UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං

අම්පිටියේ සිරිවිමල නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක, මාතලේ කුඹියන්ගොඩ විද්‍යාශේඛර මූලමහා විහාරය, අම්පිටිය ජෙම්සන් ජාත්‍යන්තර බෞද්ධ භාවනා මධ්‍යස්ථානය, මාතලේ කලල්පිටිය ශ්‍රී ධර්මේස්වරාරාමය, මාතලේ ශ්‍රී විජයතිලකාරාමය, ගල්ලෑව, ආනන්දාරාමය යන පංච මහා විහාරාධිපති, ශ්‍රී සුමිත්ත ඉන්ද්‍රජෝති ධම්මිස්සර වංශා වතංශ, ශාසන කීර්ති ශ්‍රී ශාසන විභූෂණ ශාස්ත්‍රපති රාජකීය පණ්ඩිත අම්පිටියේ සිරිවිමල නාහිමිපාණන්ට 82 වසරක් ජුනි 15 වන දාට පිරීම නිමිත්තෙන් දිගාසිරි ප්‍රාර්ථනා කිරීම් වස් විහාරස්ථානයන්හි ආගමික වැඩසටහන්මාලාවක් සංවිධානය කර ඇත.

අඩසිය වසරකට අධික කාලයක් ශ්‍රී සම්බුද්ධශාසන චිරස්ථිතිය වෙනුවෙන්, දශක හයක උපසම්පන්න මහ තෙර නමක් වශයෙන් ශාසනික, ආගමික හා ධර්ම ශාස්ත්‍රීය සේවාවන් වෙනුවෙන් දිවි කැප කර සිටින සිරිවිමල නාහිමියෝ, විචිත්‍ර, ධර්මකථිකයෙකු මෙන්ම ග්‍රන්ථ කර්තෘවරයෙකු වශයෙන් ධර්ම අධ්‍යාපනික කටයුතු වෙනුවෙන් ශාසනික සේවාවක් ඉටු කර ඇත.

කුඹියන්ගොඩ විද්‍යාශේඛර මූල මහා පිරිවෙන, මරදාන ශ්‍රී ලංකා විද්‍යාල පිරිවෙන්හි ධර්මාචාර්ය, පරිවෙනාධිපති දරමින් පිරිවෙන් අධ්‍යාපනයේ චිරස්ථිතිය උදෙසා උදාර ශාසනික සේවාවක් ඉටුකර ඇති අම්පිටියේ සිරිවිමල නාහිමි නේපාල ජාතික භික්‍ෂූන් වහන්සේලා සසුනට කැප කළ ධර්මධර, සුපේශල ශික්‍ෂාකාමී මහා තෙර නමකි!


නාත්තන්ඩියේ ශ්‍රී සද්ධානන්ද නා හිමි

වීරහේනේගෙදර ශ්‍රී විජය සුන්දරාරාමාධිපති නාත්තන්ඩියේ ශ්‍රී සද්ධානන්ද නා හිමියන් නාත්තන්ඩිය ග්‍රාමවරයෙහිදී 1934 ජූනි මස 24 වන දින ජන්ම ලාභය ලබා 1949 අගෝස්තු මස 08 දින වීරහේනේගෙදර ශ්‍රී විජයසුන්දරාරාම රජමහා විහාරයේ දී නාත්තන්ඩියේ සද්ධානන්ද නමින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

මූලික බණදහම් කඩිහාරේ ගුණානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වෙතින් ඉගෙන, රත්මලේ රතනසේල, කුරුණෑගල මලියදේව, කෝට්ටේ සිරිපැරකුම්බා ආදී පිරිවෙන් වලින් වැඩිදුර අධ්‍යාපනය ලැබීය. විසිවස් සපිරි සද්ධානන්ද සාමණේරයන් වහන්සේ උගත මනා බණ දහම් සපුරා 1959 මැයි මස 25 දින අස්ගිරි මහා විහාරයේ දී උපසම්පදාවට පත්වූහ.

