UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ බොදු සිතුවම් චිත්‍රාගාරය

කොළඹ හුණුපිටිය ගංගාරාමයේ බොදු සිතුවම් චිත්‍රාගාරය

හෙළ දෘශ්‍ය කලා ඉතිහාසය වසර 2200 වඩා පැරණි සම්මත වසර පූර්ව නොහොත් ක්‍රිස්තු පූර්ව 3 වන ශත වර්ෂයේ සිට පැවත එන්නකි. දුරාතීතයේ සිට හෙළයන් බෞද්ධ තොරතුරු අදහස්, හැඟීම් සහ සංකල්පයන් ප්‍රකාශ කිරීම සඳහා සිතුවම් කලාව, මූර්ති ශිල්පය ඇතුළු විවිධ ලලිත කලා මාධ්‍යයන් උපයෝගී කර ගත්හ.

හෙළ බොදු සිතුවමින් දැක්වෙන ශ්‍රේෂ්ඨ වූ සංස්කෘතික උරුමය ලොවට හුවා දැක්වීම මෙම චිත්‍රාගාරයේ විශේෂ අරමුණයි. රට පුරා දැකිය හැකි අසංඛ්‍යවූ, අනේකවූ, බොදු සිතුවම් සමුදායෙන් තෝරාගත් සිතුවම් 300 ක ඡායාරූපයන් මෙම චිත්‍රාගාරයට ඇතුළත්ව තිබේ. එහිදී නූතන යුගය දක්වා වසර 2200 ක් ඉක්මවන බෞද්ධ සිතුවම් කලාවේ සමස්තය නිරූපණය වන පරිදි පූජනීය ස්ථාන 60 ක් නියෝජනය වන සිතුවම් තෝරා ගනු ලැබීය. ගිරිලෙන්, පේකඩ, පැතිකඩ, දාරුමය නිර්මාණ ධාතුගර්භ සහ රජ මාලිගා ආශ්‍රිත ස්ථානවල දක්නට ලැබෙන සිතුවම් මේ අතර වේ. චිත්‍රාගාරයේ ප්‍රදර්ශනය වන සිතුවම් අතර වසර දහසකටත් වඩා පැරණි දැනට විනාශ වෙමින් පවතින සිතුවම් මෙන්ම සෞන්දර්යය අතින් ශ්‍රේෂ්ඨ ගණයේලා සලකනු ලබන නූතනයේ බිහිවූ බෞද්ධ සිතුවම් ද වේ. යුනෙස්කෝ සංවිධානය විසින් ලෝක උරුමයන් ලෙස නම් කර ඇති අනුරාධපුරය, පොළොන්නරුව, දඹුල්ල, සීගිරිය සහ මහනුවර යන ස්ථානයන් ඇතුළු වෙනත් තැන් ගණනාවකදී ඡායාරූපයට නැඟුණු සුවිශේෂීවූ සිතුවම් මෙම චිත්‍රාගාරයේ ප්‍රදර්ශනය වේ. දියුණු ශිෂ්ඨාචාරයක ඉතා අනර්ඝවූ අපූර්ව නිර්මාණ රැසක් දැකිය හැක්කේ පෙරකී නගරයන් ආශ්‍රිත ප්‍රදේශයන්හිය.

