UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 “ශාසන කීර්ති ශ්‍රී චන්දවිමල වංශාලංකාර” ගෞරව නාම සම්මුතිය සහිතව කොළඹ දිශාවේ ප්‍රධාන සංඝ නායක ධූරයෙන් පිදුම් ලබන

දම්පහළ ඤාණරතන නා හිමි

දීප්තිමත් භික්ෂුවක්

තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත දම්පහළ ඤාණරතන ස්ථවිරයන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර එක්නැළිගොඩ විහාර පාර්ශ්වය මගින් “ශාසන කීර්ති ශ්‍රී චන්දවිමල වංශාලංකාර “ යන ගෞරව නාම සම්මුතිය සහිතව කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා ඇති බව දැන ගන්නට ලැබීමෙන් බලවත් සතුටට පත්වීමි.

1989 වර්ෂයේ උතුම් ප්‍රවජ්‍යාවත් 1996 දී උපසම්පදාවත් ලැබූ උන්වහන්සේ දැන උගත් ස්ථවිර නමක් මෙන්ම කාර්යශූර ක්‍රියාශීලි තරුණ ස්ථවිර නමකි. පැවිදිකම රැකගනිමින් සම්බුද්ධ ශාසනයේ පැවැත්ම වෙනුවෙන් කටයුතු කරන භික්‍ෂූන් වහන්සේලා රටට සම්පතකි. එවැනි භික්‍ෂූන් වහන්සේලා අතළොස්ස අතරින් දම්පහළ ඤාණරතන ස්ථවිරයන් වහන්සේ ද දීප්තිමක් භික්‍ෂු නමකි.

විශිෂ්ට මෙහෙවරක යෙදෙන ගිහි පැවිදි උතුමන් ඇගයීම වටිනා සත්පුරුෂ ගුණයකි. එය කරගෙන යන මෙහෙවරට මහත් වූ ශක්තියකි.

අභිනව නායක පදවියට පත් දම්පහළ ඤාණරතන ස්ථවිරයන් වහන්සේට තෙරුවන් සරණින් චිර ජීවනය ලැබේවායි ආශිර්වාද කරමි.


සසුනේ චිර පැවැත්මට හේතුවක්

සම්බුදු සසුනේ අභිවෘද්ධිය පිණිස භික්‍ෂූන් වහන්සේලාගෙන් සිදුවන මෙහෙවර අතිශයින්ම ප්‍රශංසනීයය. සම්බුදු සසුන රැකගැනීමට තම දිවියම කැප කරන භික්‍ෂූන් වහන්සේලා ජාතියේ පිනට පහළ වූ උතුමන්ය.

අද වන විට ලොවට අවැසිම සාධකයක් ලෙස තථාගත ශ්‍රී සද්ධර්මය හැඳින්විය හැකිය. එම දහම් සුව බෙදා දෙන්නට ගමේ කේන්ද්‍රස්ථානය බඳු වූ විහාරස්ථානයෙන් සිදුවන්නේ අමිල මෙහෙවරකි. ඒ සඳහා විහාරස්ථානය බල ගැන්වී තිබීම විශේෂයෙන් වැදගත් වෙයි. එහෙත් බොහෝ විහාරස්ථානවලට මූලික විහාරාංගයන් පවා නොමැතිවීම බලවත් අඩුපාඩුවකි. එහෙත්, මෙවැනි විහාරස්ථාන අංග සම්පූර්ණ විහාරස්ථාන ලෙස ගොඩනංවා සුවිශේෂි මෙහෙවරක් කරන විහාරස්ථාන බවට පත්කිරීමට දක්‍ෂ භික්‍ෂූන් වහන්සේලා කැප වී කටයුතු කරන බව අපි දනිමු.

තෙලවල විජයරූපාරාම ධර්මායතනය මුල් යුගයේ බොහෝ අඩුපාඩුකම් තිබූ, ආවාසයකට පමණක් සීමා වූ කුඩා විහාරස්ථානයකි. එම කාලයේදී අප ද එම විහාරස්ථානයට විවිධ ආගමික කටයුතු සඳහා සහභාගි වී ඇත. ඊට වසර කිහිපයකට පසු එම විහාරස්ථානයට වැඩම කළ විට අපට දැක ගන්නට ලැබුණු දර්ශනයෙන් සතුටට පත්වුණෙමු.මේ වන විට එම විහාරස්ථානය නෙත්සිත් සනසන අංගයන්ගෙන් ශෝභාමත් විහාරස්ථානයක් බවට පත්කර තිබේ.


