UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අපරදිග මව මවිත කළ පුනර්භවයේ කතාව

අපරදිග මව මවිත කළ පුනර්භවයේ කතාව

‘අම්මේ තවත් අඬන්න එපා. මා ඔබගේ සිඟිති දියණියක් ලෙස නැවත එන්නම්’ මෙයින් මව පුදුමයට පත් වූ අතර නැවතත් දිනක සිහිනෙන් පෙනී සිටි දියණියගේ මෙම ප්‍රකාශයෙන් මව මහත් විමතියට පත් වූවා ය. එනම් ‘අම්මේ මා ඔබ ළඟට එන්නේ තනිව නොව

තවත් සහෝදරියක සමඟය.’ ඇලෙක්සැන්ඩරීනාගේ මෙම ප්‍රකාශය තහවුරු කරමින් ඇගේ මව එම වර්ෂයේම දෙසැම්බර් මස 22 දින නිවුන් දැරියන් ප්‍රසූත කළා ය.

පසුගිය පුවත්පතින් අපි බුදුදහමින් පහදා දෙන පුනරුප්පත්තිය යනු කුමක්දැයි විග්‍රහකර ගතිමු. අද ලිපියෙන් අපගේ අවධාරණය යොමුවන්නේ පුනරුප්පත්තියට අදාළ වූ අත්දැකීම් කීපයක් පිළිබඳව කතා කිරීමය.

පුනරුප්පත්තිය පිළිබඳ පෙර භවයන්හි ඇති සම්බන්ධතා කෙසේ තහවුරු වේද?

නූතන ලෝකයේ විවිධ රටවලින් පුනරුප්පත්තිය සම්බන්ධ කතා පුවත් බොහෝ ප්‍රමාණයක් අසන්නට ලැබී ඇත.

ඒ අනුව පුනරුප්පත්තිය පිළිබඳව විශ්වාස නොකළ අය (භෞතික වාදීන්) විවිධ පරීක්‍ෂණ කිරීමට පෙළඹී ඇත. එහි අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ පුනරුප්පත්තිය පිළිබඳව නව පිබිදීමක් හෙවත් විශ්වාසයක් ඔවුන් තුළ ගොඩනැඟීමයි.

මේ පරීක්‍ෂණ අතර අමෙරිකාවේ ජීවත් වූ ඇලෙක්සැන්ඩරීනා සමෝනා නම් දැරියගේ කතාව බොහෝ දෙනාගේ අවධානයට ලක් වූවකි.

අමෙරිකාවේ වෛද්‍යවරයෙකුගේ ඇලෙක්සැන්ඩරීනා සමෝනා නම් පස් හැවිරිදි කුඩා දියණියක් 1910 මාර්තු මස 15 දින මරණයට පත් වූවාය. තම සිඟිති දියණියගේ මරණයෙන් මව දැඩි සේ ශෝක වූවා ය. ඇය වඩාත් ශෝකයට පත් වූයේ වෛද්‍යවරුන් විසින් ඇයට නැවත දරුවන් නොලැබෙන බව පැවසීම නිසා ය. දැරියගේ මරණයෙන් දින තුනකට පසුව ඇය ඉතා පැහැදිලි හීනයක් දුටුවා ය. එනම් මිය ගිය ඇගේ සිඟිති දියණිය සිහිනෙන් ඈ වෙත ‘අම්මේ දුක්වෙන්න එපා මා ඔබගෙන් සදහටම වෙන් වී නැහැ.’ මා නැවත කුඩා දැරියක ලෙස ඔබ වෙත එනවා’ යන්නයි.

වෛද්‍යවරුන් විසින් ඇයට තවත් දරුවන් නොලැබෙනු ඇතැයි කියා තිබුණු නිසාත්, පුනරුප්පත්තිය පිළිබඳව විශ්වාසයක් නැති නිසාත් මෙය ඇයගේ සැනසුමට හේතුවන කරුණක් නොවූවාය. මේ සිහිනය දින කීපයක්ම ඇයට පෙනෙන්නට වූවාය. එම වර්ෂයේම අප්‍රේල් මස 10 වැනි දින තමා ගැබ්ගෙන ඇති බව වෛද්‍යවරුන්ගෙන් ඇයට දැන ගන්නට ලැබුණි. එහෙත් වෛද්‍යවරුන්ගේ නියමයන්ට අනුව නැවත දරු ප්‍රසූතියක් කිරීම වඩාත් දුෂ්කර කටයුත්තක් විය.

