UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිවනට මඟ ඈත් කර ගන්න එපා

නිවනට මඟ ඈත් කර ගන්න එපා

බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමට ජේතවනාරාමයට පැමිණි රහතන් වහන්සේ නමක් බුදුරජාණන්වහන්සේ නොමැති නිසා බෝධින් වහන්සේට පූජා කිරීම පිණිස මල් සොයා බැලුවා. එම රහතන් වහන්සේට මල් සොයා ගැනීමට නොහැකි වූ අතර ආනන්ද හිමියන් ගොස් මල් සොයා ගෙන පැමිණ එම රහතන් වහන්සේට ලබාදී තිබෙනවා.

බුදුරජාණන් වහන්සේ ගේ ශාසනයේ ආරම්භක සාමාජිකයන් දෙස බැලූ විට අපට පෙනී යන පැහැදිලි කරුණක් වන්නේ තුරුණු වියට පත් පිරිස් ශාසනයට වැඩියෙන් ඇතුළත් වූ බවයි. පස්වග තවුසන්ට පසුව බුදු සසුනට එක් වූ යස කුල පුත්‍රයාත් ඔහුගේ යහළුවන් පනස් හතර දෙනාත් භද්‍ර යෞවනයේ පසුවූවන් . පළමු ධර්ම දූත කණ්ඩායම මෙලෙසින් පස්වග තවුසන් හැරෙන්නට අනෙක් සියලු දෙනා තරුණ වයසේ පසු වූවන්, දෙවන ධර්ම දූත කණ්ඩායම ලෙසින් හඳුන්වා දෙනු ලබන භද්දවග්ගිය කුමාරවරුන් ද ඉතාම යොවුන් නාඹර වියේ පසුවූවන්. මේ අයුරින් බුදු සසුනට ඇතුළු වූ බොහෝ පිරිස් තරුණයන් වීම බුදු සසුනට එක්තරා අතකින් ආශිර්වාදයක් මෙන්ම එමඟින් තරුණ සිත් නිවැරැදි මාවතකට යොමු වුණා.

මේ දෙස අවබෝධාත්මක ඇසින් බැලිය යුතු කාලය පැමිණ ඇති බව අපට පෙනී යනවා. වර්තමානයේ සසරින් එතෙර වීමට පෙන්වා දෙනු ලබන ධර්මතා කොතෙක් උපකාරි වන්නේද යන්න ගැන මෙහිදී විශේෂ අවබෝධයෙන් සලකා බැලිය යුතුයි.

මිථ්‍යා මතධාරින්ගේ බුදුදහමට පටහැනි මිථ්‍යා අදහස් නිසා තරුණ පරපුරට වැරැදි අදහස් ඇති වනවා. මල් පූජා කිරීම පවා විවේචනය කරන්නට තරම් අද ඇතැම් සංවිධාන අන්ධකාරයට ගිහින්. බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමට ජේතවනාරාමයට පැමිණි රහතන් වහන්සේ නමක් බුදුරජාණන්වහන්සේ නොමැති නිසා බෝධින් වහන්සේට පූජා කිරීම පිණිස මල් සොයා බැලුවා. එම රහතන් වහන්සේට මල් සොයා ගැනීමට නොහැකි වූ අතර ආනන්ද හිමියන් ගොස් මල් සොයා ගෙන පැමිණ එම රහතන් වහන්සේට ලබාදී තිබෙනවා. රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ උදෙසා බෝධියට මල් පූජා කළා. මල් පූජා කිරීම නුසුදුසුනම් රහතන් වහන්සේ විසින් කරනු ලැබුවේ නුසුදුසු ක්‍රියාවක්ද? මේ අයුරින් බුදු දහමේ නිසි හරය හෝ සැබෑ තතු නොදැන පවසනු ලබන මිථ්‍යා මත නිසා නිවන් මඟට ළඟා වීමට අපට අසීරු වනවා.

ආනන්ද බෝධිරෝපණය මඟින් බුදුපියානන්වහන්සේ පැවසුවේ කුමක්ද? සංඝමිත්තා මහ රහත් තෙරණිය මඟින් මෙරට බෝධින් වහන්සේ වැඩම කරවීම මෙන්ම ඊටත් පෙර මෙරටට බුදු දහමේ පණිවුඩය රැගෙන ඒම යන සියල්ල අප පසෙකට ලා යුතුද? ඒ සියල්ලම මිථ්‍යාවන් ලෙස දකින්නේ ඒ අනුව ගමන් කරන්නේ අනුවණයන් බව අප සිත්හි තබා ගත යුතු වනවා.

