UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොළොන්නරුව සෝමවතී රජ මහා විහාරයේ මුල්තැන් පූජා මන්දිරය සහ අංග සම්පූර්ණ දෙමහල් දාන ශාලාව විවෘත කිරීම ජූනි 10 වනදා

පොළොන්නරුව සෝමවතී රජ මහා විහාරයේ මුල්තැන් පූජා මන්දිරය සහ අංග සම්පූර්ණ දෙමහල් දාන ශාලාව විවෘත කිරීම ජූනි 10 වනදා

වර්තමාන තත්ත්වයට පත්කර ගැනීමට හැකිවීම බලවත් සතුටට හේතුවන්නක්

සම්මා සම්බුදුරජාණන් වහන්ස්ගේ ශ්‍රී‍්‍ර දකුණු දළදා වහන්සේ නිදන් කොට ඇති පොළොන්නරුව ඓතිහාසික සෝමවතී චෛත්‍ය රාජයාණන් වහන්සේ බෞද්ධ ජනතාවගේ පරම පූජනීය සිද්ධස්ථානයකි. ක්‍රි. පූ. 02 වන සියවසේ සෝමවතී දේවි හා ගිරි අභය කුමරු විසින් ඉදිකරන ලද මෙම සෝමවතී චෛත්‍යරාජයා රාජරාජ මහාමාත්‍යාදීන් හා මහජනතාව විසින් වැඩිදියුණු තත්ත්වයට පත් කරමින් දකුණු දළදා වහන්ස්ගේ ආශිර්වාදය ලබා ගත් ආකාරය ඓතිහාසික තොරතුරු අනුව මැනවින් පැහැදිලි වේ.


මුළුතැන් දළදා පූජා මන්දිරය සහිත සුවිශාල දෙමහල් දාන ශාලා සංකීර්ණය

කාලිංග මාඝ චන්ද්‍ර භානු ආක්‍රමණ නිසා මුළු උතුරු හා උතුරු මැද ප්‍රදේශයන් හි වෙහෙර විහාර ඇතුළු සියලු රාජ්‍ය මහජන දේපල විනාශ වෙමින් කැලෑ බවට පත්විය. නැවතත් මෙම ප්‍රදේශ සොයා ගැනීමට හැකි වූයේ 1947 මහාමාන්‍ය ඩී. එස්. සේනානායක අගමැතිතුමා විසින් ආරම්භ කරන ලද ගොවිජනපද ව්‍යාපාරය වැඩිදියුණු තත්ත්වයට පත්වීමත් සමඟ ය. මහජනතාව එකී ප්‍රදේශයන්හි හැසිරීමෙන් සෝමවතී චෛත්‍යය රාජයා පිළිබඳ තොරතුරු දැනගත් අපේ මල්වතු මහා විහාරයෙහි කාරක සංඝ සභික බඩගමුව රාජමහා විහාරාධිපති සිරිමල්වත්තේ ශ්‍රී පියරතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ හා රාජකීය පණ්ඩිත පහමුණේ ශ්‍රී ගුණානන්දාභිධාන අපේ මල්වතු පාර්ශවයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මල්වතු මහා විහාරයීය භික්‍ෂූන් වහන්සේ පොළොන්නරු ප්‍රදේශයෙහි ජනපදවල පදිංචි වූ සිංහල හා මුස්ලිම් ජනතාවත් සම්බන්ධ කරගෙන මෙම ස්ථානය සොයා ගැනීමෙන් පසු 1966 වර්ෂයේ දී මුල්ගල් තබා 1981 වර්ෂයේදී කේතු පිළන්දන උත්සවයත් සමග මහජනතාවගේ නොමද වැඳුම් පිදුම් සත්කාර සම්මානයන්ට භාජනය විය.

