UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිතුරු ගුණ රැඳි බොදු පවුල

ස්ත්‍රියක හා පුරුෂයකු එකතුව අරඹන යුග දිවිය පවුල් සංස්ථාවේ ආරම්භය වන බව පැහැදිලි වේ. පී‍්‍රතිමත් විවාහ ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඉවහල් වන සියලු අවවාද හා උපදෙස් බුදුදහමෙහි අඩංගු වේ. සැමියකුට ගැළැපෙන නිවුණු බිරිඳක ද, බිරිඳකට ගැළැපෙන නිවුණු සැමියකු ද ලැබුණහොත් ඒ දෙදෙනාම වාසනාවන්තයැ’යි බුදුන් වහන්සේ වදාරා ඇත. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන මූලික ගුණාංගවලින් යුක්ත අඹුසැමියන් වසන නිවෙස පූජනීය ස්ථානයක් බඳු ය.

පුද්ගලයා හා සමාජය අතර ඇත්තේ අන්‍යෝන්‍ය බැඳීමකි. ගුණධර්මවලින් පිරි යහපත් පුද්ගලයන් නිර්මාණය තුළින් යහපත් සමාජයක් ගොඩනඟා ගත හැකිය යන්න බුදුදහමෙන් පෙන්වා දෙයි. පුද්ගලයා හා සමාජය සම්බන්ධ වූ විවිධ දේශනා රැසක් සූත්‍ර පිටකයෙන් හමුවන අතර ඒවා බෞද්ධ ආචාර විද්‍යාව ලෙසින් හැඳින්විය හැකි ය. සිඟාලෝවාද සූත්‍රය, ධම්මික සූත්‍රය, ව්‍යග්ඝපජ්ජ සූත්‍රය, පරාභව සූත්‍රය, වසල සූත්‍රය සහ මංගල සූත්‍රය එයින් කිහිපයකි. මෙවැනි සූත්‍ර දේශනා කිරීම තුළින් යහපත් ජීවිතයක් ගත කරන ආකාරය පෙන්වා දීමට බුදුන් වහන්සේ ක්‍රියා කළ සේක.

පුද්ගලයා හා සමාජය පිළිබඳ සාකච්ඡා කිරීමේ දී පවුලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයකි. සමාජ විද්‍යා විෂය ක්‍ෂේත්‍රය තුළ ද පවුල් සංස්ථාවට ලබා දී ඇත්තේ සුවිශේෂී ස්ථානයකි. සමාජයට එක්වන සෑම අභිනව සාමාජිකයකුම පළමවැනුව සාමාජිකත්වය ලබා ගන්නේ මෙම කුඩා ඒකකය වන ‘පවුල’ නමැති ආයතනයෙහි ය. එම ආයතනය තුළ දී සමාජානුයෝජනයට ලක්වන පුද්ගලයා ඉන්පසුව සමාජයට පිවිසෙයි. සමාජයට එක්වන මෙම අභිනව සාමාජිකයා සමාජ විරෝධී නොවන සමාජ හිතෛෂී පුද්ගලයකු වන්නට නම් ‘පවුල’ නමැති ආයතනය අරුත්බර වූද, වැදගත් මෙන් ම යහපත් වූද ස්ථානයක් විය යුතුම ය. ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම සමාජ මානව විද්‍යාඥයා වන බුදුන් වහන්සේ පවුල් සංස්ථාවේ පැවැත්ම සඳහා දේශනා කළ ධර්ම කරුණු බොහෝ ය. යහපත් පවුල් සංසථාවක් නිර්මාණයෙහි ලා එම ධර්ම කරුණු එකිනෙක විමසා බැලීම මෙහිලා වැදගත් වේ.