බුදු දහමේ සැමවිටම දැක්වෙන්නේ ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලබා ගැනීමයි. එම නිසා බෞද්ධයන් ලෙස අප නිවැරැදි අවබෝධය ලබා ගතහොත් පමණක් නිර්වාණ මාර්ගය සාක්ෂාත් කර ගත හැකි බව සිත්හි තබා ගත යුතු වෙනවා. සම්මා දිට්ඨිය සැම විටම නිර්වාණ මාර්ගය සඳහා අවශ්‍ය වන බවත් මිච්ඡා දිට්ඨිය කෙරෙහි අවධානය යොමු කළහොත් නිවනට මඟ එයින්ම ඇහිරෙන බව ත් අප වටහා ගත යුතු වෙනවා.

අප ථෙරවාද බුදු දහම අගයන ඒ අනුව කටයුතු කරනු ලබන ජනතාවක්. අප බුද්ධ වන්දනාව කළ යුත්තේ බුදු දහම හැදෑරිය යුත්තේ ඒ අනුවයි. මහායාන බුදු දහමේ අර්හත් සංකල්පය පහත් කර සලකා තිබෙනවා. ඔවුන් සියලු දෙනා බුදුවීම අපේක්ෂා කරනු ලබනවා. ථෙරවාදයේ මෙන් උපසම්පදාවෙන් වැඩිමහල් භික්ෂූන් වහන්සේට උපසම්පදාවෙන් කනිෂ්ඨ හිමියන් වැඳ නමස්කාර කළත් මහායාන දහමේ එවැන්නක් නැහැ. අඩු වයස් හිමියන් වැඩි වයස් හිමියන්ට වන්දනා කරන්නාක් මෙන්ම වැඩි වයස් හිමියන්ද අඩුවයස් හිමියන්ටත් වන්දනා කරනු ලබනවා.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව බුද්ධ ධර්මය අනුව කටයුතු කරනවා නම් අපට සසරින් එතෙරවීම අපහසු නැහැ.

මේ සඳහා හොඳම උදාහරණයක් බුදුරජාණන් වහන්සේගේ දේශනාවකින්ම ලබා දෙන්න පුළුවන්.

එක්තරා කැලයක් මැද තිබෙන ගම්මානයකට දරුණූ වසංගත රෝගයක් පැතුරුණා. මෙම රෝගය දිනෙන් දිනම වැඩිවුණ අතර බාහිර ප්‍රදේශයකින් පැමිණෙන පුද්ගලයෙක් මේ වසංගත රෝගයට ඖෂධ ඇතැයි පවසනවා. එම ඖෂධ පානයට පැමිණෙන්නැයි එම පුද්ගලයා ගම්වාසීන්ට දන්වනවා. නමුත් බොහෝ පිරිසක් එම බෙහෙත් පානයට අකැමැති වනවා. කැමැති පිරිස් එම බෙහෙත් පානයකර සුව වනවා. එය දකින අනෙක් පිරිස්ද ඖෂධ පානයට පැමිණෙනවා.

එසේ පැමිණෙන බාහිර පුද්ගලයා බුදුරජාණන් වහන්සේයි. සුවවීම යනු නිවනයි. බෙහෙත් යනු ධර්මයයි. පළමුවෙන්ම ඖෂධ පානයට යන්නේ රහතන් වහන්සේ පිරිසයි. පසුව ඖෂධ පානයට පෙළඹෙන්නේ ගිහියන් වන අපයි.

මේ ආකාරයේ තවත් උදාහරණයක් දක්වන්න පුළුවන් එවැනිම ගමකට වන සතුරන්ගෙන් උග්‍ර කරදර පැමිණෙනවා. එම කරදර නිසා ගම්මානයේ පිරිස් වන සතුන්ට බිලිවෙනවා. එය වැළැක්වීමට ක්‍රමයක් නැහැ.

මේ අතර ගම්මානයට ‘මහාවීර’ නම් පුද්ගලයෙක් පැමිණෙනවා.

මේ ගම්මානයට වන සතුන්ගෙන් හිරිහැර එමටයි. නුඹලාට වන සතුන්ගෙන් කරදර නොමැති ක්ෂේම භූමියක් තිබෙනවා. එහි වන සතුන්ගේ කරදර නැහැ. කැමැති අය මා සමඟ එන්න මහා වීර පවසනවා.

අපෝ ඔය නොදන්නා තැන්වලට ගිහින් තවත් ප්‍රශ්න ඇති වෙයි.” බොහෝ දෙනා ඒ සඳහා එකඟ වන්නේ නැහැ. එහෙත් පිරිසක් ඒ සඳහා එකඟ වී මහා වීර සමඟ යනවා. ක්ෂේම භූමිය ගැන අසා දැනගත් සෙසු පිරිස්ද ක්‍රමයෙන් ඒ කරා යනවා. මහා වීර නම් බුදුරජාණන් වහන්සේයි. පළමුව ඉදිරිපත් වන්නේ රහතන් වහන්සේයි. ක්ෂේම භූමිය නම් නිවනයි. ඒ සඳහා යන පාර නම් ධර්මයයි.මේ අයුරින් ලෝකය ගැන නොදන්නා අප ඒ සඳහා නිසි මඟ සොයා ගත යුතුයි.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
අගෝස්තු 10 වැනි දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]