UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සක්වළ සක්මන 08

සක්වළ ශබ්ද සහ සංඥා

සක්වළ පවතින ශක්ති විශේෂ මෙන්ම එහි ඇති ශබ්ද විශේෂ ද අනන්ත ය. අපට ඇසෙන නොඇසෙන විවිධ ශබ්ද ප්‍රවාහ ‘සක්වළේ සක්මන්’ කරන අපගේ සවනට ඇසෙයි. අතිපූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගෙන් එම ශබ්ද රටා පිළිබඳව විමසා බැලෙන සක්වළ සක්මනේ අටවෙනි ගවේෂණ සටහනයි මේ.

පිටසක්වළින් එන සංඥා සහ පිටසක්වලට යැවෙන පණිවුඩ ඇතුළු සක්වළ ප්‍රතිරාව දෙන සාධූන්ගේ රාවයන් එම නාද රටා අතර හමු වේ. මහානායක හාමුදුරුවනේ, ආලෝකයේ වේගය ඉක්මවා යන “මිනිස් සිත”, හරියට ගුවන්විදුලි සම්පේ‍්‍රෂණාගාරයක් වගෙයි නේද?

ඔව්. ගුවන්විදුලි මධ්‍යස්ථානයකට ශබ්ද තරංග විසුරුවා හරින්නත්, අවකාශයේ ඇති ශබ්ද තරංග ඇද ගැනීමටත් හැකියාවක් තියෙනවා. ඒ වගේම, මිනිස් සිතටත් චිත්ත (සිතිවිලි) තරංග විශ්වයට මුදා හරින්නත්, අන් අයගේ සිත්වලින් නිකුත් වන අදහස් ප්‍රාර්ථනා ඇතුළු විවිධ සිතිවිලි තරංග තේරුම් ගැනීමටත් හැකියාවක් ඇති බව “ටෙලිපති” (Telepathy) මගින් තහවුරු කෙරෙනවා.

අද ලෝකයේ රූපවාහිනී, ගුවන්විදුලි හා විවිධ සන්නිවේදන තරංග ජාලයන් අපට ගණන් කරන්න බැරි තරම් තියෙනවා. ඒ වුණත්, අවකාශයපුරා විසිරුණු විවිධ රූප ශබ්ද තරංග සංඛ්‍යාතවලට හසු කර ගනිමින්, ඒවා එකිනෙකෙන් වෙන්කර හඳුනා ගන්නවා. මිනිස් සිතටත් මේ විධියට නොයෙකුත් සන්නිවේදනයන් විවිධ අයුරින් ග්‍රහණය වෙනවා.

අපට නොපෙණුනාට විශ්ව සන්නායක සක්වළ පුරා පැතිරී පවතිනවා. ඒවා හරියට ගුවන්විදුලි රූපවාහිනී හා දුරකථන තරංග වගේ අවකාශය පුරා විහිදී යනවා. සිත්වල පවතින සංවේදීබව හා ප්‍රභාෂ්වරබව අනුව, ඒ පිළිබඳ ග්‍රහණය වීම් අඩු වැඩි වශයෙන් සිදු වෙනවා. විද්‍යුත් රූප තරංග සඳහා වන උපකරණවල ඇති ප්‍රබලතාව හා සක්‍රියබව එහි ක්‍රියාකාරීත්වයට මෙන්ම සුපැහැදිලිතාවයට බලපානු ලබනවා. සිතිවිලි (චිත්ත) තරංග වලටත් මේ වගේ කාරණා බලපානවා.

එහෙමනම්, අධිබලැති අතිනවීන ගුවන්විදුලි තරංග (Radio Waves) හරහා අපිට පිටසක්වළ ජීවින් එක්ක වුණත් පණිවුඩ හුවමාරු කර ගන්න පුළුවන් ද?