සිතුවම් පිහිටීම හා ව්‍යාප්තිය

බොදු සිතුවම් විශාල වශයෙන් දැකිය හැක්කේ විහාරාමයන්හි බිත්ති සහ වියන් තලයන් මතය. දේශීය සිතුවම් කලාවෙහි විවිධ සම්ප්‍රදායන්, ක්‍රමවේදයන් මෙන්ම සෞන්දර්යාත්මක ලක්ෂණයන් පෙන්නුම් කරන නානාවිධ සිතුවම් විවිධ පෘෂ්ඨ මත නිර්මාණය කර තිබීම විශේෂත්වයකි. වරෙක ගල්ලෙන් තලයන් සහ ගොඩනැගිලි බිත්ති සහ වියන් තලයන් සිතුවම් පෘෂ්ඨය ලෙස තෝරා ඇති අතර තවත් වරක දාරුමය නිර්මාණ, ප්‍රතිමා, රෙදිපිළි, මැටි භාණ්ඩ, පමණක් නොව ධාතු ගර්භයද සිතුවම් පෘෂ්ඨය ලෙස යොදාගනු ලැබීය. පැරණි දාගැබ් තුළ ඇති ධාතු ගර්භයන්හි සිතුවම්කරණය සම්ප්‍රදායක් ලෙස සිදුවී තිබේ.

සිතුවම් විකාශය හා යුග බෙදීම

බෞද්ධ සිතුවම් ඉතිහාසය සම්ප්‍රදායන් කිහිපයක් පැවති බව පෙන්නුම් කරයි. වර්ණ භාවිතය හා සංකලනය, සිතුවම්, විස්තර දැක්වීම සඳහා යොදාගත් රේඛාවන්හි ස්වභාවය, මිනිස් ස්වරූපය දැක්වීමේදී අනුගමනය කළ ප්‍රවේශයන්, ස්වභාවිකත්වයට දැක්වූ නැඹුරුව, ශෛලීගතකරණයන් ලක්ෂණයන්, සංකේත සහ අලංකරණය යොදා ඇති ආකාරය යනාදි අනේක සිතුවම්කරණයේ ලක්ෂණයන් පදනම් කරගනිමින්, බෞද්ධ සිතුවම් කලාවේ විකාශය සහ විවිධත්වය අධ්‍යයනය කළ හැකිය. මෙම ලක්ෂණයන් පදනම් කරගනිමින් අප රට සිතුවම් කලා ඉතිහාසය යුග 4 කට බෙදිය හැකිය. අනුරාධපුරය සහ පොළොන්නරුව රාජධානි ලෙස පැවති සම්භාවනීය යුගය, රාජධානී සංක්‍රමණික යුගය, මහනුවර රාජධානී යුගය සහ නූතන යුගය වශයෙන් යුග වෙන්කර ගත හැකිය.

සම්භාවනීය යුගය

අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි කාලය බෞද්ධ සිතුවම් කලාවේ සම්භාවනීය අවධියයි. මෙම කාලය සම්මත වර්ෂ පූර්ව තුන්වැන්නේ සිට දහතුන්වැන්න දක්වාවූ කාලයයි. අනුරාධපුර කාලය සම්මත වර්ෂ පූර්ව තුන්වැන්නේ සිට දහවැන්න දක්වා වසර 1300 පමණ දීර්ඝ කාලයකි. මෙම කාලයට අයත්වන සිතුවම් අනුරාධපුර අවට මෙන්ම දිවයිනේ වෙනත් පළාත්හිද දක්නට ලැබේ. මිහින්තලේ, දිඹුලාගල, පුල්ලිගොඩ, මහියංගණ, සීගිරිය, හිඳගල, කරම්ඹගල, සිතුල්පහුව, වෙස්සගිරිය, කන්දලම, කොටියාගල යනාදී ඉපැරණි විහාර සහ ගල්ලෙන් ගණනාවක් ආශ්‍රිතව මේ අවධියට අයත් සිතුවම් ඇත. මින් වැඩි ප්‍රමාණයක් නටබුන්ව කැබලි වශයෙන් දක්නට ලැබේ. දඹුලු ලෙන් විහාරයෙහි ද අනුරාධපුර යුගයට අයත් බෞද්ධ සිතුවම් ශේෂ දක්නට ලැබේ.

