UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මරණය හා මරණින් මතු ජීවිතය පිළිබඳ විවිධ ආගමික අදහස්

මානව ඉතිහාසය තුළ මරණය නමැති සංසිද්ධිය වටා බොහෝ මිථ්‍යා සංකල්පයන් ගොඩනැඟී තිබේ. ජීවත් වන තැනැත්තාගේ ප්‍රාණය නිරුද්ධවීමත් සමඟම සිදුවන ක්‍රියාවලිය වටා ගුප්තමය ස්වරූපයක් පැවැති නිසාත් එය අත්දැකීමෙන් ප්‍රත්‍යක්‍ෂකර ගැනීමට නොහැකි වූ නිසාත් මෙම මිථ්‍යාවන්ට වැඩි ඉඩකඩක් වෙන් වුණි.

එහෙත් මරණය හා එයින් අනතුරුව පුද්ගලයාට සිදුවන දේ ආගම මගින් පුළුල් ලෙස අර්ථකතනය කොට ඇත. ඒ හෙයින් එකී කරුණ පිළිබඳ ආගම වෙත වැඩි ඉඩක් වෙන්කොට දී ඇති බවද පෙනෙයි. එහෙත් ආගම් අතර පවතින මතවාදයන් සම්බන්ධයෙන් ද සමානතාවකට වඩා එකිනෙක වෙනස් මතවාදයන් දැකීම නිරීක්ෂණය කළ හැකිය.

පැරැණි ඊජිප්තු ඇදහිලි අතර මරණින් මතු ජීවිතය ගැන ක්‍රමානුකුලව දියුණු වූ නිගමන පැවැතිණි. මිනිසාගේ ආත්මය සිරුරින් පිටවී ලොවපුරා සැරිසරා නැවත සොහොන කරා එන බව විශ්වාස කළහ. මළගිය ඇත්තන්ගේ ආත්මය වසර දහස් ගණනක් පුරා විවිධ සතුන්ගේ ආත්මයන් සමඟ සම්බන්ධ වෙමින් පැවැතී, නැවැතත් මිනිස් සිරුරට ඇතුළු වන බව ඔවුන්ගේ විශ්වාසයයි. මෙසේ බොහෝ කලක් ගත වූ පසුත් ආත්මයට සිරුරට ඇතුළුවීම සඳහා මළ සිරුරු මමිගත කොට කල්තබා ගන්නා ලදී. මමිකරණයට සම්බන්ධ සියලු අවමංගල කටයුතු මියගිය තැනැත්තාට සිදුකරන ගෞරවයක් වශයෙන් සලකන ලදී. පාරාවෝ රජවරුන්ගේ සොහොන් ගැබ් තුළින් ඊජිප්තු මළගම්වලට අදාළ වැදගත් තොරතුරු හමු වේ. ඊජිප්තුවේ මළ සිරුරු මමිගත කිරිම සඳහා නීතියෙන් ම පත්කරන ලද විශේෂ පිරිසක් සිටි අතර අපරාධකරුවන්ගේ හා දඬුවම් ලැබූවන්ගේ මළ සිරුරු කිසි විටෙකත් මමිගත නොකරන ලදී.

මරණය හා සම්බන්ධ ගී‍්‍රකයන්ගේ තිබූ සිරිත් - විරිත් ඊජිප්තු සිරිත් - විරිත් තරම් උත්කර්ෂවත් නැත. ගී‍්‍රක දේශගුණය අනුව මරණයෙන් අනතුරුව සිරුර වැඩි දවසක් තබාගත නොහැකි වූ අතර ඔවුන්ගේ චාරිත්‍රයන් ද එයට අනුව ම සකස් විය. මිනී වැළලීමේ හා දැවීමේ සිරිත ඔවුන් අතර පැව තුණි. මළගිය තැනැත්තා විශේෂිත අයකු නම් ඔහු වෙනුවෙන් දුක්ගීත ගැයීම ද සිදු කරන ලදී. මළ සිරුර සමඟම යම් යම් වටිනා භාණ්ඩ භූ®මදානය කිරීමේ සිරිතක්ද, පැවැතුණි. මළවුන් සම්බන්ධයෙන් ගී‍්‍රකයන් අතර පැවැතියේ භය පක්ෂපාතී බවකි. ‘හර්මේස් ‘ නමින් හැඳින්වෙන මළගිය ඇත්තන්ගේ දේවතාවා වශයෙන් සැලකෙන සංකල්පයක් ද හමු වේ.

