UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

නිහඬව ජීවිතය බැබළ වූ පරමාදර්ශී කාන්තාව

 නිහඬව ජීවිතය බැබළ වූ පරමාදර්ශී කාන්තාව

යම් කිසිවෙකු තමන් උරුම කරගත් දෙයින් මෙන්ම, තමන්ට ලැබුණ දෙයින් පරාර්ථකාමී දිවි පැවැත්මක් උදෙසා කැප වන්නේ නම් හෙතෙම අමරණීය වේ”.
බලන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නාහිමි

තමන්ට මෙන්ම අන්‍යයන්ටත් පීඩාවක් ගෙන නොදෙන අන්දමට කෙනෙකුට ජීවත් විය හැකි නම් එය සමාජයකට කොතරම් යහපත් ද? යම් කෙනෙකුට තමන් ගැන පමණක් නොසිතා අන්‍යයන්ටත් කරුණාවන්තව,මානව දයාවෙන් හා පාරාර්ථකාමීව ජීවත් වෙන්නට හැකි නම් එය සමාජයක යහපතට පමණක් නොව, සමාජයක අභිවෘද්ධියට ද හේතු නොවන්නේද? අද අප සමාජයේ එබඳු චරිත විරල බව අමුතුවෙන් කිව යුතු නොවේ.

මේ පූර්විකාව ගෙනහැර පෑවේ ඉතා නිහඬව, අකම්පිතව, පරාර්ථකාමි ලෙස පරමාදර්ශී ජීවිතයක් ගත කළ දැයෙන් සමුගත් උතුම් ගුරු මාතාවක්, බිරිඳක් , මවක් සහ පරමාදර්ශී කාන්තාවක් ගැන අදහස් කිහිපයක් පළ කිරීමටය. ස්වර්ණා මඬිහහේවා නම් වූ කරණාවන්ත මාතාව මා මුලින්ම දුටුවේ මාතර පිලදූව ගමේ පැවැති උත්සවයකදීය.ඇය මට හඳුන්වාදුන්නේ වත්මනෙහි ජ්‍යෙෂ්ඨ්‍ය අමාත්‍ය ලේකම් ධූරන්දර මහින්ද මඬිහහේවා මහත්මාගේ භාර්යාව ලෙසටය. එනමුත් මා එතුමිය ක්‍රමයෙන් හා නිසියාකාරව හඳුනාගත්තේ දුර්ලභ ගණයේ ගුණවන්ත කාන්තාවක් ලෙසින් බව ගෞරවයෙන් සිහිපත් කරනු කැමැත්තෙමි. අප සමාජයේ බොහෝ තන්හි මුණ ගැසෙන සමහර දැන උගත් කාන්තාවන් විදහාපාන්නේ නිහතමානි බව නොව පුහු අහංකාරයකි. සමහර දැන උගත් ධනවත් කාන්තාවන් විදහා පාන්නේ තමන්ට සම වෙන කෙනෙකු නැත යන උඬඟු මානසිකත්වයකි. මට අවංකවම හිතෙන්නේ ස්වර්ණා මඬිහහේවා ගුරු මාතාව ධර්මයෙන් නිසි විනයක් සිය ජිවිතයට එක් කර ගත් කාන්තාවක් ලෙස නිරංහක්කාර ජීවිතයක් ගත කළ කෙනෙකු බවයි. එහි කිසිදු අතිශයෝක්තියක් නැත.

මාතර වැලිගම දී උපත ලද එතුමිය මූලික අධ්‍යාපනය ලබා තිබෙන්නේ කොල්ලුපිටියේ ශාන්ත මේරි කන්‍යාරාමයෙනි. 1967 දී ලංකා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් එතුමිය ඉක්බිතිව අධ්‍යාපනවේදී පශ්චාත් උපාධි ඩිප්ලෝමාව හිමිකර ගන්නීය. කොළඹ ශී‍්‍ර ලංකා විද්‍යාලයේ ගුරුවරියක ලෙසින් ගුරු වෘත්තියට අවතීර්ණ වන මෙතුමිය, 1970 දී උපාධිධාරි රජයේ ගුරුවරියක ලෙස දුෂ්කර සේවයට පිවිස ගුරු ජීවිතයට සාරවත් පදනමක් උරුම කර ගන්නීය.

