UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රාසනාලෝකයට ප්‍රදීපයක් මඩිහේ පඤ්ඤාසීහ මහා නා හිමි

සීසර් සුදුසිංහ

“මිනිසා නොහදා රට හදන්නට බැහැ, මිනිහාත් හදා ගනිමින් රටත් හදා ගනිමු මුවින්.” යන භාෂිතය නිරන්තරයෙන් උන්වහන්සේගේ ලෙළ දුන් වදනකි. ඒ වැකිය ඇසුණු පමණින් අපේ සිහියට නැගෙන්නේ මෙයට වසර නවයකට පෙර අපවත්වී වදාළ ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහානායක ධුරන්දරව වැඩ විසූ විද්‍යා විශාරද අග්ගමහා පණ්ඩිත පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

ව්‍යක්ත, විනීත, විශාරද බහුශ්‍රැත, ධර්ම විනයධර ධර්මානුධර්ම ප්‍රතිපන්න උතුම් සංඝ සෝභන ගුණයන්ගෙන් පෝෂිත ව වැඩ විසූ පරම පූජනීය මඩිහේ මහා නායක හාමුදුරුවෝ දේශනයෙහි මෙන්ම ලේඛනයෙහි ද අතිදක්‍ෂව මහ මෙහෙවර රැසක් ඉටු කළ උතුම් සංඝ පීතෘන් වහන්සේ නමකි.

දකුණු සිරිලක මාතර පුරවරයට මඳක් නුදුරින් පිහිටි මඩිහේ නම් ග්‍රාමය උන්වහන්සේගේ ජන්ම භූමිය විය. ජේමිස් කරෝලිස් පූජිත ගුණවර්ධන සහ බෙලා ඇන්ජලීනා ධීරසේකර දම්පතීන්ගේ පින්බර පුත් රුවනක් ලෙස 1913 ජූනි මස 21 වැනිදා ටෙනිසන් විල්මට් පූජිත ගුණවර්ධන නමින් උපත ලදහ. මවුපිය දෙපළගේ සෙනෙහස ලබමින් කෙළි දෙළෙන් හැදුනු වැඩුනු මෙකුමරුවා නිසි වයස පැමිණි කල සාන්ත තෝමස් ඉංගී‍්‍රසි විදුහලට ඇතුළත් කරනු ලැබීය. පෙර පින් මහිමයෙන් 1926 ජූනි 24 වැනි දා කඹුරුගමුවේ දේවගිරි පුරාණ විහාරස්ථානයේ දී විහාරාධිපතිව වැඩ විසූ වේරගම්පිට සිරි රේවත මා හිමියන්ගේ උපාධ්‍යායත්වයෙන් හා දේශ දේශාන්තරයන්හි ව්‍යාප්ත කීර්ති ගුණ කදම්භයෙන් පිරි පරම පූජනීය පැළෑණේ සිරි වජිරඤාණ මහා නායක ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් එම කුමරුවන් මඩිහේ පඤ්ඤාසීහ හිමි නමින් පැවිදි බිමට පත් විය.

ස්වකීය උපාධ්‍යායන් වහන්සේගේ පා සෙවණෙහි උගතයුතු මූලික බණ දහම් හදාරා ස්වකීය ආචාර්යන් වහන්සේගේ කැඳවුම පරිදි බම්බලපිටියේ වජිරාරාමයට මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ වැඩම කළහ. පැළෑණේ සිරි වජිරඤාණ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ යටතේ බණ දහම් මෙන්ම ගුණ දහම් හදාළ පඤ්ඤාසීහ හාමුදුරුවෝ පැළෑණේ ගංගාරාමස්ථ උදකුක්ඛෙප සීමා මාලකයේ දී 1933 දී අධිසිල් ලැබූහ.

 

ප්‍රාචීන භාෂෝපකාර සමාගම මගින් පැවැත් වූ පරීක්‍ෂණවලට ස්වෝත්සාහයෙන් පෙනී සිටි අතර 1941 දී මහාචාර්ය ජී.පී. මලලසේකර ශූරීන් විසින් ලංකා විශ්වවිද්‍යාල කොලීජියෙහි ආරම්භ කරන ලද විද්‍යා විශාරද උපාධි පාඨමාලාවට පෙනී සිට 1944 දී පවත්වන ලද එහි අවසාන පරීක්‍ෂණයෙන් සමත්ව ‘විද්‍යා විශාරද’ උපාධිය ලැබීය. ආගමික, සාමාජික, සංස්කෘතික මහ මෙහෙවර උදෙසා ස්වකීය දායකත්වය දැක්වීමට උනන්දු වූ මඩිහේ පඤ්ඤාසීහ හාමුදුරුවෝ විවිධ රටවලට ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා වැඩම කළහ. 1953 දී බුරුමයෙහි පවත්වන ලද ජට්ඨ මහා සංගායනාව සඳහා ශ්‍රී ලාංකේය නියෝජිත පිරිසේ සාමාජිකයකු ලෙස සහභාගි වූහ. 2500 බුද්ධ ජයන්තියට සමගාමීව මහාචාර්ය ජී.පී. මලලසේකර ශූරීන්ගේ මෙහෙය වීම මත සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය මඟින් පිහිටුවන ලද බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාවෙහි සාමාජික තනතුරකට පත්කර ගනු ලැබූහ.


