UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

සදහම් දැනුම

ප්‍රශ්නය
බුද්ධ චරිතයේ එන එක් අවස්ථාවකි මේ. “බුද්ධත්වයට පත්වීමෙන් ප්‍රථම කොට භාග්‍යවතුන් වහන්සේ එකම ඉරියව්වක වැඩහිඳිමින්, සත් දවසක් විමුක්ති සුවය ප්‍රතිසංවේදනය කරමින් එනම් නැවත නැවත වින්දනය කරමින් ගතකොට එදවස් හත ඇවෑමෙන් එම සමාධියෙන් නැගී සිට රාත්‍රියේ ප්‍රථම යාමය තුළ ‘පටිච්ච සමුප්පාදය’ අනුලෝම වශයෙන් මනාව මෙනෙහි කළ සේක. පැහැදිලි කරන්න.

පිළිතුර
එය මෙසේ අනුලෝම වශයෙන් මෙනෙහි කළසේක.

“ මෙය පවත්නා කල්හි මෙයද පවත්නේය. මෙය හටගැනීමෙන් මෙයද හටගනී. මේ නම් කිමෙක්ද යත්, අවිද්‍යාව ප්‍රත්‍ය කොට සංස්කාරයෝ පවත්නාහ

සංස්කාර ප්‍රත්‍යකොට විඤ්ඤාණය පවත්නේය. විඤ්ඤාණය ප්‍රත්‍යකොට නාම රූප පවත්නේය නාම රූප ප්‍රත්‍යකොට සළායතන පවත්නේය. සළායතන ප්‍රත්‍යකොට ඵස්ස පවත්නේය. ඵස්ස ප්‍රත්‍යකොට වේදනා පවත්නේය. වේදනා ප්‍රත්‍යකොට තණ්හා පවත්නේය.

තණ්හා ප්‍රත්‍යකොට උපාදාන පවත්නේය. උපාදාන ප්‍රත්‍ය කොට භව පවත්නේය. භව ප්‍රත්‍යකොට ජාති පවත්නේය. ජාති ප්‍රත්‍යකොට ශෝකය වැලපීම දුක, දොම්නස අසහනය යනාදී මේ මුලු දුක්ඛස්කන්ධයේම හට ගැනීම සිද්ධ වන්නේය.
ඛු.නි. උදානපාලි බෝධිසූත්‍ර

ප්‍රශ්නය
මොහු තුළ මාතෘ පේ‍්‍රමයක් නැතිසේය. සසරදි මොහු මව දරු වූ වාර අනන්ත විය හැකියි. තව තවත් මොහු පසු පස යෑම මුළාවකියි සිතු මෙහෙණිය පුත්‍ර ස්නේහය අතහැර දැමූ භාවනාවට සිත යොමුකොට රහත් ඵලයට පත්වූවාය. මේ පුවතින් කියවෙන රහත් මෙහෙණිය කවුද?

පිළිතුර
කුමාර කාශ්‍යප මාතා රහත් මෙහෙණිය

ප්‍රශ්නය
එකල විසූ භික්‍ෂූන් වහන්සේ අතර උගත්කමින් ගුණ නුවණින් හා ශික්‍ෂාකාමිත්වයෙන්ද වැඩි කෙනෙකු නොවූ බැවින් කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා උන්වහන්සේ වෙත සංඝ රාජපදවියද පිරිනැමීය. තමන් ලැබූ අලුත් පදවිය නිසා “ උඩඟු නොව මහණ යන්න තමා වැඩවසන කුටියට ඇතුලුවන දොරටුවෙහි ලියා තැබූ ඒ හිමියන්ගේ චරිතාපදානයෙහි දැක්වෙයි. මහ සඟ පරපුරේ මෙම සඟ පීතෘවරයාගේ නම කුමක්ද?

පිළිතුර
කන්ද උඩරට තුම්පනේ ප්‍රදේශයේ ජන්ම ලාභය ලැබූ පුත් කුමරෙක් සොළොස්වන වියේහිදී සූරියගොඩ විහාරයෙහිදී “වැලිවිට සරණංකර යන නමින් පැවිදිබව ලැබීය. පැවිදි දා පටන්ම පිඬු සිඟා යාමෙන් යැපුණාහ. ඒ නිසාම “ පිණ්ඩපාතික සරණංකර” යන නමින් සැදැහැවතුන් විසින් පුදනු ලැබීය.

දහම් මග පිළිවෙත් කොට ධර්ම චාරිකාවෙහි නිරතුරුව වැඩම කළ නිසා වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සරණංකර යන නමින් ජනාදරයට පත් වූහ. සඟ රජ කමින් රාජකීය බුහුමනට උන්වහන්සේ පසුව පත්වූහ.

