UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

52 වසරක් සපිරෙන මාතර බෝධි ආරක්ෂක සභාව

52 වසරක් සපිරෙන මාතර බෝධි ආරක්ෂක සභාව

මාතර නගරයට ප්‍රවිශ්ඨ වන සෑම කෙනෙකුගේම හදවත් තුළ තථාගත ලොව්තුරා අමාමෑණි බුදුපියාණන් වහන්සේ පිළිබඳව අසීමිත ගෞරවයක් ඇති කරන දර්ශනයක් එක්වරම දෙනෙතට දිස්වේ. එනම් ක්‍රි.ව. 515 තරම් ඈතට දිවයන ඓතිහාසික පුරාවෘත්තයක් නිහඬව කියාපාන ජනාකීර්ණ නගර මධ්‍යයේ උප ශාන්ත පරිසරයක් පසුබිම් කරගෙන පිහිටි මාතර ඓතිහාසික බෝධිරාජයාණන් වහන්සේය.

කොළඹ සිට කතරගම දක්වා දිවෙන ප්‍රධාන මාර්ගයේ උයන්වත්ත ක්‍රීඩාංගණයට මුහුණලා පිහිටා ඇති මේ පරම පූජනීය මාතර ඓතිහාසික බෝධි රාජයා ක්‍රි.ව. 515 දී මෙරට රාජ්‍යත්වයට පත්වී සිටි මහා කිවිවරයෙකු ලෙස සැලකෙන කුමාරදාස නිරිඳු කල දක්වා දිවෙන ඓතිහාසික පසුබිමක් ඇති ස්ථානයක් බව පෞරාණික ලේඛන හා ජනප්‍රවාද අනුව සනාථ වේ. මෙම බෝධිරාජයා රෝපණය කිරීමේ අවස්ථාවට කුමාරදාස රජුගේ ආරාධනයෙන් රාජ්‍ය අමුත්තකු ලෙස ශ්‍රී ලංකාවට පැමිණි අවාසනාවන්ත ඉරණමකට මුහුණ දී ජීවිතක්ෂයට පත් වූ කාලිදාස මහා කිවිදාණන්ගේ චිතකයට පැන දිවි නසාගත් බිසෝවරුන් පස් දෙනාත් සමඟ රජුද උපදෙස් දුන් පඬිවරුද යන සත් දෙනාද පැන දිවි තොර කරගත් බව සඳහන් වේ. මේ ශෝකාන්තය සිහිපත් වන්නට මාතර නගරය තුළ බෝධි හතක් රෝපණය කළ අතර එදා පටන් මේ ස්ථානය “හත් බෝධි වත්ත” නමින් හඳුන්වන ලදී. මාතර ඓතිහාසික බෝධිරාජයා එම බෝධීන් වහන්සේලා අතරින් එකක් ලෙස විශ්වාස කෙරේ. මෙම මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අනුරාධපුරය විජය ශ්‍රී ජය ශ්‍රී මහ බෝධිරාජාණන් වහන්සේගේ ගෝත්‍රයට අයත් වන බව උද්භිද විද්‍යාඥයන් විසින් කරන ලද පර්යේෂණවලින් අනාවරණය වී ඇත.

එවකට මෙරට පාලනය කරන ලද ඉංගී‍්‍රසි පාලකයින් මේ ඓතිහාසික පූජා භූමියට විවිධ තර්ජන එල්ල කරන ලද අතර මාතර නගරසභා භූමිය පුළුල් කරන අටියෙන් හා බෞද්ධයන්ට පාඩමක් ඉගැන්වීමේ අදහසින් ඔවුන් විසින් මෙම බෝධීන් වහන්සේ කපා ඉවත් කිරීමට දින පවා නියම කර ගන්නා ලදී. එහෙත් එවකට මාතර නගරයේ සිටි බෞද්ධ ව්‍යාපාරිකයින් රාජ්‍ය නිලධාරීන් හා මාතර නගර සභාවේ නිලධාරීන් සෙසු බෞද්ධ ජනයාද එක්ව විවිධ තර්ජන ගර්ජන මැද්දේ ඉතා අපහසුවෙන් එය ආරක්ෂා කරගෙන තිබේ. ඔවුන්ගේ මූලිකත්වයෙන් බෝධීන් වහන්සේ අබියස බුද්ධ ප්‍රතිමාවක් වඩා හිඳුවා වන්දනාමාන කිරීමට කටයුතු සැලැස්වූ අතර මෙහි පූජනීයත්වය ඔප් නැංවීමට කුඩා බුදු මැදුරක් ද කුඩා චෛත්‍යයක්ද දේවාල දෙකක්ද ඉදි කරන ලදී. මුලින් ඉදිකළ මෙම කුඩා චෛත්‍ය විහාර මන්දිරය පිටුපස දැනුදු දක්නට ලැබේ.