ශ්‍රී ලංකා බෞද්ධ සිතුවම් මෙන්ම මූර්ති කලා පිළිබඳ ඉතිහාසයේ තවත් විශිෂ්ඨ සංධිස්ථානයක් පොළොන්නරු යුගය සනිටුහන් කරයි. මෙම කාලය 11 වන සියවසේ සිට 13 වන සියවස දක්වා විහිදේ. තිවංක පිළිමගේ, ලංකාතිලකය සහ ගල්විහාරයේ සුවිශේෂී සිතුවම් පොළොන්නරු රාජධානි කාලයට අයත්ය. මෙම කාලයේ සිතුවම් ද දැනට බොහෝ දුරට කැබලි වශයෙන් නටබුන්ව පවතී. මේවායින් බොහොමයක් හෙළ රාජධානි වලට වරින්වර පහර දුන් ද්‍රවිඩ ආක්‍රමණිකයින් අතින් විනාශ විය. මෙම සම්භාවනීය අවධියට අයත් සිතුවම් අතර ලංකා ඉතිහාසයේ සිතුවමට නැඟි පළමු බුදු රුව හමුවනුයේ හිඳගල ගල්ලෙන් විහාරයේ ය. දැනට සීගිරි සිතුවම් හැර වෙනත් සම්භාවනීය අවධියට අයත් සිතුවම් සියල්ල කැඩී අවශේෂ කොටස් බවට පත්ව ඇත. අනුරාධපුර සහ පොළොන්නරු රාජධානි කාලයේ බහුල වශයෙන් පැවති ද්‍රවිඩ ආක්‍රමණයන් නිසා බෞද්ධ කලා නිමැයුම් සහිත වූ පොළොන්නරුවේ වෙහෙර විහාර, භික්ෂු ආරාම සහ රජ මාලිගයන් ද විනාශ විය. මෙම ආක්‍රමණ හේතුවෙන් ඇතිවූ අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් සිහලුන් හට පොළොන්නරුව අතහැර රාජධානින් තැනින් තැනට මාරු කිරීමට සිදුවීම නිසා පැරණි කලා නිමැයුම් පැවති ස්ථානයන් අතහැරලන්නට සිදුවිය. මෙම සම්භාවනීය අවධියෙහි පුරාතනික කලා සම්ප්‍රදාය ‘සම්භාව්‍ය යථාර්තවාදය’ නැතහොත් ‘ ස්වභාවික සම්භාව්‍යකත්වය’ වශයෙන් හඳුන්වනු ලබයි. අතිශයින් සිත්කලු වර්ණ රැසකින් නිමැවූ මෙම සිතුවම් රූප නිර්මාණයේ ප්‍රවීණත්වය පෙන්වයි. එමෙන්ම මිනිස් රූපයන්හි මුහුණෙහි ඉරියව් සහ අභිනයන් කලාත්මක ලෙස නිර්මාණයේ දක්ෂතාවය මනාව පෙන්නුම් කරයි. ලලිත කලාශ්වාදය උතුරා යන මෙම මාහැඟි චිත්‍ර මිනිස් චින්තනයේ සහ නිර්මාණ කෞෂ්‍යලයේ මුදුන් මල්කඩ ලෙස සැලකිය හැකිය. මෙම චිත්‍ර බලවත් අධ්‍යාත්මික බලපෑමක් දැනවීමට ද පොහොසත්වී ඇත. මෙම සුවිශේෂ සිහළ සිත්තරුන් පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි ඓතිහාසික මූලාශ්‍ර අවමවීම කනගාටුවට කාරණාවකි. විශිෂ්ඨ කලා නිමැයුම් බිහිකළ දහතුන්වන සියවසට පෙර සම්භාවනීය යුගයේ කලාකරුවන් පිළිබඳව වගතුග නොමැතිවීම සංවේගයට කරුණකි. දහඅටවැනි සියවසින් පසුව සමහර සිත්තර පරම්පරා පිළිබඳ යම් තොරතුරු හමු වෙතත් ඒවාද විස්තරාත්මක නොවේ.