මින් පසු වීරහේනේගෙදර විහාරස්ථානයෙහි නිත්‍ය නේවාසිකව වැඩ වෙසෙමින් ස්වකීය දායකකාරකාදීන්ට මෙන්ම පළාත්වාසී සකලවිධ බොදු ජනතාවටද ආගමික වශයෙන් ඉමහත් සේවාවක් සළසන ලදී. මෙනිසා උන්වහන්සේ බණට පිරිතට නැතුවම බැරි හිමිනමක් වූහ. සංඛ්‍යාත්මකව පිරිත් දේශනා දස දහසකට අධිකව දේශනා කර ඇතැයි ගණනය කර තිබේ. ස්වකීය නිත්‍ය නේවාසික විහාරය ඇතුළු තදනුබද්ධ විහාරස්ථාන සකලාංග සම්පූර්ණ කොට ඇත. එමෙන්ම විශිෂ්ට දහම් පාසල් සේවාවකින්ද, වීරහේනේගෙදර, බැද්දේගම, වාරියපොල, පනාදරගම, ගල්ලැහැර, කිතුල්වැහැර ආදී දහම් පාසල් ආරම්භ කරමින්ද ප්‍රධානාචාර්ය ධුරය දරමින්ද ප්‍රාදේශීය බොදු දරුවනට සළසන ලද්දේ අපමණ සේවාවකි. එමෙන්ම පෙර පාසල් ඇතුළු විවිධ ස්වේච්ඡා සංවිධාන අරඹා විධිමත්ව පවත්වාගෙන යාමද අගය කළ යුතුය.

විශේෂයෙන් අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගන්තිරියාවේ විමල හිමියන් සමඟ එක්ව ශ්‍රී සද්ධානන්ද පිරිවෙන ආරම්භ කොට එහි කෘත්‍යාධිකාරී තනතුරද හෙබැවූහ. එමෙන්ම මෑත භාගයේ ඉදිකරන ලද අසූමහා ශ්‍රාවක ශ්‍රී සම්බුද්ධ මන්දිරය සුවහසක් බොදු ජනතාවගේ වන්දනා මානයට පත්ව ඇත.

මෙලෙස ප්‍රාදේශීය සියලු දෙනා කෙරෙහි ගෞරවයට පාත්‍රවූ නිසා අස්ගිරි මහ නා හිමි ප්‍රධාන සානුනායක කාරක මහා සංඝ සභාව මඟින් 1988 වර්ෂයෙහි ‘සද්ධර්ම කීර්ති ශ්‍රී සෝභිත” යන ගෞරව නාම සම්මුතිය සහිත දේවමැදි හත් පත්තුවේ උප ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමූහ.

නාත්තන්ඩියේ ශ්‍රී සද්ධානන්ද නා හිමිපාණන් වහන්සේ 2014 මාර්තු මස 01 දින හැත්තෑ නව වසක් ආයු වළඳා සිහිනුවණින් යුතුව අපවත්වී වදාළහ. උන්වහන්සේට පුණ්‍යානුමෝදනය පිණිස ශිෂ්‍ය පිරිස හා දායක සමූහයා විසින් ජූනි මස 01 දින සුමධුර දම් දෙසුමක් හා පසුදින අර්ධශතාධික දානමය පින්කමක් ඇතුළු පින්කම් රැසක් සංවිධානය කොට තිබිනි. ගෞරවාර්හ නාත්තන්ඩියේ ශ්‍රී සද්ධානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට නිවන් සුව පතමු.


දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමි

මිණුවන්ගොඩ නැදගමුව නාගවනාරාමාධිපතිව වැඩ වසන, ගම්පහ ඉඳිගොල්ල විද්‍යාවංශ මහ පිරිවෙනේ විශ්‍රාමික පරිවේණාධිපති ශාස්ත්‍රවේදී දිවුලපිටියේ පඤ්ඤාසීහ හිමිපාණෝ මෙම විසිවෙනි දින තම සිසුල්වත් පැවිදි දිවියට අඩසියවසක් සැපිරූහ. 1951 දී අගෝස්තු මස දොලොස් වැනිදා දිවුලපිටියේදී කේ. ජී. ඒ. වීරවර්ධන හා කේ. ඩී. බී. පියසෝමා දම්පතීන්ගේ කනිටු පුතු ලෙස උපන් උන්වහන්සේගේ පවුලේ සොයුරු සොයුරියන් හය දෙනෙකි.

දිවුලපිටියේ ප්‍රාථමික විද්‍යාලයෙන්, පින්නකැලේවත්ත කනිෂ්ඨ විද්‍යාලයෙන් හා හුණුමුල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා 1967.05.20 දා දිවුලපිටියේ ජෝතිකාරාමාධිපතිව වැඩ විසූ බලබෝවේ පඤ්ඤාලෝක මහා ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් හා එවකට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හා බලගල්ල සරස්වතී මහා පිරිවෙන් අධ්‍යක්‍ෂ එස්සැල්ලේ ඤාණෝදය මහා නාහිමිපාණන්ගේ උපාධ්‍යායත්වයෙන් දිවුලපිටියේ ජෝතිකාරාම විහාරස්ථානයේදී පැවිදි වූහ.

