UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

දම්පද මිහිර 11 පින් පිරුණ ජීවිත දෙලොවම සතුටු වනු ඇත

දම්පද මිහිර 11

පින් පිරුණ ජීවිත දෙලොවම සතුටු වනු ඇත

ලෝකය පුරාම මිනිසුන් සොයන්නේ සැප නේද ? ඒ සඳහා විවිධ පර්යේෂණ කරමින් ලෞකික සැපයට අවශ්‍ය නිමැවුම් කරනවා. පංචකාම ගුණික තත්වයන් උසස් කරගන්න වෙහෙසෙනවා. විද්‍යාත්මක ලෝකයේ සියවස් ගණනාවක් පුරා කරන ලද ඒ පර්යේෂණවලින් සැප පිණිස සොයාගත් දෑ බොහෝමයි. ඒ තුළින් සියලු ලෝ වැසියන්ටම මේ වන විට උපරිම සැප විඳින්න පුළුවන් වෙන්න ඕන. ඒත් සැප විඳි කෙනෙක් හෝ විඳින කෙනෙක් හෝ සිටිනවාද?

බෞද්ධ ඉගැන්වීමට අනුව නම් පින කියන්නේ සැපයට කියන තවත් නමක් (සුඛො පුඤ්ඤස්ස උච්චයො) පින් නැති තැන සැප නැහැ. පින් ඇති තැන සැප තියෙනවා. හැබැයි ඒ ලෞකික සැප ගැන මිස ලොව්තුරු සැප ගැන නොවෙයි.

සම්මුති ලෝකයේ සැප විඳින මිනිසුන් ලෙස අප දකින්නේ ලස්සනට ගේ දොර තියෙන, සැප පහසුකම් සහිත යාන වාහන ඇති, සෙසු පංච කාම ගුණික අවශ්‍යතා සපුරාගෙන සිටින පුද්ගලයන්ටයි. ඒත් එවැනි සම්පත් ඇති අය අතර කී දෙනෙක් සැප විඳීමට පුණ්‍යවන්ත වී තියෙනවද? අවශ්‍ය සියල්ල තිබියදීත් නිසි වෙලාවට ආහාර ටිකවත් ගන්න වෙන්නේ නැති, සුව නින්දක් ලබන්න වරම් නැති, නිවස තුළ හෝ සේවා ස්ථානයේ හෝ තැවිල්ලෙන් හා දැවිල්ලෙන් කල් ගෙවන අය කොපමණ සිටිනවාද? ඒ සියලු සම්පත් තිබියදි සැපසේ ජීවත් වන අයෙක් වේ නම් ඒ කලාතුරකින්. ඒ වගේමයි, සම්පතින් ආඪ්‍ය නොවුණත් සැපසේ සිටින අය පැල්පතක ඉන්නත් පුළුවන්.

සැප ලබන්නත් සැප විඳින්නත් අවශ්‍ය වෙන්නේ භෞතිකව පොහොසත් වීම නොවෙයි. ආධ්‍යාත්මිකව පොහොසත් වීමයි. ශ්‍රද්ධාදි ආර්ය ධනයෙන් කෙනෙක් පොහොසත් වූ තරමට එයාට සැප විඳින්න පුළුවන් වෙනවා. හේතුව ඒ ජීවිතය පිනෙන් පිරෙන්න පටන් ගන්න නිසා.

ලෝකය සැප සොයන්නේ භෞතික සම්පත්වලින්. ඒ සම්පත් ලබා ගැනීම පිණිස කරන ජීවිත අරගලයක් තමයි හැමදාම හැම තැනම දකින්න ලැබෙන්නේ. ඒ නිසාමයි ලොව පුරාම මිනිසුන්ට විවේකය අහිමි වී තිබෙන්නේ. අවිවේකි ජීවිත ගත කරන වැඩි දෙනෙක් සම්පත් එකතු කර කර ඉඳල සැපයක් නොවිඳම මැරිල යන්නෙ.

සැප ලබන්න නම් පෙනෙන ජීවන අරගලය අතරෙහි ඉඩ ලද සෑම මොහොතකම අප රැස් කළ යුත්තේ පින්. පින් තියෙන තැන සැප තියෙනවා. පින් නැති තැන සැප නෑ. ආර්ථිකය සුරක්ෂිත වෙන්නෙත්. සෞඛ්‍ය ආරක්ෂා වෙන්නෙත් සමාජ වරප්‍රසාද ගරු බුහුමන් හිමිවෙන්නෙත් එකතු කරන හෝ ලැබෙන භෞතික සම්පත් වලින් සැපයක් භුක්ති විඳින්න ලැබෙන්නෙත් පින් තිබේ නම් පමණයි.