නැවත දිනක සිහිනෙන් පෙනී සිටි තම සිඟිති දියණිය මෙසේ පවසා ඇත. ‘අම්මේ තවත් අඬන්න එපා. මා ඔබගේ සිඟිති දියණියක් ලෙස නැවත එන්නම්’ මෙයින් මව පුදුමයට පත් වූ අතර නැවතත් දිනක සිහිනෙන් පෙනී සිටි දියණියගේ මෙම ප්‍රකාශයෙන් මව මහත් විමතියට පත් වූවා ය. එනම් ‘අම්මේ මා ඔබ ළඟට එන්නේ තනිව නොව තවත් සහෝදරියක සමඟය.’ ඇලෙක්සැන්ඩරීනාගේ මෙම ප්‍රකාශය තහවුරු කරමින් ඇගේ මව එම වර්ෂයේම දෙසැම්බර් මස 22 දින නිවුන් දැරියන් ප්‍රසූත කළා ය. මෙසේ නැවත උපන් ඇලෙක්සැන්ඩරීනා පැවැත් වූ හැසිරීම් රුචි අරුචිකම් සියල්ලම පෙර දැරියට එලෙසම සමාන වී ඇත.

එපමණක් නොව ඇය පෙර දැරිය මෙන් වමතින් වැඩ කරන්නියක්ද වූවාය. ඇය පැවැසූ බොහෝ දේ පෙර දැරියගේ ජීවිත කතාවට සපුරාම සමාන විය.

මෙම කතාව බටහිර චින්තනයේ නව මතයකට හෙවත් පුනරුප්පත්තිය පිළිබඳව විශ්වාසය ගොඩනැගීමට සමත්ව ඇත.

ලංකාව තුළ ද පුනරුප්පත්තිය පිළිබඳ බොහෝ කතාවන් කලින් කලට අසන්නට ලැබේ. ඒ පිළිබඳ විවිධ පරියේෂණ කැර ඇති අතර ඒවායෙන් බොහෝමයක් සත්‍ය සිද්ධි ලෙස තහවුරු කැර ගෙන ඇත.

මෑතකදී පුනරුප්පත්තිය පිළිබඳව කරුණු කියවූ දරුවෙකු මාතර ප්‍රදේශයෙන් හමුවී ඇති අතර ඔහු කියවූ එම තොරතුරු වාර්තා අනුව එම කතාව කෙටියෙන් මෙසේ සඳහන් කළ හැකි ය. පෙර ආත්මයේ මේ දරුවා මහනුවර ඉපිදී සිටි අතර මහවැලිගඟේ දිය නෑමට ගොස් ලේවැල්ල ප්‍රදේශයේ දී මරණයට පත්ව ඇත.

මිය යන විට ඔහු පහළොස්වන වියේ පසුවන අතර ඊට වර්ෂයකට පසුව ඔහු මාතර ප්‍රදේශයේ ඉපදී ඇත. බහ තෝරන වියේ සිටම නුවර ගැන වැඩිපුර කතා කර ඇත. නිතරම නුවර බලන්න යන්නට අවශ්‍ය බව පවසා ඇත. එපමණක් නොව මාලිගාවට බෝම්බ ගැසූ සිද්ධිය, පෙරහර, නාථ දේවාලය, පෙරහරේ නැට්ටුවන් ආදිය පිළිබඳව බොහෝ දේ පවසා ඇත.

දරුවාගේ ඇවටිලි නිසා දෙමාපියන් විසින් ඔහු නුවරට එක් කරගෙන විත් මාලිගාව පෙන්වා ඇත. එහිදී ඔහු පැවසූ බොහෝ සිද්ධීන් දෙමාපියන් මවිතයට පත්කර ඇත. ඔහු එහිදී හැසිර ඇත්තේ මාලිගාව වඩාත් හුරු පුරුදු අයෙකු ලෙසිනි.

ඔහුගේ මඟ පෙන්වීම යටතේ තමන් පෙර විසූ නිවස සොයා ගැනීම දෙමාපියන් ඥාතීන් හඳුනා ගැනීමට ද පුළුවන් වී ඇත.

ඔහු පරිහරණය කළ භාණ්ඩ ඇඳුම් පැළඳුම් ආදිය මෙන්ම තමා ඉගෙන ගත් පාසල ගුරුවරු ආදිය ද නිවැරැදිව හඳුනාගෙන ඇත.

මෙවැනි සිද්ධීන් බොහෝමයක් අප රට තුළ හඳුනා ගන්නට ලැබී ඇත. මේ අනුව පුනරුප්පත්තිය පිළිබඳව පෙර භවයන්හි ඇති සබඳතාවයන් අපට තහවුරු කැර ගත හැකිය.

තවත් කොටසක් ලබන සතියට

 

ඉල්පුර අටවක පෝය

ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]