UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර අටවක 2012 මැයි 28 වනදා

සැනසුම් සුසුමක් හෙළන්නට

අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ උදෙසා බැති කුසුම් පුදන්නට බොදු සැදැහැතියා සැදී පැහැදී සිටින බව අමුතුවෙන් සඳහන් කළ යුත්තක් නොවේ. ඒ නිසාම එළඹෙන පොසොන් පුර පසළොස්වක පෝදා ආමිස ප්‍රතිපත්ති පූජාවන්ගෙන් උන්වහන්සේ පිදීමට මාස ගණනාවක සිට බොදු ජනතාව සූදානම් වෙති.සම්මා සම්බුදුරජාණන් වහන්සේ තෙ වරක්ම අපේ රටට වැඩම කර අපේ රට වාසනාවන්ත පුණ්‍ය භූමියක් බවට පත් කරමින් හෙළබිම පිවිතුරු බවට පත් කොට වදාළහ.

බුදුරදුන් දෙසූ සදහම් මග අනුව යන බොදුනුවා කෘතගුණ සැලකීමට දක්වනුයේ මහත් ඇල්මකි.අපි ඉතා දුරාතීතයේ සිටම ඒ කෘතගුණ මෙනෙහි කරමින් ඊට කෘතෝපකාර දක්වන රටක් බව ලෝ වැසියෝ ම පිළිගැනීමට මැලි නොවන බව ද අපි විශ්වාස කරමු. ඒ ශ්‍රේෂ්ඨ ගුණ දහම් අපේ රටට හෝ ජනතාවට උරුම වූයේ සම්බුදු දහමේ ආභාෂය ලද නිසා මය.

අතීතයේ දී අපේ මුතුන්මිත්තන් දවස, දින සති ගණන් ගෙවා වන්දනාවේ නිරත වෙමින් අපේ අතීත පෞරාණික ඓතිහාසික පොදු පුදබිම් වන්දනා කළහ. ඊට පවුල්පිටින් ඒකරාශි වූයේ පවුලේ හැම දෙනාගේම සහභාගිත්වයෙන් දුක සැප බෙදා ගනිමින් පින්දහම් හි නිරතවීමේ අරමුණ පෙරමුණු කර ගෙනය.

කෙසේ වුවද පසු ගිය සමයේ රටේ පැවැති ත්‍රස්තවාදී උවදුර නිසාම ගමන් බිමන් යාම බොහෝ දුරට සීමා විය. ඒ තම තමන්ගේ ජීවිතවලට පැවැති ත්‍රස්ත උවදුරට අනුකම්පාවක් නොතිබූ හෙයිනි.

දැන් රට ම සාමයේ සහනයෙන් පිබිදී සිටිති. දින සති ගණන් බියෙන් සැකයෙන් තොරව වන්දනා ගමන් යා හැකි කාලය දැන් උදාවී ඇත. සැබවින් ම මනුෂ්‍යයා සතුටෙන් කාලය ගෙවිය යුත්තේ තමාගේ ලෞකික ලෝකෝත්තර ගමන් මග හෙළි පෙහෙලි කර ගනිමිනි.සසර ගමනේ අප යා යුතු දුර හෝ අප ආ මගෙහි දුර කෙතෙක් දැයි පුහුදුන් අප කිසිවකු හට ස්ථිරව කිව හැකි නොවේ.ඒ නිසා ම බුද්ධිමත් බෞද්ධයා නුවණින් විමසමින් දෙලොවම සුවපත් කර ගැනීමේ කාර්යයෙහි නියැලෙන බවද පෙනේ.

යහපත් අරමුණක් නිමිති කර ගෙන යහපත් ක්‍රියාවක නිරත විය හැකි නම් එය සැබවින්ම අගය කළ යුතු ක්‍රියාවක් වෙයි.හේතුවක්, අරමුණක්, නිමිත්තක්, පහළ කර ගනිමින් යහපත් ක්‍රියාදාමයන්හි නිරත වූ බොදුනුවා ඒ පිළිබඳ උදාර අධිෂ්ඨානයෙන්ද ක්‍රියා කරනුයේ මසුරුකමද දුරුකර ගැනීමේ අපේක්‍ෂාවෙනි.

