා සමිඳු තේවාවෙහි නිරතව ශ්‍රී දළදා වහන්සේ වෙනුවෙන් සිදුකරනු ලබන චාරිත්‍ර වාරිත්‍ර වත්පිළිවෙත් ඉටු කරමින් ශ්‍රී දළදා මාලිගාවේ ආගමික කටයුතුවල නිරතවිය. මල්වතු මහා විහාරයීය විංශත් වර්ගික කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි වශයෙන් තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මාහිමි විසින් පත් කරන ලදී. මල්වතු මහා නා හිමි විහාරයීය අනුනායක පදවියට කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් තෝරා පත් කරගත් විමලධම්ම නාහිමියෝ ගැරැප්පිටිය රණවන යන පුරාණ විහාරයන්හි ආධිපත්‍ය දරමින් එහි අද පවතින ශාසනික දියුණුවේ ආදි කර්තෘවරයන් විය.

අපේ‍්‍රල් 16 වෙනිදා 75 වියට පත් උපාධ්‍යාය ශාස්ත්‍රවේදී පණ්ඩිත ගෞරවාචාර්ය දිඹූල්කුඹූරේ ශී‍්‍ර සරණංකර විමලධම්මාභිධාන මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේට තව තවත් සම්බුද්ධ ශාසනයට මහත් කාර්ය භාරයක් ඉටුකිරීමට ශ්‍රී දළදා වහන්සේගේ ආශිර්වාදය හිමිවේවා යයි ප්‍රාර්ථනා කරමු!


මාදෝවිට පඤ්ඤාකිත්ති නාහිමි

සුපේෂල ශික්ෂාකාමී සංඝසෝභන මහ යතිවරයන් වහන්සේ නමක් වන හෝමාගම පුරාණ විහාරාධිපති කෝට්ටේ ශ්‍රී සාමගි‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ සීනාදී සිව් කෝරළයේ ප්‍රධාන සංඝ නායක ධුරය උසුලන විශ්‍රාම ලත් බුද්ධ ධර්ම ගුරු උපදේශක ශාස්ත්‍රවේදී මාදෝවිට පඤ්ඤාකිත්ති නායක ස්වාමින්ද්‍රයාණෝ වෙසක් මස 10 වන දින තම පින්බර දිවියේ සිව් සැත්තෑවෙනි විය සැපිරූහ.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයට අයත් මාදෝවිට නම් වූ ගම් පියසේ 1941.05.10 වන දින නවරත්න මුදියන්සේලාගේ කිරිබණ්ඩාර පියතුමන්ගේ සහ නවරත්න මුදියන්සේලාගේ බණ්ඩාර මැණිකේ මෑණියන්ගේ කනිටු පුතු ලෙස ජන්ම ලාභය ලබා තිබේ. කලුබුලුලන්ද රජයේ විද්‍යාලයෙන් සිල්ප සතර හදාරා 1952 දී උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත්වූහ. දියතලාව සුධර්මාලංකාර පිරිවෙන පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන වැනි අධ්‍යාපන ආයතනයන්හි නේවාසිකව පිරිවෙන් අධ්‍යාපනය ලබා ඇති අතර, 1968 වර්ෂයේ අධිසීල සංඛ්‍යාත උතුම් උපසම්පදා භූමියට පත්වූහ. එම වර්ෂයේදීම තම ගුරු දේවයන් වහන්සේලාගේ නොමඳ ආශිර්වාදයෙන් වත්මන් හෝමාගම අතුරුගිරිය පාරේ පුරාණ මහා විහාරස්ථානය ලෙසින් හැදින්වෙන “බිත්තිවල කුඹුර පංසල” යන නමින් ප්‍රදේශවාසී බෞද්ධ ජනතාව අතර ප්‍රසිද්ධව පැවති විහාරස්ථානය අවශ්‍ය විහාරාංග සම්පූර්ණ කිරීමේ අභියෝගාත්මක ඉදිරි ගමනකට පියවර තැබූහ.

