UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විවිධ විතර්කයන්ගෙන් සිත නිදහස් කිරීම

මහණෙනි, බුදුවන්නට කලින්, බුදු නොවූ බෝධි සත්ව වූ, මට මේ අදහස ඇතිවිය. මම විතර්කයන් (කල්පනාවන්) දෙකොටසක් කොට බෙදා වාසය කරන්නෙම් නම් හොඳයි කියායි. මහණෙනි, ඒ මම යම් මේ කාම විතර්කයක් (කාමයන් පිළිබද කල්පනාවක්) වේද යම් ව්‍යාපාද විතර්කයක් (ක්‍රෝධ කලපනාවක්) වේද යම් විහිංසා විතර්කයක් (හිංසා කල්පනාවක්) වේද, මේ අකුසල කල්පනා එක් කොටසක් කෙළෙමි

එක් කලක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහි අනේපිඬු මහ සිටාණන් විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවාසය කරති. එකල්හි උන්වහන්සේ භික්‍ෂූන් අමතා තමන් වහන්සේ බෝසත් අවධියේ පුහුණු කළ විතර්කයන් (කල්පනාවන්) දෙකක් පිළිබඳ දේශනා කළහ. (ද්වෙධාවිතක්ක සූත්‍රය-මජ්ක්‍ධිම නිකාය) මෙම කල්පනාවන් තුළින් බෝසත් අවධියෙහි තම සිතෙහි ඇති වූ විවිධ විතර්කයන් මැඩ පැවැත් වූ අයුරු මනා ලෙස උපමානුසාරයෙන් මෙහි විස්තරව ඇත. මෙම කල්පනාවන් පුහුණු කිරීම තුළින් සිත සමාධියට මෙන්ම විදර්ශනාවට ද යොමුවන අයුරු මනා ලෙස මෙහි විස්තරව ඇත.පෙළ දහමට අනුව එම ක්‍රමවේදයන් විස්තරාත්මකව විමසා බලමු.

මහණෙනි, බුදුවන්නට කලින්, බුදු නොවූ බෝධි සත්ව වූ, මට මේ අදහස ඇතිවිය. මම විතර්කයන් (කල්පනාවන්) දෙකොටසක් කොට බෙදා වාසය කරන්නෙම් නම් හොඳයි කියායි. මහණෙනි, ඒ මම යම් මේ කාම විතර්කයක් (කාමයන් පිළිබද කල්පනාවක්) වේද යම් ව්‍යාපාද විතර්කයක් (ක්‍රෝධ කලපනාවක්) වේද යම් විහිංසා විතර්කයක් (හිංසා කල්පනාවක්) වේද, මේ අකුසල කල්පනා එක් කොටසක් කෙළෙමි.

යම් නෛෂ්ක්‍රම්‍ය (කාමයන්ගෙන් වෙන්වීමේ) කල්පනාවක් වේද, යම් අව්‍යාපාද (මෛත්‍රි සහගත) කල්පනාවක් වේද යම් අවිහිංසා (හිංසා නොකිරීමේ) කල්පනාවක් වේද මේ කුසල කල්පනා දෙවෙනි කොටස කෙළෙමි.

කාම කල්පනා
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව වාසය කරන්නාවූ ඒ මට කාම කල්පනාවක් උපදියිද ඒ මම මෙසේ දනිමි. මට මේ කාම කල්පනාව උපන්නීය.

ඒ කාම කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතියි. අන්‍යයාහටද දුක් පිණිස පවතී.

දෙපක්‍ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්‍ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.

මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නා වූ මගේ සිතේ උපන් කාම කල්පනාව විනාශයට යයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතියි කියා සලකන්නා වූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යයි. දෙපක්‍ෂයටම දුක් පිණිස පවතීයි සලකන්නා වූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්‍ෂයෙහි සිටියාය, නිවන් පිණිස නොපවතින්නේයැයි සලකන්නා වූ මා තුළ උපන් කාම කල්පනාව විනාශයට යයි. මහණෙනි, ඒ මම උපන් කාම සහගත කල්පනාව දුරුකෙළෙමි . බැහැර කෙළෙමි. ඉතිරි නොකෙළෙමි.

ක්‍රෝධ කල්පනා
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව වාසය කරන්නා වූ ඒ මට ක්‍රෝධ සහගත කල්පනාවක් පහළ වෙයිද, ඒ මම මෙසේ දනිමි. මට මේ ක්‍රෝධ සහගත කල්පනාව උපන්නීය. ඒ ක්‍රෝධ සහගත කල්පනාව වනාහි තමහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්‍ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්‍ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.

