UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මෙව්පිය සෙනෙහසක මහිමය 5 වන කොටස අධ්‍යාත්මික සුවය ලබාදෙන ශ්‍රද්ධාව සහ ප්‍රඥාව

අධ්‍යාත්මික සුවය ලබාදෙන ශ්‍රද්ධාව සහ ප්‍රඥාව

ඔබ රූපවාහිනිය ළඟ නිතරම ගැවසෙන මවක් නම් ඒ නාට්‍යවල යන චරිත ඔබේ ජීවිතයට ළංකර ගන්න එපා. නිතරම අඬන දොඩන ,අනියම් සබඳතා පවත්වන, ස්වාමියාට ගරු සැලකිල්ලක් නැතිව කතා කරන චරිත දෙස දරුවන් සමඟ එකට නරඹන්න එපා. ඒ කාලය තුළදී පවුලේ සියලුදෙනා එකට එකතු වී පවුලේ ගැටලුවක් ගැන සාකච්ඡා කරන්න.

රටක දැහැමි සංවර්ධනයක් උදෙසා විනය මූලික වෙනවා. ‘දහම් දිවයින’ නමින් ඈත අතීතයේ දී හැඳීන්වුණු අප රට අපරාධ රැල්ලකින් වෙලී යාමට හේතුවූයේ මෙම විනය අප ජන සමාජයෙන් ඈත් වූ නිසා යි. මෙ පමණකින් අප රට තුළ සාමය සමාදානය සදාචාරය සහ සාරධර්ම සුරැකී තිබෙන්නේ් බුදුහමින් පෝෂිත පවුල් පසුබිමක් අපට තිබූ නිසායි. ගුණවත් පුරවැසියන් බිහි කිරීමට නම් මිනිසා භෞතික වශයෙන් පමණක් නොව අධ්‍යාත්මික සුවය සඳහා ද ශ්‍රද්ධාව මෙන්ම ප්‍රඥාව ලබාගත යුතුම යි.

ඒ සඳහා මාපිය දූ දරු, අඹුසැමි, ගුරු සිසු ආදී සියලු සබඳතා යහපත් ඵලදායි බවට පත්කර ගැනීමට වෛරය තුරන් කළ යුතුයි. දහම් පාසලක හොඳ හැදියාවක් හික්මීමක් සහිත දරුවන් බිහිවීමට තිබෙන ඉඩකඩ වැඩිය. මවුපියන් දරුවන් විදිහට සමාජයට තිළිණ කරන්න නම් පළමුව ඔබ ආදර්ශවත් මව්පියන් බවට පත්වෙන්න. අද වැරැදි කරන අම්මලා තාත්තලා මේ රටේ හුඟක් බහුලය. සමහර දරුවන්ට මේ මගේ අම්මා, තාත්තා කියලා යහළුවන්ට හඳුන්වා දීමට පුළුවන්කමක් නැහැ. වැරැදි වැඩ කරන මව්පියන්ට කොහොමද දරුවෝ උදේ හවස වන්දනා කරන්නේ. වැරැදි කරමින් සමාජයට අවැඩක්ව ජීවත්වන මාපියන්ට තම දරුවාට වැරැදි කරන්න එපා කියා කියන්න බැහැ. ඔවුන්ගේ වැරැදි දරුවන් දන්නවා. බොහෝ දරුවන් ඔවුන්ගේ ජීවිතවලට උකසා ගන්නේ මවුපියන්ගේ යහගුණයි. එනිසාම ආදර්ශවත් මවක් පියෙක් වීමන වැඩිහිටි ඔබගේ යුතුකමයි.

