UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දෙලොවම පින්සිදුවන ක්‍රියා

සම්බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක මහා සංඝරත්නය අමතා මෙසේ දේශනා කළ සේක. මහණෙනි! පින් කිරීමට බියවෙන්න එපා. පින් කියන්නේ පි‍්‍රය වූ මනාප වූ සැපයට නමක් මහණෙනි, මා විසින් බොහෝ කාලයක් සම්පූර්ණ කරන ලද පින්වල විපාක මම දන්නවා. සත් අවුරුද්දක් මෛත්‍රී සිත වැඩීමෙන් මහාකල්ප හතක් කාම ලෝකයට මම පැමිණියේ නැහැ. එනම් බ්‍රහ්ම ලෝකයේමයි වාසය කළේ.

කල්පයක් විනාශ වෙනකොට ආභස්සර බ්‍රහ්ම ලෝකයට එනවා. කල්පය හටගන්න අවස්ථාවේ හිස වූ බ්‍රහ්ම විමානයක උපදිනවා. ඒ බඹ ලොව කිසිම කෙනෙකුට විනාශ කරන්න බැහැ. අභිඤ්ඤා ඥානයෙන් යුතු මහා බ්‍රහ්මයෙක් වෙලා හිටියා. සත් අවුරුද්දයි මෛත්‍රී භාවනාව පුරුදු කළේ. බොහෝම ආනිසංස මම ලැබුවා. ලැබූ සැප සම්පත් අතර තිස්හතර වාරයක් සක්දෙවිඳු වෙලා ඉපදුනා. නොයෙක් වතාවත්වල දැහැමින් රාජ්‍ය කරන සත්වරුනින් යුක්ත වූ සක්විති රජෙකු වශයෙන් කීප වාරයක් උපන්නා. ප්‍රදේශ රාජ්‍ය ලැබූ වාර ගණන අප්‍රමාණයි. මහණෙනි! මට මෙවැනි සිතක් ඇතිවුණා. මට මේ තරම් සෘද්ධිමත් මහත් වූ සැප සම්පත් විඳින්නට මොන විදිහේ කුසලයක් ද කරලා තිබෙන්නේ කියලා. වෙන කිසිවක් කිරීමෙන් නොව, දන්දීම, ඉන්ද්‍රිය දමනය කිරීම මේ කුසල කර්මයන්ගේ විපාක තමයි මට ලැබුණේ.

ඉන්ද්‍රියන් දමනය කිරීමෙන් පංච ඉන්ද්‍රියන්ට පංච අරමුණු ලබාදීමෙහිලා බොහෝ මම ප්‍රවේශම් වුණා. ඇසට පෙනෙන දේ එයම ලෙස මම භාරගත්තේ නැහැ. කනට ඇසුණු ශබ්දය ශබ්දයක් ලෙස මම භාරගත්තේ නැහැ. ඒ අයුරින් ඉන්ද්‍රියන්ට ගෝචර වන අරමුණු සියල්ල කෙරෙහිම සිහියෙන් යුක්තව ඉවසීම කළා. අවුරුදු හතක් මෛත්‍රී භාවනා කළා. අවුරුදු හතක්ම කළේ මෙත් වඩපු එක ‘’මෙත්තස්ස භවඞ මෛත්‍රී’’ මිතුරු බව වැඩීම තමයි මෛත්‍රිය කියන්නේ.

මෛත්‍රීය වැඩීමේදී මම නිදුක් වෙමි. නිරෝගී වෙමි. සුවපත් වෙමි. මම වෛර නො කරමි. ක්‍රෝධය නොකරමි. ද්වේශ නොකරමි. තරහා නොවෙමි. මෙනෙහි කරමින් බුදුරදුන් ප්‍රායෝගිකව ඒවාට ප්‍රවිශ්ට වෙමින් සිත, කය, වචනය තිදොරින් මෛත්‍රිය ක්‍රියාත්මක කළා. මෛත්‍රිය කරන අයුරු ප්‍රාර්ථනා කරමින් සිටියට වැඩක් නැහැ. මනා ඉන්ද්‍රිය දමනයකින් සියල්ල පාලනය කරගෙන ශරීරය පිළිබඳව වැටහීමක් ඇතිකරගෙන යථාර්ථයෙන් බොහෝමයක් උපේක්ෂා සෞම්‍ය, සිතිවිලි ඇතිව ජීවිතය ගත කරන්න. බෝධිසත්වයෝ සත්මසක් මෛත්‍රිය වැඩීම නිසා මහා කල්ප හතක් සැපයෙන් ජීවත්වෙන්න ලැබුණා.