මහණෙනි, තමහට දුක් පිණිස පවතීයැයි කියා සලකන්නා වූ මගේ සිතේ උපන් ක්‍රෝධ සහගත කල්පනාව විනාශයට යයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයැයි කියා සලකන්නා වූ මා තුළ උපන් ක්‍රෝධ සහගත කල්පනාව විනාශයට යයි. දෙපක්‍ෂයටම දුක් පිණිස පවතීයැයි සලකන්නාවූ මා තුළ උපන් ක්‍රෝධ සහගත කල්පනාව විනාශයට යයි. ප්‍රඥාව වළකන්නේ, දුක් පක්‍ෂයෙහි පිහිටියේ යැයි නිවන් පිණිස නොපවතින්නේයැයි සලකන්නා වූ මා තුළ උපන් ක්‍රෝධ සහගත කල්පනාව විනාශයට යයි. මහණෙනි, ඒ මම උපන් ක්‍රෝධ සහගත කල්පනාව දුරු කෙළෙමි. බැහැර කෙළෙමි. ඉතිරි නොකෙළෙමි.

හිංසා කල්පනා
මහණෙනි, මෙසේ අප්‍රමාදව, කෙලෙස් තවන වීර්ය ඇතිව වාසය කරන්නා වූ ඒ මට හිංසා කිරීමේ කල්පනාව පහළ වෙයිද ඒ මම මෙසේ දනිමි. මට මේ හිංසා කිරීමේ කල්පනාව උපන්නීය. ඒ හිංසා කිරීමේ කල්පනාව වනාහි තමාහටද දුක් පිණිස පවතී. අන්‍යයාහටද දුක් පිණිස පවතී. දෙපක්‍ෂයටමද දුක් පිණිස පවතියි. ප්‍රඥාව වළකන්නීය. දුක් පක්‍ෂයෙහි සිටියාය. නිවන් පිණිස නොපවත්නීය.

මහණෙනි, තමහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නා වූ මගේ සිතේ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යයි. මහණෙනි, පරහට දුක් පිණිස පවතීයයි කියා සලකන්නා වූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යයි. දෙපක්‍ෂයටම දුක් පිණිස පවතීයයි සලකන්නා වු මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යෙයි. ප්‍රඥාව වළකන්නීය, දුක් පක්‍ෂයෙහි සිටියාය, නිවන් පිණිස නොපවත්නේයැයි සලකන්නා වූ මා තුළ උපන් හිංසා කිරීමේ කල්පනාව විනාශයට යයි. මහණෙනි, ඒ මම උපන් හිංසා කිරීමේ කල්පනාව දුරු කෙළෙමි. බැහැර කෙළෙමි. ඉතිරි නොකෙළෙමි.

කල්පනාව අනුව යන සිත
මහණෙනි, මහණතෙම යම් කල්පනාවක් බොහෝ කොට නැවත නැවත කල්පනා කරයිද, නැවත නැවත සිත්හි පවත්වයිද, ඒ ඒ පරිද්දෙන් හිතේ නැමීම වෙයි. මහණෙනි, ඉදින් මහණතෙම කාම විතර්කය බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත පවත්වයිද, කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව දුරු කෙළේද, කාම කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත කාම විතර්කය පිණිස නැමෙයි.

මහණෙනි, ඉදින් මහණතෙම ක්‍රෝධ කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයිද,ක්‍රෝධයෙන් වෙන්වීමේ කල්පනාව දුරු කළේද, ක්‍රෝධ කල්පනා බහුල කළේද, ඔහුගේ ඒ සිත ක්‍රෝධ කල්පනා පිණිස නැමෙයි.

මහණෙනි, ඉදින් හිංසා කිරීමේ කල්පනා බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි පවත්වයිද, විහිංසාවෙන් වෙන්වීමේ කල්පනාව දුරු කෙළේද, විහිංසා කල්පනා බහුල කෙළේද ඔහුගේ ඒ සිත විහිංසා කල්පනාව පිණිස නැමෙයි.


