UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

තමන් ගැන වගකීම තමාටම යි

මෙම ලිපිය තුළින් සාකච්ඡාවට ලක්කරනු ලබන්නේ තමා විසින්ම තමා පිළිබඳ දැනගනු ලැබිය යුතු කරුණු මොනවාද යන්න පිළිබඳයි. බුදු හිමියන් ධම්ම පදයේ අත්ත වග්ගයේ දී පෙන්වා දී ඇති පරිදි

 

 අත්තා හි අත්තනෝ නාථෝ
කෝහි නාථෝ පරෝ සියා
අත්තනාව සුදන්තේන
නාථං ලභති දුල්ලභං

කුමාර කස්සප තෙරුණ්ගේ මෑණියන් වන මෙහෙණින් වහන්සේ අරබයා සැවැත්නුවර දෙව්රම් වෙහෙරේදී සිදුකරන දේශනාව අපට අප ගැන වැදගත් පණිවිඩයක් ලබා දෙනවා. තමාට පිහිට තමාමයි. කවරෙක් ගේ පිහිටක් ද? මනාව දැමුනු තමා විසින්ම දුකසේ ලැබිය යුතු පිහිට හෙවත් රහත් ඵලය ලබාගන්නේය යන කරුණ උන්වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා.

අප සෑම මොහොතකම අනෙකාගේ පිහිටක්, ආශිර්වාදයක් අපේක්‍ෂා කරනවා. නමුත් බුදුරජාණන් වහන්සේ අපට අවධාරණය කරනවා. ලෝකෝත්තර හෝ ලෞකික සම්පතක් හිමිකර ගැනීමට ඔබ අපේක්‍ෂා කරනවා නම්, ස්වර්ග මෝක්ෂ සම්පත්තිය විඳින්නට ඔබ අපේක්‍ෂා කරනවා නම් ඔබට ඒ උදෙසා වෙන කිසිවෙකුටවත් පිහිටවීමට නොහැකි බව.

මවුපියන් අතරවත් දූ දරුවන් අතරවත් ඥාතීන් අතරවත් දිව්‍ය බ්‍රහ්ම ආදීන් අතරවත් ඒ උතුම් වූ ස්වර්ග මෝක්‍ෂ සම්පත්තිය උදාකර දෙන්නට සමත් කෙනෙක් හමුවන්නේ නැහැ. ඔවුන් කිසිවෙකුටවත් ඔබගේ විමුක්ති සුවය පිළිබද වගකීම ගන්නට පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. තමන් සම්බන්ධව වගකීම, තමන්ගේ ආත්ම දමනය පිළිබඳ වගකීම සම්පූර්ණයෙන්ම තමා වෙතම පැවරී තිබෙන නිසා. තමාට ඒකායන පිහිට ලෙස තිබෙන්නේ තමාමයි. තමන්ගේ කය, තමන්ගේ සිත, තමන්ගේ වචනය මනාකොට සංවරයට පත්කර ගතහොත්, දමනය කරගතහොත් ඒ මත පදනම් වෙලා ඔබට හැකියාව ලැබෙනවා. ඔබ අපේක්‍ෂා කරන ඒ උදාර වූ උසස්වූ අධ්‍යාත්මික විමුක්ති සුවය අත් විඳින්නට බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන් අවවාද කළා. ඔබ මාගේ ශිෂ්‍යයන් වුවද ඔබට මග පෙන්වනවා මිසක තථාගතයන් වහන්සේ වන මටද ඔබගේ විමුක්තිය සම්බන්ධව වගකීමක් ගන්නට නොහැකිය යන කරුණ.

තථාගතයන් වහන්සේ යනු මාර්ගෝපදේශකයෙක් පමණයි යන කරුණ අවධාරණය කිරීම තුළ අප අවබෝධ කරගත යුතු වෙනවා බුදුරජාණන් වහන්සේ විසින් අපට අප සම්බන්ධව පූර්ණ වගකීම පවරා ඇති බව. අදෘෂ්‍යමාන දෙවිවරුන්ට හෝ වෙනත් බලවේගයකට පවරාදීම බුදුහිමියන් දකින්නේ මිනිසත්කමට සිදුකරන්නා වූ නිගාවක් ලෙසයි. උදාර වූ විමුක්ති සුවය හිමිකර ගන්නට ඔබ උත්සාහවත් වන්න.

