UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම වෙනුවෙන් ජනමාධ්‍යයේ කාර්යභාරය

බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් වසර 2600 ක් සපිරෙන අවස්ථාවේ ගුණ දහමින් පිරිපුන් සමාජයක් බිහි කිරීම අත්‍යවශ්‍ය වී ඇත.

රටේ අපරාධ රැල්ල දිගින් දිගටම වැඩිවී ඇත. සාර ධර්ම ගිලිහෙන යුගයට අවතීර්ණව ඇත. මේ නිසා පස්වැදෑරුම් වැඩපිළිවෙළක් යටතේ සම්බුද්ධත්ව ජයන්තිය සැමරීමට බලාපොරොත්තු වේ. මේ පස්වැදෑරුම් වැඩපිළිවෙළට ජනමාධ්‍යයද එක් වැඩසටහනක් යටතේ දක්වා ඇත. වැඩසටහනේ ප්‍රමුඛස්ථානයක් ජනමාධ්‍යයටද හිමිව ඇත.

එම නිසා ජනමාධ්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමුවී තිබේ. රටේ සදාචාරාත්මක අංශයේ යම් කිසි වෙනසක්, වර්ධනයක් ඇති කළ හැක්කේ කෙසේද යන්න ගැන මෙහිදී දැඩි අවධානයට යොමුව ඇත.

2500 බුද්ධ ජයන්තිය සැමරූ යුගයේ මෙතරම් දියුණුවට පත් ජනමාධ්‍ය සේවාවක් නොතිබුණු අතර රාජ්‍ය මාධ්‍යයන් ලෙස පුවත්පත් හා ශ්‍රී‍්‍ර ලංකා ගුවන් විදුලියේ සේවාවන් කිහිපයක් පමණක් යොදා ගැනීමට හැකිවිය. එහෙත් එම සීමිත සම්පත් මගින් විශාල දැනුම්වත් බවක් මහජනයාට ලැබුණි.

එකල බුද්ධ ශාසන අමාත්‍යංශය හෝ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව හෝ නොතිබුණු අතර සියල්ල පැවරී තිබුණේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවටයි. එහෙත් අද තත්ත්වය බොහෝ සෙයින් වෙනස්ව ගොසිනි. මේ වන විට මාධ්‍යය අප රටේ පමණක් නොව ලොව පුරාද ඉතා ශීඝ්‍ර දියුණු තත්ත්වයකට පත්ව ඇත. කෙසේ වුවත් සම්බුද්ධත්ව ජයන්ති අනුස්මරණය අප රටට පමණක් සීමා වන්නේ නැත. මාධ්‍යයේ දියුණුව නිසා මුළු ලොවටම මේ පණිවුඩය ගෙන යා හැකිය. සම්බුද්ධත්ව ජයන්තිය සමරන රටවල් අතර ප්‍රධාන තැනක් අප රටට හිමිවේ. එම නිසා මේ සම්බන්ධව මාධ්‍ය ක්‍රියාකාරිත්වය හා අධීක්‍ෂණය බෙහෙවින් වැදගත්ය.

වත්මන් සමාජයේ මිනිසාගේ චර්යාවන් හැසිරවීම කෙරෙහි බලපාන ප්‍රධානම සාධකයක් ලෙස ජනමාධ්‍ය හඳුන්වා දිය හැකිය. සමාජයේ බොහෝ දෙනා තම දෛනික චර්යාවන් වන ආහාර ගැනීම, ගමන් බිමන් යෑම, ඇඳුම් පැළැඳුම් තේරීම වැනි සියල්ල සකස් කරගෙන ඇත්තේ මාධ්‍යය පෙන්වන කරුණු ඔස්සේ යමිනි. මාධ්‍යය ඒතරම් වැදගත් පණිවුඩයක් ලබාදෙන බව බොහෝ දෙනාගේ මතයවී ඇත.

මේ නිසා සම්බුද්ධත්ව ජයන්තියේ අරමුණ හා වැඩසටහන්ද මේ මාධ්‍ය ඔස්සේම ජනතා සිත් තුළට කාවැද්දීම කළ යුතුය. සම්බුද්ධත්ව ජයන්තිය යනු උත්සවයක් පවත්වා නිමා කරනු ලබන්නක් නොවේ. එය ඉන් ඔබ්බට ඇදී ගිය ගැඹුරු අරමුණු සහිත වූවකි.