මේ ගතවෙන්නේ මහා භද්‍රකල්පයක්. සම්බුදු රජාණන් වහන්සේලා පස් නමක් පහළවන කාලයක්. මේ වනවිට බුදුවරු සිව්නමක් පහළ වුණා. ඒ කකුසඳ, කෝණාගමන, කාශ්‍යප, ගෞතම, බුදුවරුන්, මතු පහළවන්නේ මෛත්‍රිය බුදුරදුන්ය. බුදුවරු ලෝකයට පහළ වන කාලයේ මෛත්‍රීය පැතිරවීමේ ගුණ මහත් ආනිසංස ගෙනෙනවා. මෛත්‍රීය වඩන්න. හෘදයාංගමව මෛත්‍රීය ආශිර්වාදාත්මකව පතන්න. සිත, කය, වචනය තිදොරින්ම මෛත්‍රිය වඩන්න.

ගේ, දොර, වත්තපිටිය, වටපිටාව, පාරතොට මේ සැම තැනක්ම පිරිසුදු කරන්න. පන්සල, වෙහෙර මළුව සියල්ල පිවිතුරු කරගන්න. ශරීර කෘත්‍යයන් සඳහා පරිහරණය කරන ස්ථානය, කනබොන තැන මේ හැමතැනම පිරිසුදු කරන්න. අරයා, මෙයා කරන කල් බලානොසිට ඔබ විසින්ම ඒ ස්ථාන අලංකාර කරන්න. මෛත්‍රී සිතින් පරිසරයට හිතකාමී ලෙස සිදුකරන මේ කටයුතු තුළින් පුද්ගලයා තුළ මෛත්‍රීය වැඩෙනවා. පුද්ගල වශයෙන්, සංවිධාන වශයෙන් මානුෂීය ගුණ ඉස්මතු කරගෙන රෝහල්, පන්සල්, පොදු ස්ථාන පවිත්‍ර කිරීමෙන්, අලංකාර කිරීමෙන් මෛත්‍රී සහගත කාය කර්ම නිසැකයෙන් සිදුවෙනවා. එසේ පිරිසුදු කරන කෙනාට මෛත්‍රීයේ ආනිසංස ලැබෙනවා.