ඔහු මියගිය තැනැත්තාගේ සිරුරේ අරක්ෂකයා ය. මිය ගිය තැනැත්තාගේ අත්මයට ජීවත්ව ඉන්නවුන් කෙරෙහි බලපෑම් කිරීමේ හැකියාවක් ඇතැයි ගී‍්‍රකයෝ විශ්වාස කළහ. සොහොන් ගැබෙහි සිටින මියගිය තැනැත්තාට වතාවත් කළහොත් ඥාතීන්ට යහපත සැලසීමත් සතුරන්ට විපත් පැමිණවීමත් සිදුකළ හැකියැයි ඔවුන්ගේ විශ්වාස විය. ඇතැන්ස් අගනුවර මළවුන්ගේ දිනයක් උත්සවාකාරයෙන් පැවැත් වූ බවටද තොරතුරු හමු වේ. එහිදී සයනාසන හා කෑම බීම පිළියෙල කොට මළවුන්ට සංග්‍රහ කිරීමේ චාරිත්‍රයක්ද පැවැතුණි. මෙදින මියගියවුන් සිය නිවෙස්වලට පැමිණෙන බවත් මොවුහු විශ්වාස කළහ. (වර්තමාන ජපානයේ සෑම වසරකම ජූලි 13 වැනි දින මළවුන් වෙනුවෙන් පවත්වන උත්සවය ද මීට සමානය) සොහොන් ගැබ් තුළට බටයක් මගින් අහාර වත්කිරීමත්, සතකු බිලිදී සොහොන මත ඒ රුධීරය වැගිර වීමත් ඔවුන් අතර චාරිත්‍ර වශයෙන් පැවැතුණි.

රෝමන්වරු මළගිය තැනැත්තා භූමදානය කළහ. එසේ කළේ ඔහුට වරින් වර සොහොන් ගැබේ සිට පිටතට පැමිණීම සඳහායි. එම කටයුත්ත පහසු කිරීම සඳහා සොහොන් ගැබේ සිදුරක් තනා ඇත. භූමදාන කටයුතු නිසි පරිදි සිදුකිරීම මළගිය අය සඳහා සිදු කළ හැකි විශාලතම යහපත වශයෙන් සැලකේ.

පරම්පරාවේ මිය ගිය අයගේ ප්‍රතිමා රැගත් පෙරහරකින් ගොස් නගරයෙන් පිටත සොහොන් බිමකදී මළ සිරුර භූ®මදාන කරන ලදී. වසරක් පාසා ඥාති මිත්‍රාදීන් සොහොන් ගැබට පුද පූජාවන් කිරීමද සිරිතක්ව පැවැතුණි. එහිදී ආහාර වර්ග ද මිය ගිය තැනැත්තා වෙනුවෙන් පුදන ලදී. මිය ගිය ඥාතීන් වෙනුවෙන් රෝමන්වරුන් ප්‍රධාන පූජා උත්සව දෙකක් සිදුකළ අතර පුජකවරුන් පවා එම කාලය තුළදී දෙව් මැදුරු ආදිය පවා වසා දමා මියගියවුන්ගේ පූජා උත්සව වෙනුවෙන් සම්බන්ධ වී තිබේ.

තම වංශ පරම්පරාවේ මිය ගිය අය වෙනුවෙන් වැඳුම් - පිදුම් කිරීම චීන ජනයාගේ සිරිතක් විය. මියයන තැනැත්තන් භූතයන් වන බවත් ඔවුන්ගේ සැබැ බලය ආරම්භ වන්නේ එයින් පසුව බවත් චීන ජනතාවගේ විශ්වාසය විය. මිය ගිය තැනැත්තන් ජීවත්ව ඉන්නවුන් විසින් සිදුකරනු ලබන පුද පූජා බලාපොරොත්තු වන බවද ඔවුහු විශ්වාස කළහ. ඉදිරියට සිදුවන්නට ඇති විපත් දැක ඒවා වැළැක්වීම ද යහපත උදාකරදී බලාපොරොත්තු ඉටුකරදීම ද භූතාත්මයේ කාර්යය යි. දඩයම, කෘෂිකර්මය හෝ යුද්ධය සාර්ථක හෝ අසාර්ථක කිරීමේ හැකියාව මිය ගිය අයට ඇත. දුර්භික්ෂය හෝ රෝග හා ජලගැලීම් ආදිය ද වැළැක්වීමේ හැකියාව ඔවුන් සතුව පවතී. භූතාත්මය සතුටු කිරිමෙන් යහපත ද අසතුටු කිරීමෙන් විපත් ද පැමිණේ. මළගියවුන් වෙනුවෙන් ස්වකැමැත්තෙන් වැළලී මියයෑම ද වැදගත් චාරිත්‍රයක් විය. මළගියවුන් පිදීම සඳහා පූජා චාරිත්‍ර සිදුකරන ස්ථානයක් සෑම නිවෙසකම තිබුණි. චීනයේ මළවුන්ගේ දෙවොල ප්‍රධාන ස්ථානයක් ගත් තැනකි.