එනමුත් 1985 දී පමණ ඇති වූ ත්‍රස්තවාදී උවදුරු නිසා සෝමවතී චෛත්‍යරාජයා අවට ප්‍රදේශය මහඝන කැළයක් බවට පත්විය. නැවතත් 2002 දී වර්තමාන සෝමවතී රාජමහා විහාරාධිපති අපේ මල්වතු මහා විහාරයීය කාරක මහා සංඝ සභාවේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්ථවිරයන්ගේ බලවත් උත්සාහය නිසා එවක රජයන් හා මහජනතාව සම්බන්ධ කරගෙන අපගේද අනුශාසනා ලබමින් වර්තමාන තත්ත්වයට පත්කර ගැනීමට හැකි වීම බලවත් සතුටට හේතුවන්නක් විය.

වර්තමාන රජයේද අනුග්‍රහය ලබමින් විදුලියත්, මහාමාර්ගයත්, වර්තමාන තත්ත්වයට පත්කර ගනිමින් මහජනතාවගේ නොමද උදව් ආධාරයෙන් අත්‍යවශ්‍ය ගොඩනැඟිලි ආදිය ඉදිකරගෙන යන අතර, අඩුවක්ව පැවති දාන ශාලාව මාලඹේ අතුරුගිරිය පාරේ අංක 546 දරන ස්ථානයේ මයික්‍රෝ පැකේජින් ආයතනයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ දේශමාන්‍ය කේ. ඒ. සී. පෙරේරා මහතා විසින් ධනව්‍යයකින් ඉදිකරන ලද එකී දෙමහල් දාන ශාලාව ශ්‍රී‍්‍ර ලංකා ප්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති විශ්වකීර්ති ශ්‍රී ත්‍රී සිංහලාධීශ්වර මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ගේ සියතින් 2014 ජුනි 10 වෙනි දින සම්බුදු සසුන වෙනුවෙන් පූජා කිරීමට කටයුතු සැලැස්වීම ඉමහත් සතුටට හේතුවන්නකි.

මෙවන් පරිත්‍යාගයන් සිදු කරන උක්ත පෙරේරා මහත්මාට රට දැය සමය වෙනුවෙන් ඉමහත් සේවයක් සිදු කිරීමට ධෛර්යය හා ශක්තිය ලැබේවායි ආශිංසනය කරන අතරම මහජනතාවගේ නොමද වැඳුම්පිදුම් ගෞරවයට පාත්‍ර වන දකුණු දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාගන්නා මෙම සෝමවතී පුණ්‍යභූමිය හා චෛත්‍යස්ථානය වැඩිදියුණු කරමින් මහජනතාවට ආශිර්වාද ලබාගැනීමට සැලැස්වීම රජයේ හා මහජනතාවගේ පරම යුතුකමක් බව මෙහිදී හිතාධ්‍යාශයෙන් සිහිපත් කරම්.


සුවිශේෂී තැනක් හිමිවන සිද්ධස්ථානයකි

පොළොන්නරුව සුංගාවිල ඓතිහාසික සෝමවතී රජමහා විහාරය ලක්දිව ජාතික,ශාසනික ඉතිහාසය තුළ සුවිශේෂි තැනක් හිමිවන සිද්ධස්ථානයකි. බුදුපියාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ තැන්පත් කොට ඇතැයි සැළකෙන, මෙම චෛත්‍යරාජයාණන් වහන්සේ ක්‍රි.පූ. දෙවන සියවසේ පමණ ඉදිකරන ලද්දකි. පරසතුරු උවදුරු නිසා කලක් වල් බිහිව තිබුණු මෙම සිද්ධස්ථානය වත්මන් විහාරාධිපති අපේ මල්වතු මහා විහාරීය වැඩබලන ලේඛකාධිකාරි ශාස්ත්‍රපති පණ්ඩිත පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්ථවිරයන් වහන්සේ යටතේ සකලාංග සම්පූර්ණ සිද්ධස්ථානයක් බවට පත්වෙමින් තිබීම අප කාගෙත් සතුටට හේතුවකි.

