UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

2011 සැප්තැම්බර් 27 වනදා බිනර අමාවක

මේ තරම් සියුමැලි ද කළුගල්

ගීතය තරම් ජනතාවට සමීප වෙනත් කලා අංගයක් නොමැත. එහෙත් ගීත ලෝලීන් ආනන්දයෙන් ප්‍රඥාව කරා යොමු කිරීම වෙනුවට අද සිදුවන්නේ හුදු විනෝදාස්වාදය සැපයීමයි. ඊට ප්‍රධාන වශයෙන් හේතු දෙකක් බලපා ඇතැයි සිතමු. ගීතය වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීම හා සංස්කෘතික සාක්ෂරතාව රහිත පුද්ගලයන් නිර්මාණ කාර්යට පිවසීම එම හේතු දෙක ය.

එ පමණක් ද නො ව මේ ජනකාන්ත කලාව කෙරෙහි විද්වතුන් දක්වන උනන්දුව අල්ප ය. මේ පිළිබඳ ව විවේචනය කිරීම පවා වැදගත් නැතැයි සලකන සෙයකි. මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් ලියන ලද ‘ සින්දු විස්තරය’ නමැති කෘතිය සිංහල ගීත සාහිත්‍යය හැදෑරීම සඳහා ඇති එකම පර්යේෂණ ග්‍රන්ථය විය හැකි ය. සිංහල ගීතයේ ඉතිහාසය එහි මෙ සේ සඳහන් කැර තිබේ.

“ප්‍රථම වරට සින්දු නමැති පදය, සංගීතයට සම්බන්ධ පදයක් ලෙස සිංහල භාෂාවට එක් වන්නේ ක්‍රි. ව. 1409 – 1415 අතර කාලයෙහි රචනා වී යැයි සැලකෙන තිසර සන්දේශයෙනි. එහෙත් තිසර ව්‍යාඛ්‍යායකයන් එකී අභිනව පදයට අරුත් සපයන්නට උත්සුක වූ බවක් පෙනෙන්නට නැත. සින්දු යන පදය සහිත 169 වැනි කවියට ( ඇතැම් සංස්කරණවල 173 වැනි කවිය ) අරුත් සපයන ශ්‍රීමත් ඩී. බී. ජයතිලක සූරීහු “ සින්දු කියමින් ” යන්නට “ ගී කියමින්” යන අරුත සපයති’.

කුමන ආකාරයකින් ඇරඹිය ද සිංහල ගීතය රඳා පැවතියේ සිනමා කර්මාන්තය හා ගුවන් විදුලි සංස්ථාවේ සංගීත වැඩසටහන් මත බව අපි දනිමු. එහෙත් සිංහල සිනමාවේ කඩා වැටීමත්, ගුවන්විදුලි සංස්ථාව දුර්වලවීමත් නිසා තත්ත්වය වෙනස් විය.

සිංහල ගීතය ඉතා සුලබ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වී ඇති මෙ කල ප්‍රථම රාජ්‍ය සංගීත සම්මාන උළෙල පවත්වා ( අගෝස්තු මස 30 වන දා ) සුභාවිත ගීතය යළි සොයා යැමට දැරූ ප්‍රයත්නය අතිශයෙන් අගය කළ යුතු ය. එහි දී හොඳ ම ගායනය, ගී පද රචනය හා සංගීතය සඳහා සම්මාන ලැබූ ගීතය, සංස්කෘතික සාක්ෂරතාව සහිත රචකයකු ගේ දුලබ නිර්මාණයකි. රජී වෙල්ගම විසින් පද රචනය කොට, දර්ශන රුවන් දිසානායක ගේ සංගීතයෙන් හැඩගැන්වී සුනිල් එදිරිසිංහ ගේ හඬින් රසිකයාට දායාද කළ එම ගීතය මෙ සේ ය.

මේ තරම් සියුමැලි ද කළු ගල්
සිතන්නට වත් බැරි නිසා
මම ගියා අවුකන බුදුන්ටත්
දෑස් දුන් මිනිසා සොයා...
කලා වැව ළඟ ඉලුක් හෙවණක
මැටි පිලක පැදුරක් එළා
රිදුම් පිරිමදිමින් බලයි ඔහු
මැරෙන ඉපදෙන රළ දිහා...
ඉසුරුමුනියේ නුඹ තැනූ
පෙම්බරිය කොතැන ද කියා
මා ඇසූ විට හිනැහුණා ඔහු
තවම තනිකඩයයි කියා...

