UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර පසළොස්වක 2013 නොවැම්බර් 17 වන දා

සොඳුරු කුසුම පරවී යාවි ද ?

දවන් දිනක එදා බරණැස ඉසිපතනාරාමයෙන් ඇරැඹි උත්තම පුරුෂ සද්ධර්ම චාරිකාවෙන් ව්‍යාප්ත වූ ඒ පිවිතුරු දහම් පණිවිඩය පුළුල් දඹදිව් තලයෙන් නොනැවතී අප මාතෘ භූමිය වෙත ද තිළිණ කළේ එය ලෝකයාගේ හිත සුව පිණිස ද සැකැසුණු බැවිනි. කලකදී බුදුන් වහන්සේ ජනිත වු දේශයේ පිවිතුරු බුදු දහම වියැකී ගිය ද මේ පුංචි දිවයින සුවිසල් ලෝක ගෝලයේ අධ්‍යාත්මික පෝෂණයෙන් පුළුල් දේශයක් බවට පත් වන්නේ බුදුන් වහන්සේ ජීවමානව වැඩ වසනවා හා සමානව සද්ධර්මය ධරමානව පවතින නිසාම ය.

එදා වනපොත් කරමින් මුඛ පරම්පරාවෙන් පැවැත ආ සම්බුදු දහම අප මව් බිමේදී ග්‍රන්ථාරූඩ නො වුණේ නම් මේ වනවිට දී මුළු දියතෙන්ම බුදු දහම වියැකී යාමට ද ඉඩ තිබුණි.

පර්ය්‍යාප්ති, ප්‍රතිපත්ති, ප්‍රතිවේධයෙන් පරිපූර්ණ වූ එදා භික්‍ෂු සමාජයෙන් පොහොසත්ව සම්බුදු දහම හා සබැඳුණු සංස්කෘතියකින් වර්ධනය වූ අප මාතෘ භූමියේ විශිෂ්ටත්වය නිසාම මේ බිම ධර්මද්වීපය බවට පත් විය.

සමාජ හර පද්ධතීන් යහමින් හඳුනාගත් ජර්මන් ජාතික මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් පඬිවරයා වරක් පැවසුවේ “ මිනිස් සිතේ පිපුණු සොඳුරුම කුසුම බුදු දහම බව මම පසක් කරගෙන සිටිමි” යනුවෙනි.

තවදුරටත් මහාචාර්යවරයා මෙසේ පවසයි. “මේ බුදු දහමේ නිජබිම ඉර පායන ලෝකයයි. සිනිඳු සුමුදු ළතෙත් මිනිසුන් බිහිවන්නේ එම දේශගුණය තුළ ය. දුක්ඛ දෝමනස්සයන්ගෙන් බැහැරව ශාන්ත සුන්දර පැවිදි දිවියක් ගත කිරීමට අවශ්‍ය සරුසාර ලෝකයක් දස දහස් ගණනකට වුව ලබා දෙන්නේ මෙම තත්ත්වයයි” යන්න ය. ඔහු ලෝකය නමින් හඳුන්වා ඇත්තේ ශ්‍රී ලංකාව ය.

දුරාතීතයේදී අප පින්බිම මහරහතන් වහන්සේගෙන් හිස් නොවූ බව වංශ කතාදියෙන් ද සනාථ කරයි.

එවන් උතුම් භික්‍ෂු සමාජයකින් සුපොහොසත් වූ අප ධර්මදීපයේ ගමන් මඟ ගොඩ නැගීමට වෙසෙසින්ම පෙරමුණ ගත්තේ ජාතියේ මුරදේවතාවුන් වහන්සේලා මෙන්ම සංඝ පීතෘන් වහන්සේලාගේ මඟ පෙන්වීම ය. අර්ථයෙන්, ධර්මයෙන්, ආදර්ශයෙන් ශිෂ්ඨාචාරයේ ගමන් මඟ සැකසූ එවන් භික්‍ෂූන් වහන්සේලාගෙන් මේ බිම හිස්වූ සෑමවිටම දේශය ඇද වැටුණේ අගාදයටම ය.