බුදු හිමියන් ඒ සම්බන්ධව අවබෝධ කළයුතු සියලු කරුණු නිරවුල්ව අප වෙත පෙන්වා දී අවසානයි. අපට තිබෙන්නේ ඒ මාර්ගය ඔස්සේ අපගේ පුහුණුව ආරම්භ කිරීමට පමණයි. එවිට ඔබට ඔබ සඳහා රැකවරණයක්, පිහිටක් සලසා ගන්නට අනිවාර්යෙන්ම හැකියාව ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ අපට අප ගැන දැනගත යුතු තවත් වටිනා කරුණක් දේශනා කොට තිබෙනවා. අපි ඉතාම කැමැත්තක් දක්වනවා අනුන් දමනය කරගන්නට. දමනය කොට අපට වුවමනා ආකාරයට ඔවුන් තියාගන්නට. සැවැත් නුවර දෙව්රම් වෙහෙරේ වැඩ වාසය කළ තථාගතයන් වහන්සේ තිස්ස තෙරුන් වහන්සේ අමතමින් මෙම කරුණු දේශනා කරනවා. එම දේශනාව අප දරන ස්ථාවරය වෙනස් කර ගැනීම සඳහා හොඳ මග පෙන්වීමක් කරනවා.

අනෙකෙකුට යම් සේ අනුශාසනා කෙරේද, කළයුතු නොකළ යුතු හල යුතු දෑ මේ යැයි අනෙකෙකු උදෙසා අවවාද කරන්නේවීද ඔහු විසින් තමා ද එසේම කරන්නේ නම්, කටයුතු දෑ කිරීමත් නොකටයුතු දෑ නොකිරීමත් හල යුතු දෑ හැලීමත් දුරු කළ යුතු දෑ දුරු කිරීමත් කරන්නේ නම්, ඒකාන්තයෙන්ම තමා මනාව දැමුනු කෙනෙක් බවට පත්වී අනෙකකු දමනය කරන්නේ නම්, හික්ම වන්නේ නම් එය ඉතාම ශ්‍රේෂ්ඨකමක්. උන්වහන්සේ අවධාරණය කරනවා තමා විසින් තමා දමනය කිරීම, තමන්ගේ සිත දමනය කරගැනීම ඉතාමත් දුෂ්කර කාර්යයක් බව. ඒත් ඔබ පටන් ගතයුත්තේ තමන් තුළින් බවයි. උන්වහන්සේගේ ගැඹුරු මගපෙන්වීම වන්නේ.

අත්තානං චෙ තථා කයිරා
යථඤ්ඤමනුසාසති
සුදන්තෝ වත දම්මේථ
අත්තා හි කිර දුද්දමො

යනුවෙන් අප වෙත පෙන්වා දෙනු ලැබුයේ තමා පිළිවෙත්වල නොහැසිරී අනෙක් අයට කෙතරම් පිළිවෙත් පුරන ලෙස අවවාද දුන්නත් අර්ථවත් වන්නේ නැති බවයි.

ඔබ අනුන්හට අනුශාසකයකු ලෙස කටයුතු කරනවා නම්, ගුරුවරයකු වශයෙන් දේශකයකු වශයෙන් කටයුතු කරනවා නම්, ඔබ අනිවාර්යෙන්ම ආත්ම දමනයක්, ආත්ම සංයමයක් තමා තුළ ගොඩනඟා ගත යුතු බව දැඩිසේ අවධාරණය කර තිබෙනවා.