මාලඹේ අතුරුගිරිය පාරේ අංක 154 දරන මයික්‍රෝ පැකේජින් ආයතනයේ අධිපති කේ.ඒ.සී. පෙරේරා මහතා විශාල ධනස්කන්ධයක් වැයකොට මෙම සිද්ධස්ථානයට අඩුපාඩුවක්ව පැවති මුළුතැන් ගෙයක් සහිත දානශාලාව ඉදිකර සම්බුදු සසුන වෙනුවෙන් පූජා කිරීම කාලීන වශයෙන් ඉතා වැදගත් පුණ්‍ය කර්මයකි.

සැදැහැති දානපතියෙකු වූ එතුමන්ට තව තවත් මෙවැනි ශාසනික කටයුතු සිදුකරන්නට රත්නත්‍රයේ ආශිර්වාදයෙන් හා උතුම් දළදා සමිඳු පිහිටෙන් ධෛර්ය ශක්තිය ලැබේවායි ආශිංසනය කරම්හ.


අමන්දානන්දයට හේතුවක්

ක්‍රි. පූ. දෙවන සියවසේ දී දඹදිවෙන් වැඩමකර වූ සර්වඥ දකුණු දළදා වහන්සේ නිධන් කරමින් ඉදිවුණු සෝමවතී මහා සෑය ප්‍රධාන චෛත්‍ය රාජයාණන් වහන්සේ හා රජමහ වෙහෙර කරවා රාජ රාජ මහා මාත්‍යාදීන් පුදසත්කාර කරමින් දීර්ඝ ඉතිහාසයකට නෑකම් කියූ මුත් පොළොන්නරු යුගයෙන් පසු එනම්, මීට අවුරුදු 850ට පමණ පෙර මෙම පෞරාණික ආශ්චර්යමත් බලගතු බෞද්ධ සිද්ධස්ථානය වනගත වූයේ බෞද්ධ ජනතාවගේ අභාග්‍යයකටදැයි සැක සහිතය.

එසේ වුවද, දිගු කාලයක්ම චෛත්‍යය ජරාවාස වී තිබුණු මුත් හැටේ දශකයේ දී, රජ සමයේ ඉදිවී නටබුන්ව පැවති වෙහෙර විහාර වැව් පොකුණු බොහෝමයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය මැදිහත් වීමෙන් වසර 2100ක් පැරණි ඉතිහාසයක් ඇති මෙම චෛත්‍ය රාජයාණන් වහන්සේ ද ප්‍රතිසංස්කරණය කිරීම සඳහා හඳුනා ගනු ලැබීය.

එදා සෝමවතී චෛත්‍ය වර්ධන සමිතියක් පිහිටුවා මෙය පිළිසකර කරවීමට ගත් ප්‍රයත්නය ඵලදායී වූ මුත් අවාසනාවකට මෙන් උතුරු කරයේ පැවති යුද ස්වභාවය හේතුකොට ගෙන මෙහි ප්‍රතිඵල සියයට සීයක්ම භුක්ති විඳීමට බෞද්ධ ජනතාවට නොලැබී ගිය බවද සත්‍යයකි.

අද ඒ තත්ත්වය වෙනස් වෙමින් සාමය ගොඩනැගුණු සුභදායක මානසික තත්ත්වයක් ජනතාව තුළ ජනිත වෙද්දී රමණීය භූමියක් වූ, මහරහතන් වහන්සේලා වැඩ සිටි, උන්වහන්සේලා වැඳපුදාගත් මෙම පූජණීය භූමිය වත්මන් සැදැහැවතුන්ට වන්දනා මාන කිරීම සඳහා ලෝකවාසීන්ට උරුම කරදීමට මා දැරූ වෑයම අද වන විට මල් ඵල ගැන්වී තිබීම අමන්දානන්දයට හේතු වාසනා වේ.