මාතර බෝධි ආරක්ෂක සභාවේ සාමාජිකයන් අතරින් පරලෝ සැපත් බී. ආරියරත්න මහතාත් බී.ඒ. සයිමන් අප්පුහාමි මහතාත්, කේ.පී. කරනේලිස් මහතාත් මේ සඳහා පෙරමුණ ගත් පිරිස අතර වේ. 1961 වර්ෂයේ දී කේ.ටී. සෝමපාල, සී.ඒ. ධර්මසේන සහ ආර්. පෑලිස් යන මහත්වරු ස්වකීය ධන පරිත්‍යාගයෙන් චෛත්‍යයක් ගොඩ නැගීම ආරම්භ කරන ලදී. මෙසේ ක්‍රමයෙන් දියුණු වෙමින් පැවැති මාතර බෝධි රාජයාගේ ඉදිරි පැවැත්ම හා ආරක්ෂාව සඳහා 1962 ඔක්තෝබර් 19 වන දා මාතර බෝධි ආරක්ෂක සභාව පිහිටුවන ලදී.

මාතර බෝධි ආරක්ෂක සභාවේ ප්‍රථම සභාපති ධුරයට එඩ්මන් සමරසේකර මහතා පත්වූ අතර 1978 දක්වා වසර 17 ක් නොකඩවා එතුමා එම තනතුර හෙබවමින් අකලංක අමරණීය සේවාවක් සිදුකරමින් බෝධි රාජයාගේ උන්නතිය සඳහා කටයුතු කරන ලදී. ඔහුගේ අභාවයෙන් පසු පිළිවෙළින් හෙන්රි ගුණසේකර, සී.ඒ. හේමචන්ද්‍ර, නීතිඥ රිචඩ් කුලතුංග, එස්.කේ. චන්ද්‍රසෝම, අමරදාස කුමානායක, රොහන්ත සමරසිංහ යන මහත්වරු පත්වූ අතර වර්තමාන සභාපති ලෙස කටයුතු කරන්නේ ප්‍රදේශයේ සම්භාවනීය පරපුරකට අයත් ප්‍රභූවරයෙකු වන ඩිහාන් සමරසේකර මහතායි. එතුමා තම කාලයත් ධනයත් ශ්‍රමයත් මේ සඳහා කැප කරමින් ජාතික හා ආගමික හැඟීමෙන් යුතුව රටටත් සමාජයටත් සම්බුද්ධ ශාසනයටත් මේ තුළින් උදාර ජාතික, ආගමික හා සමාජයීය මෙහෙවරක් කරමින් මෙහි උන්නතිය සඳහා කටයුතු කරන බව ප්‍රශංසාභිමුඛයෙන් සඳහන් කළ යුතු ය.

