UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දුකසේ විඳින කර්ම විපාක - 5

පේසකාර පේ‍්‍රත වස්තුව

තථාගතයන් වහන්සේ සැවැත්නුවරදී මේ දේශනාව වදාළා. උන්වහන්සේ ගේ ශ්‍රාවක පිරිස අතරින් දොළොස් නමක් වූ භික්ෂූන් වහන්සේ තම ශාස්තෘන් වහන්සේ බැහැදැක උන්වහන්සේගෙන් භාවනා කමටහන් ගෙන වස් විසීමට සුදුසු ස්ථානයක් සොයමින් ගමකට වැඩම කරනු ලැබුවා. සිසිල් සෙවනකින් යුතු ජල පහසුව මැනවින් ඇති සිත්කළු වූ එක්තරා අරණ්‍යයක් සහ එයට ම නුදුරුව ඇති ගමක් ද දැක එහි වැඩ වාසයට කතිකා කොට ගත්තා. එදින රැයේ එහි වාසය කොට පසුවැනිදා ගමෙහි පිඬුසිගා වැඩියා.

ඒ ගම්වැසියන් පේෂකර්මාන්තය ජීවනෝපාය කරගත් පිරිසක්. ඔවුහු භික්ෂූන් වහන්සේ පිඬුසිඟා වඩිනවා දැක ඉතාමත් පී‍්‍රතියට පත්වෙලා තම තමාගේ් නිවාස වෙත ආරාධනා කොට ප්‍රණීතව සකසා දානය පිළිගන්වා

‘ස්වාමිනී! ඔබ වහන්සේලා වඩින්නේ කොහෙද?’

‘යම්කිසි තැනක අපට පහසුවෙන් සිටිය හැකිනම් අපි එහි යන්නෙමු’

‘එසේ නම් ස්වාමිනි අපට අනුකම්පාවෙන් අපගේ ගමේ ම වස් වසන සේක්වා’ යි ඔවුන් ආරාධනා කළා.

භික්ෂූ පිරිස ඒ ආරාධනාව පිළිගෙන ඒ ගමෙහි වැඩ වාසය කළා. ඒ ගමෙහි ප්‍රධානියා භික්ෂූන් වහන්සේ දෙනමක් බාරගෙන උන්වහන්සේලාට සිවුපසයෙන් උපස්ථාන කළා. නමුත් ඔහුගේ බිරිඳ ඉතාමත් අප්‍රසන්න කාන්තාවක්. ශ්‍රද්ධාවක් නැති කිසිදු සැදැහැ සිත් නැති මිත්‍යාදෘෂ්ටික අදහස් ඇත්තියක්. ඇය ඉතාමත් ලෝභයි. සංඝරත්නයට කිසිදු ගෞරවයක් නැහැ. උපස්ථාන කරන්නෙත් නැහැ. නිතරම කිපී පුපුර පුපුර නිකරුනේ කාලය ගතකළා.

කාලය ඉක්ම ගොස් ඒ භික්ෂූන් වහන්සේලා වස් අවසන් කොට නැවත වඩින්නට සූදානම් වූ විට තම තමන් දානමාන පූජාකරගත් ඒ භික්ෂූන් වහන්සේලාට එක් එක් සළුව බැගින් ඒ ගම්මුන් පූජා කළා. එහිදී වැඩිහිටි පේෂකාර උපාසකගේ පවිටු සිත් ඇති ඒ බිරින්දෑ තමාගේ ස්වාමියාට අක්‍රෝධ කළා. පරිභව කළා. දූෂිත සිතින් ඔහුට බැන වැදුණා.

‘ඔබ විසින් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයන්ට දෙන ලද ආහාරපානාදිය යම් දානයක් වේනම් ඒ දානය පරලොවදී ඔබට මළ මුත්‍රව ද, සැරව හා ලේ ද වේවා. පූජා කළ සියලු වස්ත්‍ර යකඩ වස්ත්‍ර වේවා යැයි’ ක්‍රෝධ සිතින් සාප කළා.

කලක් ගත වී ඒ පේෂ කාර්මිකයා කළුරිය කොට වින්ද්‍යා නම් පර්වතයේ ආනුභාව සම්පන්න රුක් දෙවියෙක් වී උපත ලැබුවා. ඔහුගේ මසුරු බිරිඳ මරණින් පසු රුක් දෙවියා වසන තැනට නුදුරුව පේ‍්‍රතියක්ව ඕපපාතිකව ඉපදුනා. ඒ පේ‍්‍රතිය නිරුවත්ව, දුර්වර්ණව සා පිපාසයෙන් ජීවත් වුණා. ඒ භූ®මාටු දෙවියන් වෙත ගොස්

‘ස්වාමිනි මම වස්ත්‍ර නැතිව පාපිපාසාවෙන් සිටිමි. මට වස්ත්‍ර හා ආහාරපාන ලබාදුන මැනව‘ යැයි ඉල්ලා සිටියා. එවිට ඒ දෙවියා පේ‍්‍රතියට දිව්‍ය ආහාරපාන ලබාදෙන විටම ඒ සියල්ල මළ මුත්‍ර බවට හා ලේ සැරව බවට පත්වුණා. දෙන ලද සළුව ඇය අතට ගත් විගස දිලිසෙන යකඩ බවට පත්වුණා. ඇය සියල්ල හැරදමා මහත් ව දුකින් අඬමින් ආපසු ගියා.

