UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නව වසරක උදාව අනාගත අභිවෘද්ධියයි

වර්ෂයක් අවසන් වී අලුත් වර්ෂයක් උදාවන දිනය පී‍්‍රති උත්සව පැවැත්වීමට සුදුසු දිනයක් ලෙස පිළිගන්නා ලද්දේ ඈත අතීතයේ සිටම ය. ආගමික චාරිත්‍රවාරිත්‍රයන්හි යෙදීමෙන් හා කෙළිදෙළෙන් ගත කිරීමෙන් නව වසර අරඹන මොහොත සුබ මුහුණුවරකින් පැවැත්වීම ඇරැඹුණේ ඉන්දියානු, චීන, යුදෙව් හා මිසර ආදී පැරැණි ලෝකයේ ප්‍රධාන ජාතීන්ගෙන් බව පොත්පත්වල සඳහන් වේ.

ලෝකයේ විවිධ රටවල නව අවුරුදු දිනය ලෙස පී‍්‍රති උත්සව පවත්වන අවස්ථා විවිධාකාර වූවද වර්තමාන ලෝකයේ බොහෝ රටවල නව අවුරුදු දිනය ජනවාරි පළමු වන දා ලෙස සැලකේ.

ක්‍රි.පූ. පළමුවන සියවසෙහි විසූ ජූලියස් සීසර් අධිරාජ්‍යයා ජනවාරි පළමුවන දින වර්ෂාරම්භය ලෙස ප්‍රථමවරට ප්‍රකාශ කළ බව ලෝක ප්‍රසිද්ධය. ඒ වනතුරු අපරදිග ක්‍රිස්තියානි රටවල් බොහොමයක අලුත් අවුරුදු දිනය ලෙස පිළිගැනුණේ මාර්තු විසිපස් වනදාය. නෝමන්වරුන්ගේ බලය ස්ථාවරවන්නට පෙර එංගලන්තයේ වැසියන් අලුත් අවුරුදු උත්සව පැවැත්වූයේ දෙසැම්බර් විසිපස්වනදා ය. එංගලන්තවාසීන් ජනවාරි පළමුවන දින අලුත් අවුරුද්ද පටන් ගන්නා දිනය ලෙස සම්මත කරගනු ලැබුවේ 1751 න් පසුව බව මූලාශ්‍රයන්හි සඳහන් වේ. බටහිර ශිෂ්ටාචාරයේ ප්‍රචාරයත්, නාගරික සභ්‍යත්වයේ විකාශනයත් සමඟම අනුක්‍රමයෙන් මුළු මහත් ලෝකයම පාහේ ජනවාරි 01 වන දින අලුත් අවුරුදු දිනය ලෙස සලකා ආගමික චාරිත්‍ර, වතාවත්, පි‍්‍රයසම්භාෂණ, පී‍්‍රති උත්සව පැවැත්වීමට හුරුපුරුදු වී සිටින බව පෙනේ.

අභිනව වර්ෂාරම්භයේ දී පී‍්‍රති උත්සව, පි‍්‍රය සම්භාෂණ පැවැත්වීමෙන් ජනතාව අපේක්‍ෂා කරන්නේ එකිනෙකා අතර සමඟි සම්බන්ධතාව හා සාමූහිකත්වයයි. එසේම ආගමික චාරිත්‍ර වාරිත්‍රයන්හි පරමාර්ථය වනුයේ අසුබ ක්‍රියාවන්ගෙන් වැළකී සුබ ක්‍රියාවන්හි යෙදී එමඟින් අනාගත අභිවෘද්ධිය සලසාගැනීමයි.

වර්ෂයක් තුළ අපි කොපමණ බලාපොරොත්තු, ප්‍රාර්ථනා, සිතුම් පැතුම් පොදි බැඳ ගනිමු ද? කොපමණ දෙනෙකුගේ සිත් සතන් රිදවමින් කම්පා කරවමින් ආර්මාර්ථකාමී හැඟීමෙන් පීඩා විඳිමින් මිරිඟුවක් දුටු සතුන්මෙන් දුවන අය වෙමු ද? එහෙත් වර්ෂය අවසානයේ බලන කල දැකිය හැක්කේ කලකිරීමෙන්, විඩාවෙන්, දුක්කම්කටොළු වලින් පීඩාවිඳි බවය.

ලෝකය හටගත්දා පටන් මේවනතුරු වළදා ඇති ආයුෂ ප්‍රමාණය හා වැය කර ඇති අවුරුදු සංඛ්‍යාව මැනිය නොහැක්කාසේම මිනිසුන් අලුත් අවුරුද්දක උදාව වෙනුවෙන් දැරූ වෙහෙස ඉන්ද්‍රජාලයක්, පෙණ බුබුළක්, විදුලියක් මෙන් පෙනී නොපෙනී ක්ෂය වී ගොස් ඇතිබව ඉතිහාසයෙන් පෙනේ. අන්ධකාරයේ ඔබ මොබ සැරිසරන්නවුන් මෙන් කළකී දෑ පරමාර්ථ වශයෙන් හා පරමසත්‍යවශයෙන් ගත්කල අර්ථ ශූන්‍ය බවට විවාදයක් හෝ තර්කයක් හෝ නොමැත.