මේ නිසා සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම උදෙසා මාධ්‍ය භාවිත කළ යුතු ක්‍රමවේදයන් සම්බුද්ධත්ව ජයන්ති කමිටුව විසින් හඳුන්වා දෙනු ලැබ ඇත. ඒ යටතේ මාධ්‍ය සංස්කෘතිය පිළිබඳ නව ආකල්ප ඇතිකිරීම මුල් තැනක් ගනී. මෙහිදී මාධ්‍ය කල්පනා කළ යුත්තේ තම වාණිජ අරමුණ ඉටු කර ගන්නා අතරම ජනතාවගේ සිත් යහපත් ආකල්ප කරා යොමු කරවන අන්දම ගැනය. මාධ්‍යය තුළින් ජනතා සිත් සතන්හි අවබෝධයක් ඇතිකර, අපේ සංස්කෘතියට හානිකර දේ සමාජයෙන් ඉවත් කිරීම කළ හැකිය. එමෙන්ම සාරධර්ම සංවර්ධනයටද මාධ්‍යයට හොඳ දායකත්වයක් ලබාදිය හැකි බව අමතක නොකළ යුතුය. සංස්කෘතියට හානි වන කරුණු ඉස්මතු කර දැක්විය යුත්තේ එය ඉවතලන කරුණක් ලෙස මිස ඇදගත යුතු කරුණක් ලෙසින් නොවේ. ඒ සඳහා හොඳ ප්‍රවණතාවක් මාධ්‍යය මඟින් ලබා දිය හැකිය. සමාජ සම්බන්ධතා හොඳින් පවත්වාගෙන යන්නට මාධ්‍ය ඉතාම වැදගත් වේ. අප අවධානයට යොමු කළ යුත්තේ එම කරුණු ගැනයි.

මේ නිසා මාධ්‍ය ආයතන හිමිකරුවන් සහ මාධ්‍යවේදීන් හොඳින් දැනුම්වත් කළ යුතුයි. විද්‍යුත්, මුද්‍රිත මාධ්‍ය අංශ දෙකින්ම බලාපොරොත්තු වන්නේ මේ සදාචාර වර්ධනයයි. 2500 බුද්ධ ජයන්තිය සැමරීමේදී සීමිත සම්පත් මත වුවද සමාජ සදාචාර වර්ධනයකට මඟ පාදා ගත් බවත් අප අමතක නොකළ යුතුයි. විශේෂයෙන්ම තම තමන්ගේ හැසිරීම වැනි සදාචාරාත්මක ගුණාංග ඔප් නංවා ගැනීමට මෙවන් කරුණු සැලකිල්ලට ගත යුතුයි. උදාහරණයක් ලෙස අවමංගල්‍යය නිවෙසකදී අපේ හැසිරීම පාලනය කර ගැනීමට අපට හැකිවන්නේ කෙසේද? සංවර බව, සංවේගය මුසුවූ පැවැත්මක් එහිදී දැකගත හැකිය. මෙවැනි කරුණු අවබෝධ කරදී ජනතාව සංවරශීලි දිවිපැවැත්මකට යොමු කිරීම මාධ්‍යයේ වගකීමකි.

එහෙයින් සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් අපේ මාධ්‍ය යම් කැපකිරීමක් කළ යුතුයි. අනෙක් වැඩසටහන් ප්‍රචාරය කරන අතරම ‘ පිළිවෙතින් පෙළ ගැසෙමු’ තේමාව යටතේ අදාළ වැඩසටහන් පෙළ ගැස්වීමට කටයුතු කිරීම ඉතා වැදගත් වේ. මේ සඳහා ඉලක්ක ගත කණ්ඩායම් තෝරා ගත යුතුයි. මේ පණිවුඩය ලබා දිය යුත්තේ කාටද යන්න ගැන මාධ්‍යවේදීන් නිසි අවබෝධයකින් පසු විය යුතුයි. විවිධ අදහස් ඇති, විවිධ රුචි අරුචිකම් ඇති ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම මෙම පණිවුඩය ගෙන යා යුතු බවද සිහි තබා ගත යුතුය. විශේෂයෙන්ම තරුණ පිරිස් සහ කුඩා දරුවන්ට මේ ඉලක්ක ගත කණ්ඩායම් අතර මුල් තැනක් හිමි විය යුතුයි.

