UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

හඟුරන්කෙත පොත්ගුල් රාජමහා මාළිගා විහාරය

හඟුරන්කෙත පොත්ගුල් රාජමහා මාළිගා විහාරය


විහාරාධිපති අඹන්වැල්ලේ පඤ්ඤානන්ද නා හිමි

එකල පොහොලියද්දේ ස්වාමින් වහන්සේ යනුවෙන් හඳුන්වනු ලැබූ යතිවරයාණෝ කෙනෙක් වන්දනා ගමනක නිරත වූහ.අතරමඟ එක් ස්ථානයක උන්වහන්සේ නවාතැන් ගත්හ. පසුදා පිටත්වීමට සූදානම්ව තමන් වහන්සේ රැගෙන ආ පූජාවස්තු මංජුසාව ඔසවා ගැනීමට තැත් කළ ද එය එසැවීම අපහසු විය. ඒ අනුව එම පූජා වස්තු තැන්පත් කර එම ස්ථානයේ විහාරයක් කරවීමට උන්වහන්සේ අධිෂ්ඨාන කළ බව සඳහන්ය. එසේ ඉදිකරන්නට යෙදුණු විහාරස්ථානය සඟරුවන්කෙත (වත්මන් හඟුරන්කෙත) පොත්ගුල් රාජමහා මාළිගා විහාරයයි. විහාරස්ථානයේ ආරම්භය ක්‍රි.ව. 1830 දක්වා ඈත අතීතයකට දිවයන්නකි.

අතීතයේ දන්ත ධාතුන් වහන්සේ පරසතුරන්ගෙන් බේරාගැනීම සඳහා හඟුරන්කෙතට වැඩමවාගෙන ආ පුවත ඉතිහාසගත වේ. එකල සඟරුවන්කෙත නගර කේන්ද්‍රියව තිබූ පැරැණි විහාරයක සඟවා තැබූ බව පැවසේ. ඒ කුමන විහාරස්ථානයදැයි නිශ්චිත නිගමනයකට ඒම දුෂ්කරය.


බුද්ධ ප්‍රතිමා වහන්සේ

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ හා ශ්‍රී විජය රාජසිංහ යන රජවරුන් හඟුරන්කෙත උප නගරයක් ලෙස ප්‍රයෝජනයට ගත් බව සඳහන් වේ. මේ නගරයට දියතිලකපුරය , දිගලිය නුවර යන නම් පටබැඳුණි.

ක්‍රි.ව. 1808 දී ශ්‍රී වික්‍රමරාජසිංහ රජු වාසය කළ හඟුරන්කෙත රජමාළිගාව මේජර් ඩේවිගේ හමුදාව විසින් ගිනිබත් කරන ලදී. එම මාළිගාවේ ඉතිරි වූ ශෛලමය වාහල්කඩ , පංච මකර ගල්, උළුවස්ස , සඳකඩ පහන්, ලියකැටයම් සහිත ගල්කණු හා ගල්පඩි යොදා පසුව පොත්ගුල් රාජමහා මාළිගා විහාරය නිර්මාණය කර තිබේ. එම කාර්යයේදී අපවත් වී වදාළ දොරටියාවේ ශ්‍රී අත්ථ දස්සී නාහිමියෝ පෙරමුණ ගත්හ.එකල මාළිගා විහාරයේ වහලයට සෙවෙණි කිරීම සඳහා තඹ කාසිවලින් සැදූ තහඩු වර්ගයක් ස්පාඤ්ඤයෙන් ගෙන් වූ බවත් සඳහන් වේ.


විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන දොරටුව

මෙහි ඇති පොත්ගුල් අභ්‍යන්තරයේ ත්‍රිපිටක ග්‍රන්ථ, පැරැණි සාහිත්‍ය ග්‍රන්ථ මෙන්ම ශ්‍රී ලංකාවට උපසම්පදාව ගෙන ඒමත් සමඟ රැගෙන ආ සියම් බණ පොත් ආදියද වෙනත් පෞරාණික පිළිම වහන්සේද ඇත් දළ ආදියද සුරක්ෂිතව තැන්පත් වේ. චෛත්‍ය ගර්භයෙහි රන්මුවා කරඬුවක්, මැණික් වර්ග සහ රන් රිදී පත් ඉරුවල ලියනලද ත්‍රිපිටකය ආදී නිදන් වස්තු රාශියක් තැන්පත් කර ඇත. මහනුවර යුගයේ මූර්ති, කැටයම් සහ චිත්‍ර ආදි කලා ශිල්පයන්හි විචිත්‍ර ලක්ෂණ විදහා පෙන්වන සිතුවම් රැසකින් විහාරය අලංකාරය. එහි වැඩ සිටින ඔත්පිළිම වහන්සේ, සැතැපෙන පිළිම වහන්සේ සහ හිිටි පිළිම වහන්සේ දකින සැදැහැවතුන්ගේ සිත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් සැනසෙයි. මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ දිනපතා සිදුකරන තේවා කටයුතුවලට සමගාමී අන්දමට තේවා කටයුතු සිදුවේ. එසේම පෞරාණිකව චාරිත්‍ර විධි අනුගමනය කරමින් වාර්ෂිකව ඇසළ පෙරහර පැවැත්වේ. පොත්ගුල් මාළිගා විහාරය හා බැඳුණු විෂ්ණු, පත්තිනි, දැඩිමුණ්ඩ දේවාල පෙරහරද වාර්ෂිකව සිදු කෙරේ.

පොත්ගුල් රාජමහා මාළිගා විහාරස්ථානයේ වත්මන් විහාරාධිපති ධුරය ශාස්ත්‍රපති පණ්ඩිත අඹන්වැල්ලේ පඤ්ඤානන්ද නාහිමියෝ හොබවති. එසේම මෙහි භාරකාර හා බස්නායක නිලමේ තනතුරු මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ජයලත් බණ්ඩාර දිසානායක මහතා උසුලයි.


පසේ බුදුවරුන්ගේ ප්‍රතිමා

ඓතිහාසික හඟුරන්කෙත පොත්ගුල් රාජමහා මාළිගා විහාරය සකල විහාරාංගයන්ගෙන් පිරිපුන්, ජනතා සිත් සතන් සුවපත් කරන පුණ්‍ය භූමියකි.


විහාර මන්දිරය

සඳකඩපහණ

චෛත්‍ය රාජයාණන් වහන්සේ

භාරකාර හා බස්නායක නිලමේ ජයලත් බණ්ඩාර දිසානායක

 

 

 

 

 

 

 

 

ඉල්පුර අටවක පෝය

ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]