UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පූජාච පූජනීයානං
 

කැටවල ඉන්දසාර නා හිමි

වැලිගම, කොක්මාදුව ශ්‍රී පූර්වාරාමය පලල්ල වට්ටක්ගොඩ ශ්‍රී නිදංගලාරාමය යන උභය විහාරාධිපති කනංකේ රාජමහා විහාර පරිවෙණාධිපති ශාස්ත්‍රපති කැටවල ඉන්දසාර ස්වාමීන් වහන්සේ වෙත මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ගරුතර සානුනායක කාරක මහා සංඝ සභාව මගින් “ සද්ධර්ම කීර්ති ශ්‍රී අරියවංශ” ගෞරවනාමය සහිත වැලිගම්කෝරළේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනමා ඇත.

එම පදවිය පිළිබඳ ශ්‍රී සන්නස්පත්‍රය ලබාගැනීමේ ශාසනික උත්සවය 2014 මැයි 09 වන දින සවස 3.00 ට මහනුවර මල්වතු මහා විහාරයේදී සිදුවන අතර අභිනව නායක ස්වාමීන් වහන්සේ ගරු බුහුමන් පෙර දැරිව පිළිගැනීමේ ශාසනික මහෝත්සවය මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ ශ්‍රී විජිත සිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ, දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක අග්ග මහා පණ්ඩිත පල්ලත්තර ශ්‍රී සුමනජෝති ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නයේ ද ගරු කතානායක චමල් රාජපක්‍ෂ මැතිතුමා ප්‍රධාන සම්භාවනීය ගිහි උතුමන්ගේද සහභාගිත්වයෙන් මැයි මස 11 වන දින සවස 3.00 ට කොක්මාදුව ශ්‍රී‍්‍ර පූර්වාරාම විහාරස්ථානයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මාතර දිස්ත්‍රික්කයේ මොරවක් කෝරළයට අයත් කැටවල ගමේ දී සේනානායකගේ අරනෝලිස් අප්පුහාමි මහතාගේ හා විජේසිංහ කංකානම්ගේ පේමාවතී මහත්මියගේද පුත්රුවනක් ලෙසින් 1965 මැයි 05 වන දින ජන්ම ලාභය ලැබීය. පුහුල්හේන්කන්ද විද්‍යාලය හා පට්ටිගල විද්‍යාලයෙන්ද මූලික අධ්‍යාපනය ලබා 13 වන වියේදි එනම් 1978.06.08 වන දින පැවිදි ජීවිතයට ඇතුළත් විය.කොක්මාදුව ශ්‍රී‍්‍ර පූර්වාරාමය ඇතුළු විහාර ගණයේ විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ වැලිගමකොරළේ ප්‍රධාන සංඝනායක තෙල්ලඹුරේ සිරි අරියවංස හිමියන්ගේ හා කර්මාචාර්ය කොක්මාදුව සරණපාල මා හිමි හිමියන් පැවිදි ආචාර්යවරු වූහ. පැවිදි ජීවිතයට අවශ්‍ය මූලික වත්පිළිවෙත් හා භාෂා ශාස්ත්‍ර වැලිගම අග්‍රබෝධි පිරිවෙණ හා කොළඹ දෙමටගොඩ ප්‍රධාන ඝර මහා විහාරස්ථ ධර්ම දූතාශ්‍රම මහ පිරිවෙණ මගින් ලබා ගත්හ. පිරිවෙන් අධ්‍යාපනයේදි නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් ලැබුණ මගපෙන්වීම ඉන්දසාර හිමියන්ගේ ශාසනික ජීවිතය ආලෝකමත්කර ගැනීමට හේතු විය. ලේඛන කලාවට හා දේශනා කුසලතාවයන්ටද විශේෂ දස්කමක් තිබූ ඉන්දසාර හිමි ” බුදුසරණ’ වැනි පුවත්පත් වලට නිරතුරුව දහම් ලිපි සම්පාදනය කළේය. 1986.05.28 වන දින මහනුවර මල්වතු මහා විහාරයේදී උපසම්පදාව විය. කොක්මාදුව සරණපාල නා හිමි, ගලතර සෝමරතන හිමි,ලේල්වල ඉන්දජෝති හිමි, කොක්මාදුව අරියකින්ති හිමි යන සිව් නම් එහිදී උන්වහන්සේගේ අචාර්යන් වහන්සේලා වූහ.