ගොපල්ලා හා ගවයන්
මහණෙනි, යම්සේ වැහි කාලයට අයත් අන්තිම මාසයෙහි සරත් කාලයෙහි ගොයමට යෑම වැළැක්විය යුතු කල්හි, ගොපලුතෙම ගවයන් පාලනය කෙරේද, හෙතෙම ඒ ගවයන්ට ඒ ඒ පැත්තෙන් කෙවිටෙන් පහර දෙන්නේය. නැවත නැවත පහර දෙන්නේය. ඔබ මොබ යා නොදී වළකන්නේය. ඊට හේතු කවරේද? මහණෙනි, ගොපලුතෙම ඒ ගවයන් හොඳින් බලා නොගැනීම හේතු කොටගෙන පැමිණිය හැකි හිංසා , පීඩාද, වධ බන්ධනද , ධන හානියද, නින්දා අපහාසද දකියි. මමද මහණෙනි, එසේම අකුශල ධර්මයන්ගේ දෝෂයද, ලාමක බවද, කෙලෙසීමද, කුශල ධර්මයන්ගේද, කාමයන්ගෙන් වෙන්වීමෙහි අනුසස්ද පිරිසුදු බවද දුටුවෙමි.

කාම විතර්කයෙන් වෙන්වීම සැපයකි
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නා වූ ඒ මට කාමයන්ගෙන් නික්මීමේ කල්පනාව උපදීද, ඒ මම මෙසේ දනිමි. මට මේ කාමයන්ගෙන් වෙන්වීමේ කල්පනාව උපන්නේය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්‍ෂයටමද දුක් පිණිස නොවෙයි. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්‍ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුළු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. දවල් කාලය මුළුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිම්. රෑ දවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොම දකිමි.

එසේ වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නාවූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි. ශරීරය ක්ලාන්ත වූ විට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත් වෙයි. මහණෙනි, ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමි. හිඳුවමි. එකඟ කරමි. මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි සිතමි.

ක්‍රෝධ විතර්කයෙන් වෙන්වීම සැපයකි
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව, කාය ජීවිත පරිත්‍යාග කොට වාසය කරන්නා වූ ඒ මට මෛත්‍රි සහගත කල්පනාව උපදියිද, ඒ මම මෙසේ දනිමි. මට මේ මෛත්‍රී සහගත කල්පනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි. දෙපක්‍ෂයටම දුක් පිණිසද නොවෙයි. ලෞකික ලෝකෝක්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්‍ෂයෙහි නොවෙයි. නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුළු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. දවල් කාලය මුළුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. රෑ දවල් දෙක්හිම කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි.

එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි. ශරීරරය ක්ලාන්ත වූ විට සිත නොසන්සුන් වෙයි. නොසන්සුන්වූ කල්හි සමාධිය කෙරෙන් සිත ඈත් වෙයි. මහණෙනි, ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමි. හිඳුවමි. එකඟකරමි. මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි සිතමි.

හිංසා විතර්කයෙන් වෙන්වීම සැපයකි
මහණෙනි, මෙසේ අප්‍රමාදව කෙලෙස් තවන වීර්ය ඇතිව වසන්නා වූ ඒ මම මෙසේ දකිමි. මට මේ හිංසා නොකිරීමේ කල්පනාව උපන්නීය. ඒ වනාහි තමහට දුක් පිණිසද නොවෙයි. පරහට දුක් පිණිසද නොවෙයි.

දෙපක්‍ෂයටම දුක් පිණිසද නොවෙයි. ලෞකික ලෝකෝත්තර ප්‍රඥාව වඩයි. දුක් උපදවන පක්‍ෂයෙහි නොවෙයි.

නිවන් පිණිස පවත්නේය. මහණෙනි, මුළු රාත්‍රියෙහිම එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොටගෙන භයක් නොමදකිමි. දවල් කාලය මුළුල්ලෙහි එය කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතුකොට ගෙන භයක් නොම දකිමි. රෑ දවල් දෙක්හි කල්පනා කළත් නැවත නැවත කල්පනා කළත් ඒ හේතු කොටගෙන බියක් නොදකිමි.

එසේද වුවත් බොහෝ වේලාවක් කල්පනා කරන්නා වූ මාගේ ශරීරය ක්ලාන්ත වෙයි. ශරීරය ක්ලාන්ත වූ විට සිත නොසන්සුන් වෙයි. සිත නොසන්සුන් වූ විට සමාධිය කෙරෙන් සිත ඈත් වෙයි. මහණෙනි, ඒ මම ඇතුළත්හිම සිත මනාව තබමි. හිඳුවමි. එකඟ කරමි. මනාව පිහිටුවමි. ඊට හේතු කවරේද? මාගේ සිත නොවිසිරේවායි සිතමි.