රාජධානී සංක්‍රමණික යුගය

රාජධානී සංක්‍රමණික යුගය යනු 13 වැනි සියවසේ සිට 17 වැනි සියවස දක්වා කාලයයි. වසර 400 පමණවූ මෙම කාලය තුළ අගනුවරයන් කීපවරක් තැනින් තැනට ගෙන යනු ලැබූ දේශපාලනික වශයෙන් අස්ථාවරවූවකි. ඉන්දීය සහ යුරෝපීය ආක්‍රමණිකයන් විසින් බෞද්ධ විහාරස්ථාන හා කලාත්මක නිර්මාණ රාශිභූතවූ ස්ථාන රාශියක්ම වනසා දමනු ලැබීය. මේ කාලයේදී කලාකරුවන්ට අවශ්‍යවූ රාජ්‍ය අනුග්‍රහය හා භික්ෂූන්ගේ පිහිට සීමා විය.

එහෙත් සමහර විහාරස්ථානවල විශිෂ්ඨවූ කලා නිමැයුම් බිහි කරනු ලැබීය. මේ පූජනීය විහාරස්ථාන අතරින් ලංකාතිලකය හා ගඩලාදෙණිය විශේෂත්වයට පත් වන්නේ මෙහි ඇති සිත් ඇදගන්නා සුළු සිතුවම් නිසාය. ලංකාතිලකයේ මෝස්තර සිතුවම් සහ මනා නිමාවක් සහිත මකර තොරණ මනස්කාන්තවූ කලා නිමැයුම්ය. ගඩලාදෙණියේ දැක්වෙනුයේ මෙකල කලා නිර්මාණයන් කෙරේ හින්දු දේව සංකල්පය ප්‍රබලව තිබුණු බවය. මහනුවර යුගයේදී ද මෙවැනි බලපෑම් බෞද්ධ පිලිමයන් හා සිතුවම් රැසක් හමුවේ.

මහනුවර යුගය

මහනුවර යුගය දහඅට සහ දහනවය සියවස් කාලයයි. මේ කාලයේදී බිහිවූ සිතුවම් සුවිශේෂී ලක්ෂණයන් සහිතවේ. විහාරස්ථාන රාශියක වර්ණවත් විලාසිතානුගත නැතහොත් ශෛලීගත ලක්ෂණයන් බහුල ලෙස දැකිය හැකි සිතුවම් බිහිවිය. මේවා සම්භාවනීය අවධියෙහි සම්ප්‍රදායනට සහ ක්‍රමවේදයනට වඩා බෙහෙවින් වෙනස් මාර්ගයක් ගෙන තිබේ. මෙම කඳුරට සම්ප්‍රදාය දක්වන විහාරස්ථාන විශාල සංඛ්‍යාවක් අතර දඹුල්ල, රිදී විහාරය, දෙගල්දොරුව, මැදවෙල, මල්වත්ත, අස්ගිරිය, සුදුහුම්පොල, හිඳගල, දළදා මාලිගාව, ලේවැල්ල ගංගාරාමය, දණගිරිගල, දැඹව, අරත්තන, කරගම්පිටිය සුබෝධාරාමය සමහරෙකි. සමහර ප්‍රවීණ චිත්‍ර ශිල්පීන් මෙම මුලුමනින්ම ශෛලීගත ආකෘතියකින් සමන්විත සිතුවම් හඳුන්වනු ලබන්නේ ‘ පරිකල්පිත අනුභූතීන්’ ලෙසටය. අත්‍යන්තයෙන්ම ස්වාධීනවූ, පෙර නොවූ විරූ, සංකල්පිත අපූර්ව ලක්ෂණයන්ගෙන් යුත් මෙම සිතුවම්, සුවිශේෂවූ සෞන්දර්යාත්මක ප්‍රවාහයක් අනුගමණය කර තිබේ. මෙකල බිහිවූ සිතුවම් සමහරක් සුරක්ෂිතව තිබෙන අතර ඇතැම් ඒවා විවිධ මට්ටමින් පරිහානියට පත්ව තිබේ. ඇතැම් විහාරස්ථානයන් සංරක්ෂණයනට පත් කිරීමේදී එහි තිබූ පැරණි සිතුවම් මත නව බදාම යොදා මහනුවර කාලයේ සිතුවම් ඇඳ තිබේ.

