UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භික්‍ෂු අධ්‍යාපනය වෙනස් විය යුතුයි

අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ පරිපූර්ණ මිනිසකු බිහිකිරිමයි. ඒ පරිපූර්ණ මිනිසුන් සෑදීමේ විශිෂ්ටම ප්‍රතිඵලය භික්‍ෂුවයි. භික්‍ෂු අධ්‍යාපනය හැමවිටම ගිහියාගේ අධ්‍යාපනයට වඩා ඉහළින් තිබිය යුතුයි. භික්‍ෂුව සමාජයේ ඉහළින්ම සිටින්නේ, මිනිසෙක් සම්පූර්ණ කිරීමත් භික්‍ෂූන් වහන්සේගේ වගකීමක් ගිහියන්ට අනුශාසනා කිරීමත් භික්‍ෂුවගේ වගකීමක්.

ඒ නිසා භික්‍ෂු අධ්‍යාපනය ඉතා වැදගත්. භික්‍ෂුවක් සිල්වත්, ගුණවත්, උගත් විය යුතු යි. බොහෝ ගිහියන් උගත්වූවත් සිල්වත් හා ගුණවත් නැහැ.

බුදුරජාණන් වහන්සේ වදාරල තියෙන්නෙ භික්‍ෂුවක් පිණ්ඩපාතෙ ගිහින් හරි කමක් නැහැ මවුපියන් නඩත්තු කරන්න කියලයි. බුදුරජාණන් වහන්සේ ලෝකයාට දුන් පළමු ආදර්ශය මොකක්ද? කළගුණ සැලකීම උතුම් බවයි. කිසිම ආරාධනාවක් නැතිව බෝ ගස දිහාබලාගෙන ඉන්න බුදුහාමුදුරුවෝ තීරණය කළේ සෙවණ දුන් ගස කපාදාන මිනිසුන් සිටින ලෝකයට ආදර්ශයක් දෙන්නයි.

දෙවනුව තමන්ට දුෂ්කර ක්‍රියා කළ සමයේ උපකාර කරන ලද පස්වග තවුසන්ට පළමුව දහම් දෙසන්නට තීරණය කළා. එයින්ද කළගුණ සැලකීමේ අගය පෙන්නුම් කළා.

මේ තත්ත්වය මතින් තමයි භික්‍ෂුව ගිහියාගේ උපදේශකයා බවට පත්වුණේ. භික්‍ෂුව අනිවාර්යයෙන්ම පාලි ඉගෙන ගැනීමේ මූලිකයා විය යුතුයි. පාලි හැදෑරිය යුතුයි. භික්‍ෂුවට අයත් කාර්යයන් රැසක් වෙනම තියෙනවා. අපේ රටේ ගැටුම්වලට ප්‍රධාන හේතුවක් තමයි භික්‍ෂුව තමන්ට අයත් නැති කාර්යයන්ට යොමු වීම. භික්‍ෂුවකට උචිත හා උචිත නොවන කාර්යයක් වෙන් වශයෙන් දැක්වීමට පුළුවන්. පාරෙ ගමන් කිරීමේ සිට සියලු කාර්යයන් භික්‍ෂුවක් විසින් කළ යුත්තේ සිල්වත් ආකාරයෙන් දකින කෙනාගේ සිත් ගන්නා අයුරින්. නමුත් අද භික්‍ෂු අධ්‍යාපනයේත් ගිහි අධ්‍යාපනයේත් චර්යා ධර්මවල කියා වෙනසක් නැහැ. භික්‍ෂුවකගේ සාමණේර වතේ සිට පිළිපැදිය යුතු උපදෙස් ක්‍රමවේද මොනතරම් තියෙනවද? නමුත් අද ඒවා ක්‍රියාත්මක බවක් පෙනෙන්නේ නැහැ. ගෙදරින් පන්සලට එක්ක එනවා. දවසක් දෙකක් පන්සලේ ඉන්නවා. මහණ කරනවා. පිරිවෙන් යනවා. පිරිවෙනේ දි අනිත් හිමිවරුන් අතරත් ගැටුම් ඇතිවන අවස්ථාත් තියෙනවා. කොණ්ඩෙත් වවනවා. අන්‍යෝන්‍ය අවබෝධය නැහැ. භික්‍ෂුවට තමන් කවුද කියන එක ගැන දැනුමක් හැඟීමක් නැහැ. ඒක නිසයි මේ තත්ත්වයන් ඇති වෙන්නෙ. පිරිවෙනේ ඉගෙන ගන්න ගමන්ම පිකටිං වලටත් යනවා.

බුදුහාමුදුරුවො අනු දැන වදාළ ධර්මයේ කොතනද තියෙන්නෙ මේ විදිහට හැසිරීම උචිතයි කියලා. දේශපාලනය ගාව ගන්නවා. දේශපාලන රැස්වීම් වලට ගිහින් පිට්ටනිවල ගිහියොත් එක්ක සම තැන්හි බිමවාඩි වෙලා සත්‍යග්‍රහ කරනවා. උද්ඝෝෂණ කරනවා. අවසානය මොකක්ද? රටේ නීතිය ක්‍රියාත්මක කරන පොලීසිය හාමුදුරුවරුන්ට විනය කියාදෙන තත්ත්වයට ඇවිල්ලා. භික්‍ෂුව තමන්ගේ කළ යුතු නොකළ යුතු කාර්ය හොඳින් වටහා නොගැනීමයි මීට හේතුව.