මේ සඳහා මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නාහිමි ප්‍රමුඛ, සංඝ සභාවේ සියලුම නාහිමිවරුන්ටත්, හොරණ පඤ්ඤාසේකර නාහිමියන්ටත් එසේම මෙම උත්තරීතර කාර්ය සාක්ෂාත් වන අයුරින්, මෙතෙක් අඩුපාඩුවක්ව තිබූ මුළුතැන් දළදා පූජා මන්දිරය සහිත සුවිශාල දෙමහල් දාන ශාලා සංකීර්ණය රුපියල් මිලියන 25කට අධික මුදලක් තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් වැයකර ඉදිකර දුන් අතුරුගිරිය මාලඹේ මයික්‍රෝ පැකේජින් ඉන්ඩස්ට්‍රීස් අධිපති දේශමාන්‍ය ආචාර්ය කේ. ඒ. සී. පෙරේරා පිංවත් මැතිතුමාටත්, පුණ්‍යානුමෝදනා ස්තුතිය පුද කරමි. එතුමා කරගෙන යනු ලබන ව්‍යාපාර තව තවත් දියුණු කර ගැනීමට, ශ්‍රී දකුණු දළදා සමිඳුන්ගේ ආශීර්වාදයත් රත්නත්‍රයේ ආශීර්වාදය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


ආශීර්වාදයට භාජනය විය යුතුය

ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ ඉතාමත් වටිනා පූජණීය භූමියක් ලෙසින් හා ස්ථානයක් වශයෙන්, පොළොන්නරුව සුංගාවිල සෝමවතී රජමහා විහාරය සැළකේ.

රජ දවසේ පටන්ම මෙම විහාරස්ථානය මල්වතු පාර්ශවය යටතේ පාලනය විය. වත්මනෙහි එහි විහාරාධිපති ධුරය දරන අප මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී මහාචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්ථවිරයන් වහන්සේගේ නායකත්වය යටතේ අගාධයට පත්ව තිබූ මෙම විහාරස්්ථානය ලෝක බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කිරීම සඳහා ඉතාමත් රමණීය විහාරස්ථානයක් බවට පත්වෙමින් තිබේ. එසේම බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ මෙම විහාරස්ථ චෛත්‍ය රාජයාණන් වහන්සේ තුළ නිධාන ගතවී ඇති බැව් ද ප්‍රකට කරුණකි.

මෙම උත්තරීතර දළදා වහන්සේ වැඳ නමස්කාර කිරීමේ භාග්‍ය මුන්වහන්සේ උදාකර දුන්නා සේම ඒ හා සමගාමීව, එම පූජා උපහාර දැක්වීම සඳහා මුළුතැන් දළදා පූජා මන්දිරයක් හා සංඝයා වහන්සේලා සියක් නමකට දාන පුණ්‍ය කර්මයකට සහභාගිවීමට හැකි දාන ශාලාවක් සහිත සුවිශාල දෙමහල් ගොඩනැගිල්ලක් විශාල මුදලක් වැය කර ඉදිකරදීමට ඉදිරිපත් වූ මාළඹේ අතුරුගිරිය පාරේ, මයික්‍රෝ පැකේජින් ඉන්ඩස්ට්‍රීස් අධිපති දේශමාන්‍ය ආචාර්ය කේ. ඒ. සී. පෙරේරා මැතිතුමා මහා සංඝරත්නයේ ආශීර්වාදයට භාජනය විය යුතුය. එතුමා මා දන්නා පරිදි ඉතාමත් ධෛර්ය සම්පන්න තමාගේ ජීවිතය ක්‍රමානුකූ®ලව ගොඩනගාගත් ලාංකික බෞද්ධයෙකි. එතුමා සිය දෙස, බස, රැස වෙනුවෙන් උදාර සේවයක් ඉටුකරන කා අතරත් ගෞරවාදරයට පාත්‍ර වූවෙකි. එතුමා මේ සද්කාරය ඉටුකිරීම පිළිබඳව අපගේ කෘතඥතා පූර්වක පුණ්‍ය අනුමෝදනාව පිරිනමමි. එතුමාට නිරෝගී චිරජීවනය පතමි.