බැහැ. අද භාවිත කරන රේඩියෝ තරංග ගමන් කරන්නේත්, කලින් කියපු ආලෝකයේ වේගයෙනුයි. එබැවින්,ඒ සඳහා ආලෝකයේ වේගය ඉක්මවා යන තරංග ක්‍රමයක් අවශ්‍ය වෙනවා. ඒ නිසායි, ආලෝකයේ වේගය හඹා යන වෙනත් දේ පිළිබඳ පර්යේෂණ සිදු කෙරෙන්නේ,නූතන තාරකා විද්‍යාඥයන් (Astronomer) දැනට හඳුනාගෙන ඇති අපට ආසන්නතම මන්දාකිනියේ පිහිටි අපේ පෘථීවියට ඉතාම සමාන (නිවුන්) Gliese   581 නමැති ග්‍රහලෝකයට මේ විධියට රේඩියෝ තරංග (අලෝකයේ වේගය) මගින් පණිවුඩයක් යැවීමට අවම වශයෙන් වසර 20 ක් වත් ගත වෙනවා. ඒ ක්‍රමයෙන් නැවත අපට පිළිතුරක් ලැබෙන්න තවත් වසර 20 ක් ගත වෙනවා. එතකොට ආලෝකයේ වේගය (රේඩියෝ තරංග) මගින් මෙම කාර්යය ඉටුකරගැනීම සඳහා අවුරුදු 40 ක් වත් බලන් ඉන්න සිදුවෙනවා. ඒ නිසායි මෙය අභිබවා යන නවතම තරංග (නැනෝ තත්පර) ක්‍රමයක් පිළිබඳ පර්යේෂණ ආරම්භ කර තිබෙන්නේ. ඒකත් කොයි තරම් දුරට සාර්ථක ක්‍රමයක්ද කියලා විශ්වාස කරන්න බැහැ.

ආචාර්ය ආතර් සී .ක්ලාක් මහතාගේ අනාවැකිවලත් මෙබඳු උත්සාහයන් පිළිබඳව විස්තර වෙනවා නේද?

ඔව්. මෙතුමා 1999 පෙබරවාරි මාසයේ, බ්‍රිතාන්‍යයේ Sunday Telegraph පත්‍රයට වසර 2024 දී පමණ සිදුවිය හැකි අනාවැකියක් ලියා තිබුණා. එමගින් ඔහු අවධාරණය කර තිබුණේ ‘ මිනිසා කාලාන්තරයක් තිස්සේ බලාපොරොත්තුවෙන් සිටි විශ්ව ඇමතුම ලැබෙයි. අපේ මන්දාකිනියේ මධ්‍ය ප්‍රදේශයේ සිට එන අධෝරක්ත සංඥා ගොනුවක් සොයා ගනු ලබයි. ඒවා ස්වභාවිකව ඇති විය නොහැකි බවත්, බුද්ධිමත් ජීවින්ගේ තාක්‍ෂණයෙන් එවන ලද්දක් බවත් විද්‍යාඥයෝ පිළිගනිති. එහෙත් මේ සංඥාවලින් කියැවෙන අර්ථය වටහා ගැනීමට කරන හැම උත්සාහයක්ම තේරුම් ගන්නට අප, ඒ භාෂාව දන්නේ නැත” යනුවෙන් එහි දැක්වෙනවා.

ඒ වගේම ඇමරිකාවේ නාසා (Nasa) ආයතනය අභ්‍යවකාශ ගත කරනු ලැබූ “වොයේජර් 2” යානයෙන් නාසා ආයතනයට ලැබෙන පණිවුඩ වෙනස් වීමෙන් එම යානාව පිටසක්වළ ජීවින්ට හසුවී ඇති බවට සැක කෙරෙනවා. මහාචාර්ය ස්ටීවන් හෝකින් මහතා ප්‍රකාශ කර ඇති පරිදි පිටසක්වළ ජීවින්ගෙන් බොහෝ කරදර විය හැකි බැවින් අප ඔවුන් ඇසුරු නොකළ යුතුයි.

එහෙත්, 2011 නොවැම්බර් 27, ඇට්ලස් 5 රොකට්ටුවේ ආධාරයෙන් අඟහරු (MARS) ග්‍රහ ලොව වෙත වාහනයක් තරම් විශාල වැඩි දියුණූ කළ “කියුරියෝසිටි” (කුතුහලය) නමැති රෝවරය නාසා ආයතනය මගින් යවනු ලැබුවා. එය කිලෝමීටර් ලක්‍ෂ 5670 පමණ දුර ගෙවා ඊට මාස 8 කට පසු නියමිත ස්ථානයට (ගේල් ආවාටය) ළඟා වුණා. එහි මූලික අරමුණ වන්නේ අඟහරු ලෝකයේ ජීවින් පිළිබඳ සොයා බැලීමයි.