ඒ කාලයේ එක්තරා භික්ෂුවක් වස් වසා නිමවා තථාගතයන් වහන්සේ හමුවීමට යන අතරේ ගැල්ගෙන වෙළෙඳාමේ යන පිරිසක් සමඟ වින්ධ්‍යා වනයට පිවිසියා. වෙළෙන්දා ජලය සහිත තැනක ගැල් මුදා හැර විඩා නිවා ගත්තා. ඒ භික්ෂූ නම සැඟවුන ගසක් මුල සඟල සිවුර අතුරා වෙහෙස නිවා ගන්නට එහි සැතපුණා. වෙළෙඳ පිරිස විඩා හැර නැවත පිටත් වුවත් ඔවුන්ට භික්ෂූන් වහන්සේට කතා කිරීමට අමතක වූවා. පිබිදුන භික්ෂුව වෙළෙඳ කණ්ඩායම නො සිටි බැවින් වැටී ඇති පාර දිගේ ගමන් කළත් උන්වහන්සේට පාර වැරැදී රුක් දෙවියා වෙසෙන තැනට පැමිණියා.

රුක් දෙවියා මේ භික්ෂූන් වහන්සේ දැක පිළිසදර කථා කරමින් සිටින විට අර පේ‍්‍රතිය නැවත ඇවිත් පෙනී සිටිමින්

‘ස්වාමිනී මට කෑමට දෙයක්, ඇඳීමට වස්ත්‍රයක් දෙන්නැයි’ ඉල්ලා සිටියා. රුක් දෙවියා ඇයට ඒවා දුන් විගස ආහාර මල මුත්‍රා හා ලේ සැරව බවට පත්වුණා. සළුව යකඩ බවට පත්වුණා. ඒ හිමියෝ මහත් සංවේගයට පත්වෙලා මෙසේ ඇසුවා

‘මේ කාන්තාව අසුචි යි මුත්‍රා යි ලේ යි සැරව යි කකා ඉන්නවා. මේ මොන වගේ කර්මයක විපාකයක් ද මේ තැනැත්තිය මොනවගේ කර්මයක්ද කරගෙන තියෙන්නේ? හැම තිස්සේම අනුභව කරන්නේ ලේ යි සැරව යි නෙව?

අලුත් වස්ත්‍ර දෙකක් තියෙනවා. හරි ලස්සනයි. මෘදුයි. පිරිසුදුයි. සනීපයි. නමුත් මැයට දුන්න විගස ඒවා යකඩයෙන් කරපු වස්ත්‍ර වගේ වෙනවා. මේ ස්ත්‍රිය කරගෙන තිබෙන්නේ මොන වගේ කර්මයක් ද?

‘ස්වාමින් වහන්ස, මගේ බිරිද වෙලා හිටියේ. මේ තැනැත්තිය දානය ටිකක් පූජා කර ගත්තේ නැහැ. මසුරුකමින්ම හිටියා. කෑදරකමින් හිටියා. මම ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දැන් පැන් පූජා කරනකොට ඇය කළේ මට බණින එක. නින්දා අපහාස කරපු එක.

‘උඹ දන් දෙනවා. ඔය දානෙන් විපාක වශයෙන් පරලොවදී උඹට අසුචි මුත්‍රා ලේ සැරව තමයි ලැබෙන්නට ඕන. හැම තිස්සේම උඹ අසුචි කාපන්. ඔය පූජා කරන වස්ත්‍ර යකඩයෙන් කරපු වස්ත්‍ර වෙයන්’

මේ ආකාරය මේ පේ‍්‍රතිය දුශ්චරිතයෙන්මයි හැසිරුනේ. දැන් ඉතින් පෙරේත ලෝකයට ඇවිල්ලා කාලයක් තිස්සේ ඒවා කකා ඉන්නවා.’

දුකසේ විඳීන කර්ම විපාක - 4 - පංචපුත්තඛාදක පේ‍්‍රත වස්තුව

 

 

 
බක් අව අටවක පෝය

බක් අව අටවක පෝය අප්‍රේල් 13 වැනිදා සිකුරාදා පූර්ව භාග 04.51 ට ලබයි.
14 වැනි සෙනසුරාදා පූර්වභාග 04.02 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 13 වැනිදා සිකුරාදා ය.

මීළඟ පෝය
අප්‍රේල් 20 වැනිදා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අප්‍රේල් 13

New Moonඅමාවක

අපේ‍්‍රල් 20

First Quarterපුර අටවක

අප්‍රේල් 29

Full Moonපසෙලාස්වක

මැයි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]