මිනිස්කම අගැයීමට දරු දැරියන් හුරු කළ යුතුයි. දරුවන් යහපත් චර්යාවකටද යොමු වන ආකාරයේ වැඩසටහන් පෙළ ගැස්වීමට මාධ්‍යය කටයුතු කිරීම ඉතාමත් වැදගත් වේ. මෙයින් අදහස් වන්නේ ධර්ම දේශනා සිදුකිරීමම නොවේ.

සමාජය බොහෝ දුරට හැඩගැසෙන්නේ පොත්පත්වලින් පමණක්ම නොවන බව සිහි තබා ගත යුතුය. වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් ඔස්සේ දූ දරුවන්ද ක්‍රියාත්මකවන බව කවුරුත් සිහි තබා ගත යුත්තකි. නමුත් අද ඇතැම් වැඩිහිටියන්ගේ ක්‍රියාවන් දරුවන්ට ආදර්ශ දිය හැකි තත්ත්වයක නොපවතී.

මේ නිසා රටේ සිදුවන අපරාධ , දූෂණ, වංචා මාධ්‍ය මඟින් ඉස්මතු කර දැක්වීම සුදුසු නොවේ. නමුත් අද ඇතැම් රූපවාහිනි නාලිකාවන්හි මුල් ප්‍රවෘත්තිය වන්නේ ඝාතනයකි. නැත්නම් භයානක අපරාධයකි. මෙය එක් පැත්තකින් එම ක්‍රියාවන්ට මඟ පෙන්වීමකි. තවත් අතකින් අපරාධකරුවන්ට අනුබල දීමකි. ප්‍රවෘත්තියක් ලෙස පළ කිරීම සහ මුල් තැනක් දී ප්‍රචාරය කිරීම අතර පවතින්නේ ලොකු වෙනසකි.

එසේම, අප රටේ තිබෙන පහසුකම් මත අපරාධ නඩු විභාගයට ගතවන අධික කාලය නිසා අපරාධවලින් පීඩනයට , අගතියට පත්වන්නන් තව තවත් පීඩාවට පත්වේ. එම නිසා නිරතුරුවම අපරාධ මැඬ පැවැත්වීමට හා අපරාධ වැළැක්වීමට මුල් තැනක් දීම වැදගත් වේ.

අප සමාජයේ වැඩිපුරම සිටින්නේ වැරැදිවලට යොමු නොවන, වැරැදි නොකරන පුද්ගලයන් බව සිහි තබා ගැනීමද මෙහිලා ඉතා වැදගත් වේ. වැරැදි කරන්නේ සුළු පිරිසකි. එහෙත් යහපත් ලෙස දිවි ගෙවන, වැරැදි වැඩට යොමු නොවන අය අගැයීමක් නොකෙරේ. මාධ්‍යයෙන් වුවත් එවන් අයට නිසි තැනක් හිමි නොවීම කනගාටුවට කරුණකි.

යහපත් සමාජයක් ගොඩ නඟන්නේ කෙසේද යන කාරණය ඔස්සේ සිතා බලා ජාතික වැදගත්කමක් ඇති වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතුයි. එහිදී සුබවාදී මාතෘකා මඟින්ම එම ආකල්පය ජනතාව වෙතට යොමු කළ යුතුය.

පෙර කීවාක් මෙන් අපරාධ නඩු වසර ගණනක් ඇදී යෑම එක් අතකින් අපරාධකරුට ලැබෙන්නා වූ වක්‍රාකාර වාසියකි.

සම්බුද්ධත්ව ජයන්තියේ සමස්ත කාර්යභාරය සඳහා පත්කර ඇති .කමිටු අතර මාධ්‍ය අනුකමිටුවක්ද ඇත. එම අනුකමිටුව මාධ්‍ය පිළිබඳ දැනුමක් ඇති ගිහි, පැවිදි විද්වතුන්ගෙන් සමන්විතවීම වැදගත් කොට සැලකිය යුත්තකි.