මාතර බෝධි ආරක්ෂක සභාව මඟින් සිදුකරන සේවාවන් රාශියකි. අඩු ආදායම්ලාභී පවුල්වල දරුදැරියනට උසස් අධ්‍යාපනය සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීම, පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් ශිෂ්‍යත්ව පිරිනැමීම මාතර මහ රෝහලේ සංවර්ධන කටයුතු සඳහා ආධාරදීම, ආර්ථික අපහසුතාවලින් යුතු පවුල්වල දරුදැරියන්ට හා වැඩිහිටියන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම, රෝහල් ගතව ප්‍රතිකාර ලබන අසරණ රෝගීන් සඳහා බෙහෙත් වර්ග ලබාදීම, අක්ෂි කාච ලබාදීම, ප්‍රදේශයේ දහම් පාසල් අධ්‍යාපනය නඟා සිටුවීමට ද්‍රව්‍ය හා මූල්‍යමය වශයෙන් ආධාර ලබාදීම, ශාසනික සංස්කෘතික හා සමාජයීය පරිත්‍යාග සිදුකිරීම, ප්‍රදේශයේ පාසල් සිසුන් උදෙසා අ.පො.ස සාමාන්‍ය පෙළ පෙරහුරු සම්මන්ත්‍රණ පැවැත්වීම, අනාගතයේ ශාසනික පැවැත්ම සඳහා අවශ්‍ය ධර්මධර විනයධර සඟ පරපුරක් බිහි කරලීමේ අරමුණින් බුද්ධ ධර්මය ඉගැන්වීමේ ව්‍යාපෘති පිළියෙළ කිරීම, ප්‍රදේශයේ පවත්නා විහාරස්ථාන ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ආධාර දීම, ධර්මකාමී සමාජයක් බිහි කිරීමේ අරමුණින් බෝධිරාජයා අභියස දිනපතා සන්ධ්‍යා කාලයේ බෝධි පූජා, ධර්මදේශනා වැඩසටහන් හා සති අන්ත විශේෂ භාවනා, ධර්ම සාකච්ඡා වැඩසටහන් ක්‍රියාත්මක කිරීම, ජාතික වැදගත්කමකින් යුතු උත්සව සැමරීමට ආධාරදීම, බෞද්ධ පුස්තකාල සේවාවක් මගින් පාසල් දරුදැරියන්ටත් වැඩිහිටියන්ටත් අවශ්‍ය දහම් පොත්පත් ලබාදීම, ඓතිහාසික බෝධීන් වහන්සේ හා එම බෝමළුව තුළ ඇති සියලුම බෞද්ධ වස්තූන් බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර හා වත්පිළිවෙත් අනුව ආරක්ෂා කිරීම හා පවත්වා ගෙන යාම ආදී ශාසනික, ජාතික හා සමාජයීය කටයුතු රාශියක් සිදු කරනු ලබයි. මෙහි සඳහන් කරන ලද්දේ මාතර බෝධි ආරක්ෂක සභාවෙන් සිදු කරන සුවිශාල සේවාවන් අතුරින් කිහිපයක් පමණි. වෙනත් විවිධ බෞද්ධ සංවිධානවලට පූර්වාදර්ශයක් ලබාදෙමින් මාතර බෝධි ආරක්ෂක සභාව මහජනතාවගෙන් ලැබෙන මහජන මුදල් පාරදෘශ්‍යභාවයෙන් යුතුව නිසි කළමනාකාරීත්වයක් යටතේ පරිපාලනය කරමින් ජනතාවගේ ලෞකික හා ලෝකෝත්තර ජීවිතය යහපත් කර ගැනීම සඳහා යෙදවිය යුතුය යන පරහිතකාමී උදාර සංකල්පය මත පිහිටා කරනු ලබන මේ සේවාව සමස්ත ලංකාවාසී ජනතාවගේම ඇගයීමට ලක්විය යුතුය යන්න අපගේ විශ්වාසයයි.

මාතර බෝධි ආරක්ෂක සභාව මඟින් ක්‍රියාත්මක කෙරෙන සුවිශාල සේවාවන් අතුරින් මාතර, හම්බන්තොට, රත්නපුර යන දිස්ත්‍රික්කවල මිලියන 2 ක පමණ ජනතාවට සේවා සලසනු ලබන, මාතර මහ රෝහලට ලබාදෙන අනුග්‍රහය විශේෂයෙන් සඳහන් කළ යුතුය. දැනට මාතර මහ රෝහලේ පවත්නා වාට්ටු 27න් වාට්ටු 11ක්ම ඉදිකරවා උපකරණ සහිතව පරිත්‍යාග කොට ඇත්තේ මාතර බෝධි ආරක්ෂක සභාව මඟින් බව මෙහිලා ප්‍රශංසාභිමුඛව සඳහන් කළයුතුය. ඒවා නඩත්තු කරන්නේද නවීකරණය කරන්නේද මාතර බෝධි ආරක්ෂක සභාව මඟිනි. මේ දක්වා මාතර මහ රෝහල සඳහා මාතර බෝධි ආරක්ෂක සභාව වැය කර ඇති මුදල පහළොස් කෝටි අසූ හතර ලක්ෂ අනූ තුන්දහස් තුන්සිය අසූ අටයි සත තිහක් පමණකි. (රු. 158, 493, 388, 30 /= ) මෑතදී මාතර බෝධි ආරක්ෂක සභාව මඟින් තනා නිමකර රෝහලට භාරදුන් සීටී ස්කෑනර් යන්ත්‍රය ස්ථාපනය සඳහා වූ තෙමහල් ගොඩනැගිලි සංකීර්ණය සඳහා පමණක් වැය කර ඇති මුදල රුපියල් කෝටි 03 කට ආසන්නය. මේ හැරෙන්නට මාතර බෝධි ආරක්ෂක සභාව සතුව කඹුරුගමුවේ මාතර ගාල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා පිහිටි අක්කර 02 ක පමණ සරුසාර වගාවෙන් යුතු භූමිභාගයද ලක්ෂ 200 ක් වැය කර තනා නිම කළ අංග සම්පූර්ණ දෙමහල් ගොඩනැගිලි සංකීර්ණයද සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පරිත්‍යාග කර එහි සම්පූර්ණ අයිතිය නීත්‍යානුකූලව පවරා ඇත. එහි දැනට දකුණු පළාතේ රජයේ රෝහල්වලට අවශ්‍ය රුධිරය ගබඩා කර තබා ගනිමින් ඒවා බෙදා හරින දකුණු කලාපීය රුධිර මධ්‍යස්ථානය ලෙස ප්‍රයෝජනයට ගනී. මේ නිසා මරණය අභිමුඛයේ සිටින අසරණ රෝගීන් දහස් ගණනකගේ ජීවිත මරණයෙන් මුදා ගැනීමට එය මහඟු පිටිවහලක් වී තිබේ.