ප්‍රශ්නය

සබ්බේ සංඛාරා අනිච්චා” මෙම ධර්ම පාඨය ධර්මානුකූලව විවරණය කරන්න.

පිළිතුර සමස්කාර (සංඛාර) නම් හේතු ප්‍රත්‍යයන් නිසා හටගත් දෙයයි. ලෝකයේ පවතින සෑම දෙයක්ම සංක්‍ඛාය සත්වයා පුද්ගලයා මම යන සම්මුතියෙන් හඳුන්වන්නේද සංස්කාරයෝය. හේතු ප්‍රත්‍ය නිසා හටගත් නිසා හටගත් දේ විනා සත්‍ය වශයෙන්ම ස්ථාවරව ස්වාධීන ධර්මතාවයක් ලොව නැත. සියල්ල සාපේක්‍ෂකය. සත්වයා යනු ස්කන්ධ (ගොඩවල්) පහකි. මේ එක් එක් ස්කන්ධයක් සංස්කාරයකි. එනම් රූප , වේදනා, සඤ්ඤා , සංඛාරා, විඤ්ඤාණ යන ස්කන්ධ පහයි. මේවා හේතු ප්‍රත්‍ය නිසා හටගත් ඒවාය. ඒ සෑම ස්කන්ධයක්ම මොහොතක් පාසා වෙනස්වේ. ස්ථාවර පැවැත්මක් නැත. ඒ නිසාම අනිත්‍යය. ඒවා දුක් සහගතය.

ප්‍රශ්නය
පංචස්ඛන්ධයන්ගේ නිරෝධයෙන් ලැබෙන අවෙදයික සැපය නිර්වාණය සදාකාලික සැපයකි. ධර්මානුකූ®ලව විවරණය කරන්න.

පිළිතුර
නිර්වාණය උතුම් සැපයක් වන්නේ එහි විඳීමෙන් තොර සැපයක් ඇති හෙයිනි. එහි පුද්ගලයෙකු වශයෙන් විඳිය යුතු ලෞකික වේදනා කිසිවක් නැත. සතර මහා භූතයන්ගෙන් හටගත් කිසිවක් නැත. සුබ අසුබ වශයෙන් භේදයක්ද නැත. නාම රූප ධර්ම කිසිවක් නැත. වේදනාවක් නැත. විඳිනු ලබන කෙනෙක් ද නැත. ආදී වශයෙන් උපත විපත දෙකින් මිදුණු අවේදයිත විමුක්ති සැපයකි. පංචස්ඛන්ධය ඇතිතාක් ජාති ජරා ආදි දුක්වලට පුද්ගලයා ගොදුරුවෙයි. පංචස්ඛන්ධය හැර දැමීමෙන් පිරිනිවන් පෑමෙන් භවගාමි උපතක් සිදු නොවන නිසා සියලු දුකින් නිදහස් වේ.

ප්‍රශ්නය
කායික, වාචසික, මානසික, සියලු යහපත් ක්‍රියා කුසල කර්ම නමින් පෙළ දහමෙහි සඳහන් වෙයි. සියලු යහපත් ක්‍රියා යන්න ධර්මානුකුªලව පැහැදිලි කරන්න.

පිළිතුර
මිනිසා නමින් හඳුන්වනු ලබන සංකීර්ණ සංසිද්ධියෙහි ඉතාමත් වැදගත් අංගය සත්‍ය, යම්කිසිවෙකු පිරිසිදු වන්නේත්, අපිරිසිදු වන්නේත් සිත මූලික වීමෙනි. තමාගේ හොඳම මිතුරා සහ දරුණුම සතුරා (දිසොදිසං යං තං කයිරා වෙරිවා පහ වෙරිනං විච්ඡා පණිහිතං විත්තං) වන්නේත් සිතමය. ඒ නිසාම දේශනාවෙහි සඳහන් වන (චෙතනාහං භික්ඛවෙ කම්මං වදාමි චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා) මහණෙනි! මම චේතනාව කර්මය යැයි පවසමි. සිතින් කයින් හා වචනයෙන් කර්ම කරන්නේ චේතනාවක් ඇති කරගත් පසුවය. යමකු ප්‍රසන්න සිතින් (අලෝභ අදෝස, අමෝහ) කථා කළහොත් ක්‍රියා කළ හොත් තමා අත්නොහැර එන සෙවනැල්ල මෙන් සැප ඔහු පසුපස එයි. (මනසා චෙ පසන්නේන භාසතිවා කරොතිවා තතොනං සුඛ මන්වෙති. ඡායාව අන පායිනී) එසේම යමකු නපුරු සිතින් කතා කළ හොත් ක්‍රියා කළහොත් ගැල අදින ගවයා පසුපස එන රියසක මෙන් දුක ඔහු පසුපසම එයි. (මනසා චෙ පදුට්ඨෙන භාසතිවා කරොතිවා තතොනං දුක්ඛ මන්වෙති. චක්කංච වහතො පදං) මේ අනුව යහපත් ක්‍රියා (පසන්න චෙතසා) ලෝභ, දෝෂ ,මෝහ යන අකුසල චෛතසිකයින් ගෙන් මිදුණු සිත මුල්කොට ගත් ක්‍රියා වශයෙන් සැලකිය හැකිය.