මේ කමිටුව නිතර රැස්වී මාධ්‍ය කටයුතු පිළිබඳ අධීක්‍ෂණය කරයි. ඔවුන් විසින් මාධ්‍ය හා සමීප සබඳතාවක් ඇති කර යහපත් ගුණාත්මක වැඩසටහන් විකාශයට කටයුතු කිරීමට උත්සාහ දරනු ලැබේ.

සම්බුද්ධත්ව ජයන්ති වැඩසටහන් යනු බෞද්ධයන් උදෙසා පමණක්ම සකස් කළ, බෞද්ධයන් උදෙසා පමණක්ම, ක්‍රියාත්මක වන වැඩසටහන් නොවේ. සියලු ආගමිකයන්ට මේ කාර්යයෙහිදී දායකත්වය ලබා දිය හැකිය.

ගුණගරුක සමාජයක් බිහිකිරීම සඳහා මේ සියලු දෙනාගේ සහාය ලබාගත යුතුය. රටේ සමස්ත ජනතාව මේ සඳහා සහභාගි කරගන්නේ නම් සම්බුද්ධත්ව ජයන්තියේ නිසි අරමුණ ඉටු වනු ඇත. සහජීවනය, සහනශීලිත්වය අප රටේ සංස්කෘතියට ගැළැපෙන පරිදි සකස්කර ගැනීමට අවධානය යොමු කළ යුතුය.

අද තරුණ පරපුර ජංගම දුරකථන රැල්ලකට හසුවී ඇත. මේ ආදී නොයෙක් අගතිගාමි සමාජ ප්‍රවණතාවලින් ඔවුන් මුදාගෙන, බුදු දහමෙන් උගැන්වෙන යහපත් හා අභිමානවත් කටයුතු සඳහා මේ තරුණ පරපුර යොදා ගැනීමට කටයුතු කළ හැකිය.

ඒ සඳහා ඔවුන් රුචිකත්වයක් දක්වන, උද්යෝගයක් ඇතිවන අන්දමේ වැඩපිළිවෙළක් ඔස්සේ සාරධර්ම වෙත නැඹුරු කර ගත යුතුය. කුඩා දරුවන් හා තරුණ පරපුර දහම් අධ්‍යාපනය හා බැදුණු යහපත් චර්යාධර්ම වෙත යොමු කිරීමද මෙහිලා වැදගත් වේ.නිසි සැලසුමක් මේ සඳහා සකස් කිරීමද ඉතා වැදගත්ය.මේ සැලසුම් සඳහාද මාධ්‍යය යොදා ගත හැකිය.

සංඛ්‍යා ලේඛන අනුව පෙනී යන්නේ 1956 බුද්ධ ජයන්තිය පැවැත්වූ සමයේ මත්පැන්, දුරාචාර, වැනි සමාජ පිළිලයන් අඩු වූ බවකි. ඒ සඳහා එදා මාධ්‍යය කළ කැපවීමවත් අපට තවමත් ඉටු කිරීමට හැකියාවක් ලැබී නැත. ගුවන් විදුලියෙන් වුවද සම්ප්‍රදායික ධර්ම දේශනා පැවැත්වීමෙන් පමණක් සෑහීමට පත් නොවී සියලු තරාතිරමේ ජනතාව මේ සඳහා යොමුකර ගැනීමට අදාළ වැඩසටහන් විකාශය කළ යුතුය.

ගුවන් විදුල,ි රූපවාහිනි , පුවත්පත් මාධ්‍ය සාකච්ඡා , සංවාද වැනි කාර්යයන් සඳහා සහභාගි වන්නේ රටේ පිළිගත් අයයි. මේ අත්දැකීම් සමුදාය නිසි පිළිවෙළට සකස් වී තිබුණහොත් සියලු දෙනා සමීප කර ගැනීම අපහසු නොවනු ඇත. මාධ්‍යයේ යුතුකම වන්නේ යහපත් සියලු දේ ප්‍රචාරණයට වැඩි අවකාශයක් ලබා දීමයි. මෙය ධර්මය ප්‍රචාරණය පමණකැයි වරදවා වටහා නොගත යුතුය.