1987 දී පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ඇතුළත් වු ඉන්දසාර හිමි දෙවන පෙළ ඉහළ සාමාර්ථයක් සහිතව ශාස්ත්‍රවේදි උපාධිය ලබාගත්තේය. පාලි විෂයයෙන් වැඩිම ලකුණු ලබා ගන්නා ශිෂ්‍යයාට විශ්ව විද්‍යාලය මගින් පිරිනමන බටුවන් තුඩාව අනුස්මරණ ත්‍යාගය ලබාගැනීමටද උන්වහන්සේ සමත් වූහ. කැලණිය විශ්ව විද්‍යාලය මගින් ශාස්ත්‍රපති උපාධිය ද කොළඹ විශ්ව විද්‍යාලය මගින් අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය ද ලබාගෙන ඇති ඉන්දසාර හිමියන් 1993 දී පැල්මඩුල්ල සුදර්මෝදය මහ පිරිවෙන මගින් පිරිවෙන් ගුරු සේවයට පිවිසියහ. 1995 සිට මේ දක්වා කනංකේ රාජමහා විහාර පිරිවෙණෙහි පරිවෙණාධිපතින් වහන්සේ ලෙස කටයුතු කරති. මේ කාලය තුළ පිරිවෙන් අධ්‍යාපනයේ උන්නතියට උන්වහන්සේගෙන් සිදුවී ඇති සේවාව අනභිභවනීය වෙයි. විහාරස්ථානයේ පවත්වා ගෙන යනු ලබන ශ්‍රී සීලානන්ද දහම් පාසලේ ආරම්භයේ පටන් ගුරුවරයෙකු වශයෙන් කටයුතු කළ අතර දැනට ප්‍රධානාචාර්ය වරයාණන් වහන්සේ ලෙස මහඟු සේවාවන් සිදු කරති.

වැලිගම් කෝරළේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලබන ගරු කැටවල ඉන්දසාර ස්වාමීන් වහන්සේට දිගාසිරි පතමු.


කුළුගම්මන නාලක හිමි

කන්දඋඩරට, හාරිස්පත්තුවට අයත් තිත්තපජ්ජල ශ්‍රී සුදර්ශනාරාමාධිපති ‘කුළුගම්මන නාලක’ ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත්වී තෙමසක් සපිරෙයි. කුළුගම්මන ග්‍රාමයෙහි උපත ලැබූ උන්වහන්සේ ළමා අවධියෙහි නුගවෙල ප්‍රාථමික විද්‍යාලයෙන් සහ නුගවෙල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ.

‘කුළුම්මන ඤාණානන්ද’ නාහිමියන්ගේ ශිෂ්‍යයකු වශයෙන් 1962 මැයි මස 09 වැනි දින පැවිදි බවට පත්වූහ. හේනේගම ශ්‍රී සංඝානන්ද පිරිවෙනෙන් අධ්‍යාපනය ලැබූ නාලක හිමියන් මැදගොඩ ශ්‍රී සිද්ධාර්ථෝදය පිරිවෙනින් අධ්‍යාපනය ලබා ගත්හ.

1966 මහනුවර වරාතැන්න ‘ශ්‍රී මහා බෝධි’ සීමා මාලකයේ දී උපසම්පදාවට පත් නාලක හිමියෝ ස්වකීය ගුරුදේව නා හිමිපාණන්ගේ අපවත්වීමෙන් පසු තිත්තපජ්ජල ශ්‍රී සුදර්ශනාරාමයේ විහාරාධිපතීන් වහන්සේ වශයෙන් පත්වූහ. එම විහාරස්ථානය දියුණු කිරීමට පියවර ගත්හ.

විහාරස්ථානයේ පවත්වාගෙන ගිය ‘ශ්‍රී ගුණසාර’ දහම් පාසල සහ විහාර වර්ධන සමිතිය ඇතුළු අනෙකුත් ස්වේච්ඡා සුබ සාධන සංවිධාන සඳහා අවශ්‍ය මඟ පෙන්වීම ලබාදෙමින් ලෝක ශාසනයට සුවිශාල සේවයක් ඉටු කොට වදාළහ. උන්වහන්සේගේ පිරිත් දේශනාවෙන්, පිරිත් නූලෙන්, බෝධි පූජාවෙන් විශේෂ ආශිර්වාදයක් ලැබෙන බව ප්‍රදේශවාසී ජනතාව තුළ මතයක් ගොඩනැඟී තිබූ බැවින් එවැනි සේවා ලබාගැනීමට නිතර ජනතාව පැමිණෙන ස්වභාවයක් දක්නට ලැබුණි.