එකිනෙකා අතර වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පොදි බැඳ ලෝකයා විසින් ගොඩගසන ලද අවිද්‍යා අන්ධකාරය දිනෙන් දින දියුණුවනු හැර අනෙක් කිසිවක් සදාතනික ලෙස ඉතිරිකළ නොහැකි බව සක්සුදක් මෙන් ඉතා මැනවින් පැහැදිලි වේ.

වර්ෂයක් අවසන් වී නව වර්ෂයක් උදාවීම යනු සමස්ත ලෝකයම තවත් වසරකින් වයසට යාමක් බඳු ය. නැතහොත් ක්‍රමයෙන් සුසානයට ළංවීමකි. සිඟිත්තාගේ පටන්, මහල්ලා දක්වා සියලුදෙනා නව වසරක උදාවත් සමඟ මරණයේ මුවදොරට ඇදී යන වේගය තවත් අංශයකින් දියුණුකොට ඉහළ නැංවූ අවස්ථාවක් ලෙස ද නව අවුරුදු උදාව හඳුන්වාදිය හැකි ය.

මහා අධිරාජ්‍යයක් ගොඩනැංවූ අධිරාජ්‍යයන්ගේ පටන් යාචකයා දක්වා අප සියලු දෙනාම කිසිදු පක්‍ෂ, පාට, ජාති, කුල, මල, උසස්, පහත්, උගත්, නූගත් භේදයකින් තොරව අවසානයෙහි සැතැපෙන්නේ එකම සුනානයකය.

එසේනම්, දහසකුත් එකක් වාදභේද, තරහ මරහ, එදිරිවාදිකම් පොදි බැඳගෙන රඟන කෝලම්හි අරුතක් පවතීද? “සප්ත සූර්යෝද්ගමන” සූත්‍රයෙහි සඳහන්වන පරිදි ලෝක විනාශය කරා සියල්ල එක් කෙළවරකදී යොමුවේ නම් එදා මෙදා තුර ලෝකවාසී සියල්ලම අරුත්සුන්වීම මුළු ලෝකයේම මනුෂ්‍ය ජාතීන්ට සාධාරණ වන්නකි. සුබ පෙර නිමිති හමුවෙහි කාර්යාරම්භය සාර්ථකත්වය පිණිස හේතුභූත වන්නේ එයින් පිළිසිඳෙන්නා වූ මානසික සන්තුෂ්ටිය හේතුවෙනි.

මිනිසුන් කුදුමහත් සියලු කටයුතු වලම යෙදෙන්නේ මානසික තෘප්තිය පිණිස බව පැහැදිලිය. වර්ෂාරම්භය පී‍්‍රතිමත්, තෘප්තිමත් සිතකින් යුක්තව ගත කිරීම සෞභාග්‍යය පිණිස හේතු වන බව කෙරෙහි පවත්නා විශ්වාසය හේතුවෙන් වසරින් වසර ඉදිරියට ගමන් කිරීමේ ශක්තිය ලබාදෙන ජීව බලයක් වේ.

බුදුදහම අනුව පරීක්‍ෂා කිරීමේ දී වර්ෂයක් ගතවීම යනු නව සිදුවීමක්, අලුත් කාර්යයක් නොවේ. එය ඉර, හඳ, තාරකා ගමන අනුව ස්වභාව ධර්මානුකූලව සිදුවන්නකි. වසරින් වසර ගතවී කල්පයෙන් කල්පය ක්ෂයවී ගිය ද ලෝකයෙහි පැවැත්මෙහි හා විනාශයෙහි අගක් මුලක් තෝරා බේරා ගත නොහැකි යැයි බුදුදහමේ විවිධ කරුණු කාරණා වලින් සනාථ වේ.

සියල්ලෙහිම අනිත්‍යතාව ඉක්මවායන කිසිඳු ලෞකික බලවේගයක් නොමැතිකල අලුත් අවුරුද්දක් වෙනුවෙන් අසීමිත ප්‍රාර්ථනා ගොඩනැංවීම හෝ ගෙවී ගිය අවුරුද්ද වෙනුවෙන් රඟපෑමක යෙදී සිටින බව තේරුම් ගැනීමට තව අටුවාටිකා අර්ථ විවරණ අවශ්‍ය නොවේ. එහෙත් මිනිස් ලොව මිනිසුන් වශයෙන් ජීවත්වනතුරු අවශ්‍ය මානසික සන්තුෂ්ටිය උපයා සපයා ගැන්ම පිණිස යම් යම් ක්‍රියාකාරකම්හි යෙදී සිටීම සිදු වේ.

අලුත් අවුරුදු පී‍්‍රති උත්සව, සැණකෙළි, සම්භාෂණයන්හ ද අරුත එයමය. යථාර්ථවාදීව ජීවිතය දෙස බලා යථාවබෝධය ලබාගත හැකි මිනිස් දහම් සුරැකිමින් ජීවිත යාත්‍රාව පැදවීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්යය මෙන්ම වාසනාවත් මෙම 2011 නව වර්ෂයෙහිදී සියලු ලෝකවාසීන්ට ලැබේවායි ඉතසිතින්ම ප්‍රාර්ථනා කරමු.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]