උදාහරණයක් ලෙස තරුණ සමිතියක් ඩෙංගු මර්දනය වැනි ගමට රටට වැඩදායි කාර්යයක නිරත වුවහොත් ඒ සම්බන්ධයෙන් ප්‍රචාරයක් දීමෙන්ම සිදු කරන්නේ වැදගත් වූ කාර්යයකි. බුදු දහම පරිසරය රැකීම ගැන බොහෝ තැන්හිදී කරුණු දක්වා තිබීමද මෙහිලා සැලකිය යුතුය.

පොහෝ දිනයන්හිදී බොහෝ විට සිදු කෙරෙන්නේ එක් විහාරස්ථානයක් තෝරාගෙන එහි සිට වැඩසටහනක් විකාශය කිරීමය. මේ කටයුතු හා විකාශයන් සඳහා බොහෝ විට යොමුවන්නේ වයෝවෘද්ධ අයයි. මාධ්‍යය ඉන් එහාට ගොස් ඉහත පුන පුනා පැවසූ පරිදි සියලු වයස් කාණ්ඩයන්ට අයත් පිරිස් සඳහා වැඩසටහන් සකස් කළ යුතුයි. මේ පණිවුඩය ගම් මට්ටම දක්වා යා යුතුයි.

පසුගිය දිනවල රූපවාහිනි නාලිකාවන්හි විකාශය වූ කෙටි වාර්තා වැඩසටහනක් ගැන මෙහිදී යමක් කිව යුතුයි. ‘බුලත් කෑමෙහි නිරත වූ පුද්ගලයකු අවසානයේ තැන තැන කෙළ ගසා යනු පෙනේ’ “මේ ඔබද ? ඔබත් මෙලෙස හැසුරුණාද?

මෙයින් සමාජයට විශාල පණිවුඩයක් ලබා දී ඇත. ‘සංචාරයක නිරත පිරිසක් ආහාර අනුභවයෙන් පසු තැන් තැන්වල ඉතිරිදේ දමා යනු පෙනේ. පෙර පරිදිම “ මෙතන ඔබත් සිටියාද?” යනුවෙන් දැක්වීමෙන් සමාජයට ලබාදෙන පණිවුඩය ඉතා වැදගත්ය.

මෙවැනි දැනුම්වත් කිරීම් ගම්මට්ටම දක්වාම යා යුතුයි. එසේම, දහම් පාසල්ද මේ සඳහා සම්බන්ධ කර ගැනීම ඉතා වැදගත් වේ.

අද දහම් පාසලෙන් සිදු කෙරෙන්නේ වාර්ෂික කාලසටහනට අනුකූලව ක්‍රියාත්මක වැඩසටහන් පමණි. එසේ සාම්ප්‍රදායික ක්‍රමයට ගැති නොවී දස්කම් ඇති සිසු සිසුවියන්ට ඉදිරියට ඒමට කටයුතු සැලැස්විය යුත්තා සේම මාධ්‍යයෙන්ද ඔවුන්ට ඉඩක් සලසා දිය යුතුයි.

වසරේ හොඳම ලේඛකයාට සම්මාන පිරි නැමුවද බෞද්ධයන් ඇගැයීමට ලක්වන්නේ නැත. ඔවුන් ඇගැයීම් බලාපොරොත්තු නොවේ.

එහෙත් වසරේ හොඳම බෞද්ධ ලේඛකයා, හොඳම බෞද්ධ කවියා වැනි ඇගැයීම් සිදුකරන්නේ නම් එයද ඇත්තෙන්ම සමාජයේ ඇස් ඇරීමක් වනු ඇත. පොදු ආකල්ප ගොඩනැංවීමට පළමුව බෞද්ධ ගුණදහම් පුරුදු පුහුණු කළ යුතුය.

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි 03 වන දා සඳුදා අපරභාග 02.21 ට ලබයි.
04 වන දා අඟහරුවාදා අපර භාග 02.37 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 03 වනදා සඳුදා ය.

මීළඟ පෝය
ජනවාරි 12 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 03

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]