UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය | යති සම්ප්‍රදාය ....

යති සම්ප්‍රදාය ....

අප ජීවත්වීමේදී අවශ්‍යතා අනුව අත්‍යවශ්‍යතා, අවශ්‍යතා, අතිරේක අවශ්‍යතා, අනවශ්‍යතා වශයෙන් වර්‍ග කළ හැකිය. මිනිස් ජීවිතය අමසතුලිත වන්නේ අත්‍යවශ්‍යතා, අවශ්‍යතා, හා අතිරේක අවශ්‍යතා නිසා නොව අනවශ්‍යතා නිසාය

බුදුරජාණන් වහන්සේගේ පරිභෝජන රටාව තහවුරු කරන ද්‍රව්‍යයක් ලෙස “පිරිකර” සඳහන් කළ හැකිය. පිරිකර යනු, බොහෝ අරමුණු උදෙසා සරල භාවිතය සඳහා පාවිච්චි කරන දෙයක්. ඈත අතීතයේ ඉන්දියානු යති සම්ප්‍රදායේ භාවිතයන් ලෙස පරිස්කාර සමූහයක් තිබුණා. සැරයටිය, කෙණ්ඩිය, උඩුකය වසා ගන්නා ඇඳුම, හා යටි කය වසා ගන්නා ඇඳුම වශයෙන්. යති සම්ප්‍රදාය ගමන් කළ ආකාරය පැහැදිලි වෙනවා. යති සම්ප්‍රදායට අවශ්‍යතා තිබුණේ හතරක් පමණයි. එම අවශ්‍යතා හතර සඳහා ඉහත සඳහන් උපකරණ පරිහරණය කළා.

“සිවුපසය” පිළිබඳව අප ළඟ වැරැදි අදහසක් මුල් බැස තිබෙනවා. සිවුපසය කවුරු විසින් කාට දිය යුතුද ? “සිවුපසය” යනු කුමක් ද? චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය යන සිවුපසය ගිහියන් විසින් පැවිද්දන්ට දිය යුතුයි යනුවෙන් අප ළඟ සාම්ප්‍රදායික සංස්කෘතික විඤ්ඤානයක් තිබෙන නිසා එය සැබෑ යතාර්ථයත් සමඟ සැසඳිය යුතුයි. “ගිලාන පච්චය” යනු කන දෙයක් ද? බොන දෙයක්ද ? යන ප්‍රශ්නයට පිළිතුර ලැබෙන්නේ බොන දෙයක් ලෙසයි. සංස්කෘතික තේරුමේ හැටියට “ගිලන් පස” යනු බොන දෙයක් මිස කන දෙයක් නොවෙයි. “ගිලන්” යනු ලෙඩවීමකි. “පස” යනු අවශ්‍යතාවයකි. “ගිලන් පස” යනු ලෙඩ වූ විට අවශ්‍ය කරන දේය. රෝගී වූ විට අවශ්‍ය වන්නේ බේත් හේත්. ඒ කාලයේ බේත් හේත් යනුවෙන් හැඳින්වූයේ තම්බා පානය කරන දේ සඳහාය. පානයට ගන්නා දේ සඳහා “ගිලන් පස” යනුවෙන් හැඳින්වීම සංස්කෘතියෙන් ආපු දෙයක් මිස “ගිලන් පස” යනු පානය කරන දේම නොවේ. මිනිසුන්ගේ කෑමයි – බීමයි අතර වෘත තිබුණට. සිල් තිබෙන්න බැහැ. මිනිහෙක් කෑවත් හෝ බිව්වත් එය සුරාවක් නොවෙයි නම් කොයි වෙලාවේ කෑවත් බිව්වත් සිල් කැඩෙන්න විදිහක් නැහැ. වෘත කැඩෙන්න පුළුවනි. බුදුහාමුදුරුවන්ගේ කාලයේදී වෘත සමාදන් වුන උදවිය ඕන තරම් හිටියා. ඒකෙන් වෘතයට වැඩක් වෙන්නෙත් නැහැ. වෘතය රකින තැනැත්තාට වැඩක් වෙන්නෙත් නැහැ. රටට වැඩක් වෙන්නෙත් නැහැ. සිල් සහ වෘත අතර ලොකු වෙනසක් තිබෙනවා. “ගිලන් පස” යනු පානයක් කරන දෙයක් ලෙස හැඳින්වීම වෘත අර්ථයකි. “ගිලන් පස” සැබෑ අරුත වන්නේ ලෙඩ වූ විට ගන්නා බේත් හේත්ය.