පිටසක්වළ සමග පණිවුඩ හුවමාරු කර ගැනීමට භාෂාවෙත් බාධාවක් විය හැකිද?

ඔව්. දැන් එකම භාෂාවක් වුණත් කලින් කලට වෙනස් වීම්වලට ලක් වෙනවා. මීට අවුරුදු 1000 කට කලින් අනුරාධපුර. පොළොන්නරුව යුගවල භාවිත කළ පැරැණි සිංහල භාෂාව වුණත් අද සිංහල කථා කරන අයට බොහෝවිට තේරෙන්නේ නැහැ. තවම අසල්වැසි මාලදිවයිනේ ව්‍යවහාර වෙන්නේ, අපේ පැරැණි එම සිංහල භාෂාවේ වචනයි. සඳට යැවූ යානාවල සවිකළ භාෂා හඬපට අතර, හෙළ (සිංහල) බසත් යවන්නට ඇත්තේ, පිටසක්වළ ජීවින්ට එය අවබෝධ වෙයි යන විශ්වාසය නිසා විය හැකියි.

දිනෙන් දින සත්වයන්, ගස්කොළන් වෙනස් වෙමින් මැරෙනවා වගේ භාෂාවනුත් විකාශනය වෙමින් අභාවයට යනවා. ලෝකයේ ජීව භාෂාවලට වඩා මළ භාෂාවන් ප්‍රමාණය වැඩියි. සති දෙකකට (දවස් 14) වරක් ලොව කුමන ප්‍රදේශයක හෝ ව්‍යවහාර වූ භාෂාවක් මරණය (අභාවය) ට පත් වෙනවා. ඕස්ට්‍රේලියාව, මෙලෙස භාෂා වඳ වී යාමේ තර්ජනයට දැඩි ලෙස මුහුණ දී තිබෙන රටක්, යුරෝපීය ජාතීන් ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වන යනවිට එහි භාෂා 200 ක් පමණ තිබුණා. අද වන විට එයින් ඉතිරි වී තියෙන්නේ භාෂා 20 ටත් අඩු ප්‍රමාණයක්. ආසියාතික හා අපි‍්‍රකානු රටවල වගේම යුරෝපා රටවලත් මෙලෙස භාෂා වඳ වී යාම් නොඅඩුව සිදුවෙනවා.

එතකොට එවැනි මළ භාෂාවලින් අතීතයේදී අවකාශයට මුදා හැරිය (කථා කළ) හඬවල් නොමළව පැවතිය හැකිද?

ඔව්. සක්වළ රැදුණූ ශබ්ද අතර එවැනි හඬවලුත් තිබිය හැකියි. මීට පෙර ජර්මනියේ ෆ‍්‍රැන්පර්ට් නගරයට නුදුරින් පිහිටි “මේන්ස් විශ්ව විද්‍යාලය” ට අනුබද්ධ විද්‍යාඥයන් පිරිසක් Instrumental Trance Communication නමින් සක්වළ රැදී ඇති ශබ්ද පටිගත කිරීමේ පර්යේෂණ ව්‍යාපෘතියක් ආරම්භ කරන්නට යෙදුණා. මෙහි පුරෝගාමියා ලෙස ක්‍රියා කරන්නේ හැම්බර්ග් සරසවියේ භෞතික විද්‍යා ආචාර්ය උපාධිධාරි අර්නස්ට් සෙන් කොවෙස්කි මහතායි. එම පර්යේෂණවලින් පටිගත කරගනු ලැබූ බොහෝ ශබ්ද මිය ගිය පුද්ගලයන්ගේ ශබ්ද බව අනාවරණය කරගෙන තිබෙනවා. අපේ කනට විෂය නොවන සක්වළ පැතිර ඇති විවිධ ශබ්ද හා පණිවිඩ පටිගත කර ගැනීමට ඔවුන් සමත් වී තිබුණත්, ඒවා පැහැදිලිව වෙන්කර හඳුනා ගැනීමේ අභියෝගයක් පවතිනවා.

සක්වළ ප්‍රතිරාව දෙන සාධුන්ගේ රාවයන් පිළිබඳ ඔබ වහන්සේගේ අදහස කෙබඳුද?