නැවත සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවීම අප හිමිකරගත් සුවිශේෂී ජයග්‍රහණයක්

පොළොන්නරුව ඓතිහාසික සෝමවතී රජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දළදා පූජා මන්දිරය සහිත දෙමහල් දාන ශාලාව සඟ සතු කිරීමේ පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව අතිශයින් සතුටට පත්වීමි.

ක්‍රි.පූ. දෙවන සියවසේ දී දඹදිවෙන් වැඩම කළ බුදුරජාණන් වහන්සේගේ දකුණු දළදා වහන්සේ නිධන් කරමින් ඉදි කළ සෝමවතී මහාසෑය බොහෝ කලක් වනගතව පැවත ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු නැවත සැදැහැවතුන්ගේ වන්දනාමානයට පාත්‍රවෙමින් පැවතීම ජාතියේ වාසනාවකි.

ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ මාහැඟි පූජා භූමියක් වන සෝමවතී පුදබිම ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් විහාරස්ථානයකි. වර්තමානයේ මෙම විහාරස්ථානයේ දියුණුව වෙනුවෙන් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඇප කැප වී කටයුතු කරන මල්වතු පාර්ශවයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ගෞරවාර්හ පහමුණේ ශ්‍රී සුමංගල නායක ස්වාමීන්වහන්සේගේ මාර්ගෝපදේශකත්වය මම ඉතා අගය කොට සලකමි.

පසුගිය සමයේ පැවති යුදමය වාතාවරණය හේතුකොටගෙන සැදැහැවතුන්ගේ පූජෝපහාරයට මෙම පුද බිම ලක් වූ අතර යුද ගිනි නිවා සාමය උදා වූ පසු මෙම පුණ්‍ය භූමිය නැවත සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවීම අප ලත් සුවිශේෂී ජයග්‍රහණයක් ලෙස දකිමු.

මෙම සුවිශේෂී සද්කාර්යය සාර්ථක කරගැනීම සඳහා ඇප කැප වන ගිහි පැවිදි සම්භාවනීය සියලුම දෙනා වෙත ශුභාශිංසන එක් කරන අතර, මෙම පොළොන්නරුව ඓතිහාසික සෝමවතී රජ මහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන ලද දළදා පූජා මන්දිරය සහිත දෙමහල් දාන ශාලාව සඟ සතු කිරීමේ පුණ්‍ය මහෝත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි! මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


අතිශය ප්‍රශංසනීයය

ක්‍රි. පූ. දෙවන සියවසේ දී දඹදිවෙන් වැඩමකරවූ ශ්‍රී සර්වඥ ධාතූ®න් වහන්සේ වැඩවසන සෝමවතී මහා චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිකර තිබෙන පොළොන්නරුව, සුංගාවිල රාජපූජිත ඓතිහාසික සෝමවතී රජමහා විහාරස්ථානය වෙත දළදා වන්දනාව උදෙසා දිවයිනේ නන් දෙසින් සුවහසක් සැදැහැවතුන් වන්දනාමාන කිරීම උදෙසා පැමිණෙන අති පූජනීය ස්ථානයකි.

මෙම පූජනීය ස්ථානය කලින් කළ විවිධ හේතූන් මත පරිහානියට ලක් වූවත්, රජ සමයේ ඉදිවී නටබුන්ව පැවැති වෙහෙර විහාරස්ථාන, වැව් පොකුණු ආදී පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුතු ස්ථාන රැසක් යළි සංවර්ධනය කිරීමට රජයට හැකියාව ලැබී ඇත. ඊට සමගාමීව සෝමවතී චෛත්‍ය වර්ධන සමිතිය පිහිටුවා සෝමවතී පුදබිම ආරක්ෂා කිරීමට කටයුතු කිරීම නිසාම බෞද්ධ ජනතාවට මෙම පූජනීය ස්ථානය යළි වන්දනාමාන කිරීමට අවස්ථාව උදාවී තිබේ.