මරණින් මතු ජීවිතය ගැන පුරාණ ඉන්දියානු ඇදහිලි පෙර දක්වන ලද ඇදහිලිවලට වඩා තරමක් ඉදිරියට ගිය බවක් පෙනේ. ඍග්වේදයේ දැක්වෙන පරිදි හොඳ අය මරණින් මතු ස්වර්ගයට හෙවත් දෙව්ලොවට ද අනේ අය අපායට ද යති. ඍග්වේද යුගයෙන් ඇරැඹී බ්‍රාහ්මණ යුගය දක්වා පැවැති මෙම සංකල්පය උපනිෂද් යුගයේදී සංවර්ධනය විය. හෝම පූජා පවත්වා දන් දී තපස් ධර්මවල යෙදුණු අය ටික කලක් සසර සැරිසරා යම රජුගේ පීතෘ ලෝකයට ඇතුළත් වෙති. එහි කලක් සැප විඳ චන්ද්‍ර විමානයට ගොස් අභ්‍යවකාශයේදී වායුව හා මුසු වී වර්ෂාව සමඟ පොළාවට පතිත වෙති. ඉන් අනතුරුව පුරුෂයා නමැති පූජා ගින්න තුළින් පිදීමට ලක් වී ස්ත්‍රිය කෙරෙන් නැවැත උපදී. මෙයව ප්‍රතිවිරුද්ධ වූ අධර්මිෂ්ටයන් පණුවන්, කුරුල්ලන් වැනි තිරිසන් සතුන් ලෙස උපදී.

මෙම යුගයේ වැදගත් ලක්ෂණය වන්නේ පුනරුත්පත්ති සංකල්පයත් සමඟ ආත්මවාදයක් වැඩි යෑමයි. උපනිෂද් දක්වන ආකාරයට මරණ මංචකයේදී මිනිසාගේ ආත්මය ශරීරයෙන් බැහැර වේ. මෙම ‘ආත්මන්’ හා ‘බ්‍රහ්මන්’ අවබෝධකර ගැනීම විමුක්තිය සඳහා ඇති ඒකායන මාර්ගය යි. ශරීරයෙන් බැහැර වූ ජීවාත්මය පරමාත්මන් සමඟ ඒකීභූත වීම විමුක්තිය වශයෙන් දැක්වේ. ඉන් අනතුරුව කිසිදු ලොවක නූපදින අතර එය උපතින් ද මරණින් ද තොර වූ අවස්ථාවක් වේ.

යුදෙව් ආගමේ පැරැණි තෙස්තමේන්තුවේ සඳහන් වන පරිදි ආදම් හා ඒව දෙදෙනා තහනම් ගසේ ගෙඩිකෑම නිසා එම අකීකරුකමට දඬුවම් නියම කරමින් දූහුවිල්ලෙන් උපන් නුඹ දූවිල්ල කරාම යන්නේය. යනුවෙන් මරණය නමැති සංකල්පය ඉස්මතුකර ඇත. මිනිසාට මරණයෙන් පසුව සිදුවන දේ පිළිබද පැරැණි යුදෙව් ආගමේ නිශ්චිත නිගමනයක් දැකිය නොහැකිය. එහෙත් යුදෙව් සංස්කෘතිය පරිණාමයට පත්වීමත් සමඟම වෙනත් සංස්කෘතීන් සමඟ සම්මිශ්‍රණය වීමේන් මරණින් මතු ජීවිතය පිළිබඳ අදහස් ඉදිරිපත් කර තිබේ. මිනිසා මනෝකායික සත්වයෙක් වන අතර ඔහුට ආත්මයක් ඇත. යුදෙව් දහමේ ආත්මය යනුවෙන් හඳුන්වන්නේ දෙවියන් වහන්සේ විසින් මිනිසාගේ නාසය තුළට ඇතුළුකරන ලද ජීවන හුස්මයි. මිනිස් සිරුරත් ආත්මයත් එකට පවතින අතර පැරැණි යුදෙව් මතය වන්නේ සිරුරේ විනාශයත් සමඟම ආත්මය ද විනාශ වන බවයි. මරණින් පසුව යක්ෂ භූත වැනි ආත්ම ලබන බවක්ද මොවුන් තරමක් හෝ දුරට පිළිගෙන තිබුණි.

“ෂෙඕල් ‘ නමින් හඳුන්වන මරණින් පසු පවතින ලෝකයක් පිළිබඳ ද ඔවුහු විශ්වාස කළහ. මුල්කාලීන යුදෙව් මතයට අනුව නම් මළවුන්ගේ ලෝකය දෙවියන්ගේ අවධානයට ලක් නොවේ. එය දුබලතාව නියෝජනය කරන තැනකි. එතැනින් නැවැත නැඟී සිටීමක් ද සිදුනොවේ. එහෙත් කල්ගත වන විට යුදෙව්වන් බැබිලෝනියාවට සංක්‍රමණය වීමත් සමඟම මරණින් මතු ජීවිතය පිළිබඳ අදහස් බොහෝ දුරට වෙනස් විය. ‘ෂෙඕල්’ හෙවත් මළවුන්ගේ ලෝකය දෙවියන්ගේ අධිපතිත්වයට යටත් වීම, මරණයෙන් පසු උත්තානය වීම දෙවියන් වහන්සේගේ අවසාන විනිශ්චය, ස්වර්ගය හා නිරය පිළිබඳ විනිශ්චය.අවසාන ගැලවීම හෙවත් යුදෙව්වන්ගේ ගැලවුම්කරුවා වශයෙන් මෙසායාහ් හේ පහළවීම යන කරුණු මරණය හා සම්බන්ධයෙන් යුදෙව් ආගම තුළ දැකගත හැකිය.

මතු සම්බන්ධයි

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]