සියලු ජන කොටස් මනුස්සයන් ලෙස සැලකීම තමයි බුදුදහමේ හරය විය යුත්තේ එවිට ගැටුම් ඇති වන්නේ නැහැ. භික්‍ෂුවකට කරුණාව මෛත්‍රීය වගේම භාෂා ඥානයකුත් තියෙන්න ඕන. සිංහල ඉංගී‍්‍රසි පාලි දැනුමට අමතරව දෙමළ භාෂාවත් දැනගන්න ඕන. එවිට ගැටුම් නිර්මාණය වන්නේ නැහැ. පාලි අධ්‍යාපනය හැදෑරීමෙන් පමණයි බුදුන් වහන්සේ වදාළ නියම ධර්මය ජනතාව අතරට ගෙන යා හැක්කේ.

කලින් කිව්වා වගේ පිරිවෙන් අධ්‍යාපනය අද පිරිහෙන තත්ත්වයකයි තියෙන්නෙ. විෂය කරුණු ඉගැන්වීම පමණක් නෙමෙයි පිරිවෙන් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වන්නේ. අද පාලි උගතුන් නොමැති තරම්. පොල්වත්තේ බුද්ධත්ත, වස්කඩුවේ සුභූති, බලන්ගොඩ ආනන්ද මෛත්‍රය වගේ හාමුදුරුවන් ඉංගී‍්‍රසි භාෂාවට අමතරව හොඳ පාලි භාෂා දැනුමක් තිබුණු අය. ඒ නිසයි අන්තර්ජාතිකව ඒ හිමිවරුන්ට පිළිගැනීමක් ලැබුනෙත්. නියම බුදුදහම ලොවට කියා ගන්න ලැබුණෙත්.

භික්‍ෂූන් වහන්සේ භූගෝල විද්‍යාව රසායන විද්‍යාව උගන්වල හරියන්නෙ නැහැ. උන්වහන්සේලාගේ කාරිය බුදුදහම ඉගැන්වීමයි. බුදුදහම ආගමක් නොවේ. ජීවන මාර්ගයක් හැටියටයි බුදුරජාණන් වහන්සේ වදාරා ඇත්තේ. බුදු දහමේ පංචශීලය ඇදහීම නිසා වන යහපත බෞද්ධයන්ට සීමා වන්නේ නැහැ. ඒ වගේ තමයි සෑම අතකින්ම අන්‍යයන් ගැන සිතීම වැදගත් බවයි අඟවලා තියෙන්නෙ. මේ තත්ත්වය නිසියාකාරව තේරුම් ගන්න. ‘බුදුන් වදාළ ධර්මය’ ඒ අයුරින්ම දැනගෙන ගිහි පිරිසට නිසි පරිදි ඉගැන්වීමට නම් කලින් කියූ පරිදි පාලි භාෂාව දැන ගෙන සිටිය යුතුයි. භික්‍ෂුව ආගමික හරයෙන් සන්නද්ධ විය යුතුයි. බුදුරජාණන් වහන්සේත් ධර්මයෙන් සන්නද්ධ වෙලයි හිටියෙ. ඒකයි නාලාගිරි අංගුලිමාල වැනි අය දමනය කිරීමට හැකි වුණේ. ඕනෑම කෙනෙක් ධර්මයෙන් මෙල්ල කිරීමට හැකියි.

මේ සඳහා භික්‍ෂු අධ්‍යාපනය ප්‍රතිසංස්කරණය විය යුතුයි. එසේ නොවුවහොත් භික්‍ෂූන් වහන්සේට බුදුන් වහන්සේගේ ධර්මයෙන් ගැටලු විසඳීමට නොහැකිවේ. අනෙකක් තබා පාලි භාෂාව ඉගෙන ගැනීමට පවා ගිහියන් ළඟට යෑමට සිදුවනු ඇත. එවිට භික්‍ෂුවගේ ගරුත්වය හීනවෙනවා.

භික්‍ෂූන් වහන්සේ තමන් කවුරුන්ද යන්න අවබෝධ කරගෙන තම ගමන් බිමන් කතාබහ හැසිරීම් ආදිය සංවර කර ගත යුතුයි. අද මේ පිළිවෙත් වල පිරිහීමක් දක්නට ලැබෙනවා. ප්‍රධාන බස් නැවතුම් පලකට ගිය විට ජංගම දුරකතන මඟින් අල්ලාප සල්ලාපයේ යෙදෙන තරුණ තරුණියන් සිටින අතර ඇතැම් තැනක භික්‍ෂුවකුත් තම ජංගම දුරකතනයෙන් ඇමතුමක් ලබා ගන්නවා දකින ගිහියාට ඇතිවන්නේ නිල ඇඳුමක වෙනසක් පමණයි.