ස්ත්‍රියක හා පුරුෂයකු එකතුව අරඹන යුග දිවිය පවුල් සංස්ථාවේ ආරම්භය වන බව පැහැදිලි වේ. පී‍්‍රතිමත් විවාහ ජීවිතයක් ගොඩනඟා ගැනීමට ඉවහල් වන සියලු අවවාද හා උපදෙස් බුදුදහමෙහි අඩංගු වේ. සැමියකුට ගැළැපෙන නිවුණු බිරිඳක ද, බිරිඳකට ගැළැපෙන නිවුණු සැමියකු ද ලැබුණහොත් ඒ දෙදෙනාම වාසනාවන්තයැයි බුදුන් වහන්සේ වදාරා ඇත. ශ්‍රද්ධා, සීල, ත්‍යාග, ප්‍රඥා යන මූලික ගුණාංගවලින් යුක්ත අඹුසැමියන් වසන නිවෙස පූජනීය ස්ථානයක් බඳු ය. අන්‍යෝන්‍ය අවබෝධය, සමානාත්මතාව, මෘදු බව, ත්‍යාගශීලී බව, කාරුණික බව හා කැපවීම ප්‍රසන්න යුග දිවියක දැකිය හැකි ලක්‍ෂණයන් ය. සිල්වත්, ගුණවත් අඹුසැමියන් බුදුන් වහන්සේගේ ද ප්‍රශංසාවට ලක්විය. බුදුසසුනේ උපාසකභාවයට පැමිණි ඉතා සෙනෙහෙබර අඹුසැමි යුවළක වන නකුල මාතා සහ නකුල පිතා යනු එවැනි දෙදෙනෙකි. යුග දිවිය ඇරැඹූ දා සිට ඔවුනොවුන් වෙනුවෙන් කැප වී සිටි මේ අඹුසැමි යුවළ බුදුන් වහන්සේ ඉදිරියේ ප්‍රකාශ කරන්නේ මතු භවයේ දී ද ඔවුනොවුන් දැක ගැනීමට කැමැත්තෙන් සිටින බවයි. මෙහිදී බුදුන් වහන්සේ ප්‍රකාශ කරන්නේ, “ගෘහපතියනි, ඉදින් යම් අඹුසැමි යුවළක් මෙලොවදී එකිනෙකා දකින්නට කැමැති වන්නා සේ පරලොවෙහි දී ද එකිනෙකා දැකීමෙහි අභිමත නම් සමාන ශ්‍රද්ධා ඇති, සමාන සීල ඇති, සමාන චාග ගුණ ඇති, සමාන පඤ්ඤා ඇති කල්හි ඔවුහු මේ ජීවිතයේ දී උනුන් දකින්නා සේ පරලොවෙහිදී ද උනුන් දකින්නාහ” යනුවෙනි.

මෙයින් පැහැදිලි වන්නේ යහපත් යුග ජීවිතයක් සඳහා සැමියා සහ බිරිඳ යන දෙදෙනා ම සමාන ගුණයන්ගෙන් යුක්ත විය යුතු බවකි. පවුල් සංස්ථාවේ සාර්ථකත්වය උදෙසා එය මූලික පදනම ද වේ. ස්වාමියා ගුණවත් වූ පමණටම බිරිඳ එසේ නොවූයේ නම් එම පවුල් දිවිය නීරස වේ. බිරිඳ සිල්වත් වූවද ස්වාමියා දුසිල්වත් අයකු නම් එම පවුල් සංස්ථාව අපායකට සමාන වේ. අපාය හෝ දිව්‍ය ලෝකය සිය නිවෙස තුළ නිර්මාණය කර ගන්නේ එහි වසන අඹුසැමියන්මය. සියලු සැප සම්පත් විඳිමින් සත් මහල් ප්‍රාසාදයක ජීවත් වුවත් අඹුසැමියන් අතර ගුණ ධර්ම හෝ ඔවුනොවුන් කෙරෙහි ප්‍රේමයක් හෝ සමඟි සම්පන්න බවක් හෝ නොමැති වුවහොත් එම නිවෙස අපායක් හා සමාන ය. අතු පැලක වුව ඉන්නා පිරිස ඔවුනොවුන් කෙරෙහි ප්‍රේමයෙන් හා සමඟියෙන් වසන්නේ නම් ඒ පැල දිව්‍ය ලෝකයකි.