මහණෙනි, මහණතෙම යම් යම් කල්පනාවක් බහුලව නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, ඒ ඒ ආකාරයෙන් නැමීම වෙයි.

මහණෙනි, ඉදින් මහණතෙම කාමයෙන් වෙන්වීමේ කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිතේ පවත්වයිද, කාම කල්පනා බැහැර කෙරේද, කාමයෙන් වෙන්වීමේ කල්පනාව බහුල කෙරේද, ඔහුගේ සිත කාමයෙන් වෙන්වීමේ කල්පනාව පිණිස නැමෙයි.

මහණෙනි, ඉදින් මහණතෙම මෛත්‍රී කල්පනාව බොහෝ කොට නැවත නැවත කල්පනා කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, ක්‍රෝධ කල්පනා බැහැර කෙරේද, මෛත්‍රි කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්‍රි කල්පනාව පිණිස නැමෙයි.

මහණෙනි, ඉදින් මහණතෙම හිංසා නොකිරීමේ කල්පනා බොහෝ කොට කෙරේද, නැවත නැවත සිත්හි කෙරේද, හිංසා කිරීමේ කල්පනා බැහැර කෙරේද, මෛත්‍රි කල්පනා බහුල කෙරේද, ඔහුගේ ඒ සිත මෛත්‍රී කල්පනාව පිණිස නැමෙයි.

එකඟ වූ සිත
මහණෙනි, යම්සේ ගී‍්‍රෂ්ම ඍතුවට අයත් අන්තිම මාසයෙහි සියලු ශස්‍යයන් ගමට ගෙන ගිය කල්හි ගොපලුතෙම ගවයන් නොරක්නේද, ගසක් යටට වී හෝ එළිමහන් තැනකට වී හෝ මේ ගවයන් යැයි සිහිකිරීම පමණක් ඔහුට ප්‍රමාණවත් වෙයිද, මහණෙනි, එපරිද්දෙන්ම මේ ධර්මයන් යැයි සිහිකිරීම පමණක් ප්‍රමාණවත්ය.

මහණෙනි, ඒ මාගේ වීර්ය නොහැකිළි ආරම්භ විය. සිහිය එළඹ සිටියාය. කය සංසිඳුණේය. සැහැල්ලු විය. සිත සමාධිමත් විය. එකඟවිය.

මහණෙනි, ඒ මම කාමයෙන් වෙන්වම සියලු අකුශලයන්ගෙන් වෙන්වම විතර්ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් හටගත් පී‍්‍රතිය හා සැපය ඇති ප්‍රථම ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි. විතර්ක විචාර දෙදෙනාගේ සන්සිඳීමෙන් හිතේ පැහැදීම ඇත්තා වූ, හිතේ එකඟකම ඇත්තා වූ විතර්ක රහිත වූ විචාර රහිත වූ සමාධියෙන් හටගත් පී‍්‍රතිය හා සැපය ඇති දෙවෙනි වූ ධාන්‍යයට එළඹ වාසය කෙළෙමි. පී‍්‍රතිය ඉක්මවීමෙන් උපේක්‍ෂා ඇත්තේ සිහි නුවණින් යුක්ත වූයේ කයින් සැපය වින්දෙමි. යම් ධ්‍යානයක් උපෙක්‍ෂා ඇත්තේ සිහියෙන් යුක්ත වූයේ සැප විහරණ ඇත්තේ යැයි ආර්යයෝ කියත්ද, ඒ තුන් වැනි ධ්‍යානයට එළඹ වාසය කෙළෙමි.