එම නිසා 2600 සම්බුද්ධත්ව ජයන්තිය විසි වැදෑරුම් වැඩ පිළිවෙළේ විශේෂ මාතෘකාවක් ලෙස ගෙන ඇති භික්‍ෂු අධ්‍යාපනය ශාසනානුලෝමීව ප්‍රතිසංස්කරණ ඇතිවන අයුරින් ප්‍රතිසංවර්ධන කිරිම වහාම කළ යුත්තක්. එසේ සිදු කළ විට භික්‍ෂූන් වහන්සේට ගරුත්වය නිතැනින්ම ලැබෙනු ඇත.

එසේ නොවී මේ ආකාරයට කොණ්ඩය වවාගත් භික්‍ෂූන් වහන්සේලා තවත් කාලයක් දිගින් දිගටම මහණදම් පිරීම සිදුවුවහොත් මහනුවර යුගයේ මෙන් ගණින්නාන්සේගේ යුගයකට අපේ බුදු සසුන පත්වනු ඇත. එසේ වුවහොත් මේ ශාසනය තවත් වසර 2500 ක් නොනැසී පවත්වා ගන්නේ කෙසේද?

අපේ වගකීම ඉටු නොකර සමාජයට දොස් නැඟිය නොහැකියි. එහෙයින් තෛ‍්‍රනිකායික මහ නාහිමිවරුන් වහාම එක්වී භික්‍ෂූන්ට නව විනය මාලාවක් වහාම බල ගැන්විය යුතුයි. අවම වශයෙන් භික්‍ෂූන් වහන්සේ නමකට යා හැකි දුර පැහැදිලිව දැක්විය යුතුයි. එක්ව බැරි නම් අවම වශයෙන් එක් එක් නිකායන්ට වෙන වෙනම හෝ මෙය වහාම සකස් කළ යුතුයි.

එසේ නොවුවහොත් අද පෞද්ගලික බස් රථ සේවාව පත්ව ඇති තත්ත්වයට භික්‍ෂූන් වහන්සේ පත්වීම වැළැක්විය නොහැකි වනු ඇත. ගුණාත්මක බවක් නැති අනතුරු පමණක් ඇති තත්ත්වයට භික්‍ෂු පරපුරද ගෙන යෑමට ඉඩ නොදිය යුතුයි.

අද භික්‍ෂු අධ්‍යාපනයේ පිරිහීම පෙන්වන හොඳම ලකුණ සිවුරු පෙරවීමෙන්ම දක්නට ඇත. බුදුදහමේ ඒකාංශ හෝ උභයාංශ සිවුරු පෙරවීම හැර වෙනත් සිවුරු පෙරවීමක් දක්වා නැත. එහෙත් මෑතක සිට ඒකාංශ සිවුරු පොරවා පිටුපසින් සිවුරේ කොනක් අනෙක් උරයෙන් එල්ලා වැටීමට සලස්වන ක්‍රමයක් ද ඇතැම් භික්‍ෂූන් වහන්සේගේ සිවුරු පෙරවීමේ දී දක්නට ඇත. මේ සියල්ලටම හේතුව භික්‍ෂු පරිපාලනය නිවැරැදි නොවීමයි.

ඕනෑම පුද්ගලයන් කණ්ඩායමක් සිටින ස්ථානයක අනිවාර්යයෙන්ම නීති රීති ක්‍රියාත්මක විය යුතුයි. එසේ නොවුවහොත් එක් එක් තැනැත්තා තමන්ට රුචි පරිදි කටයුතු කිරීමට යෑමෙන් ගැටලු ඇතිවේ. දෙවන ධර්ම සංඝායනාවට හේතු වූයේ ද මෙවැන්නකි. පාලක ධර්මයක් තිබිය යුතුයි.

මිහිඳු හිමි ලක්දිවට වැඩම කළ දිනවල බොහෝ දෙනා සුමඟට හැරී ඇත්තේ උන්වහන්සේගෙන් ධර්මය අසාම නොවේ. මිහිඳු හිමියන්ගේ සංවර බව, ගමන් විලාසය කතා සංවරය, සුහද බව මේ ආදී ගුණ ධර්ම කෙරෙහි අවධානය යොමු කළ ජනතාව උන්වහන්සේගේ දහමට වඩා ක්‍රියාව අගය කළහ.

මේ නිසා අදවහා කළ යුතු වන්නේ භික්‍ෂූන් වහන්සේ ආදර්ශවත් ගුණ ගරුක තත්ත්වයට ඔසවා තැබීමයි. මෙය තරමක් අසීරු කරුණක් වීමට ද ඉඩ ඇත. කුමන සංකල්ප ක්‍රියාත්මක කිරීමට උත්සාහ කළද, ඊට විරුද්ධ වන පිරිසක් ද සිටින බව අමතක නොකළ යුතුයි. කෙසේ වූවත් භික්‍ෂූන්ගේ ආකල්ප වර්ධනය කළ හැකි ගිහියාගේ ගරු බුහුමන් ලබන උත්තමයකු බවට භික්‍ෂූන් පත් කළ හැකි වැඩ පිළිවෙළක් සම්බුද්ධත්ව ජයන්තිය උදෙසා හෝ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතුය.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]