එබැවින් යුග ජීවිතයක් අරඹන අඹුසැමියන් දෙදෙනා ම සමාන ගුණ ඇති අය විය යුතු යැයි බුදුන් වහන්සේ අවධාරණය කොට ඇත්තේ මෙම කරුණු සලකාගෙන බව පැහැදිලි ය. බුදුදහම අනුව ස්වාමි පුරුෂයකු මූලික ගුණාංග සතරකින් යුක්ත විය යුතු ය. ඔහු පින්කරන්නා වූ, සිල්වත් වූ, උපාසක ගුණයන්හි පිහිටියා වූ සහ දැහැමින් අඹුදරුවන් රකින්නා වූ අයකු විය යුතු ය. එවැනි ගිහියන්ට ශක්‍ර දේවේන්ද්‍රයා ද නමස්කාර කරන බව සංයුක්ත නිකායේ සක්කනමස්සන සූත්‍රයෙහි සඳහන් වේ.

මෙහිදී පින් කිරීම යන්නෙන් දාන, සීල, භාවනාදී කටයුතුවල යෙදීම අදහස් වේ. සිල්වත් බව නම් පඤ්ච දුෂ්චරිතයෙන් මිදීමයි. උපාසක ගුණය යනු බුදුන්, දහම්, සඟුන් සරණ ගිය තැනැත්තකු වීමයි. ශ්‍රද්ධා, ශීල, ශ්‍රැත, ත්‍යාගාදී ගුණයන්හි පිහිටීම ද නියම උපාසක ලක්‍ෂණයක් වේ. දැහැමින් අඹුදරුවන් පෝෂණය කිරීම නම් ධාර්මිකව උපයා සපයා ගත් වස්තුවෙන් අඹු දරුවන් ද, පිරිවර ජනයා ද, පෝෂණය කිරීමයි. මෙකී ගුණ ඇති තැනැත්තාට දෙවියෝ පවා නමස්කාර කරති. එමෙන් ම එවැනි ස්වාමි පුරුෂයකුට සිය අඹු දරුවන්ද සමඟ ප්‍රේමයෙන් හා සමඟියෙන්, සුවයෙන් හා සතුටින් වාසය කරන්නට හැකියාව ලැබේ.

එමෙන්ම භාර්යාව ද ගුණ ධර්මවලින් පරිපූර්ණ අයකු විය යුතු ය. යහපත් භාර්යාවක සතු මූලික ගුණ පහක් පිළිබඳ ‘බෞද්ධ ගෙදර’ නම් කෘතියෙහි මෙසේ සඳහන් කොට ඇත. එනම් භාර්යාවක සෑම විටම, සමව හැසිරෙන්නා වූ, නුවණැත්තා වූ, සිල්වත් වූ, නැන්දා හා මාමා දෙවියන් කොට සලකන්නා වූ සහ පතිව්‍රතා ධර්මයෙන් යුක්ත වූ අයකු විය යුතු ය.

සමව හැසිරීම නම් මනා, යහපත් වූ හැසිරීමයි. එනම් කිසිවකුටත් කරදරයක්, හිරිහැරයක් නොවන සේ ජීවත් වීමයි. නැණවත් බව නම් නිවැරැදි ශිල්ප ශාස්ත්‍ර විෂයෙහි උගත්කම ද, බහුශ්‍රැතභාව ද වේ. බහුශ්‍රැත බව පමණක් ම නොව දෙලොව දියුණුව සලසා ගැනීම සඳහා වන නුවණ සහ ස්ථානෝචිත ප්‍රඥාව ආදියෙන් ද යුක්ත විය යුතු ය. යහපත් ස්ත්‍රියක නම් දුෂ්චරිතයෙන් වෙන් වූ සීලයෙන් යුක්ත වූ තැනැත්තියක විය යුතු ය. පතිව්‍රතා ධර්මය සිය පණ මෙන් රැක ගත යුතු ය. ස්වපුරුෂ සන්තුෂ්ටියෙන් යුක්තව සිය ස්වාමියා දෙවියකු ලෙස සලකමින්, සිතින්වත් අන් පුරුෂයන් ගැන නො පතන උතුම් ගුණයෙන් යුත් භාර්යාව පවුලකට වාසනාව කැඳවන්නී ය.