ධ්‍යානගත වූ සිත හා පෙර උපන් ජාති සිහිපත් කිරීම
සැපද නැති කිරීමෙන් දුක්ද නැති කිරීමෙන් කල් ඇතිවම සොම්නස් දොම්නස් දෙක අතුරුදන් කිරීමෙන් දුක් නැත්තා වූ සැප නැත්තා වූ උපේක්‍ෂාවෙන් හටගත් සිහිය පිළිබඳ පිරිසුදු බැව් ඇති සතරවැනි ධ්‍යානයට එළඹ වාසය කළෙමි. ඒ මම මෙසේ හිත සමාධියෙන් එකඟ වූ කල්හි, පිරිසුදු වූ කල්හි දීප්තිමත් වූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි පහවූ උවදුරු ඇති කල්හි, මෘදු වූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටිකල්හි පෙර විසූ කඳ පිළිවෙළ දැනීම පිණිස සිත නැමුයෙමි. ඒ මම නොයෙක් ආකාර වූ පූර්වේනිවාසය (පෙර උපන් ජාති) සිහි කරමි. එනම් එක් ජාතියක්ද ,ජාති දෙකක්ද, ජාති තුනක්ද, ජාති සතරක්ද, ජාති පහක්ද, ජාති දශයක්ද , ජාති විස්සක්ද ,ජාති තිසක්ද, ජාති සතළිසක්ද, ජාති පනසක්ද, ජාති සියයක්ද,ජාති දහසක්ද, ජාති ලක්‍ෂයක්ද, නොයෙක් සංවර්ත (විනාශවන) කල්පයන්ද, නොයෙක් වර්ත (හැදෙන) කල්පයන්ද, නොයෙක් සංවර්ත විවර්ත කල්පයන්ද,අසුවල් තැන උපන්නෙමි. එහි මේ නම් ඇත්තේ වුණෙමි, මෙබඳු වර්ණ ඇත්තේ වුණෙමි, මෙබඳු ආහාර ඇත්තේ වුණෙමි, මෙබඳු ගෝත්‍ර ඇත්තේ වුණෙමි, මෙබඳු ශරීර වර්ණ ඇත්තේ වුණෙමි, මෙබඳු ආහාර ඇත්තෙක් වුණෙමි, මෙබඳු සැප දුක් විඳින්නෙක් වුණෙමි, මෙබඳු ආයුධ ඇත්තේ වුණෙමි, ඒ මම එතැනින් චුතව මේ මනුෂ්‍ය භවයෙහි උපන්නෙමියි මෙසේ ආකාර සහිත වූ , නන් වැදෑරුම් වූ පෙර විසු කඳ පිළිවෙළ සිහි කරමි.

මහණෙනි, මා විසින් රාත්‍රියේ පළමුවෙනි යාමයෙහි මේ පළමුවන විද්‍යාව (පෙර විසූ තැන් දන්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නකුට යම්සේ සිදුවිය යුතු නම් එසේ විය.

ධ්‍යානගත වූ සිත හා චුති – උප්පත්ති දැකීම
ඒ මම මෙසේ හිත සමාධියෙන් එකග වූ කල්හි, පිරිසුදුවු කල්හි, දීප්තිමත් වූ කල්හි, කෙලෙස් පහව ගිය කල්හි, සිත මෘදුවූ කල්හි, කාර්යයට සුදුසුව සිටි කල්හි, චංචල නොවී සිටි කල්හි, සත්වයන්ගේ චුති උත්පත්ති දැකීම , පිණිස සිත නැමීමි. ඒ මම පිරිසුදු වූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්, චුතවන්නා වූ ද, උපදින්නා වූ ද, ලාමක වූ ද, ප්‍රණීත වූද, මනා වර්ණ ඇත්තා වූ ද, මනා වර්ණ නැත්තා වූ ද, යහපත් ගති ඇත්තා වූ ද, අයහපත් ගති ඇත්තා වූ ද, කර්මය පරිදි මිය ගියා වූ සÀවයන් දකිමි.

ඒකාන්තයෙන් මේ සත්වයෝ කාය දුශ්චරිතයෙන් යුක්ත වූවාහු. වාග් දුශ්චරිතයෙන් යුක්ත වූවාහු. මනෝ දුශ්චරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් කීවාහු, මිථ්‍යාදෘෂ්ඨි ගත්තාහු, මිථ්‍යාදෘෂ්ඨි කර්ම අනුමත කළාහුය.(එහෙයින්) ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු සැපයෙන් පහ වූ නපුරු ගති ඇති, යටිකුරුව වැටෙන නරකයෙහි උපන්නාහුයයිද, මේ පින්වත් සත්වයෝ වනාහි කාය සුචරිතයෙන් යුක්ත වූවාහු, වාග් සුචරිතයෙන් යුක්ත වූවාහු, මනෝ සුචරිතයෙන් යුක්ත වූවාහු, ආර්යයන්ට දොස් නොකීවාහු, සම්‍යක්දෘෂ්ඨි ඇත්තාහු, සම්‍යක්දෘෂ්ඨී කර්ම සමාදන් වූවාහු වන හෙයින් ඔවුහු කය බිඳීමෙන් මරණින් මතු ස්වර්ග ලෝකයෙහි උපන්නාහුයැයිද මෙසේ පිරිසුදුව,ූ මිනිස් ඇස ඉක්මවා සිටි දිවැසින්,චුත වන්නා වූ ද, උපදින්නා වූ ද, ලාමක වුද, ප්‍රණීත වූ ද, මනා වර්ණ ඇත්තා වූ ද, මනා වර්ණ නැත්තා වූ ද, යහපත් ගති ඇත්තා වූ ද, අයහපත් ගති ඇත්තා වූ ද, කර්මය පරිදි මිය ගියා වූ සත්වයන් දකිමි.