වර්තමාන සංඝ සමාජයට ආදර්ශමත් සංඝ පීතෘවරයන් වහන්සේ නමක් ලෙසින් ගිහි පැවිදි සැමගේ ගෞරවයට පාත්‍රවෙමින් වැඩ වසන පඤ්ඤා කිත්ති නාහිමියෝ 1970 සිට 2003 දක්වා කාලය පුරා 33 වසරක් නිතරඟයෙන් හෝමාගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි ධුරය ඉසිලීමත්, එතැන් සිට සයවරක් සභාපති ධුරය දැරීය. විහාරස්ථ ශ්‍රී මහින්දෝත්සව සමිතියට අනුශාසනා හා මගපෙන්වීම් ලබාදෙමින් වසරක් පාසා පවත්වනු ලබන අරහත් මිහිදු මාහිමි ගුණ සැමරීමේ බෞද්ධ සංස්කෘතික විහාරස්ථ සිරිසීවලී දහම් පාසල තුළින් ප්‍රදේශවාසී බෞද්ධ දූ දරුවන් දහසක අධික සංඛ්‍යාවක් දහම් අධ්‍යාපනය ලබන අතර, එහි නියමුවාණන් වන්නේද මාදෝවිට මාහිමියන්ය. 1976 සිට 1988 වසර දක්වා රජයේ පාසල් ආචාර්යවරයෙකු ලෙස කළුපහන විද්‍යාලය, ඕපනායක විද්‍යාකර විද්‍යාලය, හෝමාගම මහ විද්‍යාලයන්හි සේවය කර තිබේ. හෝමාගම විද්‍යාවර්ධන පිරිවෙනේ ආචාර්යවරයෙකු ලෙසින් කළ සේවයද ප්‍රශංසනීය වේ. ධර්මකීර්ති ශ්‍රී ශාසනජෝති , ශ්‍රී ගෞතම රත්න විභූෂණ , ශ්‍රී සද්ධර්ම වාගීස්වර මුළු දිවයිනටම සාමවිනිසුරු යන ගරු නාම සම්මුතියෙන් පිදුම් ලබා ඇත්තේ උන්වහන්සේ විසින් සිදු කළ ආගමික ,සාමාජික අධ්‍යාපනික සේවයට උපහාර වශයෙනි. ප්‍රදේශයේ වියත් විශාරද ධර්ම දේශකයන් වහන්සේ නමක් ලෙසින්ද ක්‍රියාකර පන්සැත්තෑවියට පාතබන මාදෝවිට පඤ්ඤාකිත්ති නායක ස්වාමීන් වහන්සේ වයෝවෘද්ධ , ගුණ වෘද්ධව, තපෝවෘද්ධව විවේක සුවෙන් කල් ගෙවති. හෝමාගම පුරවරයේ බෞද්ධ පුණරුදය ද උද්දීපනය වන අයුරින් ශාසනාරක්ෂක මණ්ඩලය තුළින් ඉතා දිගු කලක් නිහඬ විශිෂ්ට බෞද්ධ සමාජ මහා මෙහෙයක් ඉටුකර ඇත.

උන්වහන්සේට ශතවර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගිව දිගාසිරි ලබමින් ලෝ සසුන් වැඩ සලසන්නට උතුම් ජයශ්‍රී මහා බෝධිරාජයන් වහන්සේගේ ආශිර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.


පහමුණේ ශ්‍රී සුමංගල නාහිමි

මහනුවර මල්වතුමහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරි පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අංශයේ වැඩ බැලූ අංශාධිපති ඓතිහාසික සෝමවතී රජමහා විහාරාධිපති දර්ශනපති රාජකීය පණ්ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන්ගේ ඉකුත් 25 වෙනිදාට යෙදී තිබුණ 63 වෙනි ජන්මෝත්සවය නිමිත්තෙන්, උන්වහන්සේට දිඝාසිරි ප්‍රාර්ථනා කිරීමේ ආගමික වැඩසටහන් මාලාවක් ඓතිහාසික රජමහා විහාරයේදී පැවැත්වීමට දායක සභාව කටයුතු යොදා තිබුණි.

1954 අපේ‍්‍රල් මස 25 වෙනිදින වෑඋඩවිල්ලිහත්පත්තුවේ පහමුණේ (මීගොල්ල) දී උපත ලබා 1959 සිට 1967 දක්වා ඉබ්බාගමුව මධ්‍ය මහා විදුහලෙන් ගිහි අධ්‍යාපනය ලබා 1968 මැයි 8 දින පණ්ඩිත පහමුණේ ධර්මකීර්ති ශී‍්‍ර සරණංකර ගුණානන්ද අනුනායක හිමිගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ලෙස පණ්ඩිත සිරිමල්වත්තේ ආනන්ද මාහිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් පැවිදි බිමටත් 1974.06.12 දින උපසම්පදා ශීලයටත් ඇතුලත් වූ සුමංගල නාහිමියෝ සංඝරාජ පිරිවෙනෙන් ධර්ම ශාස්ත්‍රය ලබා එහි නියෝජ්‍ය පරිවෙණාධිපති ධුරයටත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සම්භාව්‍ය භාෂා අංශයේ වැඩබැලූ අංශාධිපති ධුරයටත් පත්වූහ. අධ්‍යාපන ක්ෂේත්‍රයේ භාෂා අංශයන්හි විවිධ තනතුරු දරමින් ධර්ම ශාස්ත්‍රීය සේවාවන්හි නිරතවන සුමංගල නාහිමියෝ ග්‍රන්ථකර්තෘවරයෙකු මෙන්ම පුවත්පත්වලට බෞද්ධ විශේෂාංග ලෙස ලියා ඇති ලිපි, ග්‍රන්ථ සිය ගණනකි. පණ්ඩිත පහමුණේ සුමංගල නාහිමිපාණන්ට දිඝාර්යුෂ ප්‍රාර්ථනා කරමු.

 

  වෙසක් අව අටවක පෝය

වෙසක් අවඅටවක පෝය මැයි මස 11 වැනි දා සඳුදා පූර්වභාග 05.04 ට ලබයි. 12 වැනිදා අඟහරුවාදා පූර්වභාග 03.05 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම මැයි මස 11 වැනිදාය.

 මීළඟ පෝය
මැයි මස 17 වැනිදා ඉරිදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

මැයි 11

Full Moonඅමාවක

මැයි 17

First Quarterපුර අටවක

මැයි 25

Full Moonපසෙලාස්වක

ජුනි 02


2015 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2015 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]