සංඝ ශෝභන ගුණයෙන් යුක්තය

සම්බුදු සසුනේ චිරස්ථිතිය හා අභිවෘද්ධිය රඳා පවතින්නේ සුපේශල ශික්ෂාකාමී උගත් – බහුශ්‍රැත, ධර්මධර, විනයධර භික්‍ෂුන් වහන්සේලා නිසාය. එවැනි සංඝශෝභන ගුණයෙන් යුතු භික්‍ෂුන් වහන්සේ නමක් ලෙස දම්පහළ ඤාණරතන නායක ස්ථවිරයන් වහන්සේ හැඳීන්විය හැක.

1989 පැවිදි දිවියට පත්ව, 1996 උපසම්පදා භූ®මියට පත්වූ උන්වහන්සේ දෙමටගොඩ, ශ්‍රී විශුද්ධාරාම ත්‍රිපිටක පිරිවෙණෙන් හා මාළිගාකන්ද විද්‍යෝදය පිරිවෙණෙන් ධර්‍ම ශාස්ත්‍රාදිය හදාරා, පසුව කැළණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබගත් උන්වහ්නසේ, 2000 තෙලවල ප්‍රදේශයට වැඩම කොට විජය රූපාරාම ධර්‍මායතනය ගොඩනඟා සම්බුද්ධ ශාසනයට මෙන්ම, ජාතික, ආගමික, සාමාජීය සුබ සිද්ධිය වෙනුවෙන් තම ශ්‍රමය, කාලය හා බුද්ධිය කැප කරමින් විශිෂ්ඨ මෙහෙවරක යෙදෙන උන්වහන්සේ අගය කිරීම සත්පුරුෂ කාර්යයකි. ඒ අනුව අප නිකායික ‘ ධම්මජ්ජෝතිනි කාරක සංඝ සභාව‘ මෙහෙවරට ශක්තිය වීම පිණිස ‘ ශාසන කීර්ති ශ්‍රී චන්දවිමල වංශාලංකාර’ යන ගෞරව නාම සම්මුතිය සහිත කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනැමූ බව සිහිපත් කරනුයේ හදපිරි සතුටිනි. සසුන’ ඹර ශෝභාමත් කරනා දම්පහළ ඤාණරතන නායක ස්ථවිරයන් වහන්සේ අප නිකායට මෙන්ම සම්බුදු සසුනේ චිරස්ථිතිය පිණිස කැපවී ක්‍රියාශීලීව කටයුතු කරන තරුණ ස්ථවිරයන් වහන්සේ නමකි.

ස්ව නිකායේ ගෞරවය මෙන්ම බුදු සසුනේ ගෞරවය ද, රැකගෙන මහා මෙහෙවරක යෙදෙන උන්වහන්සේට, මේ ලැබූ අභිනව නායක පදවිය චිරාත් කාලයක් සම්බුදු සසුන ශෝභාමත් කිරීමට අවැසි ශක්තිය ලැබේවායි ඉත සිතින් ආශිර්වාද කරන්නෙමු.


ශක්තිය හා චිරජීවනය ලැබේවා

ශ්‍රී ලංකා අමරපුර එක්නැළිගොඩ විහාර පාර්ශ්වය මගින් තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති ගෞරවාර්හ දම්පහළ ඤාණරතන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ වෙත “ ශාසන කීර්ති ශ්‍රී චන්දවිමල වංශාලංකාර “ යන ගෞරව නාම සහිතව කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමූ පුවත අසා මම බලවත් පී‍්‍රති ප්‍රමෝදයට පත්වීමි.

මාතර දිසාවේ දම්පහළ නම් සුන්දර ගම්පියසෙහි පින්බර කුල දරුවකු ලෙස උපත ලැබූ උන්වහන්සේ , ආගම හා මහා සංඝරත්නය කෙරෙහි වූ අනූපමේය ගෞරව සෙනෙහස නිසාම වර්ෂ 1989 දී උතුම් වූ පැවිදි දිවියට පත් වූහ.

