UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

උඳුවප් අමාවක පෝදා 2011 . 01 . 03

තෝර් දෙවියන් වැඳීම

දැනුම, බුද්ධිය හා ප්‍රඥාව යනුවෙන් පසුගිය බක්පුර පසළොස්වක පොහොය දින (එනම් 2010.03.29 වන දින) බුදුසරණ පත්‍රයට කේ.එම්.ඒ. ජයවර්ධන මහතා විසින් ලියන ලද ලිපියක කොටසක් මෙහි පහත උපුටා දක්වමු.

‘දැනුම බලයකි යන්න ඉංගී‍්‍රසි දාර්ශනිකයකු වූ ප්‍රැන්සිස් බේකන් පවසා ඇත. ඔහු සලකා ඇත්තේ මිනිසා සතු පරිකල්පන ශක්තිය හා එය මෙහෙයවා කළ හැකි කාර්යභාරය පිළිබඳ ව ය. ඔහු පවසන ආකාරයට, ඥාන ශක්තියෙන් අනූන වූ මිනිසා සමීපයට වෙනත් සත්වයකුට සමීප විය නො හැකි ය. චීන කියමනකට අනුව ඥානය යනු ඉගෙනීමකි.’ ඒ අනුව කෙනකුට අහිමි නො වන එක ම වස්තුව ඥානය නො හොත් උගත්කම ය. එ බැවින් ඥානය පරිපූර්ණ වූ කල්හි ඊට ප්‍රඥාව යැයි ද කියැ වේ. ‘දැනුම දුකසේ උපදවා ගත යුත්තකි’ යන්න ද චීන කියමනකි. මේ අනුව අලගියවන්න මුකවෙටි තුමා ද සිය සුභාෂිතය තුළින් උගතමනා ශිල්පයමයි මතු රැකෙනා’ යනුවෙන් පවසා ඇති කරුණ උක්ත කියමන සමඟ මනාවට ගළපා ගත හැකි ය. දැනුම් සම්පත්තිය නිධානයක් බවත් එය සතු පුද්ගලයා යන යන තැන ගෙනියන බවත් චීන ජනතාව සලකති.’

දැනුම, ප්‍රඥාව හා බුද්ධිය පිළිබඳ ව මෙහි දැක්වෙන අදහස් ඉතාමත් වැදගත් ය. විශේෂයෙන් ම 2600 වන සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙන අද දවසේ මේ ගැන කතා කිරීම අත්‍යවශ්‍ය කරුණකි. අප සමාජය සතු දැනුම, ප්‍රඥාව හා බුද්ධිය දෙස පාඨක අවධානය යොමු කිරීම පිණිස එක් කරුණක් මෙහි පහත දක්වමු.

අනුරාධපුරය, මඩකළපුව, නුවරඑළිය, පුත්තලම, මහනුවර, ත්‍රිකුණාමලය හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට ඇද වැටුණු අධික වර්ෂාවෙන් පවුල් 56803 ක සාමාජිකයන් 214817 දෙනකු විපතට පත්වට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පසුගිය සතියේ නිකුත් කළ නිවේදනයක දැක්විණ. ඒ අනුව පූර්ණ හා අර්ධ වශයෙන් නිවාස හානි 534 ක් වාර්තා වී ඇති අතර විපතට පත් වූ පිරිස කඳවුරු දහයක රඳවා සිටිති. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තඹලගමුව ප්‍රදේශයේ වගාකොට තිබූ කුඹුරු අක්කර 3000 ක් මුළුමනින් ම විනාශ වී ගොසිනි. තොප්පිගල, ඊරලක්කුලම්, කොම්මාදුරේතිවු, වාකරේ යන ප්‍රදේශ ඔස්සේ ගොඩබිමෙන් කැරෙන ගමනාගමනය ඇන හිට තිබේ. රන්දෙණිගල, රන්ටැඹේ, නාච්චදූව යන ජලාශවල වාන් දොරටු විවෘත කැර ඇත.