“සේනාසන” යනුවෙන් අපට දැනෙන්නේ ආරණ්‍ය සේනාසනය. එහි සංස්කෘතික අර්ථය සයනාසන වේ. සයනාසන විසන්ධි වූ විට සයන ආසන වේ. සයන යනු “ඇඳ” “ආසන” යනු ඉඳගන්නා පුටු ආදිය. ඒ අනුව ඉඳුම් හිටුම් වේ. “ ගිලාන පච්චය “ යනු බේත් හේත් නමි, සේනාසන යනු ඉඳුම් හිටුම් වේ. චීවර යනු ඇඳුම් පැලඳුම් ද, පිණ්ඩ පාත යනු කෑම් බීම් ද වේ. මේ කෑම් බීම්, ඇඳුම් පැලඳුම්, බේත් හේත්, ඉඳුම් හිටුම් යන අවශ්‍යතා හතර සඳහා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය යනුවෙන් සිව්පසය ලෙස හඳුන්වනු ලබනවා. මේ දේවල් ගිහියන් විසින් හාමුදුරුවන්ට දිය යුතු දේවල් ද ? නැතහොත් මිනිස් අවශ්‍යතාද ? කෑම් බීම්, ඉඳුම් හිටුම්, ඇඳුම් පැලඳුම්, බේත් හේත් අවශ්‍ය වන්නේ හාමුදුරුවන්ට පමණද? මෙය ගිහියන්ට ද අවශ්‍ය වෙනවා. මෙයින් තිරිසන් හා සත්ත්ව අවශ්‍යතා තියෙන්නේ කෑම් බීම් පමණයි. මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වන්නේ කෑම් බීම්, ඉඳුම් හිටුම්, ඇඳුම් පැලඳුම්, බේත් හේත් යනාදියයි. බුදුරජාණන් වහන්සේ මූලික මිනිස් අවශ්‍යතාවයන් හඳුනාගත්තේ මීට අවුරුදු දෙදහස් පන්සියයකට පෙරය. එක්සත් ජාතීන්ගේ සංවිධානය මූලික මිනිස් අවශ්‍යතා පහක් ( 5 ) හඳුනාගෙන තිබෙනවා. කෑම් බීම්, ඇඳුම් පැලඳුම්, ඉඳුම් හිටුම්, බේත් හේත් හා අධ්‍යාපනය වශයෙනි. බුදුරජාණන් වහන්සේ වසර දෙදහස් පන්සියයකට පෙර දේශනා කරන ලද මූලික මිනිස් අවශ්‍යතාවලට වඩා වැඩි වන්නේ අධ්‍යාපනය පමණයි. බුදුහාමුදුරුවො අධ්‍යාපනය යොදා තිබුණේ නැහැ. එයට හේතුව වුණේ වර්තමානයේ තිබෙන අධ්‍යාපනය බුදුහාමුදුරුවන් දේශනා කරන ලද අධ්‍යාපනය නොවෙයි. වර්තමානයේ අධ්‍යාපනය යනු බටහිර ලෝකයට අවශ්‍ය කරන දැනුම නැගෙනහිර ලෝකය තුළ පතුරුවන එකයි. ලෝකයේ සිටි විශිෂ්ට අධ්‍යාපනඥයා බුදුරජාණන් වහන්සේයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මිනිසුන්ට පවතින්න මූලික මිනිස් අවශ්‍යතා තියෙනවා නම් එන දෙයම තමයි අධ්‍යාපනය ලෙස පිළිගත්තේ.

බුද්ධ දේශනාවට අනුව යති සම්ප්‍රදායට අවශ්‍ය වෙන්නේ අටයි. ( 8 ) එම අවශ්‍යතා අට අටපිරිකර ලෙස හඳුන්වනවා. “පරිස්කාර” යනු පරිභෝජනීය උපකරණයි. එවකට යති සම්ප්‍රදායේ වතුර ගැනීම සඳහා කෙණ්ඩිය තිබුණා. බුදුරජාණන් වහන්සේ පාවිච්චි කළ පාත්‍රයම එය විය හැකියි.

උඩුකය ඇඳුම හා යටිකය ඇඳුම සම්ප්‍රදායෙන් සම්ප්‍රදායට වෙනස් වුණා. සමහරු උඩුකය පමණක් වසා ගන්නා විට සමහරු උර දෙකම වසා ගත්තා. තව කොටසක් සම්පූර්ණයෙන්ම නග්නව හිටියා. සැරයටිය පාවිච්චි කළේ වියපත් අයට ඇවිදීම සඳහාම පමණක් නොවෙයි, ඇතැම් විට ආරක්‍ෂාව සඳහා, ඇතැම් විට මඟ හඳුනාගැනීම සඳහා හා වෙන ඕනෑම දෙයක් සඳහා සැරයටිය පාවිච්චි කළා. විවිධ අවශ්‍යතා සඳහා වන භාණ්ඩයක් වුණා. වාඩිවීම සඳහා පුටු රැගෙන ගියේ නෑ. බිම වාඩි වුණා. යති සම්ප්‍රදාය ඒ ආකාරයට හැඩ ගැසී තිබුණා. රම්‍ය, සුරම්‍ය, සුභ, මාලිගා තුනම අතහැර දමන ලද විශිෂ්ට මිනිසා නිදාගන්නේ ගසක් යට. එය ස්වල්ප කැපකිරීමක් ලෙස ලඝු කොට තැකිය නොහැකියි. මහා ඝන රාත්‍රියක එක දවසක් හුදකලාව පහන් කිරීම සඳහා අපට කෙතරම් අපහසුවක් දැනෙයිද ? නොපෙනෙන තෙක් මානයක මනා ඝන වනාන්තරයක් මැද වැස්සට තෙමෙනව, අව්වට පිච්චෙනවා, කන්න දෙයක් නෑ, කතා කරන්න කෙනෙක් නෑ, ලෙඩ වූවාට බේත් නැහැ, මහා රාත්‍රියට ගිනි පෙනෙල්ලක්, ගිනිකූරක් නැහැ. සර්පයො, කොටි, වලස්සු, අලි, සිංහයො මහා බිහිසුණු වන සතුන් මැද වසර හයක් ( 6 ) තිස්සේ සිදුහත් බෝසතාණන් වහන්සේගේ මහා දැවැන්ත කැප කිරීම කිසිම දෙයකට සමකළ නොහැකියි. එම දැවැන්ත කැප කිරීම තුළින් සාක්ෂාත් කරගත් බුද්ධත්වය සඳහා අවශ්‍ය වූයේ පිරිකර අටයි.