බණ දහම් ප්‍රගුණ කරමින් අධිශීල සංඛ්‍යාත උපසම්පදාව ලැබූ ගෞරවනීය නායක හිමිපාණන් වහන්සේ රාජකීය පණ්ඩිත උපාධිය සහ ශාස්ත්‍රවේදී උපාධිය ලැබූ උගත් බහුශ්‍රැත තෙරනමකි.සම්බුදු සසුනත්, අප මාතෘ භූ®මියත් රැක ගැනීම සඳහා අතීතයේ සිටම සුපේශල ශික්ෂාකාමී , ධර්මධර, විනයධර, මහා සංඝරත්නය දිවි පරදුවට තබා කටයුතු කළ බව සියල්ලෝම දන්නා සත්‍යයකි.කොළඹ දිසාවේ ප්‍රධාන සංඝනායක ධුරයෙන් පිදුම් ලැබූ පූජ්‍ය දම්පහළ ඤාණරතන නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට සිය ජාතික, ශාසනික, ආගමික මෙහෙවර අඛණ්ඩව ඉටු කිරීමට දිරිය ශක්තිය සහ චිර ජීවනය නොමඳව ලැබේවායි ප්‍රාර්ථනය කරමි.!


මොරටු පුරවරයට ආදර්ශයක්

මොරටුව පුරවරයේ වෙසෙන සියලු ජනතාවගේ ගෞරව ප්‍රසාදයට ලක්ව සසුන’ඹර ආලෝකමත් කරමින් වැඩසිටින තෙලවල විජයරූපාරාම ධර්මායතනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රවේදී දම්පහළ ඥනරතන නායක ස්වාමීන් වහන්සේට ශ්‍රී ලංකා අමරපුර එක්නැලිගොඩ විහාර පාර්ශ්වය මගින් “ ශාසන කීර්ති ශ්‍රී චන්දවිමල වංශාලංකාර” යන ගෞරව නාම සම්මුතිය සහිතව කොළඹ දිශාවේ ප්‍රධාන සංඝනායක ධුරය පිරිනමා ඇති බව දැන ගැනීමට ලැබීමෙන් මම අතිශය සතුටට පත්වුණෙමි.

1989 දී උතුම් පැවිදි දිවියට පත්ව 1996 වර්ෂයේදී අතිඋතුම් උපසම්පදාව ලැබූ අප නා හිමිපාණන් කුඩා ආවාසයක් පමණක්ව තිබූ විජයරූපාරාම ධර්මායතනය උන්වහන්සේගේ අප්‍රතිහත කැපවීම නිසා අද වන විට දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කර තිබීමෙන් උන්වහන්සේ තුළ ඇති කාර්යශූරත්වය මනාව ප්‍රකට වේ. තවද, දැහැමි සමාජයක් ගොඩනැගීමේ පරම අදිටනින් යුක්තව විවිධ පින්කම් සංවිධානය කරමින්, දහම් පාසල පවත්වමින් කරනු ලබන මෙහෙවර මොරටුව පුරවරයටම ආදර්ශයක් මෙන්ම ආලෝකයක් වී තිබේ.උදාර සංඝශෝභන ගුණයෙන් යුතු අප නාහිමිපාණන් වහන්සේට තව තවත් ශාසනික මෙහෙවර කිරීමට මොරටු ජනතාවගේ සුභාශිංසන එක් කරන්නේ ශාසනාලයෙනි.


අභිනව නා හිමි

1975 පෙබරවාරි 20 වන දින මුදලිහාමි කණ්ඩම්බිගේ රාළහාමි උපාසක මහතා සහ ගීගන කංකානම්ගේ ප්‍රේමාවතී උපාසිකා මාතාව මව්පියන් බවට පත්කර ගනිමින් මෙලොව එළිය දුටු මේ පින්වත් කුමරු සහෝදර සහෝදරියන් හත් දෙනෙකුගෙන් යුතු පවුලේ සිව්වැනියා විය. කුමරු නිසි වයස එළඹෙත්ම අධ්‍යාපනය ලැබීම පිණිස ඕමල්ප දියපොට ගමකන්ද කණිටු විදුහලට ඇතුළත් කළ අතර, ඉන්පසු මාර/ හුළංකන්ද කණිටු විදුහලට ඇතුළත්ව මූලික අධ්‍යාපනය ලැබීය.පෙරපින් මතුවෙන්නා සේ දම්පහළ ජයමංගාලාරාමාධිපති ගතාරේ අරියචන්ද්‍ර නාහිමියන්ගේ මූලික මඟපෙන්වීම යටතේ පැවිදි වීමේ මඟ එළිපෙහෙළි වෙමින් තිබුණි. ඒ අනුව 1989 මාර්තු 09 වෙනි දින ් ප්‍රව්‍රජ්‍යා භූමියට පත්විය.

