UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය


තොටගමුව විහාරය, නැතිනම් තෙල්වත්තේ පුරාණ රජ මහා විහාරය, එසේත් නොමැතිනම් තෙල්වත්ත පුරාණ තොටගමු රජ මහා විහාරය නොහොත් තොටගමු රත් පත් රජ මහා විහාරය යන නාමයන්ගෙන් හඳුන්වන මෙම ඓතිහාසික විහාරස්ථානය පිහිටා ඇත්තේ ගාල්ල දිස්ත්‍රික්කයේ කොළඹ ගාල්ල ප්‍රධාන මාර්ගයට ආසන්න වෙරළාසන්නයේ තෙල්වත්ත ග්‍රාමයේ මඳක් උස් බිමක ය.

අපගේ ජාතික, ආගමික උරුමයේ සුවිශේෂී ස්ථානයක් ලෙස හඳුන්වා දිය හැකි මෙම තොටගමු විහාරස්ථානය පිළිබඳව එහි ඇති වටිනාකම තරමටම අප අවධානය යොමු කර තිබෙන්නේ දැයි ප්‍රශ්නයක් පැණ නගී. රත් පත් විහාරය වශයෙන් මෙය හඳුන්වන්නේ පුරාතනයේ මෙහි රහතන් වහන්සේලා වැඩ සිටි නිසායැයි කියැවෙයි.

තොටගමුවේ ශ්‍රී රාහුල යන නාමය බෞද්ධයන් අතර මෙන්ම සාහිත්‍ය ලෝකයේ ද පුද්ගල නාමයන් අතර අපූර්වත්වයෙන් සුසැදී මහායෝධ ප්‍රතිරූපයක් මවන සදානුස්මරණීය චරිතයක් ගොඩනංවා ඇත. තොටගමු විහාරය විශේෂයෙන් විශේෂත්වයට පත්වන්නේ එම අසහාය නාමය සමඟ සැදී ඇඳී රැඳී පවතින නිසා ය.

ශශ්‍රී රාහුල මා හිමියන් හඳුන්වනු ලබන්නේ සිංහල මහා කවි ෂඩ්භාෂා පරමේශ්වර, රාජගුරු, ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය, සිරිසඟබෝ ශ්‍රී විජයබාහු පරිවෙණාධිපති, තොටගමුවේ වාචිස්සර ශ්‍රී රාහුල සංඝරාජ මහා ස්වාමීන් වහන්සේ වශයෙනි. උන්වහන්සේ සිංහල සාහිත්‍ය එකළු කළ නීල මාණික්‍යයකි. ජන ශුතිය අපූර්වත්වයට පත් කළ විචිත්‍රවත් චරිත කාව්‍යයකි. බහුශ්‍රැතභාවයේ විශාරදත්වයේ රන් පහනකි. ජනකතා සාහිත්‍යයේ සක්විති නාමයකි.

තොටගමුවේ ශ්‍රී රාහුල ජීවන ප්‍රවෘත්තියේ චරිතාංග කතාවේ විශිෂ්ටත්වය, අපූර්වත්වය සහ සාඩම්බරය කොතරම්දැයි කිවහොත් උන්වහන්සේගේ දේහය ‘ගෝවේ’ ‘බොම් ජේසු දේවස්ථානයේ’ ඉතා ගෞරවනීය ලෙස රන් සිවි ගෙයක් තුළ තැන්පත් කර තිබේ. අදටත් දේහයේ හිසකෙස් රැවුල් නිය වැවෙන බව කටකතාවට හෝ කියැවෙයි. රාහුල මාහිමියන් අපවත් වීමට පෙරාතුව දේහය දින දස ලක්‍ෂයක් කල් නොදිරා පවතින්නට ‘සිද්ධාලෝකරසය’ නම් ඖෂධයක් වැළඳුවේ යැයි ද මතක ශක්තිය වෙනුවෙන් අශ්ව කෙන්දක දැවටෙන ප්‍රමාණයේ තෙල් කඳුලක් වෙනුවට තෙල් බෝතලයක්ම එක හුස්මට බීමේ ආදීනවය වෙනුවෙන් නොමැරී බේරුණු බවත් ඒ නිසාම උන්වහන්සේට අසාමාන්‍ය ස්මරණ ශක්තියක් ඇති වූ බවද ජනශ්‍රතියේ පවතියි.

