UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හතළිස් වසරක අභිමානය සමරන ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලය

2556 වසරකට උරුමකම් කියන බෞද්ධ අධ්‍යාපන දර්ශනය පුද්ගලයාගේ අධ්‍යාත්මික සංවර්ධනය උදෙසා මඟ සලසන ප්‍රතිපදා මාර්ගයකි. බුද්ධ දේශනාවට අනුව එය හුදෙක් සිව්පිරිස සතු වගකීමක් වශයෙන් පිළිගත යුතුය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම ශ්‍රාවක භික්ෂු පිරිසගෙන් එය මුල් සියවස් තුළ අකුරටම ක්‍රියාවට නැඟුණි. බුද්ධ පරිනිර්වාණයත් සමඟින් පැවැති ධර්ම සංගායනාවත් සමඟ විවිධ ගුරුකුල ඔස්සේ සංවර්ධනය ලැබූ බෞද්ධ අධ්‍යාපනය ක්‍රි.පූ. 3 වන සියවසේ දී ශ්‍රී ලංකාවට ලැබීම අපි භාග්‍යයක් ලෙස සලකමු.


විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නා හිමි

එදා පටන් අද දක්වා පණ්ණසාලාව මූලික කර ගනිමින් ඇරැඹි ගිහි පැවිදි සම්බන්ධතාව සුළු පටු නොවේ. එහිදී පැවිද්දාගෙන් ගිහියාටත්, ගිහියාගෙන් පැවිද්දාටත් ඉටුවිය යුතු යුතුකම් හා වගකීම් කොටස නොපිරිහෙලා ඉටුවුණි. ලාංකේය දරුවන් හට නිදහස් අධ්‍යාපනය ලැබීමට ප්‍රථම ලැබූ අධ්‍යාපනය විහාරස්ථානය මූලික කරගෙන අධ්‍යාත්මික ශික්ෂණයක් ඔස්සේ ලැබූ අධ්‍යාපන ක්‍රමවේදයකි.

පසුකාලීනව එය දහම් පාසලක් බවට පරිවර්තනය වෙමින් ලාංකේය සභ්‍යත්වය තුළ පන්සල ඇසුරු කරමින් දහම් අධ්‍යාපනයට දරුවෝ නැඹුරු වූහ. රට තුළ නොයෙක් විහාරස්ථානවල මෙම දහම් පියසෙන් රටට, සමාජයට, දහමට සිදුවන සේවාව සුළුපටු නොවේ. අවිහිංසාවාදී දහමක් තුළින් පෝෂණය වන අපේ දරුවන් තුළ මෛත්‍රිය, දයාව, අනුකම්පාව, මානව හිතවාදීත්වය මනාව ප්‍රදර්ශනය වේ.

එවැනි අධ්‍යාපනයක් ලබාදෙන වර්තමාන ලාංකේය ධර්ම විද්‍යාල අතර ප්‍රධාන පෙළේ දහම් පාසලක් වශයෙන් ශ්‍රී කල්‍යාණි රාජමහා විහාරස්ථ ශ්‍රී කල්‍යාණි ධර්ම විද්‍යාලයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. 1972 වර්ෂයේ දී ඇරැඹි අප ධර්ම විද්‍යාලය 2012 වසර සමරනු ලබන්නේ 40 වසරක අභිමානයකට උරුමකම් කියමිනි.

ආරම්භය සුළුවෙන් සනිටුහන් වුවද වර්තමානය එය පහන් ටැඹක් සේ විරාජමාන වීම ආදි උත්තමයන් කළ කැප කිරීමට කෘතගුණ සැලකීමකි. එදා සිට අද දක්වාම මෙහි දහම් අධ්‍යාපනය ලැබූ දහස් සංඛ්‍යාත සිසු පිරිස් දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙනුත් විවිධ ආයතන වෘත්තීන්හි තම වගකීම් මැනවින් ඉටුකරමින් කරන සේවය ඉමහත්ය.

ගුණ දහමින් පිරිපුන්, රටට වැඩ ඇති දරුවෙකු බිහිකිරීම සඳහා එදා මෙදා තුර තම කාලය කැප කරමින් අනුශාසකත්වය ලබාදෙන විහාරාධිපති හිමිපාණන් වහන්සේලාගෙන්, ගුරු භවතුන්ගෙන්, දෙමාපියන්ගෙන් සිදුවන සේවාව අතිමහත්ය. එය මැනවින් පසක් කරන අප ධර්ම විද්‍යාලය වර්තමානයේ 3500කට අධික වන දරුවන්ගෙන් මෙන්ම 100කට අධික ආචාර්ය මණ්ඩලයකින්ද සමන්විත ය.


දහම් ගුරු වන්දනාවකදී...

වර්තමාන විහාරාධිපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන අංශයේ මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත අපගේ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේගෙන් ලැබෙන අනුශාසකත්වය තුළින් ධර්ම විද්‍යාලය වර්තමානයේ දහම් තක්සලාවක් බවට පත් වී හමාරය.

උන්වහන්සේගේ අනුශාසකත්වය තුළ පරාර්ථය අගයන දැහැමි දරු පිරිසක් බිහි කිරීම උදෙසා අප ධර්ම විද්‍යාලය මඟින් සිදුකරන සමාජ සේවාව සුළු කොට තැකිය නොහැකි ය. කැලණිය රජමහා විහාරස්ථානය තුළ වාර්ෂිකව සිදුකරන, ආගමික, සමාජයීය, ශාස්ත්‍රීය උන්නතිය උදෙසා ධර්ම විද්‍යාලයෙන් සිදුවන සේවාව අප දරුවන් ලැබූ භාග්‍යයක් ලෙස සැලකිය හැකිය.

දුරුතු පූජා මහෝත්සවය සංවිධානය කර ගැනීම, වෙසක් උත්සවයට සමගාමීව සිදු කරන සත්ක්‍රියාවන්, චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරන අප ධර්ම විද්‍යාලයීය දරුවන් සතුව ඇති කෘතවේදීත්වය මැනවින් තේරුම් ගත හැකිය. ආදි ශිෂ්‍ය සංගමය, තරුණ සමිතිය, ශිෂ්‍ය නායක සංසදය ආදී සමිති සමාගම්වලින් පන්නරය ලැබූ අප හට ඇත්තේ මහත් අභිමානයකි.

මෙවන් පසුබිමක් තුළ 40 වසරක අභිමානය සැමරීම අප ලැබූ භාග්‍යයක් වශයෙන් සලකන අතර තව තවත් ආගමික සමාජයීය ශාස්ත්‍රීය ප්‍රබෝධයක් ඇති කරමින් රටට සමාජයට වැඩ ඇති දරු පිරිසක් බිහිකරමින් ඉදිරියට පවත්වාගෙන යාමට ශක්තිය ධෛර්යය ලැබේවා’යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමු.

 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]