ලෝකයේ සියලු දෙය අනිත්‍ය බව බුද්ධ දේශනාවෙන්ම පැවසේ. ඒ අනුව ශාසනය මෙන්ම ධර්මය ද ක්‍රමයෙන් පරිහානිය කරා එළඹීම වැළකිය නො හැකි ය.

එහෙත් ශ්‍රී සම්බුද්ධ ධර්මය නම් සඳුන් අරටුව පවතින්නේ මේ ධර්මද්වීපයේ නිසා විනාශයේ ශීඝ්‍රතාවය මන්දගාමී කිරීමේ බලය ද ශක්තිය ද ඇත්තේ මේ ධර්මද්වීපයටම ය. එය අත් හැරීමට නො හැකි මහා වගකීම ද පැවරී ඇත්තේ අපගේ උත්තම සංඝ පීතෘවරුන් අත ය.

බහුජන හිතාය, බහුජන සුඛාය, ලෝකානුකම්පාය අනුව ධර්ම ප්‍රචාරයේ යෙදෙන උතුම් භික්‍ෂු සමාජයක් පවතින අප මව් බිමට ඇතිවී ඇති ඇතැම් විපර්යාසයන් නිසා ප්‍රතිපත්ති ගරුක සැබෑ බෞද්ධයන්ට යම් බියක් ඇතිවී ඇත්නම් එය අසාධාරණ නොවේ යැයි සිතේ. ඒ පිළිබඳ සිතන විට ධම්මපදයේ බාලවග්ගයේ ගාථාවක අරුත මෙනෙහි වේ. “ ලාභ සෙවීමේ මඟ අනෙකකි. නිවන් මඟ අනෙකකි. බුද්ධ ශ්‍රාවක වූ භික්‍ෂු තෙම දෙමඟ වෙන වෙනම දැන ලාභ සත්කාර නො පතන්නේ ය. විවේකයම සොයන්නේ ය.

මෑත යුගයේ පරමාදර්ශී සංඝ පීතෘ වහන්සේ නමක් වශයෙන් ප්‍රකට වූ රේරුකානේ චන්දවිමල මහා නා හිමියන්ගේ ‘ශාසනාවතරණය’ ග්‍රන්ථයේ මෙසේ සඳහන් වෙයි.

“නගර ග්‍රාමවල ඉඩකඩම් ඇති ලස්සන ආවාස ගෘහවල වෙසෙන මහජනතාවගේ ගරු බුහුමන් පැසසුම් ලබන උසස් රථවලින් ගමන් කරන බොහෝ මිල මුදල් ඇති පැවිද්දෝ වෙති. ඔවුහු එක්තරා සැපයක් ලබන්නෝ ය. එහෙත් ඔවුන් ලබන සැපය සුවය පැවිදි සුවය නොවන බව කිව යුතුය. දැහැමින් ලැබෙන දෙය පිළිගැනීම පාරිභෝජනය කිරීමෙන් වන වරදක් නැත. වරද වන්නේ ඒවාට ගිජු වීම ය. අයත් කරගෙන ඉන්නා වස්තුව අඩු වූ තරමට පැවිදි සැපය වඩ වඩා ලැබෙන අතර වස්තූන් වැඩි කරගත් තරමට පැවිදි සුවය අඩු වන්නේය. “

සොඳුරු මෙන්ම සුවඳ මල් පිපෙන්නට ඉර පායා ආ යුතු ය. සසුනඹරේ අඳුරු වළා ඒකරාශී වුවහොත් එදාට මේ බිම අඳුරු වී යා හැකිය. මහාචාර්ය ගයිගර් පවසන මිනිස් සිතේ පිපුණු සොඳුරු කුසුම එදාට පරවී යාමට ඉඩ ඇත.

 
ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග 07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]