දඹදිවෙන් ලංකාදීපයට පැමිණි විශාඛ තෙරුණුවෝ සිංහල දීපයේ සිතුල්පව්වේ වැඩසිටිමින් මහරහතන් වහන්සේලා හමුවේ කමටහන් ලබා ක්ලේශ ප්‍රහීණ කොට සැනසීම ලබමින් කාලයක් ගතකොට ගමරට බලා පිටත්වන්නට පටන්ගත් අවස්ථාවේ දෙවි දේවතාවන් අඬන්න පටන් ගත්තා. ඒ නිසා උන්වහන්සේ ගම, රට නොගොස් පිරිනිවන් පාන තෙක් මෙරටේ වැඩසිටියා. උන්වහන්සේ හැමවිටම මෛත්‍රී සිතිවිලි, මෛත්‍රී වචන, මෛත්‍රී‍්‍ර ක්‍රියා සිදුකරමින් තිදොරින් සංවරව වැඩසිටි නිසා දෙවියන් පවා විශාඛ හිමියන්ට පි‍්‍රයතාවයක් දැක්වූවා. මෛත්‍රී බලයේ ආනිසංස බොහොමයි. දරුවට, බිරිඳට, සැමියට, හදා වඩාපු මව්පියන්ට ශිල්ප දුන් ගුරු මෑණි පියවරුන්ට අත හිත දෙන හිතමිතුරන්ට සත්පුරුෂ උත්තම සමාජයට මේ හැම කෙනෙකු කෙරෙහිම මෛත්‍රිය වඩන්න. ඔවුන් සුවපත් වේවා! යැයි සිතමින් ක්‍රියා කරන්න. පරිත්‍යාගශීලිත්ව පුරුදු කරගන්න. වටිනා ධර්මතා මනුෂ්‍ය ජීවිතය තුළට එකින් එක සම්බන්ධ කරගන්න. මුතු පොටකට මුතු අමුණනවා වගේ මෛත්‍රී සිතිවිලි පැතිරීම තුළින් තම තමන්ගේ යුතුකම් කොටස් සමාජයට ඉටුවෙනවා. පරිසරය සුරැකුවා වෙනවා. සමාජ ජීවිත සැපවත් කරගන්න පිහිට වූවා වෙනවා. වර්තමානයේ පුද්ගලයා බොහෝ ව්‍යසනවලට පත්වන්නේ තමා විසින්ම ඇතිකර ගන්නා කරදර නිසයි. පිරිසුදුකමට, අලංකාරකමට අවධානය යොමු නොකොට පැහැරහැරීම අප විසින්ම දුකට පත්වීමක්. තව කෙනෙකු කරනකල් ඉන්න එපා පිරිසුදුව වැඩකරමින් තමාගෙන් මිත්‍රත්වය ඇතිකරගන්න ආරම්භ කරන්න. ඔබට ඔබ මිතුරුනම් කාලය කා දමන්නෙ නැහැ. වැඩකටයුතු අතපසු කර නොගෙන පමා නොවී ක්‍රියා කරන්න. සියලු අඩුපාඩුකම්, අමතක කොට බැරිවීම් වැරැදීම් පසුගිය කාලයේ සිදුවුන දේ අමතක කොට ඉන් අත්දැකීම් ලබාගෙන ඉදිරිය නිවැරැදි කර ගෙන අලුත් ජීවිතයක් ආරම්භ කරන්න. මෛත්‍රී සිතිවිලි ඇතිව පහරදීම් පළිගැනීම් වලින් බැහැරව කටයුතු කරන්න. යම් ඉලක්කයකට එනවිට බාධාකළ පුද්ගලයන් කෙරෙහි වෛර සිතිවිලි ඇතිකර ගන්න එපා. වෙනත් අයෙකු තමන් පත් වූ අපහසුතාවයට පත් කරන්නට උත්සාහ ගන්න එපා.