ප්‍රශ්නය
සත්වයාගේ ප්‍රකෘති සිත ප්‍රභාස්වර වස්තුවකි. එනිසා තථාගතයන් වහන්සේ පභස්සරමිදං භික්ඛවෙ චිත්තං තංච ඛො ආගන්තුකයෙහි උපක්කි ලෙසෙහි උපක්කිලිට්ඨං යනුවෙන් වදාළහ. මහණෙනි! සත්වයාගේ ප්‍රකෘති සිත ප්‍රභාස්වරය (පැහැපත්ය)සිත බාහිර ක්ලේෂයන් නිසා කිලිටුවේ. මෙම ආගන්තුක උපක්ලෙෂ මොනවාද?

පිළිතුර
ප්‍රභාස්වර සිත කිලිටි වන්නාවු උපක්ලේෂ නම් ක්‍රෝධය උපනාහය , මක්ඛ , පලාස, ඉස්සා මච්ඡරිය, මායා, සාඨෙය්‍ය ආදි කෙලෙස් මල කම්මාරො රජතස්සෙව, නිද්ධමෙ මල මත්තනො. රන්කරුවා ගිනියම් කරමින් රන්රිදී ලෝහයෙහි මල හරින්නාක් මෙන් සිතෙහි බැඳි කෙලෙස් මල ඉවත්කල යුතු යැයි බුදුහු වදාළහ.

ප්‍රශ්නය
දස සංයෝජන වලින් ‘සක්කාය දිට්ඨි’ යද එකකි. පැහැදිලි කරන්න.

පිළිතුර
පුද්ගල සත්ව යනු රූප වේදනා සඤ්ඤා සංඛාර, විඤ්ඤාණ, යන ස්කන්ධ පංචකයයි. මෙම ස්කන්ධ යන නිතර වෙනස්වනසුලු යන අර්ථයෙන් අනිත්‍යය. අනිත්‍ය වූ යමක සුවදායක පැවැත්මක් නැත. එය දුකකි. දුක් දනවන යමක් මමායනයෙන් (මගේ හැඟීමෙන්) ගැනීම සසරට බැසීමකි. සක්කාය දිට්ඨිය සංයෝජනයක් වන්නේ ඒ නිසයි.

ප්‍රශ්නය
ආත්මාර්ථය හා පරාර්ථය හැඳින ගැනීමටද දෙලොව අභිවෘද්ධිය සඳහා ද අවකාශ නොදී ආවරණය කරන නිසාම ක්ලේශ ධර්ම පසක් නීවරණ වශයෙන් පෙල දහමෙහි හැඳින්වෙයි. නීවරණ ධර්ම නාමික වශයෙන් සඳහන් කරන්න.

පිළිතුර
1. කාමච්ඡන්ද නීවරණ
පස්කම් සැප කෙරෙහි ඇති කරගන්නා රාගය ලොල්බව

2. ව්‍යාපාදය නීවරණ ව්‍යාපාදයෙන් පීඩිත මනසක් ඇත්තා යහපත නොදනී.

3. ථීන මිද්ධ නීවරණය
සිත්හි උදාසීන බව හා පසුබැසීමය.

4. උද්ධච්ච කුක්කුච්ච නීවරණය
සිතෙහි හට ගන්නා නොසන්සුන් බව විසිරුණු ස්වභාවය උද්ධච්චයයි.

5. විචිකිච්ඡා නීවරණය
බුද්ධාදී අටතැන්හි ඇතිවන සැකයයි. මෙම නීවරණය ප්‍රඥාව දුබල කරයි.

මැදින් අමාවක පෝය

මැදින් අමාවක පෝය අප්‍රේල් 02 වන දා සෙනසුරාදා අපර භාග 05.36 ට ලබයි.
03 වන දා ඉරිදා අපර භාග 08.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අප්‍රේල් 02 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය
අප්‍රේල් 11 වනදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

Full Moonපසෙලාස්වක

අප්‍රේල් 17

Second Quarterඅව අටවක

අප්‍රේල් 25


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]