කුරිරු ත්‍රස්තවාදය අවසන් කෙට ගොඩනැඟුණු සාමයත් සමඟ තිලෝගුරු බුදුරජාණන් වහන්සේගේ පහස ලැබූ ස්ථානයක් වශයෙන් පත්ව ඇති සෝමවතී රජමහා විහාරය බෞද්ධයන්ගේ පරම පූජනීය ස්ථානයක් බවට පත්ව ඇතැයි පවසන්නේ ඉමහත් භක්තියෙනි. ඊට සමගාමීව මාලඹේ, මයික්‍රෝ පැකේජින් ආයනනයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ, දේශමාන්‍ය කේ. ඒ. සී. පෙරේරා මැතිතුමාගේ ධන පරිත්‍යාගයෙන් ඓතිහාසික පොළොන්නරු සෝමවතී රජමහා විහාරස්ථානයේ ශ්‍රී දළදා පූජා මන්දිරය, දාන ශාලාව, මහා සංඝරත්නය උදෙසා අංගසම්පූර්ණ කාමර පද්ධතියක් සහ මුළුතැන්ගෙයක් සකස් කිරීම අතිශය ප්‍රශංසනීයය.

මෙවැනි උදාර පුණ්‍ය කටයුතු ක්‍රියාත්මක කිරීම සඳහා ඊට නායකත්වය දෙන ඓතිහාසික සෝමාවතී රජමහා විහාරයේ විහාරාධිපති, පහමුණේ සුමංගල නාහිමිපාණන් වහන්සේට මාගේ් කෘතවේදීත්වය පළ කරන අතර, අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම පුණ්‍යෝත්සවය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා!


නිරාමිස සතුටක්

බුදුන්වහන්සේගේ දකුණු ශ්‍රී දළදා වහන්සේ වැඩසිටින සෝමවතී ඓතිහාසික රජමහා විහාරස්ථානය ලංකාවාසීන්ගේ මෙන්ම ලෝකවාසී බෞද්ධ ජනතාවගේද ගෞරවාදරයට පාත්‍ර වූ සිද්ධස්ථානයකි. එහි වත්මන් විහාරාධිපති අති ගෞරවාර්හ පහමුණේ සුමංගල නාහිමියන්ගේ අනුශාසනා පරිදි හොරණ රජමහා විහාරාධිපති අතිපූජනීය හොරණ පඤ්ඤාසේඛර නාහිමියන්ගේ මඟ පෙන්වීමෙන් මෙම විහාරස්ථානයට අඩුපාඩුවක්ව පැවති මුළුතැන් පූජා ගෘහය සහිත සකලාංගයන්ගෙන් යුතු දානශාලාවක් ඉදිකරදීමට ලැබීම මගේ ජීවිතයේ මා ලද විශාලම භාග්‍යයක් කොට සලකමි.

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සුරතින් අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මැතිතුමාගේ සහ සෞඛ්‍යය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන හා සිරිපාල ගම්ලත් අමාත්‍යතුමාගේද සහභාගීත්වයෙන් මෙම සද්කාර්යය ඉටුකිරීමට ලැබීමද මාගේ සතුට තවත් තීව්‍ර වන්නකි.

බුදුසසුන බැබලේවා, බුදුන්ගේ දහම් සුවය ලොව දස දෙස පැතිරේවා.

 

 

පොසොන් පුර අටවක පෝය

පොසොන් පුර අටවක පෝය ජුනි මස 05 වැනිදා අපරභාග 01.06 ට ලබයි.06 වැනිදා සිකුරාදා අපරභාග 03.02 දක්වා පෝය පවතී.සිල් සමාදන් වීම ජුනි මස 05 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
ජුනි 12 වැනිදා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූනි 05

Full Moonපසෙලාස්වක

ජූනි 12

Second Quarterඅව අටවක

ජූනි 19

New Moonඅමාවක

ජූනි 26


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]