බුදුරජාණන් වහන්සේ පින් කරන ලෙස දේශනා කළෙත් (පුඤ්ඤානි කයිරාථ සුඛාවහානි) පිනට බිය නොවන ලෙස උපදෙස් දුන්නෙත් (මා පුඤ්ඤස්ස භායී) පිනට අවමන් නොකරන ලෙස අවධාරණය කළෙත් (මාවමඤ්ඤෙථ පුඤ්ඤස්ස) පින් කිරීමට අප උත්සාහවත් කරනු පිණිසමයි. හේතුව පිනෙන් තොර සැපක් නැති නිසයි.

තෙරුවන් සරණ ගිය උපාසකවරු අතර ධම්මික කියන නමින් බොහෝ පිරිසක් සැවැත් නුවර වාසය කළා. ඉන් එක් අයෙක් පිළිබඳව හිටි හැටියේ ම බොහෝ කතා බහට ලක් වුණා. බුදුරජාණන් වහන්සේ පවා ඔහු පිළිබඳව ශ්‍රාවක පිරිස සමඟ ප්‍රසාදයෙන් කතා කළා. ඒ හැම කෙනෙක්ම එතුමාගේ පුණ්‍යවන්තභාවය ගැනයි කතා කළේ. ඔහු පැසසුමට ලක්වීමට තවත් හේතුවක් තිබුණා. ඒ තමයි, ඔහුගේ ආදර්ශය නිසාම, ගුණ යහපත්කම් ඇති, දනට පිනට ලැදි, ධාර්මික ජීවිත ගත කරන, සාර්ථක දරු පිරිසක් සකස් කරගැනීමට හැකිවීම.

දරුවන් දොළොස් දෙනාම විවිධ ආකාරයේ දාන පින්කම් සිදු කළ අය. කළ පින්කම් ගැන සිත සිතා නැවත නැවතත් සතුටු වුණ අය. ධම්මික උපාසකතුමා තමන්ගේ බිරිඳත් පුතුන් පස් දෙනාත් දියණියන් හත්දෙනාත් සමඟ නිවැරදි අවබෝධයෙන් යුතුව සීලයෙහි පිහිටා සකසා දන් දුන් කෙනෙක්. දරුවන්ටත් කියල දෙන්නේ අවබෝධයෙන් පින්කම් කරන පිළිවෙළ මිස කරන්නන් වාලෙ පින්කම් කිරීමට නොවේ. ප්‍රසිද්ධිය පිණිස පින්කම් කිරීමටත් නොවෙයි. ලෞකික ලාභ ලෝභ නිසා පින්කම් කිරීමටත් නොවෙයි. ඒ නිසා ඔවුන්ට ඤාණ සම්ප්‍රයුක්ත කුසල් සිත්මයි පහළ වුනේ. මතු භවය පැනසාර වන්න ඒක හේතුවක්.

අසාධ්‍ය රෝගි තත්වයක සිටි ධම්මික උපාසකතුමාගේ ගෙදර ස්වාමින් වහන්සේලා අට නමක් වැඩම කළා. ඔහුගේ ඇඳ අසල පැනවූ ආසන මත වැඩ සිටි උන් වහන්සේලා උපාසකතුමා අහන්න කැමති මොන සූත්‍ර දේශනාවද” කියල විමසීමක් කළා. ඔහු පිළිතුරු දුන්නේ “සියලු බුදුවරයන් වහන්සේලා විසින් ප්‍රගුණ කරන ලද සතිපට්ඨාන සූත්‍රය දේශනා කරන්න” කියල. උඩු අතට ඇඳේ දිගා වී සිටින ඔහු තම රෝගයේ අසාධ්‍ය තත්වය ගැන කල්පනා කළේ නැහැ. කෙඳිරි ගෑවෙත් නැහැ. වේදනාව යටපත් කරගෙන බොහොම ශ්‍රද්ධාවෙන් දේශනාව අහගෙන හිටියා.