තවද මාතර බෝධි ආරක්ෂක සභාව මඟින් ක්‍රියාත්මක කරන තවත් විශේෂ ව්‍යාපෘතියක් වනුයේ පිරිවෙන් අධ්‍යාපනය ලබන ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම හා උසස් පෙළ අංශයන් සඳහා සුදුසුකම් ලැබූ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට හා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළින් සමත් වී වැඩිම ලකුණුූ ලබාගත් මාතර දිස්ත්‍රික්කය තුළ ආර්ථික අපහසුතාවලින් යුතු දරුදැරියන්ට උසස් අධ්‍යාපනය හැදෑරීම සඳහා ශිෂ්‍යත්ව පිරිනැමීමයි. සිසු දරුදැරියන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ වැඩසටහන 1994.07.25 වන දින ආරම්භ කළ අතර මේ දක්වා දරු දැරියන් 985 ක් සඳහා ශිෂ්‍යත්ව පිරිනමා තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් දෙකෝටි දාහත් ලක්ෂ තිස්පන්දහසකි. ( රු. 21, 735,000/=) ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා සඳහා ශිෂ්‍යත්ව ලබාදීමේ වැඩසටහන 2001 වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර මේ දක්වා භික්ෂූන් වහන්සේලා 317 නමක් සඳහා ශිෂ්‍යත්ව ප්‍රදානය කර තිබේ. ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් තිස් තුන් ලක්ෂ හතළිස් අට දහසකි. ( රු. 3, 348, 000/=). මේ අනුව මාතර බෝධි ආරක්ෂක සභාව මඟින් ප්‍රදානය කර ඇති මුළු ශිෂ්‍යත්ව වල මූල්‍යමය වටිනාකම දෙකෝටි පනස්නව ලක්ෂ අසූ තුන්දහසක් පමණි. (25, 983,000 )

මාතර බෝධි ආරක්ෂක සභාව ආරම්භ කර 2014.10.19 වන දිනට වසර 52 ක් සපිරේ. ඒ අනුස්මරණීය අවස්ථාව සිහිපත් කිරීම සඳහා මාතර බෝධි ආරක්ෂක සභාව මඟින් මුළු වසර පුරාම දිවෙන ජාතික, ආගමික හා සමාජයීය ව්‍යාපෘති රාශියක් දැනට දියත් කර ඇත. එහි සුවිශේෂී අවස්ථාවක් ලෙස ඔක්තෝබර් මස 12 දා සිට 19 වන දින දක්වා දිනපතා රටටත්, ජනතාවටත් සෙත්පතා පස්වරු 6.00 ට බෝධි පූජාවක් ද රාත්‍රී 7.00 මෙරට ධර්මධර, විනයධර ප්‍රකට ධර්ම කථිකයන් වහන්සේලා වැඩමවා සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවක් ද සංවිධානය කර ඇත.

සුවහසක් ජනතාවගේ නොමඳ විශ්වාසය දිනා ගනිමින් වසර 52ක කාලපරිච්ඡේදයක් මාතර බෝධි ආරක්ෂක සභාව ගමන් කළ අතීත ගමන් මගේ පියසටහන් දෙස ආපසු හැරී බලන විට කිසියම් අභිමානයක් හා ඉමහත් සොම්නසක් සිත් සතන්හි ජනිත වන්නේ නිරායාසයෙනි. ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක වන වෙනත් බෞද්ධ සංවිධානවලට පූර්වාදර්ශයක් ලබා දෙමින් සිදු කරන මෙම උදාර සේවාව රට වෙනුවෙන් ජාතිය වෙනුවෙන් සම්බුද්ධ ශාසනය වෙනුවෙන් ඉදිරියටත් අඛණ්ඩව කරගෙන යාම සඳහා මාතර බෝධි ආරක්ෂක සභාවට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ඉත සිතින් ප්‍රාර්ථනය කරමු.

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]