UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ශ්‍රී සම්බෝධි විහාරය සංවිධානය කළ කඨින පින්කම් දඹදිවදී

ශ්‍රී සම්බෝධි විහාරය සංවිධානය කළ කඨින පින්කම් දඹදිවදී



ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී සම්බෝධි විහාරයේ දී දඹදිව කඨින පින්කම් සඳහා වැඩම කරවීමට සූදානම් කරවන ලද කඨින චීවරය දැක බලා ගත් අවස්ථාව.

කොළඹ ආර්.ජී.සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරස්ථානය මගින් සංවිධානය කරන කඨින පින්කම් දෙකක් දඹදිව දී පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.

බුද්ධගයා ශුද්ධ භූමියේදී සහ බරණැස ඉසිපතනාරාමයේ පිහිටි නව මූලගන්ධකුටි විහාරය කේන්ද්‍රකොට ගෙන එම කඨින පුණ්‍ය මහෝත්සව සිදු කෙරිණි. ඒ යටතේ බුද්ධගයාවේදී සිදු කළ කඨින පින්කමේදී ප්‍රධාන දායකත්වය කොළඹ සෙන්ට්‍රල් බෙයාරිංග්ස් සහ යන්ත්‍රෝපකරණ සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සුදත් තෙන්නකෝන් මහතා සහ එම මහත්මිය වන සන්ධ්‍යා තෙන්නකෝන් මහත්මිය ඇතුළු දූ දරුවන් විසින් උසුලනු ලැබේ.

විශේෂයෙන් බුද්ධගයා ශ්‍රී මහා බෝධි විහාර පරිශ්‍රය තුළ අනගාරික ධර්මපාලතුමන්ගේ ශ්‍රී නාමය අනුස්මරණය කරනු වස් සුවිශාල ධර්ම ශාලාවක් සුදත් තෙන්නකෝන් මැතිතුමන් විසින් සාදා නිම කරවන ලද අතර එම ධර්ම මන්දිරය විවෘත කිරීමද ඉකුත් 9 වනදා සහ 10 වනදා සිදු කැරිණි.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා මෙම වසරේ පෙබරවාරි මාසයේදී දඹදිව බුද්ධගයා ශුද්ධ භූ®මිය වන්දනා කිරීමට ගිය අවස්ථාවේදී මුල්ගල තබා පිලිසකර කර කෝටි සංඛ්‍යාත මුදලක් වැය කර ඉදිකරවන ලද ධර්ම මන්දිරය කඨින පින්කමට සමගාමීව විවෘත කෙරිණි.

එහිදී පූජා කරන ලද කඨීන චීවරය කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය අසල සිට අලංකාර පෙරහරකින් සම්බෝධි විහාරය වෙත ඉකුත් 19 වනදා වැඩමවා මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ සුරතින් සම්බෝධි විහාරයේ තැන්පත් කරවන ලද්දේ මෙරට සැදැහැවත් ජනතාවට ද එය දැක බලා වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසමිනි.

නව මූලගන්ධ කුටි විහාරයේ සිදුකැරෙන කඨින චීවර පින්කමට අදාළ කඨින චීවරය විශේෂඥ වෛද්‍ය කමානි මායාදුන්න මහත්මිය සහ රුක්ලන්ත මායාදුන්න මහතා විසින් වැඩම කරවන ලදහ. එම මායාදුන්න පවුලේ සැදහැති දායකත්වයෙන් මූලගන්ධකුටි විහාරස්ථ පිළිසකර කිරීම් සිදුකොට සාරානාත් බුදුපිළිම වහන්සේගේ සිරසට ඉහළින් රන් වියනක් ද සාදා පරිත්‍යාග කිරීමද සිදු කැරිණි. නව මූලගන්ධ කුටි විහාරයේ තැන්පත් කර ඇති නිර්මල ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කිරීමද රෝස මල් ලක්‍ෂ ගණනක සුවඳ මල් පූජාවක් සහ අසූහාර දහසක පහන් පූජාවක් ඇතුළු පින්කම් මාලාවක් පවත්වනු ලැබිණි. ඊට අමතරව අවට විහාරස්ථාන වෙත ධර්ම පුස්තක පූජාවක් ද සිදු කෙරිණි.

එම පින්කම් මාලාවට සමගාමීව “බෞද්ධයා” මාධ්‍ය ජාලය මෙහෙය වීමෙන් සංවිධානය කරන ලද වන්දනා චාරිකා මිහින් ලංකා ගුවන් සේවයට අයත් ගුවන් යානා මගින් සැදැහැවතුන් පිරිසක් බුද්ධගයාව සහ බරණැස බලා පිටත් වූහ.

එම සියලු කටයුතු සංවිධානය කොළඹ 07 ආර්. ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති සහ බෞද්ධයා මාධ්‍ය ජාලයේ නිර්මාතෘ සහ සභාපති ශාස්ත්‍රපති දරණාගම කුසලධම්ම ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදු කැරිණි.

එම කඨින පින්කම් සඳහා වැඩම කළ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගන්තුනේ අස්සජි මහානාහිමි, මකුලෑවේ විමල අධිකරණ නාහිමි, වැලමිටියාවේ සීලරතන නාහිමි, පානකාවේ පේමරතන නාහිමි, ඇඹරලුවේ පඤ්ඤාසීහ නාහිමි ඇතුළු තෛ‍්‍රනිකායික මහා සඟරුවන ද බුද්ධගයා කඨින මහා පින්කම සඳහා මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමි, මාදුළුවාවේ සෝභිත නාහිමි, ආචාර්ය අකුරැටියේ නන්ද නාහිමි, පදලංගල ධම්මදේව හිමි ඇතුළු මහ සගරුවන ඊට සහභාගි වූහ. භාරත දේශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය දොඩම්ගොඩ රේවත නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වය සහ පැලවත්තේ සීවලී හිමියන්ගේ මඟ පෙන්වීමද කෘතවේදීව සිහිපත් කරමු.

 

 

 
ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග 07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]