UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස... සසර අනියත බව නුවණැසින් දුටු ඛේමා

බුදුරදුන් ජීවමානව වැඩසිටි දවස...

සසර අනියත බව නුවණැසින් දුටු ඛේමා

අප සැමට ජීවිතයේ ඇති අනියත බව මෙනෙහි වේ. ජීවිතය පිළිබඳ ඇති තතු අවබෝධ වන්නේත්, සසරට බිය වන්නේත් ඉන් පසුවය. මෙම නුවණැස කෙනෙකුට තමන් නිරෝගි මිනිසෙකු ලෙසින් ජීවත්ව සිටිද්දී පහළ වූවා නම් එය කෙතරම් අගනේද? බුදුන්වහන්සේ විසින් ඛේමා බිසවට දකින්නට සැලැස්වූ ස්ත්‍රීරූපයෙහි වෙනස්වීම පිළිබඳ ඇති තතු ඛේමා බිසව වහා අවබෝධ කර ගත්තාය. ඇගේ සිත තුළ පැවති රූප මදය හිරු දුටු පිණි මෙන් වියැකී ගිය අතර, කම්පාවට පත් වූ ඇය ”අහෝ මටත් වඩා රූපශ්‍රීයෙන් යුක්ත වූ මේ තරුණිය මැදිවියට පත්වී ජරා ජීර්ණ කුදු මැහැල්ලක්ව දැන් මැරී වැටුණාය

උපතින්ම අන් අයගේ නෙත් සිත් වශී කරන සුළු රුවක් හිමිවීම කාන්තාවකට ආම්බරයක්. නමුත් ඒ සුන්දරත්වයට තමන්ගේ මුළු ආත්මයම විනාශ කර දමන්නට දිය යුතුද ? හොඳ නොහොඳ නුවණින් වටහාගෙන තම සොඳුරු රුව පමණක් නොව ආත්මය ද රැකගෙන මේ සමාජය තුළ ගැහැනියකට ජීවත් විය නොහැකිද? සමාජයේ ඇතැම් කාන්තාවන්ට බුද්්ධ කාලයේ විසූ ඛේමාවෝ ආදර්ශවත් චරිතයකි.

මධුරට සාගල නුවර රජ කුලයක උපන් ඛේමා විශිෂ්ට රූපශ්‍රීයකින් හෙබි කුමාරිකාවක් වුවාය. පතිකුලයට යන නිසි කල වයස පැමිණි කල ඕතොමෝ මගධ රට බිම්බිසාර රජුගේ අගමෙහෙසිය වූවාය.අතිශය රූමත් කාන්තාවක් වූ බැවින් ඇය තම රූපය පිළිබඳව අධිමානසිකත්වයකින් යුතුව කල් ගෙව්වාය. ගෞතම බුදුරජාණන් වහන්සේ දම්සක් පවත්වා බිම්බිසාර රජුට දුන් ප්‍රතිඥාව අනුව ධර්ම ප්‍රචාරය පිණිස රජගහ නුවරට වැඩම කළ සේක. බුදුන් වහන්සේගෙන් ධර්මය ඇසූ බිම්බිසාර රජු බුදුදහම වැළඳ ගත් අතර, තම රාජ්‍යයෙහි නිතර ධර්ම ප්‍රචාරය කරන ලෙස බුදුන් වහන්සේගෙන් ඉල්ලීමක් ද කළේය.අනතුරුව තම වේළුවන උයනෙහි ඉතා අලංකාර ආරාමයක් ඉඳිකොට (වේළුවනාරාමය) බුදුන් වහන්සේ ප්‍රමුඛ භික්ෂූ සංඝයා වෙත පූජා කළේය.වේළුවන දම්සභා මණ්ඩපය, වෙත රජගහනුවර රජතුමා ප්‍රමුඛ ඇමතිවරු සිටුවරුද, නුවර වැස්සෝද නිතර ධර්ම ශ්‍රවණය කිරීමට ගියහ. එහෙත් රූප මදයෙන් මත්ව සිටි ඛේමා බිසව. ”බුදුන් වහන්සේ රූපයෙහි දොස් කියති” යි සැළවී කිසි දිනක ධර්මය ශ්‍රවණය කිරීම පිණිස වේළුවනාරාමයට නොගියාය. සිය දේවිය බුදුරදුන් හමුවට යැවීමට අදහස් කළ බිම්බිසාර රජු ඒ සඳහා උපායක් යෙදීය.

