UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය - නොසෙල්වෙන ශ්‍රද්ධාව

නොසෙල්වෙන ශ්‍රද්ධාව

ශ්‍රද්ධාවට එන්න පුළුවන් ධර්මයන් ඉගෙනගෙන ඒ ධර්මයන් හොඳින් දරාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගෙන ශ්‍රද්ධාව උපදවා ගන්න. ඒ සඳහා තමයි අප හැම දෙයක්ම කළ යුත්තේ. ධර්මයේ හැසිරෙනවා කියලා හැම දෙයක්ම කළ යුත්තේ ශ්‍රද්ධාව ඇතිකර ගන්නයි. ශ්‍රද්ධාව ඇති නොවෙනවා නම් එයා මොනවා කළත් වැඩක් නෑ. එයා අහසින් ගියත් වැඩක් නෑ. අපි කියමු යම් කෙනෙක් ඍර්දිය හදාගෙන අහසින් යනවා කියලා. නමුත් එයා ශ්‍රද්ධාවට ඇවිල්ලා නැත්නම් ඒක වැඩක් නෑ

පින්වතුනි, ශ්‍රද්ධාවට පත් වෙනවා කියන එක අතිශය අමාරු දෙයකි. මේ ලෝකෙ තියෙන අමාරුම දේ තමයි ශ්‍රද්ධාවට පත්වීම. ඒ අමාරුම දේ යම් කෙනෙක් කරගත්තොත් එයා පරිපූර්ණ වශයෙන් ජීවිතයට ආරක්ෂාව ඇති කර ගන්න භාග්‍යවන්තයෙක් වෙනවා.අප කොහොමහරි ශ්‍රද්ධාවට පත්වෙන්ට මහන්සි වෙන්ට ඕනෑ.

යම් කෙනෙක් ශ්‍රද්ධාවට පත්වුණොත් එයා එතනින් එහාට ධර්ම මාර්ගය දියුණුකර ගන්නවා. නමුත් කෙනකුට බැරි වෙන්නේ ශ්‍රද්ධාවට පත්වීම මයි. සමාධිය උපදවා ගන්න එක, විදර්ශනා කරන එක ඒවා ඔක්කොම කරන්න පුළුවන්. නමුත් ශ්‍රද්ධාවට පත්වෙන එක තමයි අමාරු.

ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දුන්නේ නියපොත්තේ පස් ටික වගේ ටික දෙනයි මේ ධර්මය අවබෝධ කරන්නේ කියලා. මහපොළොවේ පස් වගේ විශාල ප්‍රමාණයක් මිනිස්සු ධර්මය අවබෝධ නොකරම මැරිලා යනවා. ඒ කියන්නේ ශ්‍රද්ධාවට පත් වෙන්නේ නැතුවමයි මැරිලා යන්නේ. ශ්‍රද්ධාවට පත් වුණා නම් යම් කෙනෙක්. එයා ධර්මය අවබෝධ කරනවා. මේ ජීවිතයේ නැත්නම් ඊළඟ ජීවිතයක දී හරි එයා පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන පිරිනිවන් පානවා. එහෙනම් නියපොත්තේ පස් ටික වගේ ටිකදෙනයි නේද ශ්‍රද්ධාවට පත් වෙන්නේ? ශ්‍රද්ධාවට එන්නේ නියපොත්තේ පස් ටික වගේ ටික දෙනයි. මහපොළොවේ පස් වගේ විශාල ප්‍රමාණයක් ශ්‍රද්ධාවට පත් නොවීම තමා මැරිලා යන්නේ.

ධර්මය ඉගෙන ගැනීම, භාවනා කිරීම ආදි කරන හැම දෙයක්ම උපකාර කරගත යුත්තේ ශ්‍රද්ධාවට පැමිණීමටයි. ශ්‍රද්ධාවට ආපු කෙනා අනිත් කටයුතු ටික කර ගන්නාව ම යි. එයා භව හතකින් හරි මේ ගමන අවසන් කරනවා. ඒක සිද්ධ නොවී තියෙන්නේ නෑ.නමුත් අපට අමාරුම දේ තමා ශ්‍රද්ධාවට පත් වීම. ශ්‍රද්ධාවට ආපු කෙනා පිරිහිලා යන්නේ නෑ. එයා ආරක්‍ෂිත තැනට ඇවිල්ලා ඉවරයි. එයා කල්‍යාණ මිත්‍ර ඇසුරට පත්වෙලා ඉවරයි. ඒ වගේම මා සත්පුරුෂ ඇසුරට පත්වෙලා ඉවරයි. ආයේ එයාගෙන් කල්‍යාණ මිත්‍රයා අතහැරෙන්නේ නෑ. එහෙනම් හොඳට තේරුම් ගන්න යම් කෙනෙකුගෙන් කල්‍යාණ මිත්‍රයා අත හැරෙනවා නම් ඒ කියන්නේ සංසාර දුකින් නිදහස් වෙන්ට උදවුකරන සත්පුරුෂ ඇසුර අත හැරෙනවා නම් එයා ශ්‍රද්ධාවට ඇවිල්ලා නෑ. යම් කෙනෙක් ශ්‍රද්ධාවට ආව නම් සත්පුරුෂයාගේ ඇසුරට එයා ඇවිල්ලා.