උන්වහන්සේගේ උපත සහ විපත පිළිබඳව නිශ්චය කර ගැනීමට නොහැකි තරමක ගැටලුකාරී තත්ත්වයක් පැණ නැගුණද රාජකීය පණ්ඩිත ශාස්ත්‍ර විශාරද ගම්මැද්දේගොඩ පුඤ්ඤසාර ස්ථවිරයාණන් වහන්සේගේ ‘සිරි රහල් මා හිමි’ නම් ග්‍රන්ථයේ සඳහන් වන්නේ මෙසේ ය.

‘සිරි රහල් හිමියන්ගේ උපත දෙවන වීරබාහු රජුගේ (1391 – 1408 ) අන්තිම වර්ෂය හෝ හයවන විජයබාහු (1396 – 1409 ) නමින් රජ පැමිණි වීර අලකේශ්වර ගේ ආසන්න වර්ෂය ලෙස සැලකිය හැකි ය. මේ වකවානුව ඉතිහාසයේ තරමක් අපැහැදිලි වූවෙකි. එහිම සඳහන් වන පරිදි සිරි රහල් හිමියන් විසූ කාලය ජයවර්ධනපුර කෝට්ටේ සමයයි. සාමාන්‍යයෙන් සලකතොත් එහි එතරම් වරදක් නැත. එහෙත් උන්වහන්සේ 1408 දී උපන් බවට ගණන් බැලූ බැවින් අපවත්වුණු අවුරුද්ද සොයාගත හැකිනම් එය වටනේ ය. ඒ පිළිබඳව ලැබෙන තොරතුරු ජනකවියකිනි සොයා ගත හැක්කේ. එවිට 1491 ට ගැනේ. ඒ අනුව සිරි රහල් හිමියන් අවුරුදු 83 ක් ආයු වින්දනය කළහැකි සිතිය හැකි ය. මේ අනුව අනුමාන වශයෙන් සිතිය හැක්කේ මා හිමියන් උපන්නේ 1408 වසරේදී බවත් අපවත් වූයේ 1491 වසරේදී විය හැකි බවත් ය.’

තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් භාෂා හයක් දැන සිටි බව කියැවෙයි. ෂඩ්භාෂා පරමේශ්වර යැයි හඳුන්වන්නේ ඒ නිසාය. උන්වහන්සේ ලියා ඇති පරෙවි සන්දේශය, සැළලිහිණි සන්දේශය, කෝකිල සන්දේශය, ගිරා සන්දේශය, මානාවලු සන්දේශය සහ කාව්‍යශේඛරය වසර පන්සිය ගණනක් ඉක්ම ඇතත් මෙම ග්‍රන්ථයන් අදටත් ජීවමානය.

සිරි රහල් හිමියන් ලියූ කෘතීන් පිළිබඳව පුඤ්ඤසාර හිමියන්ගේ ‘සිරි රහල් වතේ’ සඳහන් වන්නේ මෙසේ ය.

‘සිරි රහල් හිමියන්ගේ කෘතීන් මෙපමණකැයි නො කියමු. ඒ සියල්ල හඳුනා ගැනීමට ලක්දිව පුරා ඇති පුස්කොළ පිටපත් පරීක්‍ෂා කළ යුතු ය. උන්වහන්සේගේ ග්‍රන්ථකරණය ආරම්භ කිරීමෙන් අඩ සිය වසකින් පමණ යුරෝපීය ජාතීන්ට රට විවෘත වූයෙන් ඔවුන්ගේ රටවලට ගෙන ගොස් ඒ ඒ තැන්වලට ගොඩ ගැසී ඇතැයි කියන පිටපත් ද සමීක්‍ෂණය කළ යුතු වෙයි. ඇතැම් විට මුල් පිටපත් ද ‘තෝමේ ද සොසා’ (1588) වැනි සිංහල, බෞද්ධ සංස්කෘතිය පොළවට මට්ටම් වන තරමට ගිනි ලැවු විජාතික සතුරන් අතින් පවා විනාශ වන්නට ඇත.’