පී‍්‍රතිමත් යුග දිවියක් ගත කිරීමේ අවශ්‍යතාව ඇති ඕනෑ ම අයකුට බුදුන් වහන්සේගේ දේශනා අමිල නිධානයක් වැනි ය. යහපත් පවුල් දිවියක පදනම සකසා දෙන තවත් අගනා බෞද්ධ සූත්‍ර දේශනාවක් ලෙස සිඟාලෝවාද සූත්‍රය දැක්විය හැකිය. අඹු සැමි සබැඳියාව හොඳින් පවත්වා ගෙන යෑමට නම් ඔවුනොවුන් විසින් ඉටු කරනු ලැබිය යුතු යුතුකම් අඩු නැතිව සම්පූර්ණ කළ යුතු බව එම සූත්‍රයේ දැක්වේ. ඒ ඉගැන්වීම් අනුව ස්වාමිපුරුෂයා භාර්යාවට පස් අයුරකින් සංග්‍රහ කළ යුතු ය.

1. සම්මාන කිරීමෙන්
(භාර්යාවට සැලකිලිමත්ව කතා කිරීම)

2. අවමන් නො කිරීමෙන්

3. බිරිය නො ඉක්මවීමෙන්
(අනාචාරයේ නොහැසිරීම)

4. යස ඉසුරු පවරා දීමෙන්
(ගෙහි කටයුතුවල අධිපති බව භාර දීමෙන්)

5. ආභරණ සපයා දීමෙන්

එසේ සංග්‍රහ ලබන භාර්යාවක විසින් සිය ස්වාමි පුරුෂයා හට ඉටුකළ යුතු යුතුකම් පහක් පිළිබඳ එම සූත්‍රයේ විස්තර වේ.

1. මනාව සංවිධානය කරන ලද කටයුතු ඇත්තියක වීම.
2. ස්වාමියාගේ පිරිවර ජනයාට මැනැවින් සංග්‍රහ කිරීම.
3. අනාචාරයෙහි නොහැසිරීම.
4. සැමියා සපයා ගෙනැත් තැබූ වස්තුව ආරක්‍ෂා කිරීම.
5. සියලු කටයුතුවල දක්‍ෂ ද අනලස් ද වීම.

පවුල් සංස්ථාවක පැවැත්ම කෙරෙහි වැඩි වගකීමක් රැඳෙන්නේ භාර්යාව මත ය.ඇයගේ යහපත් බව හෝ අයහපත්භාවය මත පවුලේ සතුට හෝ අසතුට රැඳී පවතී. බුදුරජාණන් වහන්සේ දිනක් අනේපිඬු සිටුතුමාගේ නිවෙසට දානයට වැඩම කළ අවස්ථාවේ සිටුතුමාගේ ලේලියක වූ සුජාතාවන් අරභයා දේශනා කළ ධර්ම කරුණු සත්තභරියා සූත්‍රයේ අන්තර්ගතය. යුග දිවියේ දී භාර්යාවගේ යහපත් ක්‍රියාකාරීත්වය සාර්ථක යුග දිවියකට හේතුවන ආකාරය එහි මනාව විග්‍රහ කොට ඇත. එහි භාර්යාවන් වර්ග සතක් පිළිබඳ කරුණු සඳහන් වේ. ඒ මෙසේ ය.

1. වධක සම භාර්යා - ස්වාමියා කෙරෙහි කිසිදු අනුකම්පාවක් නොමැතිව සැතිරියක මෙන් නොයෙක් හිරිහැර කරන තැනැත්තියයි.

2. චොර භාර්යා - සැමියා සපයන වස්තු මැනැවින් ආරක්‍ෂා නො කිරීම සහ සැමියාට හොරෙන් නොයෙක් දෙනාට දෙන, සැමියාගේ දේපොළ විනාශ වෙන්නට ඉඩ සලසන භාර්යාව මේ නමින් හඳුන්වයි.

3. ස්වාමි භාර්යා - දැඩි මාන්නයෙන් හා ආඩම්බරයෙන් යුක්ත මැය අන් අය පහත් කොට සලකමින් සැඩ පරුෂ ලෙස හැසිරෙමින් තමන්ට වඩා උසස් කෙනෙක් නැතැයි යන හැඟීමෙන් ගෙදර දොරේ කිසිදු වැඩක් නො කොට අලසව හැඩි දැඩි ගොරෝසු ගති ඇතිව වාසය කරයි.