බුදුරදුන්ගේ හඬ මේ සක්වළ මතු නොව, අනන්ත සක්වළ තුළ තිබෙනවාය කියා මම තේරුම් අර ගත්තේ, ඔය පර්යේෂණ පටන් ගන්නත් ඉස්සරිනුයි, ඒ කියන්නේ, මේ විශ්වයට එකතු වුණ හඬ නැති වෙන්න විධියක් නැහැ. සජීවි (වර්තමාන) ශබ්ද තරංග අවකාශය තුළින් ඇද ගැනීමටත්, ගුවන්විදුලි සංඛ්‍යාත මගින් පැහැදිලිව වෙන්කර ගැනීමටත් පුළුවන් වගේ ඒ සඳහා සියුම් නවීන උපකරණ තිබිය යුතුයි. එමගින් අතීතයේ නිකුත් වූ ශබ්ද තරංග වුණත්, වෙන් කර හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා.

බුද්ධ ශූන්‍ය කල්පයක කෙසේ වෙතත්, මේ වගේ මහා භද්‍ර කල්පයක (බුදුවරු පස්දෙනෙකු පහළ වන) නම් “බුද්ධ” කියන උතුම් තත්වය සහ “බුද්ධ ශක්තිය” වගේම බුදු ගුණ රාවයන්” සක්වළ තුළ ප්‍රතිරාව දෙනවා. මහා හිමාලය ආශි‍්‍රතව හුදකලාභූමිවල භාවනා කරන යෝගාවචරයන්ට ඒ බව වඩා හොඳින් පසක් වී ඇති බව පැවසෙනවා.

අතීත මිනිසුන් විශ්වයට එක් කළ ආශිර්වාද ප්‍රාර්ථනා නිසා විශ්වයෙහි කිසියම් විවිධත්වයක් ඇති කරනවාද?

ඒ සඳහා බලපාන දේවල් අතර, ආශිර්වාද, ප්‍රාර්ථනා විතරක් නොවෙයි, සාපයන් පවා තිබිය හැකියි. කුවේණියගේ දිවි දෝෂයන් එවැනි දෙයක් හැටියටයි, විශ්වාස කරන්නේ. ආත්මීය පෙම්වතුන්ගේ ප්‍රේමයේ හඬද විශ්වයේ රැදී පවතින බව භාරතීය පේ‍්‍රම කාව්‍යයන්වල දැක්වෙනවා. මේ අනුව, ස්විට්සර්ලන්තයේ ‘බිලිමේයර්’ නමැති තරුණ ගොවියෙකුව සොයා ගෙන ආලෝක වර්ෂ 150 ක් ඈතින් පිහිටි ප්ලීඩියන් නම් චක්‍රාවාටයක ඉඳලා පැමිණි අවුරුදු 336 ක ‘සෙම්ජීස’ නමැති පිටසක්වළ යුවතියක පිළිබඳ විස්තරයක් 2011 දෙසැම්බර් 11 දිනපතා පත්‍රයක පළ වී තිබුණා.

ඒ කොහොම වුණත් මේ විශ්වයේ විවිධත්වයක් පැවතීමට සිතිවිලි තරංග මගින් විශාල බලපෑමක් ඇති කරනු ලබනවා. මෙලෙස සක්වළෙහි අසිරිය හා ස්වභාවය කියාපාන බුද්ධ (සූත්‍ර) දේශනා 50 ක ට අධික සංඛ්‍යාවක් චිරන්තන බුදුදහමේ දැක්වෙනවා. අග්ගඤ්ඤ ,ධජග්ග, දක්‍ෂිණ, විභංග පටම කෝසල, සප්ත සූරියෝද්ගමන හා බ්‍රහ්මජාල මෙන්ම චක්‍රවර්ති සිහනාද ආදි සුත්‍ර දේශනා ඒ අතර කැපී පෙනෙනවා.

(සැ.යු. මළවුන්ට පින්දීම, පේ‍්‍රතයන් වූ ඥාතින් 8400 ක්, දුසනසෝ අෙඳීනා සහ අපායේ සොයා ගැනීම් මීළඟ පත්‍රයෙන් බලාපොරොත්තු වන්න.)


 

අධි බිනර පුර අටවක පෝය

අධි බිනර පුර අටවක පෝය අගෝස්තු 24 වැනි දා සිකුරාදා පූර්ව භාග 08.28 ට ලබයි.
25 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 06.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 31 වැනිදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]