ඔබ රූපවාහිනිය ළඟ නිතරම ගැවසෙන මවක් වුවත් කතාන්දර වල චරිත ඔබේ ජීවිතයට ළංකර ගන්න එපා. නිතරම අඬන දොඩන , අනියම් සබඳතා පවත්වන, ස්වාමියාට ගරු සැලකිල්ලක් නැතිව කතා කරන චරිත දෙස දරුවන් සමඟ එකට නරඹන්න එපා. ඒ කාලය තුළදී සියලු දෙනා එකතු වී පවුලේ ගැටලුවක් ගැන සාකච්ඡා කරන්න. නැති නාස්ති නො කර අරපිරිමැස්මෙන් ජීවත්වන හැටි දරුවන්ට ආදර්ශයෙන් ලබා දෙන්න. එකම ඇඳුම වුවත් පිරිසුදුව හෝදාලා පිළිවෙලකට අඳින හැටි පුරුදු කරන්න. තමන්ගේ වැඩ කරගන්නා අතර ගෙදර වැඩත් දරුවන්ට හුරුකරන්න.

අම්මා නිතරම දුවට පුතාට හොඳ මිතුරියක වීම වැදගත්. දරුවාගේ ජීවිතයේදී ඕනෑම ගැටලු සහගත ප්‍රශ්නයකදී ඔවුන් සමග සිටින බව හඟවන්න. එවිට දරුවන් අතින් වන වැරැදි අවම වෙනවා. එවිට පවට බය පිනට ලැදි දරු පරපුරක් අපේ සමාජයට දායාද වෙනවා.

සදාචාර සම්පන්න ගුණගරුක සමාජයක් බිහිවීමට දරුපරපුර යහමඟට යොමුවීම වැදගත්. ඒ සඳහා ඇති එකම මාර්ගය බෞද්ධ දර්ශනයට අනුව කටයුතු කිරීමයි. එදා කෙනෙකුගේ උපතේ සිට මරණය දක්වාම පන්සල හා බැඳුණු සංස්කෘතියක් අපට තිබුණේ. අද මාධ්‍යයට යටවී එකිනෙකා පරයා දුවන රූකඩ බවට පත්වූ වර්තමාන දරු පරම්පරාක් අපට උරුම වී තිබෙනවා.

නමුත් ඒ අතරින් තිරුවානා ගල් අතර මැණික් තිබෙන්නා සේ හොඳ දරුවන් පිරිසක් නැත්තේ ම නොවේ. නමුත් වැඩිපුර සිටින්නේ මනුස්සකමක් නැති, හොඳ යහගුණ පුරුදු නැති, මව්පියන්ගේ ගුරුවරුන්ගේ අගය දන්නේ නැති, පිරිසක්. මේ හේතුව නිසා හිරගෙවල්වල, පුනරුත්ථාපන කඳවුරුවල මානසික රෝහල්වල සිටින පිරිස ඉහළ ගොස් තිබෙනවා. ඒ බව ළඟකදී කළ සමීක්ෂණයකින් හෙළි වී තිබුණා. යහපත් දරු පරම්පරාවක් ගොඩනැගීමට බුදුදහම ඇසුරු කරගෙන අපට බොහෝ දේ කළහැකි වෙනවා.

අතීතයේ දී මෙන් පන්සලේ ඇසුර මෙන්ම දහම් පාසලේ ඇසුරත් දරුවන්ට ලබාදීම වැදගත් වෙනවා. ඒ තුළින් දරුවා බොහෝ දුරට වැරැදි මාර්ගවලට යොමුවීමෙන් වළකිනවා. ඒ වගේම පසළොස්වක පෝයට පවුලේ හැමෝම සිල් සමාදන්වීමට හැකිනම් ඒක බොහෝම යහපත් වෙනවා. දරුවා කුඩා කාලයේ සිටම හොඳ නරක එයින් ඉගෙන ගන්නවා. නමුත් අද වෙලා තිබෙන්නේ ඒකේ අනෙක් පැත්ත.