ස්වර්ණා මඬිහහේවා මැතිනියගේ චරිතයේ කැපී පෙනෙන ලක්ෂණය වන්නේ, අභිමානයෙන් යුක්ත දිවි පෙවතක් උරුම කර ගැනීමය. සිය වෘත්තීය කුසලතා මෙන්ම අධ්‍යාපන සුදුසුකම් ද සීරුවට දියුණු කර ගැනීමට එතුමිය අවධානය යොමු කරන්නේ කාන්තාවක් ලෙස යම් අනන්‍යතාවක් ඇතිව ජීවත්වීමට අදිටන් කර ගත් නිසා විය යුතුය. මෙතුමියගේ ජීවිතය ප්‍රභාමත් කරන්නේ ගුරු භූමිකාව විෂයෙහි ගෞරවණීය හැඟීම යයි මට සිතේ. මෙතුමිය ස්වකීය දැනුමෙන් හා ප්‍රායෝගිකව ලත් අවබෝධයෙන් ගුරු භවතුන් පුහුණු කිරීමේ කාර්යයට කැප වන්නේ එබැවිනි. ගුරු සංවර්ධනය ඇගේ අවධානය දිනා ගන්නා වැදගත් ක්ෂේත්‍රයකි. එපමණක් නොව ජාතික අධ්‍යාපන ආයතනයේ විෂය මාලා සංවර්ධන කමිටුවේ සාමාජිකාවක් ලෙස සිය දැනුම හා අවබෝධය ලබා දෙමින් ඒ කර්තව්‍යයේ අභිවෘද්ධියට ද ඇය දායක වන්නීය.

ගුරුතුමියක ලෙස වෘත්තියෙහි අභිවෘද්ධියට අවශ්‍ය දැනුම ලබා ගැනීමත්, ප්‍රායෝගික වැඩ කටයුතුවලට කැපවීම මඟින් දරුවන්ට සේවය කිරීමත් මෙතුමියගේ චරිතයේ කැපී පෙනෙන වැදගත් මෙන්ම දුර්ලභ ලක්ෂණයකි. අද බොහෝ ගුරු භවතුන් ළඟ නොමැත්තේ මේ චරිත ලක්ෂණය බව මගේ හැඟීමයි. තවත් කාරණාවක් වන්නේ මෙතුමිය කැපවීමෙන් වැඩ කිරීමෙන් හා ඉගෙනීමෙන් එක තැනක සිර නොවූ තැනැත්තියක වීමය. වෘත්තිය අභිමානයකට ඇය උරුමකම් කියන්නේ සියලු කාන්තාවන්ට ආදර්ශයක් ගෙන දෙමින් යයි සිතමි.

ස්වර්ණා මඬිහහේවා මහත්මිය කැපවීමෙන් හදාරන්නේ අධ්‍යාපන මනෝ විද්‍යාව, සමාජ විද්‍යාව හා බෞද්ධ දර්ශනයයි. මෙතුමිය සිය වෘත්තීය ජීවිතයට විශාල දීප්තියක් ලබන්නේ ළමා මනෝ විද්‍යාව විෂයෙහි ලබා ගන්නා වූ ශාස්ත්‍රිය දැනුම ඉවහල් කර ගනිමිනි. අහිංසක ගැමි දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් කැපවීමටද ඒ ශික්ෂණය ඇයට මහෝපකාරි වී තිබේ. ඇගේ චරිතයේ වඩාත් කැපී පෙනෙන කාරණාව වන්නේ ‘ප්‍රායෝගික අවබෝධය ඔස්සේ න්‍යායාත්මක දැනුම දීප්තිමත් කර ගැනීම බව කිව හැකිය. දරුවන් වඩා යහපත් අන්දමින් ශික්ෂණය විෂයෙහි දහම් දැනුම අතිශයින් වැදගත් බව ඇය දැරූ මතයකි. ඒ ඇය සිසු වියේ සිට දහම් අධ්‍යාපනයෙන් යම් විනයක් ලත් නිසා විය හැකිය. සිසුවියක ලෙස බාල වියේ සිටම හුණුපිටියේ ගංගාරාමයෙන් දහම් පාසල් අධ්‍යාපනය ලත් මෙතුමිය, තරුණ වියේදී එහි ආචාර්යවරියක වී ඉක්බිතිව එහි විදුහල්පතිනිය ලෙසද මහත් කැපවීමෙන් සේවය කරමින් ඊට නිසි නායකත්වයක්ද ලබා දෙන්නට සමත් වන්නීය.

