UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධි බිනර පුර අටවක 2012 අගෝස්තු 24 වන දා

කපිලවස්තු ධාතු වන්දනාවට ජන ගඟ ගලයි

ගෞතම සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය සැළ වූ වහාම දඹදිව සෙසු සත් රාජ්‍යයක රජ දරුවෝ සේනා සහිතව කුසිනාරා නුවරට පැමිණ ශ්‍රී සර්වඥධාතුන් වහන්සේට අයිතිය ප්‍රකාශ කරන්නට වූහ.

“භාග්‍යවතුන් වහන්සේ මෙන්ම අප ද ක්‍ෂත්‍රියයෝ ය. එබැවින් ධාතුන් වහන්සේ නියම හිමිකාරිත්වය අපට ය” යි රජ දරුවෝ සිය සුදුසුකම් ඉදිරිපත් කළහ.

“තථාගත බුදුපියාණන් වහන්සේ පිරිනිවීමට පත් වී වදාළේ අප ග්‍රාමයේ ය. ඒ නිසා උන්වහන්සේ ගේ ආදාහන පූජෝත්සවයෙන් පසු ශේෂ වූ ධාතුන් වහන්සේ ගේ අයිතිය අපට ම ය. අන් අයට දිය නොහැකි ය” යි කුසිනාරාවේ මල්ල රජදරුවෝ කීහ.

“භාග්‍යවතුන් වහන්සේ අපගේ ශ්‍රේෂ්ඨ ඤාතියකු බැවින් අපි ද උන්වහන්සේගේ ශාරිරික ධාතුන් වහන්සේගෙන් කොටසක් ලැබීමට සුදුස්සෝ වෙමු. අපි උන්වහන්සේගේ ධාතුන් වහන්සේ උදෙසා චෛත්‍යයක් කර පූජා උත්සවයද කරන්නෙමු” ය යි කපිලවස්තුපුර ශාක්‍ය වැසියෝ කීහ.

මේ අයුරින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේගේ අයිතිය ප්‍රකාශ කරමින් සිටිය දී , සිදුවන්නට යන අර්බුදය නුවණින් දුටු ද්‍රෝණ නම් බ්‍රාහ්මණ ඇදුරු තෙමේ” පින්වත් රජවරුනි! මාගේ වචනයට සවන් දෙන්න. අපගේ ගෞතම තථාගත බුදුපියාණන් වහන්සේ ක්ෂාන්තිවාදී වූහ. ඒ උතුම් භාග්‍යවත් බුදුපියාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ වෙනුවෙන් අපි නොසන්සුන් බවක් ඇති කර ගන්නේ නම් එය සුදුසු නොවන්නේ ම ය” යි රැස්ව සිටි සියලු රජ දරුවන් සමගි කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දුන්හ.

අනතුරුව එම රජ දරුවෝ තම තමන්ට ලැබුණු ධාතුන් වහන්සේ ඒ ඒ පාලන ප්‍රදේශ වෙත වැඩම කරවා තැන්පත් කර පූජා සත්කාර කළහ.

ඊට අනුව කපිලවස්තුවේ ශාක්‍ය ජනතාව ද තමන් වෙත ලැබුණ ධාතුන් වහන්සේ නිධන් කොට මහා ස්ථූපයක් කරවූහ. එම ස්ථූපය වෙත පූජා සත්කාර ද කළහ.

“කපිල වස්තු ධාතු” නමින් මෙකල හඳුන්වනු ලබන්නේ ඉහත විස්තර කළ අයුරු ගෞතම සම්මා සම්බුදුපියාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහන පූජෝත්සවයෙන් පසු ද්‍රෝණ නම් බමුණු තෙමේ විසින් කපිලවස්තුවේ ශාක්‍යයන් වෙත ලබා දුන් ධාතුන් වහන්සේ ය. කපිලවස්තුවේ රජ දරුවන් විසින් ධාතුන් වහන්සේ තැන්පත් කර එසේ ඉදිකරන ලද චෛත්‍යය කැණීම් කර සොයා ගත් ධාතු කරඬුවේ තිබූ සම්බුද්ධ ධාතුන් වහන්සේ ය.

ඉන්දියාවේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් කළ කැණීම් වලදී මෙයට වසර එක සිය දහතුනකට පෙර එම ධාතුන් වහන්සේ සහිත කරඬුව හමුවීය.

කපිලවස්තු පුරාණ ජනපදයෙන් හමු වූ නිසාත්, කපිලවස්තු ශාක්‍යය වැසියන් එම ධාතුන් වහන්සේ තැන්පත් කර චෛත්‍යයක් ඉදි කළ නිසා මෙම ධාතුන් වහන්සේ කපිලවස්තු ධාතුන් වහන්සේ නමින් හැඳීන්වේ.

එම කපිලවස්තු ධාතුන් වහන්සේ මෙයට තිස් හතර වසරකට පෙර මෙරට බොදු ජනතාවට වන්දනා කිරීමට සිරිලකට වැඩම කරවූහ.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දීය අගමැතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව එම සර්වඥ ධාතුන් වහන්සේ ඉකුත් 19 වැනි දා අපේ රටට වැඩම කරවීමේ ඓතිහාසික අවස්ථාව මෙවර උදාවිය. කටුනායක ගුවන්තොටුපළේ දී අතිගරු ජනාධිපතිතුමා තෛ‍්‍රනිකායික මහා නා හිමිවරුන්ගේ ආශිර්වාද මධ්‍යයේ එම ධාතුන් වහන්සේ ගෞරවයෙන් පිළිගත්හ.

අනතුරුව 19 වැනිදා සිට කැලණිය මානෙල්වත්ත විහාරයේ දී 21 වැනිදා දක්වා අප්‍රමාණ බොදු සැදැහැවතුන් වන්දනාව කළහ.

පැල්මඩුල්ල රාජමහා විහාරයේ දී 22,23 දිනවල දී ද අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරයේදී 24, 25,26 දිනවල දී ද, කන්තලේ අග්‍රබෝධි විහාරයේ දී 27,28 දිනවල දී ද, ගම්පොළ නාරංවිට සම්බුද්ධත්ව ජයන්ති විහාරයේ දී 29,30 දිනවල දී ද, වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙනේ දී මෙම 31 සහ සැප්තැම්බර් 01 වැනිදා ද, මාතර කොටිකාගොඩ රජමහා විහාරයේදී සැප්තැම්බර් 2,3,4 දිනවලදී ද එම ධාතුන්වහන්සේ වන්දනා කර ගත හැකි වේ.

සසර ගමනේදී කිසි කලෙකත් අමතක නොවන එම පින්බර මාහැඟි වන්දනාවට නිර්මාංශාහාරව සුදුවතින් සැරසී ඉමහත් සංයමයෙන් සහභාගිවීමට අදිටන් කර ගනිමු.

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]