මහණෙනි, මා විසින් රාත්‍රියෙහි මැද යාමෙහි මේ දෙවන විද්‍යාව (චුතවීම් , ඉපදීම්, දක්නා නුවණ) ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නිය. අඳුර (මෝහය) නසන ලද්දේය. ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නකුට යම් සේ සිදුවිය යුතු නම් එසේ විය.

ධ්‍යානගත වූ සිත හා සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වීම

ඒ මම මෙසේ සිත එකඟ වූ කල්හි ආශ්‍රවක්ෂයකර ඥානය (කෙලෙස් නැති කරන) නුවණ පිණිස සිත නැමුයෙමි. ඒ මම මෙය දුකයයි තතු සේ දත්තෙම්. මේ දුක් ඉපදීමට හේතුව යැයි තතුසේ දත්තෙමි.

මේ දුක් නැති කිරීම යැයි තතු සේ දත්තෙමි. මේ දුක් නැති කිරීමේ මාර්ගයයැයි තතු සේ දත්තෙමි. මොහු ආශ්‍රවයෝ (කාම ආදී කෙලෙස්) යයි තතුසේ දැන ගතිමි.

මේ ආශ්‍රවයන්ගේ හටගැන්මයැයි තතුසේ දැන ගතිමි. මේ ආශ්‍රවයන්ගේ නැති කිරීමයැයි තතුසේ දැනගතිමි. මේ ආශ්‍රවයන් නැති කිරීමේ මාර්ගයයි තතු සේ දැන ගත්තෙමි. මෙසේ දන්නා වූ මෙසේ දක්නා වූ ඒ මාගේ් සිත කාමාශ්‍රවයෙන්ද මිදුණේය.

භවාශ්‍රවයෙන්ද මිඳුණේය. අවිද්‍යාශ්‍රවයෙන්ද මිඳුණේය. මිඳුණ කල්හි මිඳුණේයැයි දැනීම පහළ විය.උත්පත්තිය කෙළවර විය.

බ්‍රහ්මචර්යාව වැස නිමවන ලදී. කළයුත්ත කරන ලදී.මේ අර්හත්වය පිණිස කළ යුතු අනිකක් නැත්තේයයි දත්තෙමි.

මහණෙනි, රාත්‍රියෙහි පශ්චිම යාමයෙහි මේ තුන්වෙනි විද්‍යාව (ආශ්‍රවක්ෂයකර ඤාණ නම් වූ අර්හත් මාර්ගය) මා විසින් ලබන ලදී. එය වසන අවිද්‍යාව නසන ලදී. විද්‍යාව උපන්නීය.

අඳුර (මෝහය) නසන ලද්දේය.ආලෝකය උපන්නේය. අප්‍රමාදව, කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව වාසය කරන්නකුට යම් සේ සිදුවිය යුතු නම් එසේම විය.

මුව සමූහය හා අනර්ථය කැමැති පුරුෂයා
මහණෙනි, මහ වනයෙහි මහ වන ලැහැබක මහත් වූ මිටි වූ තැනිතලාවක් යම් සේ වේද, ඒ මේ තැනිතලාවක් ඇසුරුකොට මහත් මුව සමුහයෙක් වාසය කෙරෙති. ඒ මෘග සමූහයාට අනර්ථය කැමැත්තා වූ අවැඩ කැමැත්තා වූ අභය නොකැමැත්තා වූ කිසියම් පුරුෂයෙක් තෙම පහළ වෙයි. හෙතෙම ඒ ස්ථානයට භය නැතිව පහසුවෙන් යා හැකි මාර්ගය වසන්නේය. නපුරු මග විවෘත කරන්නේය. දඬුමුවා සිටුවන්නේය. දඬුමුවදෙන සිටුවන්නේය. මහණෙනි, මෙසේ වූ කල්හි ටික කලකින් ඒ මහා මුව සමූහයා විනාශයට , තුනී බවට පැමිණෙන්නේය.