දේශනාව සිදුවෙන අතර මඟදී ධම්මික උපාසකතුමා උඩ බලාගෙනම අතින් සංඥාවක් කරල කීව. “මඳක් ඉවසන්න මඳක් ඉවසන්න” කියල, ස්වාමින් වහන්සේලා දේශනාව නතර කළා. “දැන් දේශනාවට සුදුසු කාලය නෙමෙයි” කියා තීරණය කළ උන්වහන්සේලා පිරිසට ආශිර්වාද කරල නිවසින් පිටතට වැඩම කළා . දූ දරුවන්ට මේක දරාගන්න බැරි මොහොතක්. ‘වෙනදා අපේ තාත්තා බොහොම ආසාවෙන් බණ දහම් අහන්නේ. ඒත් අද මරණ බිය දැනිල දේශනාවත් නතර කෙරෙව්වා. අනේ අපේ තාත්තා අපෙන් සමුගන්න නේද හදන්නේ’කියල දරු පිරිස අඬන්න පටන් ගත්තා.

සුළු වේලාවක් නිද්‍රෝපගතව සිටියා. ධම්මික උපාසකතුමා දෑස් විවර කරල ස්වාමින් වහන්සේලා දෙස බැලුවා. ඒත් උන්වහන්සේලා එතන නැහැ. දරුවනුත් හඬනවා.

”කෝ දරුවනේ ස්වාමින් වහන්සේලා”

“මඳක් ඉවසව, මඳක් ඉවසා කියල තාත්තා කිව්ව නිසා, උන්වහන්සේලා දේශනාව නරත කරල ආරාමයට වැඩම කළා”

” නැහැ දරුවනි, මා එසේ කීවෙ උන්වහන්සේලාට නොවෙයි, දෙවියන්ටයි. ඉහළ අහසේ දිව්‍ය ලෝක හයෙන්ම දෙවිවරුන් පැමිණ සිටියා මැටි බඳුනක් ඉවත් කරල රන් බඳුනක් ගන්නට වගේ මිනිස් කය අත හැරල දේව කයක් උරුම කරගන්න එන්න කියල ඒ අය මට කතා කළා. මට බණ අහන්න බාධා වන නිසා මඳක් ඉවසන්න කියල මා කීවෙ ඔවුන්ටයි.

”පියාණෙනි, අපට දෙවියන්ගෙ හඬ ඇසුණෙත් නෑ. දෙවියන් පෙනුනෙත් නෑ. දැන් කෝ ඒ දෙවියන්”

“ඉහළ අහසෙ මා එනතරු බලා සිටිනවා . දරුවනි, ඔබ කැමති මොන දිව්‍ය ලෝකයටද? ගෙතු මල්දමක් අරගෙන ඒ දෙව්ලොවෙන් පැමිණි දිව්‍ය රථයෙහි රැඳේවා කියල හිතාගෙන ඉහළ අහසට විසිකරන්න”

“සියලු බෝසත්වරු තුසිත දෙව්ලොවෙන් පැමිණ මිනිස් ලොව ඉපිද බුද්ධත්වයට පත් වෙනවා. ඒ දෙව්ලොවට අප කැමැතියි පියාණනි” කී දරු පිරිස තුසිත දිව්‍ය රථයෙහි මෙය රැඳේවා කියා මල්දම ඉහළට විසිකළා. එය අහසේ නතර වී ළෙළ දෙන්න පටන් ගත්තා.

”දරුවනි, ඒ මල්දම නතර වුණේ තුසිත දෙව්ලොවින් පැමිණි දිව්‍ය රථයෙ කෙළවරකයි. ඔබ ශෝක නොකරන්න. මා ඒ දෙව්ලොවට යනවා. මා ළඟට ඔබත් එන්න කැමිති නම්, මා විසින් සිදු කළා සේ නොනවත්වා දන් පින් කරන්න” කියමින් ධම්මික උපාසකතුමා දෑස පියාගත්තා. මනුලොවින් සමුගෙන ඒ මොහොතේම දෙව්ලොවෙහි පහල වුණා.

ඒ අතර ස්වාමින් වහන්සේලා විහාරයට වැඩම කළා. බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලාගෙන් විමසුවේ ධම්මික උපාසකතුමා දේශනාව හොඳින් ශ්‍රවණය කළා ද? කියල.

“නෑ ස්වාමීනි, ධම්මිකතුමාට අමාරු වුණා. එතුමාම අපට කීවා දේශනාව නතර කරන්න කියල. දරුවන් අඬන්න පටන් ගත්තා. ඒ වෙලාව දේශනාවට සුදුසු වෙලාව නොවන නිසා අපි දෙසුම නතර කරල එතැනින් පිටත් වුණා. උන්වහන්සේලාට අවබෝධ වූ පරිදි සිදුවීම විස්තර කළා.