බලගල්ල සරස්වතී පිරිවෙනේදී පිරිවෙන් වර්ගපටිපාටිය සම්පූර්ණ කොට, ප්‍රාචීන විභාගයද ජයග්‍රහණය කළ උන්වහන්සේ 1976 කැලණි විශ්ව විද්‍යාලයට ඇතුළත්ව ශාස්ත්‍රවේදී උපාධියෙන් පිදුම් ලදහ.

උන්වහන්සේ විසිවයස් සම්පූර්ණ වූ කල 1972 කළ්‍යාණිනදී උදකුක්ඛේප සීමාවේදී උපසම්පත්තියට පත් වූහ. 1982 වසරේදී ගම්පහ, බණ්ඩාරවත්ත, ඉඳිගොල්ල විද්‍යාවංශ මහපිරිවෙනේ උපගුරුවරයෙකු ලෙස ගුරු සේවයට පිළිපන් උන්වහන්සේ එහි ජ්‍යෙෂ්ඨ උපාධිගුරු නියෝජ්‍ය පරිවේණාධිපති පිළිවෙලින් පරිවේණාධිපති පදවියද හොබවා හැටවයස් සපිරීමෙන් 2011 ගුරුදිවියෙන් විශ්‍රාම ලැබූහ.

1983 නැදගමුව නාගවනාරාමයට වැඩම කිරීම උන්වහන්සේගේ ශාසනික සේවයේ වැදගත් සන්ධිස්ථානයකි. එවකට පහසුකම් අඩු කුඩා ආවාසයක්ව තිබූ එම විහාරස්ථානය වර්තමානය වන විට පළාතේ ප්‍රධානම පුණ්‍ය කේන්ද්‍රස්ථානයක් බවට පත්ව ඇත්තේ උන්වහන්සේගේ මහා කැපකිරීම නිසාය. එවකට තිබූ ආවාසගෙය අලුත්වැඩියා කරවූ උන්වහන්සේ අලුතින්ම අටවිසි පිළිම සහිත සමාධි බුද්ධ මන්දිරය, බෝධිප්‍රාකාරය, දාගැබ් වහන්සේ, දෙමහල් ධර්ම මන්දිරය, කොටුබැම්ම ආදිය ඉදිකරවූහ.

අක්‍රියව තිබූ දායක සභාව, කුලඟන සමිතිය, දහම්පාසල හා අවමංගල්‍යාධාර සමිතිය යළි පණගැන්වූ උන්වහන්සේ දායක දායිකාවන් සඳහා නිරන්තරයෙන් බෝධි පූජා, අටවිසි පූජා, ගුණසමරු පින්කම්, ධර්ම දේශනා පින්කම්, පෙරහර ආදිය සංවිධානය කරති. වර්තමානයේ පැවිදි ගිහි දෙපසේම මහත් ගෞරව සම්භාවනාවට පාත්‍ර වන විහාරස්ථානයක් බවට නාගවනාරාමය පත්ව ඇත.

පැවිද්දෙන් පනස් වියද උපතින් සැටතුන් වියද උපසම්පත්තියෙන් 42 වියද සම්පූර්ණ කරන උන්වහන්සේ තම සාර්ථකත්වය පිණිස පසුබිම් සකස්කළ තම ගුරුදේවෝත්තම බලබෝවේ පඤ්ඤාලෝක මහා ස්වාමීන් වහන්සේට අමතරව පැවිදි සොයුරු ශාස්ත්‍රපති වැවගෙදර ඤාණින්ද ස්වාමීන් වහන්සේ, දොඹවල දයානන්ද පණ්ඩිත ස්වාමීන් වහන්සේද නිතර සිහිපත් කරති. බලගල්ල සරස්වතී මහ පිරිවෙනේත් ගම්පහ ඉදිගොල්ල විද්‍යාවංශ මහා පිරිවෙනේත් පළාත්වාසී මහා සංඝරත්නයේත් ආශිර්වාදය උන්වහන්සේගේ ගමනට මහත් පිටිවහලක් විය.

ශාස්ත්‍රවේදී දිවුලපිටියේ පඤ්ඤාසීහ ගරුතර ස්වාමීන් වහන්සේට නීරෝගී සුව හා දීර්ඝායුෂ ලැබේවා.

ගම්පහ බණ්ඩාරවත්ත විද්‍යාවංශ මහ පිරිවෙනේ පරිවේනාධිපති, මගලේගොඩ සිරිනිකේතනාරාමාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ගම්පහ ප්‍රාදේශීය සංඝ සභාවේ

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]