“අත්තානමෙව පඨමං
පතිරූපේ නිවේසයේ
අථඤ්ඤමනුසාසෙය්‍ය
න කිලිස්සෙය්‍ය පණ්ඩිතෝ

අනුනට අනුසාසනා කරන්නාවූ පුද්ගලයා පළමුකොට තමාම සුදුසු ගුණයෙහි පිහිටුවන්නේය. අනුශාසනා කරන තැනැත්තා ලාභයට ගිජු නොවී, නොකිපෙන සුළුව, අගතියට නොබැඳී, මැදහත් අදහස් ඇතිව එකී ගුණයන්හි පිහිටා අනතුරුව අනුන්ට අනුශාසනා කළ යුතුය. අනුන්ගේ වැරැදි වැඩ සඳහා නැවත නැවත අවවාද කළ යුතුය. එසේ කරන නුවණැත්තා නොකෙලසෙන්නේය. ගැරැහුම් නොලබන්නේය, පැසසුම් ලබන්නේය යනුවෙන් බුදුරජාණන් වහන්සේ අවධාරණය කළා.

මේ ලෝකයේ ජිවත්වන අප පළමුවෙන් කළයුතු වන්නේ තමන් නිවැරැදි දැක්මක, තමන් නිවැරැදි ශීලයක් පිහිටා කටයුතු කිරීමයි. තමන් තුළ එවැනි ශීලයක පිහිටීමක්, එවැනි දැක්මක පිහිටීමක් ඇති කරගන්නට නොහැකි වූවොත් ඔබ කොතරම් ප්‍රසිද්ධ, ජනප්‍රිය පුද්ගලයකු වුවත් ඔබගෙන් ප්‍රයෝජනයක් ඔබට ලැබෙන්නේ නැහැ. හරියට පහන් කන්දක් යට තිබෙන අඳුර වගේ. එය අවට එළිය කළත් එහි පාමුල ඇති අඳුර නසන්නට බැහැ වගේ. ඔබ කරන සෑම ක්‍රියාකාරකමකම වගකීම ඔබ මතයි පැවරෙන්නේ. ඔබ කරන අයහපත් දෙයින් ඔබ කෙලෙසෙනවා වගේම ඔබ කරන යහපත් දෙයින් ඔබ ඉතාම පිරිසුදු බවට පත්වන බවයි බුදු හිමියන්ගේ දේශනාව වූයේ.

අත්තනාව කතං පාපං
අත්තනා සංකිලිස්සති
අත්තනා අකතං පාපං
අත්තනාව විසුජ්ඣති
සුද්ධි අසුද්ධි පච්චත්තං
නාඤ්ඤමඤ්ඤෝ විසෝධයෙ

තමා අකුසලයක් කරන්නේ නම් ඒ තුළින් තමාම කෙලෙසෙන්නේය. මෙලොව අයසට, විපතට පත්ව පරලොව අපා දුක් විඳිමින් තැවීමට හේතුවන්නේය. තමා විසින් අකුසලයක් නොකරන ලද්දේ නම් තමාම ඉන් පිරිසුදු වන්නේය. දෙලොවම සැපෙන් වැඩෙන්නේය. පිරිසුදු සහ අපිරිසුදු එනම් හොඳ සහ නරක දෙකම තම තමා පිළිබඳමය. අනෙකෙක් අනෙකකු පිරිසුදු නොකරන්නේය. අපිරිසුදු ද නොකරන්නේය. සම්පූර්ණ වගකීම පැවරෙන්නේ තමන්ට තමන් පිළිබඳය යනුවෙන් බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා දී තිබෙනවා.

එබැවින් සෑම මොහොතකම ඔබ සම්බන්ධව වගකීමෙන් බැහැර නොවී සිටින්නට අධිෂ්ඨාන කළ යුතුයි. ඔබ කරන සෑම ක්‍රියාකාරකමක් පිළිබඳම, ඔබ ප්‍රකාශ කරන සෑම කරුණක් පිළිබඳම වගකීම අනිවාර්යෙන්ම ඔබම ගතයුතුයි. වගකීම් සහිත මිනිසකු බවට පත්වන්නට ඔබට හැකියාව තිබෙනවා නම් එයම ඔබගේ පෞරුෂය ඉතාම ඉහළ තලයකට ගොඩනැගන්නට හේතුවක් වනවා ඇත.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]