UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

රත්නපුර සුධර්මශාලා සද්ධර්මාලංකාර පිරිවෙන් විද්‍යායතනයේ සියවස් සමරු උළෙල ජනවාරි 03 - 04

රත්නපුර නගරයට යාබද අසබඩ සුප්‍රසිද්ධ බටුගෙදර ග්‍රාමයේ පිහිටි සුධර්මශාලා සද්ධර්මාලංකාර පරිවෙණස්ථානය වූ කලි වසර 125 කට වැඩි කාලයක් තුළ, අප රටෙහි සම්බුදු සසුනටත්, පිරිවෙන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයටත්, පොදුවේ රටටත්, අනූපම සේවාවක් සිදුකළ අධ්‍යාපන ආයතනයකි. එම විද්‍යායතනයේ සියවස් සමරු උළෙල ජනවාරි මස 03, 04 දිනවලට යෙදී ඇත. ඊට සමගාමීව වසර 25 කට පෙර අපවත්වී වදාළ එහි විහාරාධිපතිව විසූ, ශ්‍රීපාදස්ථානාධිපති, බටුගෙදර යසස්සි නාහිමි ගුණසමරුවත්, වත්මන් විහාරාධිපති දෙනගම පියදස්සි නාහිමිගේ පැවිදි දිවියට වසර 50 ක් සපිරීමත්, උන්වහන්සේට ආශිර්වාද පැතීමත් ඇතුළු අරමුණු සිහිපත් කරමින් එම පින්කම් උළෙල සංවිධානය කර ඇත.


බටුගෙදර යසස්සි නාහිමි

රත්නපුර දිශාවේ වංශාධිපතිව විසු විලියම් එල්ලාවල මුදලිතුමා විසින් 1881 දී මෙම සුවිසල් සුධර්මශාලා ගොඩනැඟිල්ල ඉදිකරවන ලදී. ආරම්භයේ දී ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ඇතුළු කාලීන වාද විවාද රැස්වීම්වලට පමණක් වෙන්ව පැවැති මෙම ස්ථානය “ධර්මශාලාව“ නමින් මේ රටෙහි ප්‍රසිද්ධියට පත්විය.

ශ්‍රීපාදස්ථානාධිපති ධූරයට පත් හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියෝ කලින් කළ මෙම ධර්මශාලාවේ වැඩ වසමින් ශ්‍රීපාදයේ පරිපාලන කටයුතු ඉටුකළ අතර, 1904.11.05 වැනිදින සද්ධර්මාලංකාර පිරිවෙන නමින් රත්නපුර දිස්ත්‍රික්කයේ පළමු අධ්‍යාපන ආයතනය ද ආරම්භ කරන ලදී. එකල මෙහි මූලික අධ්‍යාපනය ලැබූ පැවිදි සිසුන් අතර හාල්දඬුවන ධම්මරක්‍ඛිත, කෑල්ලේ සාරානන්ද යන සංඝ නේතෘත් වහන්සේලා පසුකාලීනව සබරගමුවේ සංඝ නායකත්වයටද පත්වූහ. මෙහි උගත් ගිහි සිසුන් රැසක්ම දේශීය වෛද්‍යවරුන් බවට පත්වූහ. සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මයට අමතරව මෙහි ඉංගී‍්‍රසි අධ්‍යාපනයද එකල ජනපි‍්‍රයව පැවතියේ ය.

හික්කඩුවේ නාහිමි විසින් සබරගමුවේ ආරම්භ කරන ලද ධර්ම ශාස්ත්‍රීය සේවය අඛණ්ඩව ගෙනයෑම සඳහා භාරදෙනු ලැබුවේ විද්‍යෝදය පිරිවෙනේ උගත් ඌරපොල අභය රතනජෝති පඩි හිමි වෙතය. ධර්මශාලා පිරිවෙන් විහාරාධිපති ධූරයට රතනජෝති නාහිමි පත්වීමත් සමග මෙම ධර්මශාලාවට ශිෂ්‍යානුශිෂ්‍ය සඟපරපුරක්ද බිහිවිය. මෙම සඟපරපුර ඌරාපොල අභයරාජ නමින් පවතී. හික්කඩුවේ නාහිමි වෙත ශ්‍රීපාද පදවිය පැවරීමට ප්‍රධාන දායකත්වය දරනු ලැබුවේ මඩුවන්වෙල මහ දිශාව විසිනි. ඒ නිසාම එවකට රත්නපුර දිශාවේ සිටි සියලුම රදල ප්‍රභූවරුන්ගේ නොමද සහාය ද රතනජෝති නාහිමි වෙත ලැබුණි. එතැන් පටන් සද්ධර්මාලංකාර පිරිවෙන් විහාරය අඛණ්ඩව සංවර්ධනය කැරිණි.

ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය වූ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය කුඩාකල පාසල් ගියේ ධර්මශාලාව අසල බටුගෙදර වලව්වේ නේවාසිකව සිටයි. එතුමිය එකළ සිය ඥාතීන් සමඟ ආගමික වතාවත්වලට ආවේ ගියේ ධර්මශාලාවටයි. දහම් කරුණු අසා දැනගත්තේ රතනජෝති නාහිමිගෙනි. මෙලෙස රත්නපුර සුධර්මශාලා සද්ධර්මාලංකාර පිරිවෙන් විහාරස්ථානයේ අභිමානය එදත්, අදත්, සුරැකිව පවතී.