ඇඳීම සඳහා තනිපට සිවුර, දෙපට සිවුර, අඳනය පමණයි. අඳනය යටිකය ඇඳුම සඳහා පරිහරණය කළා. දෙපට සිවුර හා තනිපට සිවුර වශයෙන් උඩුකය ඇඳුම් දෙකක් පරිහරණය කළේ එක සිවුරක් බිම එළාගත් විට එක සිවුරක් කොට්ටය සඳහා පාවිච්චි කළා. එක සිවුරක් පොරවා ගෙන සැතපෙන විට බිම එළා ගැනිම සඳහා කිසිවක් තිබුණේ නැහැ. අනෙක් ද්‍රව්‍ය ලෙස පාත්තරය, ඉදිකටුව, නූල, දැලිපිහිය, පටිය අන්තර්ගත වෙනවා. ඉදිකටුව සහ නුල, පටිය යන තුනම ඇඳුමට අදාළ වන උපකරණයන්ය. දැලි පිහිය හිස රැවුල් බාගැනීම සඳහා පාවිච්චි කළා. මිනිස් අවශ්‍යතාවයන් ලෙස ඉතාමත් සරල චාම් චර්යාවක් පෙන්නුම් කරනවා. සිද්ධාර්ථ කුමාරයා වශයෙන් ජීවිතයෙන් ටික කාලයක් ගත කිරීම සඳහා රම්‍ය, සුරම්‍ය, සුභ සහ අතිරේක මාලිගා චතුරාංගනී සේනාව, යශෝධරාව, රාහුල පුතු, දෙමාපියන්, සිංහාසනය, කිරීටය සහිත අධිකතර සුඛෝපභෝගී ජීවන රටාවක් නිර්මාණය වෙලා තිබුණා. ජීවිතයෙන් වැඩි කාලයක් ජීවත් කරවීම සඳහා පිරිකර අටක් උපයෝගී කරගත් බුදුරජාණන් වහන්සේගේ ජීවන රටාවෙන් ලෝකයට විශාල ආයෝජනයක් වූයේ සරල පරිභෝජන අට සමඟ ජීවත්වු කාලය මිසක් අධික පාරිභෝගී ජීවන රටාවක් තිබූ අවධියක නොවේ. නූතන ලෝකයත් සමඟ ජීවත් විමේදී අධිපාරිභෝජනය සහ පරිභෝජය යන සිද්ධාන්තය වර්තමානයට ගැළපෙන ආකාරයෙන් සකසා ගත යුතුය.

අප ජීවත්වීමේදී අවශ්‍යතා අනුව අත්‍යවශ්‍යතා, අවශ්‍යතා, අතිරේක අවශ්‍යතා, අනවශ්‍යතා වශයෙන් වර්‍ග කළ හැකිය. මිනිස් ජීවිතය අමසතුලිත වන්නේ අත්‍යවශ්‍යතා, අවශ්‍යතා, හා අතිරේක අවශ්‍යතා නිසා නොව අනවශ්‍යතා නිසාය. ලෝකය සමරේඛීයව ඉදිරියට ගමන් කරන නිසා එදා දෙය වර්තමානයට ගැළපිය නොහැකි වුවත් වර්තමානයේ දෙය අතීතයට ගැළපිය නොහැකි වුවත් බුද්ධ චර්යාවත් සමඟ සැසඳීමේදී සිද්ධාන්තමය වශයෙන් පරිභෝජන රටාව වර්තමානය සඳහා ගැළපිය හැකිය.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය ඔක්තෝබර් මස 08 වැනිදා සඳුදා පූර්වභාග 00. 04 ට ලබයි. 09 වැනිදා අඟහරුවාදා පූර්වභාග 01. 50 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 08 වැනිදා සඳුදාය.
මීළඟ පෝය ඔක්තෝබර් 15 වැනිදා සඳුදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 29


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]