කුමන ඇරයුමක් හෝ නොපිරිහෙලා මහත් කරුණාවෙන් ඉටු කළ නාලක හිමියන් ගුවන්විදුලි ධර්මදේශනා ශ්‍රවණය කිරීමට විශේෂ ලැදියාවක් දැක්වූහ. උන්වහන්සේ එවන් අවස්ථාවල කවුරුත් විහාරස්ථානයට පැමිණියත් බණ ඇසීම නතර කරන්නේ නැත.

පැවිදි දිවියට අවශ්‍ය කරන සිල්වත්, ගුණවත් ජීවිතයක් ගත කළ උන්වහන්සේ ප්‍රදේශයේ බෞද්ධ අබෞද්ධ ජනතාවගේ නොමද ගෞරවයට පාත්‍රව වැඩ විසූහ.

දේශකීර්ති ගෞරව නාමයෙන් සහ සමස්තලංකා සාම විනිසුරු පදවියෙන් ද පිදුම් ලබා සිටි උන්වහන්සේ සම්බුද්ධ ශාසනයේ දියුණුවට හේතු වන පැවිදි ශිෂ්‍යයන් හය දෙනෙකු සසුනට දායාද කළහ. උන්වහන්සේලා අතර, මාපාමඩුල්ලේ සේනානන්ද හිමි ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යරත්නය වෙයි. ටික කලක් රෝගීව වැඩ විසූ කුළුගම්මන නාලක ස්වාමීන් වහන්සේ සියල්ල අනිත්‍යය බව පසක් කරමින් තෙමසකට පෙර අපවත්වී වදාළහ. අපවත්වීමෙන් තෙමසක් සපිරීම නිමිති කරගෙන මෙම අප්‍රේල් මස 28 වැනි දින තිත්තපජ්ජල ශ්‍රී සුදර්ශනාරාමයේ දී ශතාධික මහා සංඝරත්නය වෙත මහා දානයක් පිරිනමා පින් අනුමෝදන් කිරීමට ශිෂ්‍ය පිරිස සහ දායක සභාව විසින් කටයුතු යොදා ඇත.


සුධම්ම නාහිමි

බදුල්ල දිස්ත්‍රික්කයේ හිල්ඔය රජමහ විහාරාධිපති මීරහවත්තේ ජිනරතන නාහිමියන්ගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ ඌව, වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය සඳහා සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමින්වහන්සේ ප්‍රමුඛ කාරක සංඝසභාව විසින් මොනරාගල දිස්ත්‍රික්කයේ වැලියාය සිරි පියරතන විද්‍යායතන පිරිවෙණේ කෘත්‍යාධිකාරී ශාස්ත්‍රපති කන්දඋඩපංගුවේ සුධම්ම නාහිමියන් පත් කර ඇත.

වෙල්ලස්සේ බොදු පුබුදුව වැඩීම උදෙසාත් බොදු හැදියාව තුළින් අනාගතයේ යහපත් ගුණගරුක නැණ නුවණින් පිරුණු දරු පරපුරක් වෙල්ලස්සේ බිහි කිරීම උදෙසාත් අපවත්වී වදාළ මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක කන්දඋඩපංගුවේ ධම්මාවාස නාහිමියන්ට වැලියාය සිරි පියරතන විද්‍යායතන පිරිවෙන ආරම්භ කිරීමට මහඟු අත්වැලක් දෙමින් ශාසනාභිවෘද්ධිය උදෙසා කරන ලද මහඟු සේවාව අගයමින් මල්වතු පාර්ශ්වයේ කාරක සංඝ සභාව විසින් 2005 මැයි මස 16 වැනි දින උන්වහන්සේ වෙත ඌව වෙල්ලස්ස දෙදිසාවේ උප ප්‍රධාන සංඝනායක පදවිය ද පිරිනමනු ලැබූහ.

අභිනවයෙන් ප්‍රදානය කරන ලද ඌව වෙල්ලස්ස දෙදිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය 2014 මාර්තු මස 12 වැනි දින සියම් නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක අති පූජ්‍ය තිබ්බටුවාවේ සිරි සුමංගලාභිධාන මහනාහිමියන් අතින් භාර ගත්හ.

 

බක් අමාවක පෝය

බක් අමාවක පෝය අප්‍රේල් මස 28 වැනිදා සඳුදා අපරභාග 12.44 ට ලබයි.
29 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 11.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 28 වැනිදා සඳුදා ය.

මීළඟ පෝය
මැයි 07වැනිදාබදාදා ය.


 


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 28

First Quarterපුර අටවක

මැයි 07

Full Moonපසෙලාස්වක

මැයි 14

Second Quarterඅව අටවක

මැයි 21


2014 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස්

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2014 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]