ගමක හෝ නගරයක බස් රථයක හෝ බස් රථ කීපයක හිමිකරුවකු තම ශ්‍රමය ධනය කැප කරමින් වෙසෙසින් ම වෙසක් පොසොන් වැනි සුවිශේෂී ආගමික දිනයන්හි ගම්වැසියන් ඒකරාශී කර ගනිමින් වන්දනා ගමන්වල නොමිලයේ නිරත කරවන අයුරු අප දැක අසා තිබේ.

කෙසේ වුවද ගමක නගරයක එවැනි දානපති පරිත්‍යාගශීලිහු කලාතුරකින් හෝ නැතුවා නොවේ. පින් සිතිවිලි පහළ කර ගැනීමට යහපත් අරමුණු පෙරමුණු කරගෙන එවන් සත් ක්‍රියාවන් සිදු කිරීම අගනේය. එමෙන් ම පැසසිය යුතු ද වේ.

එමෙන්ම ගමේ ම වෙසෙන වියපත් මව්පියවරු ඒකරාශි කරමින් ඔවුන් වෙත ආහාරපානාදියෙන් සංග්‍රහ කරමින් සුවිශේෂි ආගමික දිනයන් අනුස්මරණය කරන බවද සඳහන් කළ යුතුවේ.තවත් විටෙක කිරි මව්වරුන් ඒකරාශි කර ඔවුන්ටද ආහාරපානාදියෙන් සංග්‍රහ කරමින් අපගේ ආගමික දිනයන්හි දී සුවිශේෂී පුණ්‍ය කර්මවල නිරතවන අයුරුද සඳහන් කළ හැකිවේ.

මෙසේ බලන විට පෙනී යන්නේ අප රට සතු උතුම් සාර ධර්ම ගිලිහීයාමට ඉඩ නොදී ශක්ති පමණින් ඒවා රැක ගැනීමට උත්සුක වන පිරිස ද අඩුවක් නොමැතිව සිටින බවයි.

ඇතැම් විට මරණය පෙනි පෙනී ගව මඩුවෙන් මස් කඩයට යන ගවයන්ට අභයදානය දෙමින් සුවිශේෂි වූ ආගමික දිනයන් අනුස්මරණය කරන අයුරු ද අප අමතක නොකළ යුතුය.එමෙන්ම රෝගීන් සුවපත් කිරීමේ අරමුණෙන් ලේ බිඳක් හෝ දන් දෙමින් ලේ දන්දීමේ පින්කම් සංවිධානය කරන අය ද අප අතර කෙතරම් සිටිත් ද?මේ අතර වෙසක් මෙන්ම පොසොන් පෝ දිනයන් හිදී දන්සැල් දෙන පිරිස් ද වේ.පොසොන් පෝදාට මිහින්තල යේ දී හෝ අනුරපුරදී දන්සැල් දෙන පිරිස් පරපුරෙන් පරපුරට ඒ සිදුකර ගෙන එන උදාර සේවා නොඅඩුව ඉටු කිරීමට පෙළඹී සිටීමද අගය කළ යුතුය.

දන්සැලෙන් තොරණින් පමණක් නොව පොසොන් පෝදාට තෙල් මල් පුදා අනුබුදු මිහිඳු හිමි නාමයට උපහාර කුසුම් පිදීම ද හෙළ දැයේ අපටම ආවේණික වූ උදාර පින්කම් නොවේද? එබැවින් යහපත් ක්‍රියාවන්හි නිරතවීමට බුද්ධිමත් බොදුනුවා වැදගත් අරමණු නිමිති කරගෙන සිදු කරනුයේ මහා පින්කම් සමුදායකි.ඒ සසර ගමනේ නිවීමට මග පාදන මහඟු මිණි වැනි වන හෙයිනි. නිමක් නැති භව ගමනේ සැනසුම් සුසුමක් හෙළන්නට පොසොන් පොහොය නිමිත්තෙන් යහපත් අරමුණු ම සිත් තුළ පහළ වේවා.

 

පොසොන්පුර පසළොස්වක පෝය

පොසොන්පුර පසළොස්වක පෝය ජුනි 03 වැනිදා ඉරිදා අපරභාග 08.19 ට ලබයි.
04 වැනිදා සඳුදා අපරභාග 04.04 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජුනි 04 වැනිදා සඳුදාය.

මීළඟ පෝය
ජුනි 11 වැනිදා සඳුදාය.

 


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

ජූනි 04

Second Quarterඅව අටවක

ජුනි 11

New Moonඅමාවක

ජුනි 19

First Quarterපුර අටවක

ජුනි 27


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]