මෙම යුගයේ දී බිහිවූ සිතුවම් මහනුවර අවට පමණක් නොව මෙරට නා නා පළාත්වල දැකිය හැකිය. සමහර පොදු ලක්ෂණයන් තිබුණද මෙම සිතුවම් විලාසිතානුගත විවිධත්වයන් රැසක් පෙන්නුම් කරයි. මෙම ප්‍රදේශීය විවිධත්වය අනුව දකුණු හෙළ බිමේ විහාරයන්හි ඇති චිත්‍රයන් කැපී පෙනෙන සුවිශේෂී ලක්ෂණ සහිතවේ. යුරෝපීය ආභාෂය සහ බලපෑම් මීට ප්‍රධාන හේතුවක් විය. මෙම වෙනස සළකා මහනුවර කාලයට අයත් සිතුවම් දොකොටසකට බෙදා දැක්විය හැකිවේ. කඳුරට මධ්‍යම පළාත්හි විහාර කේන්ද්‍ර කොටගත් විශේෂ පොදු ලක්ෂණ සහිත සිතුවම් සම්ප්‍රදාය සහ දකුණ නැතහොත් පහතරට සම්ප්‍රදාය යනුවෙනි. දකුණ නැතහොත් පහතරට සම්ප්‍රදාය දැක්වෙන වැදගත් විහාර අතර මුල්ගිරිගල, කතලුව පූර්වාරාමය, තොටගමුව, තෙල්වත්ත, කන්දේ විහාරය, දොඩන්දූවේ ශෛලබිම්බාරාමය, මාතර හිත්තැටිය, මිරිස්ස රජමහ විහාරය දැක්විය හැකිය. 16 වැනි සියවසේ මුල් භාගයේ සිට 20 වන සියවසේ මැද භාගය දක්වාවූ යුරෝපීය යටත් විජිත යුගයේ බලපෑම් දේශීය ලලිත ක්‍ෂේත්‍රයේ කැපී පෙනෙන ලෙස දැකිය හැක්කේ දකුණු පළාත්වලය.

නූතන යුගය

විසිවැනි සියවසින් ආරම්භවන මෙම කාලය නියෝජනය කරන්නේ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ පසු භාගය සහ දේශපාලන නිදහස ලැබීමෙන් පසු කොළඹ ප්‍රධාන නගරය බවට පත්වූ කාලයයි. මෙකල ආරම්භයේදී බිහිවූ සිතුවම් රාශියක් යුරෝපීය සිතුවම්කරණ බලපෑම් පෙන්නුම් කරයි. දීප්තිමත් වර්ණ භාවිතය මෙන්ම ස්වාභාවික සහ ශෛලීගත ආකෘති සංකලනය මෙකල බිහිවූ බොහෝ විහාර සිතුවම්හි දැකිය හැකිය.

නූතන යුගයේ විශිෂ්ඨ කලා නිර්මාණ සහිතවූ ස්ථාන අතර කැලණි රජමහා විහාරය, බොරැල්ලේ ගෝතමි විහාරය, බෙල්ලන්විල රජමහා විහාරය සහ සේදවත්ත වෙහෙරගොඩැල්ල විහාරයන් වැදගත්වේ. මේවා කලා රසිකයන්ගේ ප්‍රසාදයට ලක්වූ සිතුවම් සහිත ස්ථාන වේ. පැරණි සිහළ කලාකරුවන් ආදර්ශයට ගනිමින් අගනා නිර්මාණ බිහිකළ සෝලියස් මෙන්දිස් මහතා නූතන චිත්‍ර ශිල්පීන් අතර සුවිශේෂ තැනක් උසුලයි. බුද්ධ චරිතයේ විවිධ සිදුවීම් නිරූපණය කිරීම නූතනයේ බහුල වශයෙන් දැකිය හැකිය. කැලණිය ගෝතමී වැනි විහාරයන්හි විශේෂ ප්‍රවේශයක් ලෙස සැලකිය හැක්කේ එක් සිදුවීමක් සම්පූර්ණ බිත්තිය පුරා ආවරණය වන පරිදි සැකසීමය. බෙල්ලන්විල සිතුවම්කරණය සෝමබන්දු විද්‍යාපති සූරීන්ගේ සුවිශේෂීවූ උත්කර්ෂවත් ප්‍රවේශයකි.