4. මාතු භාර්යා - සිය දරුවන් රකිනා මවක සේ සැමියා කෙරෙහි මහත් අනුකම්පා ඇතිව, සැමියා සෙනෙහසින් රැක බලා ගන්නා භාර්යාව මාතු භාර්යා නමින් හඳුන්වයි.

5. භගිණි භාර්යා - වැඩි මහලු සහෝදරයකු කෙරෙහි බාල සහෝදරියක මෙන් සැමියා කෙරෙහි ගෞරවයෙන් යුක්තව වාසය කරන භාර්යාව මෙනමින් හඳුන්වයි.

6. සඛී භාර්යා - යහළුවන් කෙරෙහි දක්වන ලෙන්ගතුකම හා සමාන හිතවත්කමක් සිය ස්වාමියා කෙරෙහි දක්වන තැනැත්තිය සඛී භාර්යා නම් වේ.

7. දාසි භාර්යා - යම් වැරැද්දකට බැණ වැදුනත් දඬුවම් කළත් කෝප නො වී ඇඬූ කඳුළෙන් දුක ප්‍රකාශ කරන කීකරු බිරිඳ මින් අදහස් වේ.

මෙම සත් වැදෑරුම් බිරියන් අතරින් මුලින් සඳහන් කළ වධක, චොර, ස්වාමි යන නම්වලින් දැක්වුණු තිදෙනා කවරාකාරයකින් හෝ නොගැළපෙන්නා වූ භාර්යාවන් වන අතර අනෙක් භාර්යාවන් එනම් මාතු, සඛී, භගිනි හා දාසි භාර්යාවන් පවුල් සංස්ථාවක පැවැත්මට උරදෙන්නියන් ලෙසත් බුදුන් වහන්සේ පෙන්වා දුන් සේක. බුද්ධදේශනා අතර කාන්තාවන් උදෙසා දෙසූ සූත්‍ර රැසකි. උන්වහන්සේ පුරුෂ පක්‍ෂයට සේම ස්ත්‍රී පක්‍ෂයට ද බොහෝ අවවාද අනුශාසනා කරන්නට ඇත්තේ සමාජයක් නිවැරැදිව ගොඩනැඟීමට නම් එම සමාජයේ මව්වරුන් සිල්වත් නැණවත් පිරිසක් විය යුතු බැවිනි.

නිවෙසක ස්වාමි පුරුෂයකුගේ කාර්යභාරය වන්නේ ධන සම්පත් ආදිය උපයා සපයා දීම වැනි බාහිර කටයුතු සම්පාදනයයි. එහෙත් ගේදොර පාලනය, දූ දරුවන් නිසි ලෙස තැනීම ආදිය භාර්යාව සතු කාර්යයන් ය. යම් හෙයකින් භාර්යාව අසංවර ගුණ ඇති දුෂ්චරිතයෙන් යුක්ත අයකු නම් දූ දරුවෝ ද ඈ අනුව යමින් නිරායාසයෙන් ම අසංවර, අශීලාචාර පිරිසක් බවට පත් වෙති. බෞද්ධ කාන්තාවක් නම් නිරන්තරයෙන් තමා පෝෂණය කරන්නා වූ සිය ස්වාමියා ඉක්මවා නො යන්නීය. නුවණැති ඇය ස්වාමියාගේ ගුරු දෙගුරුන් මැනැවින් පුදන්නී ය. කිසි විටෙකත් අලස නො වන උත්සාහවන්ත වූ යහපත් භාර්යාව ස්වාමියාගේ සිත් සතුටු වන අයුරින් හැසිරෙන අතරම ඔහු උපයන වස්තුව ද රැක ගනී. තමාට අයත් වූ යුතුකම් හා වගකීම් නො පිරිහෙළා ඉටු කරන යහපත් භාර්යාව මරණින් මතු දෙව්ලොව ඉපදෙන බව බුද්ධදේශනාවේ සඳහන් වේ. බුදුසමයෙහි එන බෞද්ධ කාන්තා චරිත අතුරෙන් විශාඛාව එවැනි යහපත් ශ්‍රේෂ්ඨ කාන්තා චරිතයකි. බුදුන් වහන්සේ සැවැත් නුවර පූර්වාරාමයෙහි වැඩ වසන කල විශාඛාව උදෙසා දේශනා කරන ලද සූත්‍රයක් ලෙස පඨම ලෝක විජය සූත්‍රය දැක්විය හැකි ය. එහි යහපත්, ගුණ ගරුක භාර්යාවක සතු ගුණාංග අටක් පිළිබඳ විස්තර කොට ඇත.