සිය දේවියගේ සිතැඟි මනාව වටහා ගෙන සිටි රජු ඛේමාවෝ ස්වභාව සෞන්දර්ය කෙරෙහි ලැදියාවෙන් යුක්ත අයෙකු බව දන්නා බැවින්, නිතර දෙවේලේ ඇයට ඇසෙන සේ වේළුවනයේත්, එහි අරමෙහි අසිරියත් පිළිබඳ කවිගොතා රාජ්‍ය සභාවෙහි ගයන්නට සැලැස්වූහ. වේළුවනාරාමයෙහි පැවති සුන්දර පරිසරය පිළිබඳ නිතර නිතර ඇසෙන විට එහි ගොස් ඒ සියල්ල සියැසින් දැක ගැනීමේ ආශාවක් ඛේමා බිසවගේ සිත් තුළ ඇතිවිය.ඒ පිළිබඳ දැනගත් බිම්බිසාර රජුද ඉතා ඕනෑකමින් යුතුව සිය දේවියගේ ගමනට අවශ්‍ය සියලු කටයුතු සංවිධානය කර දුන්නේය.සපිරිවරින් වේළුවනාරාමයට ගිය ඛේමාවෝ එහි සුන්දරත්වය නරඹා ආපසු පැමිණීමට සැරසුනද කලින් රජුගේ අණ ලබා සිටි රාජපුරුෂයෙක් ඇය බුදුරදුන් වැඩ සිටි දෙසට කැඳවාගෙන ගියේය.

ඛේමාවන් දුටු බුදුරජාණන් වහන්සේ ඛේමා බිසවගේ මහ පිනැති භාවය දිවැසින් දැක ඇගේ රූප මදය මැඬීමව,ඇයට පමණක් පෙනෙන ලෙස දෙවඟනක් බදු රූපශී‍්‍රයෙන් යුත් ස්ත්‍රියක් තමන් වහන්සේ සමීපයෙහි සිට විජිනිපතක් ගෙන පවන් සලන අයුරු මවා පෙනෙන්නට සැලැස්සූහ. ඒ අපූරු නාරිදේහය දුටු ඛේමා බිසවගේ සිත් තුළ මෙවැනි සිතිවිල්ලක් ඇතිවිය.

”බුදුන් වහන්සේ රූපයට නිගා කරති”යි යන කථාව මා ඇසූ බොරුවකි. මෙබඳු දෙවඟනක් වැනි රූප ශී‍්‍ර ඇති ස්ත්‍රීහු භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිටිත්, මා මොවුන්ගේ අතවැසි තරමටවත් නොවටිනා තරම්ය”

එම සිතිවිල්ලෙන්ම ශෝභමාන කාන්තා රුව දෙස බලා සිටි ඛේමා බිසවට අභිරූපිකාවගේ රුව ක්‍රමයෙන් වෙනස් වන ආකාරය දැක ගත හැකි විය. ක්‍රමයෙන් තරුණවිය ඉක්මවා මැදිවියට පැමිණි තැනැත්තිය තවත් වෙනස් වී ක්‍රමයෙන් මහලු බවට පත් විය. මැහැලි රූපය කෙස් පැහුණු දත් වැටුණු හම රැලි ගැසුණු ජරා දුර්වල තත්වයෙන් සිටි බව දක්වා අනතුරුව පවන් සලන විජිණිපතද සමග වෙවුලමින් ඇද වැටෙන ආකාරය දැක්වූහ.