බම්බලපිටියේ සිරි වජිරාරාමය

ස්වකීය ගුරුදේවෝත්තම අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක ධුරන්දරව වැඩ විසූ පරම පූජනීය පැළෑණේ සිරි වජිරඤාණ මහ නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් පුරප්පාඩු වූ මහානායක ධූරය සඳහා 1955 දී ඒ වන විට හතළිස් දෙවන වියෙහි පසු වූ මඩිහේ පඤ්ඤාසීහ ස්වාමීන්ද්‍රයන් වහන්සේ පත් කිරීමට ස්වනිකායේ වෘද්ධතර නාහිමිවරු පසු බට නොවූහ.

භික්‍ෂුව ව්‍යක්ත, විනීත, විශාරද, බහුශ්‍රැත ධර්ම විනයධර, ධර්මානුධර්ම ප්‍රතිපත්ති යන සංඝශෝභන ලක්‍ෂණවලින් යුක්ත විය යුතු බව විශ්වාස කළ මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ එම අධ්‍යාපන දර්ශනය ක්‍රියාත්මක කිරීම සඳහා මහරගම සිරි වජිරඤාණ භික්‍ෂු අභ්‍යාස මධ්‍යස්ථානය 1958 දී පිහිටුවාලූහ.

රටෙහි ශාසනයෙහි තීරණාත්මක සෑම අවස්ථාවකදීම උන්වහන්සේගේ හඬ අවදි කළහ. 1950 දශකයේ මුල් භාගයේ බෞද්ධ තොරතුරු පරීක්‍ෂක සභාව, අනතුරුව බුද්ධශාසන කොමිසම 1956 බුද්ධ ජයන්තිය, 1960 දශකයේ පාසල් රජයට පවරා ගැනීම, පොහොය නිවාඩුව, දිගින් දිගටම උත්සන්නවූ එල්.ටී.ටී. ත්‍රස්තවාදය ආදී සියලු අවස්ථාවන්හිදී බොදු සමාජය ස්ථාවරය හා ආකල්පය නියෝජනය කරමින් මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සපයන ලද නායකත්වය ආදර්ශවත් ය. බෞද්ධ දර්ශනය පදනම් කරගත් සංවර්ධනයක් බිහිකිරීම සඳහා උන්වහන්සේ ධර්මවිජය සමාජය 1977 දී ආරම්භ කළහ.

අමරපුර නිකායික සියලු පාර්ශ්වයන්ගෙන් සැදුම්ලත් එක්සත් සංඝ සභාවක් බවට පත් කිරීමට පුරෝගාමී වූ මහා යතිවරයන් වහන්සේ නමකි. මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ.

අමරපුර මහා සංඝ සභාවේ සභාපතිධූරයට පත් වූ පරම පූජනීය මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අනතුරුව උත්තරීතර මහානායක පදවියටද පත් වූහ. අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගිහි පැවිදි උභය, සමාජයටම අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කරමින් සඟ සසුනේ අභිවෘද්ධිය පතා ඉටු කළ මෙහෙවර සදානුස්මරණීයහ.

අග්ගමහා පණ්ඩිත මඩිහේ පඤ්ඤාසීහ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ 9 වැනි ගුණ සමරුව නිමිත්තෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් මාතර දී ඉකුත් දා මහ නාහිමි පිළිරුවක් නිරාවරණය කිරීම ඇතුළු පින්කම් රැසක් සිදු කැරිණි.

 

 

අධි බිනර අමාවක පෝය

අධි බිනර අමාවක පෝය සැප්තැම්බර් 15 වැනිදා සෙනසුරාදා පූර්වභාග 09.39 ට ලබයි. 16 වැනිදා ඉරිදා පූර්වභාග 07.41 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 15 වැනි දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
සැප්තැම්බර් 22 වැනි සෙනසුරාදා ය
.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]