පැවිදි වූ දින සිටම තම ගුරුදේවයාණන් වහන්සේගේ සෙවණෙහි හිදිමින් භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස දැනගත යුතු බණ දහම් ආදිය මැනවින් ප්‍රගුණ කරන්නට විය. 1990 දී දෙමටගොඩ මහවිශුද්ධාරාම ත්‍රිපිටක පිරිවෙණට ඇතුළත් කරනු ලැබූහ.පිරිවෙණේ දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස ධර්ම ශාස්ත්‍ර ආදිය හදාරන්නට විය.පිරිවෙණේ දීප්තිමත් ශිෂ්‍යයෙකු ලෙස ධර්මශාස්ත්‍ර ආදිය හදාරන්නට විය. 1993 දී පිරිවෙන් අවසාන විභාගයට පෙනී සිටි අතර, ඉන්පසු 1994 දී කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙණට ඇතුළත් වීමට භාග්‍යය ලැබීය. එවකට විද්‍යෝදය පරිවේනාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ රාජකීය පණ්ඩිත අකුරැටියේ අමරවංශ නාහිමියන් ප්‍රධාන ආචාර්ය ස්වාමීන්වහන්සේලාගේ ගුරු සිත් දිනා ගනිමින් මැනවින් ඉගෙනුම කටයුතුවල නිරතවෙමින් පිරිවෙණ මගින් පවත්වන්නට යෙදුණු ධර්ම පරීක්‍ෂණයන්ගෙන්ද ප්‍රාචීන භාෂෝපකාර සමිතිය මගින් වාර්ෂිකව පවත්වනු ලැබූ ප්‍රාචීන විභාගවලින් සමත් වූ අතර ඒ අතර 1995 වර්ෂයේ ප්‍රාචීන ප්‍රාරම්භ විභාගයෙන්ද, 1996 වර්ෂයේ ප්‍රාචීන මධ්‍යම විභාගයේද සමත්විය.මේ අතර උන්වහන්සේ 1996 ජූලිමස 28 වෙනි දින උපසම්පදාව ලැබූහ. 1999 දී පරිවේනාචාර්යවරයෙකු ලෙස රජයේ පිරිවෙන් ගුරු සේවයට එක්විය. 2000 දී රාජකීය පණ්ඩිත උපාධිය ලබාගැනීමට කටයුතු කළ අතර 2005 දී කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය හිමි කර ගත්හ. උන්වහන්සේ බොහෝ පැවිදි සිසු පිරිසක් සම්බුද සසුනට දායාද කර ඇත.අද වන විට විජයරූපාරාම ධර්මායතනය ප්‍රදේශයට දහම් සිසිල බෙදාදෙන පින්බිමක් බවට පත්ව තිබේ.මොරටු ප්‍රදේශයේ වෙසෙන ජනතාවගේ ගැටලු විසදීමට ස්වේච්ඡාවෙන් තම ශ්‍රමය හා බුද්ධිය කැප කරන මොරටුව සමථමූල මණ්ඩල සාමාජිකයෙකි. සමථමූල මණ්ඩල සාමාජිකයෙකු වශයෙන් මොරටු ජනතාවගේ යහපත පිණිස විශිෂ්ට මෙහෙවරක නිරත වෙති. උන්වහන්සේ සිදුකරනු ලබන ශාසනික, ජාතික, ආගමික , සාමාජිය ,අධ්‍යාපනික මෙහෙවර ප්‍රශංසනීයය.අභිනව නාහිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානය කටුබැද්ද තෙලවල විජයරූපාරාම ධර්මායතනයේදී ජුනි මස 1 වනදා සවස 3 ට සිදු කැරේ.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]