සමහර මව්පියන්ගේ අදහසක් තමයි තමන් වින්ද දුක් කරදර ඇයි දරුවන්ට දෙන්නේ කියලා සිතීම. ඉතින් ළමයිට අසීමිත සැප දෙනවා. කරදර බාධක මැද ඉඳගෙන අත්දැකීම් ලබාගෙන ජීවිතය නිවැරැදි කරගන්න ළමයින්ට ඉඩ දෙන්න ඕනෑ. කරදර බාධක හැල හැප්පිලි, ගල් පරොළු බිඳගෙන පාර හදාගෙන මඟ හොයාගෙන කැලණි ගඟ ගලන හැටි බලන්න. සමනල කන්දෙන් පැන නගින පුංචි දියපහර විශාල ගංඟාවක් වෙලා ගම්නියම් ගම් පළාත් ආවරණය කරගෙන ගලා බසිනවා. මෙතරම් ප්‍රදේශ පළාත් සශ්‍රීක කරනවද ගංගාවක් . ඒ බාධක දහසක් මැද විශාල වපසරියක් සශ්‍රීක කරන ගඟකට ඇතිමෙන් සිතිවිලි පුද්ගලයා සතු වූ වානම් කෙතරම් සුන්දරද? ගංගාවක් කිසිම දවසක ඉල්ලීමක් කළාද පුරසාරම් දෙඩුවද? මම නිසයි ඔබලාට මේ දෙය ලැබුණේ. කියලා කිව්වද? නැහැ එදා වගේම අදත් ගඟ සේවයේ යෙදිලා. චන්ද්‍රයා, සූර්යයා දෙදෙනා ඉල්ලීම් කළාද? එදා මෙන්ම අදත් ලබාදෙන ආලෝකය නොඅඩුව ලබාදෙනව නේද? පිරිසුදු වාතය ලබාදෙන්නේ තමන් කියලා ගහක් කවදාවත් කියලා නැහැ නේද? ඒ ඒ අය ඔවුන්ගේ කාර්යයේ යෙදිලා සිටිනවා. මේ දේ වලින් මෛත්‍රීය ඉතිරී යනවා නේද? ගහක් ළඟට ගොස් එම ගසේ එක් පත්‍රයකින් තමන්ට දෙන පිරිසුදු වාතයට සදා ණයගැති බව සිතන්න. සෙවන දුන් ගහේ අතු කොළ කඩන්න එපා. එය අකෘතඥ වීමක් වෙනවා. මෛත්‍රි‍්‍රයක් තිබෙන කෙනා ගහකොළට මිත්‍රත්වය ඇතිකර ගන්නවා. ගහකොළ නිසා තමයි අපේ පැවැත්ම තිබෙන්නෙ කියලා හිතන්නේ කීයෙන් කී දෙනාද? පාරිසරික වශයෙන් කොයිතරම් විනාශයක් අද වෙලා තිබෙනවාද? මුදලට වහල් වන මිනිසුන්ගේ සිත් තුළින් මෙත් සිතිවිලි පලා ගිහින් මිනිස්සු සුළු සුළු ලාභ අපේක්ෂාවන්ගෙන් මත්වෙලා වටිනා දේ කොයිතරම් නැති කර ගන්නවද? ගස්කොළං රෝපණය කරමින් මෛත්‍රි‍්‍රය ඇතිකරගන්න පුළුවන්. එක්තරා අවස්ථාවක මුගලන් හාමුදුරුවෝ ‘’ස්වාමිනී දිවා රෑ දෙකේ පින් වැඩෙන්න කළයුතු දේවල් මොනවද? කියලා’’ බුදුරදුන්ගෙන් විමසනවා. එවිට බුදුරදුන්ගේ පිළිතුර වන්නේ දිවා රෑ දෙකේ පින් වැඩෙන්න නම් ගස් කොළං හිටවන්න. තුරුලතා වවන්න. උයං, පලතුරු වතු රෝපණය කරන්න. උද්‍යාන හදන්න, ජලාශ ඇති කරවන්න. මල් ගොමු පිහිටුවන්න. ආදී වශයෙන්.

දිවා රෑ බුදුපිළිම වලට වන්දනා මාන කරලා අටවිසි පූජා දෙසැත්තෑ ඤාණ පූජා පවත්වලම නෙමේ. මෛත්‍රී සිතිවිලි පෙරටු වෙන්න. ඒවත් වටිනවා. නමුත් සමාජීය සුබසිද්ධිය උදෙසා සිදුකරන මෛත්‍රී සහගත ක්‍රියා ඊටත් වඩා වටිනවා. ගසකින් කී දෙනෙක් ඵල ප්‍රයෝජන ගන්නවාද? ගස්කොළං වැවීම ආදී පින් වැඩෙන මේ වැඩ මෛත්‍රී කාය කර්ම වෙනවා. ජලාශ, ගංගා, ඇළදොළ, රටක ජනතාවට මහා සම්පත්. මනුෂ්‍ය ජීවිත සදාකාලිකයි කියලා හිතන මෝඩ මිනිස්සු මුදල්ම උපයනවා. ගොඩගහ ගන්නවා යනකොට අරගෙන යන්න වගේ.