පසුගිය නොවැම්බර් මස සිට දෙසැම්බර් මස මැද දක්වා දිවයිනට බලපා තිබූ අධික වැසි සහිත කාලගුණය ක්‍රමයෙන් යහපත් වූව ද දෙසැම්බර් මස අවසාන සතිය වන විට තත්ත්වය යළි වෙනස් විය. ශ්‍රී ලංකාවට පමණක් නො ව ලෝකයේ බොහෝ රටවලට බලපෑ මේ අයහපත් කාලගුණික තත්ත්වය ඇතමකු හඳුන්වන්නේ දේව කෝපයක් ලෙසිනි. සමහරුන් ගේ මතය වී ඇත්තේ මෙය 2012 දී ඇතිවෙතැයි කියන ලෝක විනාශය පිළිබඳ ඉඟියක් බව ය.

අධික වර්ෂාව දේව කෝපයක් යැයි කීම මානව ශිෂ්ටාචාරයේ ප්‍රාථමික අවධිය කරා පසුපසට ගමන් කිරීමකි. එය නිවැරැදි ව අවබෝධ කැර ගැනීම පිණිස සොෆීගේ ලෝකය නමැති යුස්ටයින් ගෝඩර් ගේ කෘතියේ කොටසක් මෙහි උපුටා දක්වමු.

‘ඔබ බාගදා අහලා ඇති තෝර් දෙවියා සහ ඔහුගේ කුළුගෙඩිය ගැන. ක්‍රිස්තියානි ආගම නෝර්වේ රටට එන්න කලින් මිනිස්සු විශ්වාස කළා එළුවන් දෙන්නෙක් ඇදගෙන යන රථයකින් තෝර් දෙවියා අහසේ ගමන් කරනවා කියල. එයා කුළුගෙඩිය වනනකොට ගෙරවීම හා අකුණු ඇති වෙනවා. නෝර්වීජියන් බසින් ‘ගොරවනවා’ කියන වචනය තෝර් – ඩන්. ඒකෙ තේරුම තෝර්ගේ ගෙරවිල්ල. ස්වීඩන් බසින් ගොරවනවාට කියන්නෙ ‘ඔස්කා’. ඔස්කා කියන එකේ තේරුම ඔස් - අකා. ඒ කියන්නෙ ‘දෙවියන්ගෙ ගමන, දෙව්ලොව උඩින්. ගෙරවිල්ලයි විදුලි කෙටීමයි තියෙනකොට වැස්සත් වහිනවා. ඒක වයිකිං ගොවීන්ට අත්‍යවශ්‍ය දෙයක්. ඒ නිසා, සශි‍්‍රකත්වයේ දෙවියා හැටියට තෝර්ට වැඳුම් පිදුම් කරනවා.’

‘මේ නිසා වැස්ස දේවකතාවලින් විස්තර කරන්නෙ තෝර් දෙවියා තමාගෙ කුළුගෙඩිය වැනීමක් හැටියටයි. වහිනකොට ධාන්‍ය පැළ වෙනව. කෙත්වතු සරුසාර වෙනව. කෙත්වතු වල ධාන්‍ය වැවෙන හැටි පල දරන හැටි මිනිස්සුන්ට තේරුම් ගන්න බැරි වුණා. ඒත් කොයි විදිහෙන් හරි ඒක වැස්සට සම්බන්ධ වුණා. වැස්ස කොහොම හරි තෝර් දෙවියාට සම්බන්ධයි කියලා හැම කෙනෙක් ම විශ්වාස කළ හින්දා ඔහු නෝර්වේ රටේ දෙවිවරුන් අතරින් ඉතා ම වැදගත් දෙවියෙක් බවට පත් වුණා.’

දැන් අපි ආපසු හැරී බලමු.

සොබා දහමේ ක්‍රියාකාරීත්වය නිසි පරිදි තේරුම් ගැනීමට අපොහොසත් වූ ආදි කාලීන මිනිසා මෙන් වර්ෂාව දෙවියන්ගේ ක්‍රියාවක් ලෙස විසි එක්වන සියවසේ මිනිසා ද සිතීම කෙතරම් ලජ්ජාවට කරුණක් ද? එහෙත් මෙහිදී මෙන් බොහෝ කරුණු වල දී මිනිසා තවමත් සිටින්නේ ප්‍රාථමික අවධියේ ය. මේ තත්ත්වයෙන් මිදීම සඳහා අවශ්‍ය දැනුම වසර දහස් ගණනක් පුරා පරිහරණය කළ සමාජයක වෙසෙන අප, අන්ධයන් සේ ක්‍රියා කළ යුතු නො වේ.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]