පරම්පරානුගත ලලිත කලා සම්භවයේ සංරක්ෂණය උදෙසා නූතනයේ ප්‍රවීණ චිත්‍ර ශිල්පී එස්. පී. චාල්ස් සහ මන්ජු ශ්‍රී වැනි කලා ශිල්පීන් කීප දෙනෙකුගෙන් සිදුවූ සේවය ඉමහත්ය. දුර්වල වෙමින් පැවැති වටිනා පැරණි සිතුවම් රැසක් අත්‍යන්තයෙන්ම නොවෙනස් ලෙස කැන්වස්තලවල ප්‍රතිනිර්මාණ කිරීම මෙකල සිදුවූ අගය කළයුතු කාර්යයක් වේ. එහෙත් සමස්තයක් වශයෙන් ගත් කළ පැරණි සිතුවම් රාශියක් නොයෙක් හේතූන් නිසා විනාශයට පත්වන ආකාරය ඛේදජනකය.

අසිරිමත් කලා නිමැයුම්

සමස්තයක් වශයෙන් ගත්විට හෙළ බොදු සිතුවම් කලාව දේශීය බෞද්ධ සංස්කෘතියෙහි මෙන්ම සිහළ හැදියාවේ කලාත්මක ප්‍රකාශනයකි. නූතන ලෝකයෙහි විවිධාකාර බලපෑම් මධ්‍යයේ අප අනන්‍යතාවය සුරකීමට නම් මෙම කලාත්මක ප්‍රකාශනය සිත්හි ධාරණය කර ගැනීම අත්‍යවශ්‍ය වූවකි. එය ආරක්ෂා කොට මතු පරපුර වෙත යොමු කිරීම වැදගත්වූ ජාතික මෙහෙවරකි. මෙම සුවිශේෂීවූ චිත්‍රාගාරය ශ්‍රී ලංකා ජනාධිපති කාර්යාලයේ උපදේශක අංශයේ පුරෝගාමීත්වයෙන් සැලසුම්කර පිහිටුවනු ලැබීය. මෙම චිත්‍රාගාරයේ දර්ශණය කර ඇති සිතුවම්හි ඡායාරූපයන් මෙන්ම අදාළ ලිඛිත විස්තර සහ මෙහි සමගාමීව ප්‍රදර්ශණය කරනු ලබන “ හෙළ බොදු සිතුවම් අසිරිය” නම් විශේෂ වාර්තාමය චිත්‍රපටයද පිය- පුතු ආචාර්ය දයා හේවාපතිරණ සහ ආචාර්ය සේසත් හේවාපතිරණයන්ගේ නිර්මාණයන්ය. දේශයේ සංස්කෘතික අනන්‍යතාවය තහවුරු කරන්නාවූ ඉතා අනර්ඝ සංස්කෘතික වස්තූ®න්වන බොදු සිතුවම්හි අනුරූපයන් මෙලෙස සුවිශේෂීවු චිත්‍රාගාරයක් තුළින් ලොවට හුවා දැක්වීමේ අදහස ක්‍රියාත්මකවීම අපහට මහත්වූ සතුටකි. මෙය හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා කරන්නාවූ පූජාවකි. ..........

 

ඉල්පුර අටවක පෝය

ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]