දිව්‍ය ලෝකේ එක දවස මනුෂ්‍ය ලෝකේ අවුරුදු සියයක් වෙනවා. මිනිස්සු මේ ජීවිතය තමා සුන්දරම කියලා සිතීම මුලාවක්. පරිසරයට මෛත්‍රිය කරමින් බේදයක් නැතිව වෛරී මිත්‍ර සෑම කෙනාටම මෛත්‍රීය පැතිරවීමෙන් කාටත් සිදුවන්නේ ප්‍රයෝජනයක්.

මෛත්‍රී සිතිවිලි පතුරවන්න එරමිණිය ගොතාගෙන ඇස්දෙක පියාගෙන ශරීරය කෙලින් තියාගෙන, අතක් පිට අතක් තබාගෙන, මෛත්‍රී භාවනාම කරන්න ඕන නැහැ. තමන් යන, එන, තැන ඉන්න තැන, අතුපතු ගෑම, අලංකාර කිරීමාදියත් මෛත්‍රි සිතිවිල්ලෙන් සිදුකිරීම තමන්ට යහපතක්ම ගෙනෙනවා.

ඔබ සාර්ථක, වැදගත් සිල්වත් සන්සුන් ශාන්ත පුද්ගලයෙක් නම් මනා සංයමයක් මෛත්‍රීය පැතිරවීමෙන් ඇතිකරගෙන තිබෙන්න ඕනෑ. සිතුවිල්ලෙන් වචනයෙන් ක්‍රියාවෙන් යන තිදොරින්ම මෛත්‍රිය පතුරවන්න ඕනෑ. යමෙක් තුළ ගුණවත්කම, සත්පුරුෂකම, මනුෂ්‍යකම තිබෙනවා කියන්නේ ඔහු මෛත්‍රීය ඇති කෙනෙක්. මෙත්තා, කරුණා මුදිතා උපේක්ෂා යන සතර බ්‍රහ්ම විහරණ වලින් යුක්තව ඇස, කණ, නාසය, දිව, ශරීරය යන පංචේන්ද්‍රයන් දමනයක් පුද්ගලයා තුළ පැවැතිය යුතු වෙනවා. නොයෙක් නොයෙක් දෙයට ඇලෙන්නට ගැටෙන්නට යාමෙන් කිසියම් වැඩදායක යමක් වෙන්නෙ නැහැ. එය ජීවිතයට කරදරමයි උදා කරන්නේ. තමා විසින්ම තම ඉඳුරන් සීමා සහිතව පිනවමින් පාලනයක් ඇතිකරගත යුතු වෙනවා.

හොරෙන් හොරෙන්වත් වැරැදි කරන්න එපා. සිතට බොරු කියන්න එපා. සිතට එකඟව යහපත් ක්‍රියාවන් සිදුකරන්න. නැත්නම් ජීවිතේ අනතුරේ. සැප ලබන්න කැමැතිනම් පින් කරන්න. පිනට බයවෙන්න එපා. පින් කරන්න ලජ්ජාවෙන්න එපා. පින් කුසල් දහම් සිදු නොකළොත් මරණාසන්න මොහොතේ තැවෙන්න වෙනවා. සියලු දෙයෙහි තාවකාලික බව තේරුම් ගෙන අවංකව හිතලා අවංකව වැඩ කරන්න. එය අමිලයි. නිමලයි. එය විශිෂ්ටයි. ලබාගත් දුර්ලභ මනුෂ්‍ය භවය ගුණදහමින් අලංකාර කරගන්න ක්‍රියා කරන්න.

මෛත්‍රීයෙන් යුක්තව ඉදුරන් දමනය කරන්න. එය හුඟක් වටිනවා. දාන, ශීල, භාවනා පින්කම් කරන්න. මනුෂ්‍ය භවයෙදී තමයි පින් කරගන්න පුළුවන්. තාවකාලික සැප බලාපොරොත්තුවෙන් පව්කම් කරන්න එපා. කල්ප ගණන් සැප විඳින්න එදිනෙදා දවස ඵලදායක අයුරින් ගත කරන්න. පින් දහම්හි හැසිරෙමින් සැනසීම ලබන්න.

 

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]