UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පුනරුප්පත්ති ලිපි මාලාව - 28 පහන් පිදීමෙහි අනුසස් පවසන අනුරුද්ධ ථෙරාපදානය

පුනරුප්පත්ති ලිපි මාලාව - 28

පහන් පිදීමෙහි අනුසස් පවසන අනුරුද්ධ ථෙරාපදානය

පසුගියදා අපගේ සාකච්ඡාවට බඳුන් වූයේ ගෞතම බුදු සසුනෙහි පළමුවෙන්ම ධර්මය අවබෝධ කරගත් අඤ්ඤා කොණ්ඩඤ්ඤ මහරහත් ථෙර ආපදානය යි. අද අප විමසා බලන්නේ ගෞතම බුදු සසුනෙහි දිවැස් ලාභීන් අතර අගතැන්පත් අනුරුද්ධ මහ රහතන් වහන්සේගේ චරිතාපදානය යි. සුමේධ සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ උපන් මෙතුමන් පැහැදුණු සිතින් යුක්තව ඒ සම්බුදුරජාණන් වහන්සේට පහනක් පුදා ඇත.ගෞතම බුදු සසුනෙහි දිවැස් ලාභීන් අතර අගතැන් ලැබීමට හේතු වී ඇත්තේ එම කුශලය යි.මෙතැන් සිට අනුරුද්ධ ථෙර චරිතාපදානය විමසා බලමු.

“මම ලෝකයට ජ්‍යෙෂ්ඨ වූ සියලු මිනිසුන්ට ශ්‍රේෂ්ඨ වූ ලෝකයාට නායක වු විවේකීව වැඩ වාසය කරන්නා වූ සුමේධ නම් වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දුටුවෙමි. මම එසේ විවේකීව වැඩ සිටියා වු භාග්‍යවත් සුමේධ බුදුපියාණන් වහන්සේ වෙත එළඹ දොහොත් මුදුන් දී වැඳ මෙසේ ඇයැදියෙමි. මහා වීරයන් වහන්ස,ලෝක නායකයාණන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, රුක් මුල්හි ධ්‍යාන කරන්නා වූ ඔබ වහන්සේට මම පහනක් පුදමි. සියල්ල තමන් වහන්සේම අවබෝධකොට ගත්තාවු වාදින් අතුරින් ශ්‍රේෂ්ඨ වූ ඒ බුදුරජාණන් වහන්සේ මාගේ පහන් පූජාව ඉවසූහ. එයින් සතුටට පත් වූ මම යන්ත්‍රයක් යොදා ගස්, පොතු වලින් සකසා ගත් පහන් වැටි සියයක් පිදුවෙමි. මා විසින් පුදන ලද ඒ පහන් නො නිවී සතියක් එක දිගට දැල්වී ය.

එයින් අකමැති වූ සිතේ සතුටින්ද සිත්හි වූ ප්‍රාර්ථනයෙන්ද මම මිනිස් සිරුර අතහැර දෙවි විමනක ඉපදුනෙමි. දෙව්ලොව උපන් මට මැනවින් නිර්මිත වූ විමානයක් විය. එය හාත්පසින් දිලිසෙයි. ඒ පහන් පූජාවේ අනුසස් ය. එකල්හි මාගේ හාත්පස යොදුන් සියයක් බබළයි. සියලු දෙවියන් අභිභවා සිටියෙමි. ඒ පහන් පූජාවේ අනුසස් ය. දෙව්ලොව අධිපති වූ සක්දෙවි රජව කල්ප තිහක් දිව්‍ය රාජ්‍ය කළෙමි. ඒ කාලය තුළ කිසිවෙක් මා ඉක්මවා නොගියහ. හෙවත් මට අවසන් නොකළහ. මේ පහන් පූජාවේ අනුසස්ය. මම විසි අට වරක් සක්විති රජ වුණෙමි. එකල්හි හාත්පස යොදුනක් තැන් දිවා රෑ දෙකම එකලෙස ආලෝකයෙන් දුටුවෙමි. ඒ පහන් පූජාවේ අනුසස් ය.”

“ඤාණය නමැති ඇසින් මා දසදහසක් සක්වළ (ලෝක) දකිමි, ගෞතම සර්වඥ ශාසනයෙහි පැවිදිව දිවැස ලැබූවෙමි. ඒ පහන් පූජාවේ අනුසස් ය. මෙයින් කල්ප තිස් දහසකට පෙර සුමේධ නම් සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ විය. ඒ භාග්‍යවතුන් වහන්සේට මම පැහැදුණු සිතින් පහනක් පිදුවෙමි. එහි අනුසස් මම විසින් පෙර සඳහන් කරන ලද පරිදි බොහෝ සෙයින් වින්දෙමි. අවසන් අත්බවෙහි ගෞතම බුදු සසුනෙහි ඉපිද මහණව දිවැස් ලැබුවෙමි.”

“මා විසින් ක්ලේශයෝ දවන ලද්දාහුය. සියලු භවයන් නසන ලදිමි. හස්ති රාජයෙකු මෙන් බැඳුම් සිඳ ආශ්‍රව රහිතව වාසය කරමි. බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීම යහපත් විය. ත්‍රිවිද්‍යාවෝ ලැබුවෙමි. මේ සිව්පිළිසිඹියාවෝද අෂ්ටවීමෝක්ෂයෝද ෂඩ්අභිඥාවෝ ද සාක්‍ෂාත් කරන ලදිමි. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනය ඉටු කරන ලදිමි “

 

ඇසළ පුර අටවක පෝය

ඇසළ පුර අටවක පෝය ජූලි මස 15 වැනි දා සඳුදා අපරභාග 09.05 ට ලබයි.
16 වැනි දා අඟහරුවාදා අපරභාග 08.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 16 වැනිදා අඟහරුවාදාය.

මී ළඟ පෝය
ජූලි 22 වැනි දා
සඳුදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජූලි 16

Full Moonපසෙලාස්වක

ජූලි 22

Second Quarterඅව අටවක

ජූලි 29

New Moonඅමාවක

අගෝස්තු 06


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]