1. ගේදොර කටයුතු නිසි පරිදි සංවිධානය කිරීම.
2. තමන්ගේ සහ ස්වාමියාගේ නෑදෑ මිතුරන්ට, සේවකයන්ට සහ අසල්වාසීන්ට සංග්‍රහ කිරීම.
3. ස්වාමියාගේ සිත සතුටු වන පරිදි කතා කිරීම සහ ක්‍රියා කිරීම.
4. ස්වාමියා විසින් සපයන ලද වස්තුව මත්පැන් පානය, සූදුව, නෘත්‍ය දර්ශනයෙහි ලොල් බව සහ පමණ ඉක්මවා ගිය අලංකාර ලෝලත්වය යන මේ වස්තු විනාශ වන මං අහුරා ආරක්‍ෂා කිරීම.
5. ශ්‍රද්ධාවෙන් යුක්ත වීම.
6. සීලයෙන් යුක්ත වීම.
7. ත්‍යාගවන්ත බව.
8. ප්‍රඥාවෙන් යුක්ත වීම.

මේ අට කරුණින් පරිපූර්ණ වූ භාර්යාව මෙලොව දී නැණවතුන්ගේ ප්‍රශංසාවට ලක්වන බවත්, පරලොව දී සුගති සම්පත් ලබන බවත්, විස්තර කොට ඇත.

පවුල් සංස්ථාවක පැවැත්මට වැඩි වශයෙන් භාර්යාවගේ ගුණයහපත් බව ඉවහල් වුව ද ඒ හා සමානව ම ස්වාමිපුරුෂයා ද ගුණවත්, සිල්වත් අයකු විය යුතු ය. නොමැති නම් එම පවුල කිසි විටෙකත් සාර්ථක පවුල් සංස්ථාවක් බවට පත් නොවේ. පවුල් දිවියෙහි සාර්ථකත්වය ස්වාමියා සහ බිරිඳ යන දෙදෙනා අතම රැඳී ඇති වගකීමකි. යහපත් ස්වාමි පුරුෂයකුගේ ලක්‍ෂණ පඨම සම්පදා හා දුතිය සම්පදා සූත්‍රයෙහි මෙසේ සඳහන් කොට ඇත.

1. කටයුතුවලදී නො පසුබට වීර්යයෙන් යුක්ත වීම.
2. හැම කටයුත්තකදී ම සැලිකිලිමත් බව.
3. කටයුතු සංවිධානය කිරීමෙහි මනා පළපුරුද්දක් ඇති බව.
4. ආදායමට සරිලන සේ වියදම් කිරීම, ආදායමට සරිලන සේ දිවි පැවැත්වීම සහ අරපරෙස්සම.
5. ශ්‍රද්ධාවෙන් යුක්ත වීම.
6. සීලයෙන් යුක්ත වීම.
7. ත්‍යාගී බව.
8. ප්‍රඥාවෙන් යුක්ත වීම.

ඊට අමතරව ගුණවත්, නුවණැති පුරුෂයා මව්පියන්ගේ කටයුතුවලදී නිසි පරිදි සොයා බලා ක්‍රියා කරයි. හේ භාර්යාවගේ හා දූ දරුවන්ගේ ද හිත වැඩ පිණිස ම වෙහෙසෙන්නේ ය. ඔහු සිය කම්කරු සේවකාදීන්ගේ ද දියුණුව පිළිබඳ සොයා බලා කටයුතු කරයි. සිල්වත් වීම, දිය යුතු තැන දීම, ජීවත්ව සිටින නෑයන්ට හා මිතුරන්ට සංග්‍රහ කිරීම, මිය ගිය නෑ මිතුරන්ට පින්පෙත් දීම, ශ්‍රමණයන් වහන්සේට සිවුපසයෙන් උපස්ථාන කිරීම සහ දෙවියන්ට පින්පෙත් දීම යන ගුණයන්ගෙන් යුතු, සිය යුතුකම් මනාව ඉටු කරන්නා වූ පුරුෂයා පිදිය යුත්තකු, ප්‍රශංසා කළයුත්තකු බව අංගුත්තර නිකායේ පඤ්චක නිපාතයෙහි ලිච්ඡවී කුමාර සූත්‍රයෙහි විස්තර කොට දක්වා ඇත.