1981 දී ස්වර්ණා මඬිහහේවා මහත්මිය වෘත්තිය අත්දැකීම් කැපවීමෙන් උරුම කර ගැනීම හා තමන් සතු කර ගන්නා අධ්‍යාපන සුදුසුකම් හේතුවෙන් දෙහිවල බහුතාක්ෂණික ආයතනයේ සමාජ විද්‍යා අංශයෙහි කථිකාචාර්යවරියක් ලෙස සේවයට එක් වන්නීය. සිය රාජකාරි ජීවිතය මෙතුමිය නිම කරන්නේ දීර්ඝ කාලයක් මේ තනතුරේ අඛණ්ඩව සේවය කරමිනි. එහිදී මනෝ විද්‍යාව විෂය ගැන දැඩි උනන්දුවක් දක්වන මෙතුමිය පුද්ගල ජීවිත සාර්ථකත්වය උදෙසා තමන්ගෙන් අධ්‍යාපනය ලබන උදවියට පුළුල් දැක්මක් ලබා දීමට සමත් වන්නීය.

ස්වර්ණා මඬිහහේවා මහත්මිය සැබවින්ම පරමාදර්ශීය .දරුවන් තිදෙනෙකු මෙලොවට බිහිකර, ඒ දරුවන් නිසියාකාරව ශික්ෂණය කොට උතුම් මව් පදවිය එතුමිය ප්‍රභාවත් කළ බව ගෞරව පූර්වකව සිහිපත් කළ යුතුය. ස්වකීය ස්වාමිපුරුෂයාගේ රාජකාරි ජීවිතයටත්, ඔහුගේ සමාජ හා ශාසනික සේවාවන්ටත් අප්‍රමාණව දිරි දෙමින්, පොදු වැඩ කටයුතුවල නිමග්නව සන්තුෂ්ටියක් ලබමින් බිරිඳක් ලෙස අසම සම පෞරුෂයක් මෙතුමිය විදහාපෑමද ප්‍රශස්ථය.

ගුරු වෘත්තියෙන් තරම් සමාජාවබෝධයට ප්‍රායෝගිකව නුවණක් වෙනත් කිසි දේකින් හිමි නොවන බව තරයේ ඇදහු ස්වර්ණා මඬිහහේවා මහත්මිය, කාන්තාවක් ලෙස හැම අංශයකින්ම ශක්තිමත් වෙමින් හා තෘප්තවෙමින් කාන්තාවන්ගේ ජීවිතාභිවෘද්ධියට සිය අවබෝධයෙන් හා දැනුමෙන් කැප වූ බව ද වෙසෙසින් කිව යුතුය. ඒ සම්බන්ධව ඇය පන්නරයක් ලබන්නේ ශිෂ්‍යත්වයක් ලබා පිලිපීනයේ මැනිලා නුවරට ගොස් ‘ග්‍රාමීය කාර්මීකරණයේ කාන්තා ශිල්පිනියන්’ සම්බන්ධ වැඩසටහන ඔස්සේ ලබන්නා වූ ජාත්‍යන්තර අත්දැකීම් ඔස්සේය.

කාන්තාවක් තමන් සතු යුතුකම් සහ වගකීම් ඉටු කරමින් කාලය කළමනාකරණය කර ගනිමින් තමන් සතු හැකියාවන්ගෙන් ස්වේච්ඡා සේවයේ නිමග්න වෙමින් ආත්ම තෘප්තියක් ලබන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් ද ස්වර්ණා මඬිහහේවා මහත්මිය මනා පූර්වාදර්ශයකි. ඊට වැදගත් වී තිබෙන්නේ කාන්තාවක් ලෙස ඇය යම් අභිමානවත් චරිතයක් ගොඩනගා ගැනීම යයි මට සිතේ. ස්වාධීනත්වය, නිදහස හා ආත්ම තෘප්තිය සම්බන්ධව පෞරුෂයක් තමන් සන්තක කර ගැනීමට ඇගේ විවාහ ජීවිතයද මනා ලෙස පවත්වා ගෙන යාමට ඇගේ ජීවිතාවබෝධය ඉවහල් කර ගැනීමද විශේෂ වේ. එය ඇගේ භාග්‍යයක් යයි මම සිතමි. සිය භාර්යාවට නිසි ගෞරවය හෘදයාංගව උරුම කර දුන් ස්වාමිපුරුෂයෙකු ඇයට හිමිවීම ඇගේ දිවි ගමනේ මේ හැම සාධනීය කාරණාවකටම ඉවහල් වී තිබෙන බව පැහැදිලි සත්‍යයකි.