“මහණෙනි , එතුමා කතා කළේ ඔබ සමඟ නොවෙයි, දෙවියන් සමඟයි. දෙව්ලොව උපදින්න ඔහුගේ කර්මය සකස් වී තිබුණ, මරණාසන්න මොහොතේ සදෙව්ලොවෙන් පැමිණි දෙවියන් ඔහුට තම තමන්ගේ දිව්‍ය රථයට එන්න කියල ආරාධනා කළා. ඒ හඬ ඇසුනෙ ඔහුට පමණයි.දෙවියන් පෙනුනෙත් ඔහුට පමණයි. ඒත් දහමට ලැදි ඔහු, සතිපට්ඨාන දේශනාව අහගෙන හිටියෙ අසාවෙන්. ඒකට බාධා නොකොට මඳක් ඉවසන්න කියා ඔහු කීවෙ දෙවියන්ටයි .”

“ස්වාමීනි, ධම්මික උපාසකතුමා දැන් කොහේද? “

“මහණෙනි, ඔහු තුසිත දිව්‍ය ලෝකයෙන් පැමිණි දිව්‍ය රථයෙහි පහල වුණා. දැන් දෙව්ලොවෙහි සියලු දිව්‍ය සම්පත්තීන්ගෙන් ආඪ්‍යව වාසය කරනවා”

”ස්වාමිනි ,ඔහු තම අඹු දරුවන් සමඟ මීට සුළු මොහොතකට පෙර සතුටින් මනුලොවේ කල් ගෙව්වා. හොඳ සිහියෙන් බණ ඇහුවා. දැන් ඒ වගේම සතුටෙන් දෙව්ලොවෙහි කල් ගෙවනවා”

“මහණෙනි, ඔහු දාන , සීල, භාවනා කියන ත්‍රිවිධ පින්කම් කරමින් පොහො පින් රැස් කර ගත්ත කෙනෙක්. පැවිද්දෙක් වුනත් ගිහියෙක් වුනත් පින් කරන්නේ නම්,මෙලොවත් සතුටු වෙනවා. පරලොවත් සතුටු වෙනවා. තමන් විසින් කරන ලද විසුද්ධි කර්ම දැකල, තව තවත් අවබෝධයෙන් සතුටු වෙනවා“

නිවන සාක්ෂාත් කිරීම අපේ එකම පරමාර්ථයයි. ඒ වෙනුවෙන් අවශ්‍ය සීල, සමාධි, ප්‍රඥා වැඩෙන තුරු මේ සසරේ සැරිසැරීමට සිදුවෙන එක වළකාලන්න පිළිවන් කෙනෙක් දෙවියන් බඹුන් සහිත ලෝකයේම නැහැ. අතීත භවයන් අපට නොපෙනුනත් අනාගත භවයන් කෙබඳු වේදැයි නොතේරුණත් සියල්ල දත් බුදුරජාණන් වහන්සේගේ ප්‍රත්‍යක්ෂ දහමක් අපට තියෙනවා. මහා කරුණාවෙන් දේශනා කළ ඒ ධර්මය තුළ පෙන්වා දෙන ආකාරයට සසර මහා භයානක තැනක්. දුක මත පිහිටා ඇති එකක්.

ඒ දුක් අතර තාවකාලික හෝ ලෞකික සැපයක් ඇත්නම්, ඒ සැප ලැබෙන්නෙ පින් තියෙන කෙනාට විතරයි.

දන් සිල් භාවනා
පින්කම්ය සැප සාදනා
කම් හදන චේතනා
උදා කර දෙයි දිවි වාසනා

පින අපට සැප දෙති
එනිසා සිත සතුටු වෙති
සතුටින්ම මිය යති
ප්‍රමෝදය ඇති තැනම උපදිති

පින් සිතින් පොහොසත්
වෙයි කය වචන යහපත්
දැක සුපරිසුදු සිත්
තව තවත් දෙලොවෙහිම තුටු වෙත්

පිනට නොබියම හිඳ
තිදොරින් සුවය විඳ විඳ
තිලොවෙහිම පුද ලද
උතුම් ජීවිත දකිමු පිරිසිඳ


දම්පද මිහිර 10 - පව්වල විපාකය ගෙන දෙයි දෙලොව ශෝකය

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]