යම් කෙනෙක් ඉන්නවා සත්පුරුෂ ඇසුරේද ඉඳලා ටික කලකින් සත්පුරුෂයා අතහැරලා යනවා. එහෙනම් ඒකෙන් නිගමනය වෙන්නේ මොකක්ද? ඒ අයට ශ්‍රද්ධාව පිහිටලා නෑ කියන එකයි. එහෙනම් අප සත්පුරුෂ ඇසුරට කැමැති නම් අප විසින් කළ යුත්තේ මොකක්ද? අප විසින් කළ යුත්තේ ශ්‍රද්ධාවට එන එක යි. ගිලිහෙන්නේ නැති විදිහට සත්පුරුෂ ඇසුර ඇති කර ගන්න නම් අප විසින් කළ යුත්තේ ශ්‍රද්ධාවට එන එකයි. ශ්‍රද්ධාවට එන්නේ අනිත්‍ය ධර්මය පිළිගැනීමෙන්. ඒ භාග්‍යවතුන් වහන්සේ යමක් අනිත්‍යයි කියලා දේශනා කළා නම් අන්න ඒක අප අදහා ගත්තොත් අපට ශ්‍රද්ධාවට එන්න පුළුවන්. එහෙම නැත්නම් ආර්ය සත්‍ය අප අදහා ගත්තොත් අපට ශ්‍රද්ධාවට එන්න පුළුවන්.

ඒ නිසා ශ්‍රද්ධාවට එන්න පුළුවන් ධර්මයන් ඉගෙනගෙන ඒ ධර්මයන් හොඳින් දරාගෙන ඒ භාග්‍යවතුන් වහන්සේගේ අවබෝධය අදහා ගෙන ශ්‍රද්ධාව උපදවා ගන්න. ඒ සඳහා තමයි අප හැම දෙයක්ම කළ යුත්තේ. ධර්මයේ හැසිරෙනවා කියලා හැම දෙයක්ම කළ යුත්තේ ශ්‍රද්ධාව ඇතිකර ගන්නයි. ශ්‍රද්ධාව ඇති නොවෙනවා නම් එයා මොනවා කළත් වැඩක් නෑ. එයා අහසින් ගියත් වැඩක් නෑ. අපි කියමු යම් කෙනෙක් ඍර්දිය හදාගෙන අහසින් යනවා කියලා. නමුත් එයා ශ්‍රද්ධාවට ඇවිල්ලා නැත්නම් ඒක වැඩක් නෑ. ඒ නිසා ලොකු දේවල් කරන්න කල්පනා කරන්ට එපා. අපට ශ්‍රද්ධාවමයි ලොකුම දේ අනික් සියලු දේ අභිබවා යන ලොකුම දේ ශ්‍රද්ධාවයි.

ඒ නිසා ශ්‍රද්ධාව උපදවා ගන්න, එයා අහසින් නොගියට කමක් නෑ. ලෝකයේ ජනපි‍්‍රය නොවුනට කමක් නෑ. ලෝකෙන් බැනුම් ඇහුවත් කමක් නෑ. ගුටි කෑවත් කමක් නෑ. බඩගින්නේ හිටියත් කමක් නෑ. සීතලේ ගැහි ගැහී හිටියත් කමක් නෑ. ගිනි අවවේ හිටියත් කමක් නෑ. ලෙඩ වෙලා කුදු ගැහිලා අමාරුවෙන් හිටියත් කමක් නෑ. යාළු මිත්‍රයෝ කිසි කෙනෙක් නැතිව, තනියෙන් කොන් වෙලා හිටියත් කමක් නෑ. ශ්‍රද්ධාව තිබුණොත් එයා රැකිලා. ඒ නිසා බාහිරදේවල් කිසි දෙයක් ගැන කල්පනා කර කර මට මේක නෑ..අරක නෑ ම කියලා සිතල දුක් වෙන්න එපා. බලන්න මට ශ්‍රද්ධාව තියෙනවාද කියලා. ශ්‍රද්ධාව නැත්නම් අනිත් මොනවා තිබ්බත් වැඩක් නෑ. ඒක මහත්ඵල වෙන්නේ නෑ. ඒ නිසා ගොඩාක් අය ගනගාටු වෙනවා මට අරවා නෑ. මේවා නෑ. මට මේක බෑ. අරක නෑම කියලා. එහෙම වැඩක් නැති දෙයට කනගාටු වෙන්ට එපා. කනගාටු වෙනවා නම් කනගාටු වෙන්න ශ්‍රද්ධාව නැත්නම්. ඒකත් කනගාටු වෙලා වැඩක් නෑ ඇයි? කනගාටු වුණා කියල එයාට ශ්‍රද්ධාව උපදින්නේ නෑනෙ. එයා ශ්‍රද්ධාව උපදවා ගැනීම පිණිස කටයුතු කළ යුතුයි. ඉතින් ඒකට අවකාශ අනුබල තියෙනවා. ඒ සඳහා කැමැති වෙන්න මහන්සි වෙන්න.

මේ සියලු දෙනාටම මේ ලැබුණු දුර්ලභ ලාභය අහිමි වෙන්නැතුව සත්පුරුෂ ගුණ ධර්ම ඇති කරගෙන සත්පුරුෂ ඇසුර පරිපූර්ණ වශයෙන්ම අත් කරගැනීම පිණිස භාග්‍ය උදා වේවා කියලා අපි ආශිර්වාද කරමු.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]