ශ්‍රී රාහුල මා හිමියන් වැඩි කලක් වැඩ සිටියේ අප අද හඳුනාගන්නා තොටගමු විහාරස්ථානයේය. මෙය දුරාතීත වංශ කතාව ස්මරණය කිරීමට අවැසි ප්‍රබල ලකුණක් තැබූ ඓතිහාසික ස්ථානයකි. ජනප්‍රවාදයට අනුව තොටගමු විහාරය මුලින්ම ගොඩනංවා ඇත්තේ ක්‍රි.පූ. යුගයේ දේවානම්පියතිස්ස රජතුමා ගේ සොයුරා වූ මහානාග යුවරජු විසින් යැයි කියැවෙයි. එහෙත් මෙම ස්ථානය පිළිබඳව ලිඛිත සාක්‍ෂි අපට හමුවන්නේ 8 – 10 සියවස් වලට අයත් ශිලා ලේඛනයන් මගිනි. භූමියේ ඇති නාථ දේවාලය වටා සිටවූ ශිලා ස්ථම්භ හත විහාරයේ පෞරාණිකත්වයට සාධක සපයයි.

පොළොන්නරුවේ පළවන විජයබාහු රජතුමා (1051 – 1106 ) මෙම විහාර භූමියේ සතළිස් පස්රියන් ප්‍රාසාදයක් කරවූ බව මහා වංශය සටහන් කරයි. විජයබා පිරිවෙන වූයේ මෙය බව ඉතිහාස කරුණු අනුව සනාථ වෙයි. ගලතුරුමුල මෛත්‍රිය මා හිමි සහ උත්තර මූල රාහුල මහතෙර ආදී බහුශ්‍රැත පඬිවරු මෙහි අධිපතිත්වය දරා තිබේ.

මේ පිළිබඳ පොන්නම්බලම් අරුනාචලම් (1853 – 1924 ) 1916 දී කල්කටා විශ්වවිද්‍යාලයේ දී පෙරදිග මහා පඬුවන් අමතා කළ දේශනයෙහි සඳහන් වන්නේ යුරෝපීය විශ්වවිද්‍යාල බිහිවන්නේ දහ අටවන සියවසෙහි දී බවත් ඊට ප්‍රථමයෙන් පසළොස්වක සියවස වන විට ශ්‍රී රාහුල මා හිමියන්ගේ ආධිපතිත්වයෙන් විශ්වවිද්‍යාල තත්ත්වයේ මහා විද්‍යා පීඨයක් ශ්‍රී ලංකාවේ තොටගමුවෙහි පැවැති බවත් ය. තොටගමුවේ ශශ්‍රී රාහුල මහා නාහිමියන්ගේ විශාරය බහුශ්‍රැතභාවය නිසා මෙම පිරිවෙන විශ්ව කීර්තියට පත් විය.

දේවානම්පියතිස්ස ඉතිහාස පරිච්ඡේදයෙන් පසුව කැලණි තිස්ස රජ දවස (ක්‍රි.පු. 235 – 207 ) සිදු වූ මහා මුහුදු කෑමේ විපතින් රට මුදවා ගැනීමට දිසා පිළිමයක් පිහිටුවන ලද්දේ මෙහි බව ‘සිරි රහල් වත’ ග්‍රන්ථයේ සඳහන් වෙයි. එදා ලාංකේය බිම ආක්‍රමණය කළේ අද අප හඳුනන ‘සුනාමියක්ම’ බව හඳුනාගත හැක.