කෙතරම් සුන්දර රූපයකින් යුතුව අප මෙසේ ඉපදී සිටියද, දිනක එහි රූපයම මහත්වූ දුකට වේදනාවකට පත්වන බව නියතය. එය නුවණින් වටහා ගන්නා තැනැත්තා කිසි දිනක තම රූපය පිළිබඳ උදම් වෙමින් අන්‍යයන් තලා පෙලා හෙලා දකිමින් මානයෙන් යුතුව දිවි ගෙවන්නේ නැත. මෙලොව හට ගන්නා සියලු දේ ඇති වී පැවතී නැතිවී යන බව සදාතනික සත්‍යයකි. මෙම සදාතනික සත්‍යයට පිටුපා මවාගත් සුන්දර ලෝකයක ජීවත්වන ඕනෑම අයෙකුගේ එම සුන්දරලෝකය බිද වැටෙන්නේ සුන්දර යැයි සිතා සිටි සිරුරේ කුමන හෝ අංගයක් ආබාධයකට ලක්වුවහොත් පමණි. අනතුරකට ලක්වී ඇස්පෙනීම නැතිව ගියහොත්, කන් ඇසීම නැතිව ගියහොත්,අතපය බිඳී ගියහොත්, මුහුණ විරූපී වුණොත් එදිනට අප සැමට ජීවිතයේ ඇති අනියත බව මෙනෙහි වේ. ජීවිතය පිළිබඳ ඇති තතු අවබෝධ වන්නේත්, සසරට බිය වන්නේත් ඉන් පසුවය. මෙම නුවණැස කෙනෙකුට තමන් නිරෝගි මිනිසෙකු ලෙසින් ජීවත්ව සිටිද්දී පහළ වූවා නම් එය කෙතරම් අගනේද?

බුදුන්වහන්සේ විසින් ඛේමා බිසවට දකින්නට සැලැස්වූ ස්ත්‍රීරූපයෙහි වෙනස්වීම පිළිබඳ ඇති තතු ඛේමා බිසව වහා අවබෝධ කර ගත්තාය. ඇගේ සිත තුළ පැවති රූප මදය හිරු දුටු පිණි මෙන් වියැකී ගිය අතර, කම්පාවට පත් වූ ඇය ”අහෝ මටත් වඩා රූපශ්‍රීයෙන් යුක්ත වූ මේ තරුණිය මැදිවියට පත්වී ජරා ජීර්ණ කුදු මැහැල්ලක්ව දැන් මැරී වැටුණාය. රූපය අනිත්‍යය, දුකය ආදී වශයෙන් මෙනෙහි කළාය. ඇයගේ නුවණ මුහුකුරා ගිය බව දැනගත් බුදුන් වහන්සේ.

”තමා විසින් බඳනා ලද දැලෙහි රාගය නිසා මකුළුවා විපතට පත්වෙයි. මෙසේ අනිත්‍ය සිහි කරන ඥානවන්තයා ඇලීම අතහැර සියලු දුක් නසා ලන්නේය” යනුවෙන් ධර්මය දේශනා කළ සේක. ධර්ම දේශනාව අවසානයේ ඛේමා බිසව සියලු කෙලෙසුන් නසා සිවු පිළිසිඹියාපත් රහත් භාවයට පැමිණියාය. පසුව බිම්බිසාර රජුගේද අනුමැතිය ගෙන භික්ෂුණි ආරාමයට ගොස් පැවිදි බව ලබා ගත්තාය. පසු දිනක දම්සභා මණ්ඩපයේ භික්ෂුණී සංඝයා රැස්ව සිටි අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ඇයට අග්‍ර ශ්‍රාවිකා තනතුරද මහා නුවණැති භික්ෂුණී අතරින් අග්‍ර තනතුරද දුන් සේක.

 

 වප් අව අටවක පෝය

වප් අව අටවක පෝය ඔක්තෝබර් 15 වැනිදා බදාදා පූර්වභාග 11.49 ට ලබයි. 16 වැනිදා බ්‍රහස්පතින්දා පූර්වභාග 01.49 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ඔක්තෝබර් 15 වැනිදා බදාදාය.

මී ළඟ පෝය ඔක්තෝබර් 23 වැනිදා බ්‍රහස්පතින්දාය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 15

Full Moonඅමාවක

ඔක්තෝබර් 23

First Quarterපුර අටවක

ඔක්තෝබර් 31

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 06


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]