මුව සමූහය හා අර්ථය කැමැති පුරුෂයා
මහණෙනි, එම මහත් මුව සමූහයාගේ අභිවෘද්ධිය කැමැත්තා වූ වැඩ කැමැත්තා වූ අභය කැමැත්තාවූ කිසියම් පුරුෂයෙක් පහළ වෙයි. හෙතෙම ඒ ස්ථානයට භය නැතිව පහසුවෙන් යා හැකි මාර්ගය විවෘත කරන්නේය. නපුරු මාර්ගය වසන්නේය. දඬුමුවා නසන්නේය. දඬුමුවදෙන නසන්නේය. මහණෙනි, මෙසේ වූ කල්හි ඒ මහත් මුව සමූහය ටික කලකින් අභිවර්ධනයටද , දියුණුවටද , ස්ථිර බවටද මහත් බවටද පැමිණෙන්නේය.

මුව සමූහය හා පුරුෂයා යනු කවරහුද?
මහණෙනි, අර්ථය තේරුම් කිරීම පිණිස මා විසින් මේ උපමාව දක්වන ලදී. මෙහි මේ අර්ථයයි. මහණෙනි, මහත් වූ මිටියාවත යනු පංචකාමයන්ට නමෙකි. මහණෙනි, මහා මෘග සමූහය යනු සත්වයන්ට නමකි. අවැඩ කැමැති, අනර්ථය කැමැති, අභය නොකැමැති පුරුෂයා යනු මාරයාට නමකි. නපුරු මාර්ගය යනු අංග අටකින් යුක්ත වූ වැරැදි මාර්ගයට නමකි. එනම් වැරැදි දැකීම, වැරැදි කල්පනාව, වැරැදි වචනය, වැරැදි කර්මාන්තය, වැරැදි ආජීවය, වැරැදි ව්‍යායාමය, වැරැදි සිහිය, වැරැදි සමාධිය යන අටයි. මහණෙනි, දඬුමුවා යනු තෘෂ්ණාවට නමෙකි. මහණෙනි, දඬුමුවදෙන යනු අවිද්‍යාවට නමකි. වැඩ කැමැති අර්ථය කැමැති, අභය කැමැති පුරුෂයා යනු අර්හත් වූ සම්‍යක්සම්බුද්ධ වූ තථාගතයන් වහන්සේට නමකි. යහපත් මාර්ගය යනු ආර්ය අෂ්ටාංගික මාර්ගයට නමකි. එනම්, නිවැරැදි, දැකීම. නිවැරැදි කල්පනාව, නිවැරැදි වචනය, නිවැරැදි කර්මාන්තය, නිවැරැදි ජීවිකාව, නිවැරැදි උත්සාහය, නිවැරැදි සිහිය, නිවැරැදි සමාධිය යන අටයි. මහණෙනි, මෙසේ වනාහි මා විසින් නිර්භය වූ සැප පමුණුවන්නා වූ පහසුවෙන් යා හැකි මාර්ගය විවෘත කරන ලද්දේය. නොමඟ වසන ලද්දේය. දඬුමුවා නසන ලද්දේය. දඬුමුවදෙන නසන ලද්දේය.

මහණෙනි, ශ්‍රාවකයන්ට හිතවත් වූ අනුකම්පා ඇති ශාස්තෘ කෙනෙකු විසින් අනුකම්පාවෙන් යම්බඳු යහපතක් කළයුතුද, එය මා විසින් ඔබලාට නොඅඩුව කරන ලදී. මහණෙනි,මේ ගස් මුල් ඇත්තාහ. හිස් ගෙවල් ඇත්තාහ. එහි ගොස් භාවනා කරන්න. ප්‍රමාද නොවන්න. පසුතැවිලි නොවන්න. ඔබලාට අපගේ මේ අනුශාසනාවයි.

භාග්‍යවතුන් වහන්සේ මෙම දම් දෙසුම වදාළහ. සතුටු වූ ඒ භික්‍ෂූහු භාග්‍යවතුන් වහන්සේගේ වචනය සතුටින් පිළිගත්හ.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]