සුධර්මශාලා පිරිවෙන් විහාරස්ථානය මධ්‍යස්ථානය කරගෙන රතනජෝති නාහිමි විසින් බිහිකළ අභයරාජ සඟපරපුරෙහි දීප්තිමත්ම තරුව වූයේ, අභයරාජ ශ්‍රී බටුගෙදර යසස්‍යාභිධාන ශ්‍රීපාදස්ථානාධිපති නාහිමියෝ වෙති. උන්වහන්සේ පුරාතකෘත පුණ්‍යවන්ත භාවයෙන්ද, සියලු සංඝසෝභන ගුණයන්ගෙන්ද සමන්විත වූහ. සුධර්මශාලා සද්ධර්මාලංකාර පිරිවෙන් විහාරාධිපති ධූරයට යසස්සි නාහිමි පත්වීමත් සමඟ යුගයේ අවශ්‍යතා මත මෙම විද්‍යායතනය දියුණුවෙත් දියුණුවට පත්විය. අංගසම්පූර්ණ පුස්තකාල පහසුකම් සහිත දෙමහල්, තෙමහල් ගොඩනැඟිලිවලින්ද, මානව සම්පත්වලින්ද, අනූනව රත්නපුර දිශාවේ ප්‍රධාන පිරිවෙන් අධ්‍යාපන ආයතනය බවට පත්විය. මෙහි උගත් අතිවිශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් පඬිවරුන් වශයෙන්, උපාධිධාරීන් වශයෙන් රට පුරා පැතිරී විවිධ සේවාවන්හි නිරතව සිටිති.

මෙම සද්ධර්මාලංකාර පිරිවෙන් විද්‍යායතනයෙහි මෑත ඉතිහාසයේ සිටි පරිවේනාධිපතීන් වහන්සේලා අතර, දිප්පිටිගල පඤ්ඤානන්ද, නිකගොඩ ඛේමානන්ද, ඇරැපොල පේමානන්ද, කිරි ඇල්ලේ ඤාණවිමල, මඩිතිවෙල විජිතසේන, උඩිස්පත්තුවේ ජිනරතන, වටද්දර ඤාණිස්සර, කෑලිගම විජිතනන්ද, තලපිටියේ උපතිස්ස, කැම්පනේ ගුණරතන, අමුතාගොඩ ඉන්දරතන, දම්පහල සීලානන්ද, යන ථෙරවරුන් වහන්සේලා සමඟ වත්මන් පරිවෙණාධිපති මොරාවත්තේ සිරිසුමන හිමියෝ ද වෙති.

බටුගෙදර නාහිමිගේ පාලන සමයේ මෙම ධර්මශාලා පිරිවෙන් විද්‍යායතනය ජාත්‍යන්තර කීර්තියට පත්විය. ලොව සාම චෛත්‍ය නිර්මාතෘ ජපන් ජාතික නිව්දත්සු පූජී නාහිමි ප්‍රමුඛ විදේශීය ධර්ම දූත කණ්ඩායම් නිතර පැමිණි ස්ථානයක් විය. විලියම් ගොපල්ලව ලංකාණ්ඩුකාර තුමා ඇතුළුව සියලු රාජ්‍ය පාලකයෝද බටුගෙදර නාහිමිගේ ඇවතුම් පැවතුම්වලට මහත්සේ ගරු කළහ.

බටුගෙදර නාහිමිගෙන් පුරප්පාඩු වූ මෙම සුධර්මශාලා සද්ධර්මාලංකාර පරිවෙණස්ථානයේ විහාරාධිපති ධූරය මෙකල හොබවනු ලබනුයේ රත්නපුර දිස්ත්‍රික්කයේ අධිකරණ සංඝ නායක දෙනගම පියදස්සි හිමියන් විසිනි. උන්වහන්සේ ද මෙම ධර්මශාලා පිරිවෙන් විහාරස්ථානයේ අනාගත පැවැත්ම සඳහා ඉදිකිරීම් රැසක් කරමින් යති. දෙනගම පියදස්සි නාහිමිගේ පැවිදි දිවියට වසර 50 ක් ගතවීමත්, බටුගෙදර යසස්සි නාහිමිගේ 25 වැනි ගුණසමරුවත්, සුධර්මශාලා පිරිවෙන් විහාරස්ථානයේ ශත සංවස්සරයත් අරමුණුකරගෙන 2011 ජනවාරි මස 03, 04 දෙදින තුළ පින්කම් උත්සව රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙම පින්කම් උළෙලෙහි දායකත්වය දරනු ලබන්නේ, සද්ධර්මාලංකාර පිරිවෙනේ වත්මන් කෘත්‍යාධිකාරී, ශ්‍රීපාදස්ථානාධිපති හඳපාන්ගොඩ විමල නාහිමි සමඟ ශ්‍රීපාදස්ථානයේ භාරකාර ධුරන්ධර දම්පහල සීලානන්ද හිමියන් ඇතුළුව, සුධර්මශාලා විහාරස්ථ දායක සභාව මඟිනි.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]