ස්වර්ණා මඬිහහේවා මහත්මියගේ චරිතයේ කැපී පෙනෙන අනෙක් ගුණාංගය වන්නේ පරිත්‍යාගශීලි බවයි. ඇය නිරන්තරවම උපකාර කිරීමේ සැදී පැහැදී සිටියාය. ආගමික පසුබිමක් ඇගේ ජීවිතයට පදනම් වූ නිසා ශාසනික සේවය වෙනුවෙන් ඇගේ ධන පරිත්‍යාගයටද නොමසුරු වූවාය. එහි දී මෙතුමිය හරවත් කටයුතු සම්බන්ධව නිතරම අවධානය යොමු කිරීම ද අගය කළ යුතු වේ.

ස්වර්ණා මඬිහහේවා මහත්මියගේ ජීවිතය, මිනිස් දිවි පෙවතක යථාර්ථය සම්බන්ධ නිහඬ හා ගැඹුරු පාඩමක්ද බව මගේ හැඟීමයි. මෙතුමිය තමන්ට උරුම ජීවිතයට වටිනාකමක් ලබා දෙමින් හැම අංශයකින්ම සාර්ථක වූවාය. අධ්‍යාපනයෙන් සාර්ථක වූවාය. වෘත්තීය ජීවිතයෙන් තෘප්තිමත් වූවාය. ආදරණීය ස්වාමිපුරුෂයෙකුගේ අත ගෙන සැනසුන විවාහ ජීවිතයක් උරුම කර ගත්තාය. දරුවන් තිදෙනෙකු ඇති දැඩි කර පරමාදර්ශී මවක් වූවාය. ධර්මයෙන් නිසි අවබෝධයක් ලබමින් නිරහංකාර හා ගුණ යහපත් දිවි පෙවතක් ගත කළාය. එනමුත් ඇය අනපේක්ෂිතව අසනීපව දීර්ඝ කාලයක් පියවි සිහියෙන් තොරව කල් ගත කළේ ඇය දන්නා හඳුනන සෑම සියලු දෙනාටම, නිහඬව ජීවිතයේ අනිත්‍ය පිළිබඳ ගැඹුරු පාඩමක් කියා දෙමින් යයි මට සිතේ. ස්වකීය ජීවිත කාලය තුළ කිසිවෙකුට හිතා මතා වරදක් නොකළ, හැම කෙනෙකුටම උපකාරශීලි වූ පව් පින් දැන ජීවත්වූ මේ ගුරුමාතාව ,මේ පරමාදර්ශී බිරිඳ,මේ ගුණවන්ත මව,මේ ධාර්මික කාන්තාව දිගු කලක් තිස්සේ යහනක සිහි සුන්ව සිට ස්වකීය සමීපතමයන් සමඟ කිසිදු සබඳතාවක් නොපවත්වා දිවියෙන් සමු ගැනීම හිතකින් හිතන්නට බැරි තරම් සංවේගජනක කාරණාවකි. මට අද සිතෙන්නේ සසර පුරා එතුමිය කිසියම් අකුසල කර්මයක් කළේ වී නම් ඒ සියල්ල ගෙවා දමා සසර කතරින් එතෙර වූ බවමය. 2013 අගෝස්තු මස පළමු වැනිදා මෙලොව අතහැර ගිය ස්වර්ණා මඬිහහේවා මැතිනිය නිහඬව අප්‍රකටව, පරමාදර්ශී දිවි පෙවතක් ගත කළ උතුම් හා දුර්ලභ ගණයේ කාන්තාවක් බව අප්‍රමාණ ගෞරවයෙන් සිහිපත් කිරීමට කැමැත්තෙමි.

 

නිකිණි පුර අටවක පෝය

නිකිණි පුර අටවක පෝය අගෝස්තු මස 03 වැනි දා ඉරිදා අපරභාග 06.06 ට ලබයි. 04 වැනි දා සඳුදා අපරභාග 06.12 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
අගෝස්තු 10 වැනි දා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 04

Full Moonපසෙලාස්වක

අගෝස්තු 10

Second Quarterඅව අටවක

අගෝස්තු 17

Full Moonඅමාවක

අගෝස්තු 24


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]