මෑත දී ලංකා මායිම රුදුරු ලෙස ආක්‍රමණය කළ සුනාමියෙන් ඉතා දරුණු ව්‍යසනයකට පත් වූ ප්‍රදේශයක් වූයේ මෙම තොටගමු රජ මහා විහාරය අයත් තෙල්වත්ත ග්‍රාමය ය. මෙදා මෙම ප්‍රදේශයේ බහුතර ගම්වැසියන්ට අභය දානය ප්‍රදානය කිරීමට මහා ආශීර්වාදයක් වූයේ ද මෙම අසිරිමත් වාසනාවන්ත පුද බිමය. එය ඔවුනට දෛවය දායාද කළ මහා භාග්‍යයකි.

ස්වාභාවික ව්‍යසනයේ කුරිරු රළපහරට පෙරළදැමීමට එදත් අදත් නොහැකි වූ මෙම ඓතිහාසික විහාරස්ථානය 1588 දී අධම පෘතුගීසි ආක්‍රමණිකයන්ගේ නපුරු අතින් සහමුලින්ම විනාශ විය. ඊට ශතවර්ෂ දෙකකට පමණ පසුව වසර 1780 දී පමණ නැවත පණ ලද මෙම ඉතිහාසගත පුදබිම විවිධ ප්‍රතිසංස්කරණයන්ට ඉඩ හසර විවර කරමින් වත්මන් පෙනුම දරාගෙන සිටියි. 1780 දී චෛත්‍ය ප්‍රතිසංස්කරණය වෙයි. 1779 දී පමණ ගොඩනැඟෙන නව විහාර ගෘහය තුළ මහනුවර යුගයේ හැඩ තල නිරූපණය කෙරෙයි. ලංකාවේ වෙනත් තැනක දැකිය නොහැකි දැවැන්ත අනංග ප්‍රතිමාව නාථ හා විශ්ණු ප්‍රතිමා ද මෙහිදි හමුවෙයි. තොටගමු තෙල්වත්ත පුරාණ විහාරයේ පැරැණි විහාර ගෘහය, 1805 දී ඉදි කළ නව විහාර මන්දිරය, නාථ දේවාලය, ශිලා ලේඛන සහිත ස්ථම්භ හතර, විෂ්ණු දේවාලය, ස්තූපය, ධර්ම ශාලාව, පොහොය ගෘහය, ඝන්ඨාර කුලුන, පැරැණි ආවාස ගෘහ දෙක පුරාවිද්‍යා ස්මාරක ලෙස අද ප්‍රකාශයට පත් කර තිබේ.

එදා කැලණි මහා ඛේදවාචකයෙන් මුහුද ගොඩ ගැලූ කළ මෙරටට සෙත උදා කිරීමට දිසා පිළිම රුවක් සක්දෙවිඳුන් මැවූ බව සඳහන් වන්නේ කෝකිල සන්දේශයේය.

කිපියෙන් සුරන් සිත්
සිඳු එතැ වෙරළ මැඩගෙන
සා මෙලක සෙත ඒ මුහුද පැහැ මැවූ
දිසා පිළිම රුව දැක සක් දෙවිඳු මැවූ

සක් දෙවිඳුන් රටට සෙත් පතා මහා බුදු පිළිමයක් මැවූවාසේ අසහාය වූද අසාමාන්‍ය වූද තොටගමුවේ ශ්‍රී රාහුල මහා යෝධ චරිතකාය මැවුවේ සක්දෙවිඳුමදැයි සිතෙන තරමට තොටගමුවේ ශ්‍රී රාහුලශ්‍රී නාමය ආශ්චර්යවත්ය. විහාර මන්දිරයේ යෝධ ප්‍රතිමා අතර මේ යෝධ චරිතකාය අදත් ප්‍රතාපවත් ලෙස නැඟී සිටින සෙයකි. ඉතින් මේ ඉතිහාසය සිත්හි දරා ගනිමින් තොටගමුව රජ මහා විහාරය වෙතට පිවිසෙන්නේනම් සිතට දැනෙනා අමුතු සුවය ඔබටත් දැනෙනු නියතය.

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]