අප මෙය අගය කරනු ලබන්නේ රාජ්‍ය සම්මානයට පාත්‍රවීම නිසා ම නො වන බව කිව යුතු ය. වාණිජවාදී පරමාර්ථවලින් තොර ව මහා නිර්මාණ කළ හෙළ කලාකරුවන්ට පිදෙන උත්තමාචාරයක් බඳු මෙයින් කියැවෙන බෞද්ධ ජීවන දර්ශනය අගය කිරීම අප ගේ යුතුකමක් ලෙස සලකමු.

අපට මෙහි දී සිහිපත් වන්නේ, සෙල් පිළිමය නමැති ගුවන්විදුලි ගීත නාටකයට ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් විසින් ලියා අමරදේවයන් තනුව යොදා ගායනා කළ මෙහි පහත ( කොටසක් )දැක්වෙන ගීතය යි.

ඇඟිලි තුඩුයි ගල් කටුවයි
බුදු බැතියයි එක් වෙලා
මහ ගල්කුළු බිඳගෙන එයි
සම්බුදු ගුණ ගල ගලා
පාරමිතා රැලි දිදී
සලකුණු එයි ඇදි ඇදී
පන්හිඳකුයි තල්පතකුයි
හුරු අතකුයි එක් වුණා
කෝටි ගණන් නෙත් හදවත්
නිවන් මඟට යොමු වුණා
දහම් රසය හා වෙළී
කලා රසය දෙයි රැලී

රජී වෙල්ගම මානවසිංහයන් රචනා කළ මේ ගීතය අනුකරණය කැර ඇතැයි මෙයින් අදහස් නො වේ. එහෙත් සංස්කෘතික සාක්ෂරතාව නිසා මේ නිර්මාණ දෙකෙහි සමරූපීතාවක් දක්නට පුළුවන. අනුකරණයෙන් තොර එම සමරූපීතාව රජී වෙල්ගම ගේ විශිෂ්ටත්වය ප්‍රකාශ කරන්නකි. අප එ සේ කියන්නේ මේ රචකයන් දෙදෙනාම සිංහල බෞද්ධ අධ්‍යාත්මයේ සංකේතය වන බෞද්ධ මූර්ති කලාව විෂය කර ගන්නා බැවිනි. එය කොතරම් වැදගත් දැයි තේරුම් ගැනීම සඳහා මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින් ලියන ලද බුදු දහම සාහිත්‍යය හා කලාව නමැති කෘතිය මෙහි උපුටා දක්වමු.

“ මූර්ති ශිල්පය මිනිසාගේ මනෝ භාවය, ඇදහිලි, විශ්වාස, සමාජ හැසිරීම් හා සෞන්දර්ය අගයන් පෙන්වන ප්‍රබල කලා මාධ්‍යයකි. මානව වර්ගයාගේ ඉතිහාසය අධ්‍යයනය කිරීමේදී විවිධ ශිෂ්ටාචාරයන්ට අයත් ජන කොටස්වල ඇදහිලි හා විශ්වාස පිළිබඳ අවබෝධයක් ලැබීමට වෙනත් ඓතිහාසික මූලාශ්‍රවලට අතිරේකව මූර්ති හා කැටයම් අපේ විශේෂ අවධානයට යොමුවිය යුතු අංශයක් ලෙස සඳහන් කළ යුතු ය” රජී වෙල්ගම නමැති සංස්කෘතික සාක්ෂරතාව සහිත නිර්මාණකරුවා ඇගයීම අපගේ යුතුකමකි.

බිනර අමාවක පෝය

බිනර අමාවක පෝය සැප්තැම්බර් 26 වන දා සඳුදා අපර භාග 08.22 ට ලබයි. 27 වන දා අඟහරුවාදා අපරභාග 04.39 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 27 වන දා අඟහරුවාදාය.

මීළඟ පෝය
ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

සැප්තැම්බර් 27

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]