අඹු සැමියන් අතර අන්‍යෝන්‍ය විශ්වාසය බිඳ වැටීම ද පවුල් සංස්ථාවක පරිහානියට හේතු වේ. එසේ වීමට තුඩු දෙන එක් සාධකයක් ලෙස අඹු සැමියන් අතර වයස් පරතරය දැක්විය හැකි ය. වයස්ගත පුරුෂයකු ලාබාල තරුණියක විවාහ කරගෙන ඈ කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් නො නිදා සිටිමින් ඇය රැකීමට උත්සාහ ගනී ද එය පිරිහීමේ කරුණක් ලෙස බුදුන් වහන්සේ දේශනා කොට ඇත. තම බිරිඳගේ තරුණ බව, ඇයගේ රූ සපුව ආදිය පිළිබඳ සිතමින් ඇය අන් පිරිමින්ගේ ඇසට ලක් නො වන අයුරින් රැක බලා ගන්නට පිරිමියකුගේ සිත තුළ ඇති වන ඊර්ෂ්‍යා සහගත සිතුවිල්ල ඔහු පරිහානියට පත් කරන බව නො රහසකි. එය පවුල් සංස්ථාවේ පදනම දෙදරා යන්නට තරම් ප්‍රබල සාධකයක් වන බව ප්‍රකට කරුණකි. යම් ස්වාමිපුරුෂයකු සිය භාර්යාවගෙන් පමණක් සතුටු වන්නේ නම් එවැනි පවුල් දිවිය බුදුසමයේ අගැයීමට ලක් කෙරේ. නකුල මාතාව සහ නකුල පිතා බුදුන් වහන්සේගේ ප්‍රශංසාවට ලක් වූයේ මේ නිසා ය. ස්වකීය බිරිඳගෙන් සතුටට පත් වීමට නොහැකි වූ තැනැත්තා පරඹුවන් කරා ද, වෙසඟනන් කරා ද යෑම පිරිහීමට හේතු වන බව පරාභව සූත්‍රයෙහි සඳහන් වේ.

එමෙන්ම ස්වකීය නෑදෑයන්ගේ හෝ යහළුවන්ගේ බිරිඳන් සමඟ කැමැත්තෙන් හෝ බලහත්කාරයෙන් විසීම වසල දහමක් ලෙසින් බුදුන් වහන්සේ ගර්හාවට ලක් කොට ඇත. පවුලෙහි ගෘහ මූලිකයා හෙවත් ස්වාමියා සුරාව, සූදුව කෙරෙහි මෙන්ම ස්ත්‍රීන් කෙරෙහි ද ලොල් වූ අයකු නම් ඔහු කෙතරම් මිල මුදල් ඉපැයුවත් ඒ සියල්ල ගඟට කැපූ ඉනි මෙන් නිරර්ථකභාවයට පත්වන්නේය. පිරිහීමට පත්වන්නේ ය. නිරන්තර ඊර්ෂ්‍යාවෙන් පෙළෙමින් පරදාර සේවනයෙහි යෙදෙමින් සුරාවෙන් සූදුවෙන් කල් ගෙවන, හිත මිතුරන් සහ නෑදෑයන් සමඟ නිතර අඬදබර කරගනිමින් ජීවත් වන පුද්ගලයා ආර්ථික ශක්තිය ද දුර්වල කොට ගෙන පවුල් ජීවිතය ද ඛේදජනක ඉරණමකට පත් කර ගනී.

ඉතිරි කොටස
දෙසැම්බර් 12 වනදා පත්‍රයේ පළ වේ.

 

ඉල්පුර අටවක පෝය

ඉල්පුර අටවක පෝය දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09. 02 ට ලබයි.
07 වැනිදා සිකුරාදා පූර්වභාග 08. 46 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් මස 06 වැනිදා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය
දෙසැම්බර් මස 12 වැනිදා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

දෙසැම්බර් 06

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]