පසළොස්වක පෝය දවසට තමයි වැඩිහිටියන් බාහිර සියලුම කටයුතු යොදා ගන්නේ. නිවෙස් අස්පස් කරන්න, නෑ හිතමිතුරු නිවෙස් වලට යන්න, නාට්‍ය චිත්‍රපටි බලන්න යන්න, ආදී දේ පෝය දවසට දා ගන්නවා. දරුවන් සමඟ සිල් සමාදන්වීමට සවසට හෝ පන්සලට ගොස් බුද්ධ වන්දනාව කරන්න අපේ වැඩිහිටියන් බොහෝ සේ මැලි වෙනවා. එය අප දරු පරපුරට ලබා දෙන නරකම ආදර්ශය යි. මීට වඩා මව්පියන් බුදුදහම වෙත ළං වෙනවා නම් දරුවන්ද එය පුරුද්දක් කර ගන්නවා. මේ සෑම දෙයම විය යුත්තේ සමාජයේ කුඩාම ඒකකය වන පවුල තුළින්. පවුලේ දියුණුව ආර්ථිකය ශක්තිමත් කර ගැනීම එය සුරක්ෂිත කර ගැනීම අන්‍යෝන්‍ය සුහදතාවය පවත්වා ගැනීම මේ සියල්ලටම නිසි පිළිතුරු බුදුදහමේ උගන්වනවා.

මව පියා මරා දමන, සහෝදරියට වදහිංසා කරන, දේපල නිසා විරසක වන බොහෝ දෙනාගේ අනාගතය ගැන විමසා බැලුවොත් ඔවුන්ට පන්සලේ, දහම් පාසලේ ඇසුර බොහෝ දුරයි. ඒ වගේම මෙවැනි ‍ෙද් මාධ්‍ය තුළින් වැඩිපුර පෙන්වීමත් අනාගත පරම්පරාව එවැනි දේට පොළඹවීමට රුකුලක් වී තිබෙනවා.

හොඳ දේ මේ රටේ තවමත් ඉතිරි වී තිබෙන නිසා ඒවා නො පෙන්වා අයහපත යටකර යහපත පෙන්වීම ද වගකිය යුතු බලධාරින් විසින් කළයුතු දෙයක්. මේ සඳහා මූලිකව කළයුත්තේ සෑම දරුවෙකුටම දහම් අධ්‍යාපනය අනිවාර්ය කර දහම් පාසලෙන් ලබන සහතිකයට වටිනාකමක් දීමත්, දහම් පාසල් පවත්වන ඉරිදා දිනයේ අමතර පන්ති පැවැත්වීමත් සීමා කිරීමත්, බුදුදහම ප්‍රායෝගිකය දරුවාට ළංකිරීමත් කළයුතුය.

බුද්ධියක් නැති උගතෙකු බිහිකළවිට මව්පියන්ට සිදුවන්නේ මහලුමඬන් තුළ ඉතිරිකාලය ගෙවා දැමීමට යි. වැඩිහිටි නිවාසවල වැඩිපුරම සිටින අම්මා හෝ තාත්තා සිංහල බෞද්ධයන් වීම ද ඉතාමත් කණගාටුවට කරුණක් වෙනවා. බෞද්ධයා යන්නෙහි සරල වචනය බුද්ධිමතා යන්න යි. ඒ නිසා දරුවට පන්සල, දහම් පාසල පි‍්‍රය උපදවන තැනක් කිරීමට මව්පියන් වගබලා ගතයුතුය.


 
ඉල් පසළොස්වක පෝය

ඉල් පසළොස්වක පෝය නොවැම්බර් මස 16 වැනි දා සෙනසුරාදා අපරභාග 07.47 ට ලබයි.
17 වැනි දා ඉරිදා අපරභාග 08.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් මස 17 වැනිදා ඉරිදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 25 වැනිදා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 17

Second Quarterඅව අටවක

නොවැම්බර් 25

New Moonඅමාවක

දෙසැම්බර් 02

First Quarterපුර අටවක

දෙසැම්බර් 09


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]