UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ඉල් අමාවක 2010. 12. 05

මාංශ අනුභවය සුදුසු ද?

මාංශ අනුභවය බෞද්ධයන්ට සුදුසු නැති බව කියන ලිපියක් අද පත්‍රයේ ද පළ කැර තිබේ. මැල්ලවගෙදර සමණධම්ම හිමියන් විසින් ලියන ලද මේ ලිපියට පාදක වී ඇත්තේ, පසුගිය බිනර පුර පසළොස්වක පෝදා (2010.9.22) පත්‍රයට එස්.ඩී. රසිකා ප්‍රියදර්ශනී මෙනවිය ලියූ ලිපියකට විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා දුන් පිළිතුරකි. මාස් මාංශ අනුභවය සාධාරණීකරණය කළ හැකි ද? යනුවෙන් එස්.ඩී. රසිකා ප්‍රියදර්ශනී මෙනවිය ලියූ ලිපියෙහි මෙ සේ සඳහන් විය.

“මාංශ අනුභව කිරීම සම්බන්ධයෙන් ධර්මය විකෘති කර ඇති ස්වරූපයක්, මෑතකාලීන ව දැකිය හැකි වෙයි. කරණීය මෙත්ත සූත්‍රයේ දී සියලු සතුන්ට මෛත්‍රී කරන්න යැයි බුදුරදුන් දේශනා කැර තිබිය දී ඇතැම් ගිහි පැවිදි පිරිස් ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය, තහනම් කරන ලද මස් වර්ග දහය, බුදුරජාණන් වහන්සේ ගේ අවසාන දානය යන කාරණා විකෘති කොට මස් මාංශ අනුභවය සාධාරණීකරණය කරලීමට උත්සාහ කරති.”

එම ලිපියට ප්‍රතිචාර දැක්වීම පිණිස විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා විසින් ලියන ලද, ‘ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශ අනුභවය අල බතල අනුභවය හා සමානය’ නමැති ලිපිය 2010.10.30 වන දා පත්‍රයේ පළ කළෙමු. එහි මෙ සේ සඳහන් විය.

‘ගමට පිණ්ඩපාත වැඩි භික්‍ෂූන්ට , මිනිසුන් පැමිණ භික්‍ෂූන්ගේ පාත්තර, ගෙන ගොස් මත්ස්‍ය මාංශ සහිතව පිණ්ඩපාතය සකසා ගෙනැවිත් දේ. මෙය භික්‍ෂූන් සඳහා කරන ලද්දේ ද නොවේ දැයි භික්ෂූහු සැක පහළ කරති. තද්‍රභය විමුක්ති පරිසංකිත නමි. එ සේ සැක ඇත්තේ නම් පිළිගැනීම නො වටී. එහෙත් මිනිසුන් කරුණු පැහැදිලි කිරීමෙන් හෝ තමන් විසින් ම සැක පහළ නො කළේ නම් හෝ සැකයෙන් තොරනම් ඒ මත්ස්‍ය මාංශ පිණ්ඩපාතය පිළිගැනීම වටී. සුදුසුය. මියගියවුන්ගේ පේත කෘත්‍යයන් සඳහා හෝ මඟුල් ගෙයක් සඳහා හෝ පිසින ලද මත්ස්‍ය මාංශ පිළිබඳ ව ද මෙ සේ ය. යම් දෙයක් භික්‍ෂූන් සඳහා නො කරන ලද්දේ ද යම් තැනක ඒකමතික වෙත් ද ඒ සියල්ල කැප ය. සුදුසු ය. එක විහාරයක සිටින හෝ පිටතින් වඩමවා දෙන සාංඝික දානයක දී හෝ භික්‍ෂූන් සඳහා ම මත්ස්‍ය මාංශ එකතු කරන ලද්දේ යැයි භික්ෂූහු පිරිසක් දනිත්නම් ඔවුනට එය අකැප ය. එහෙත් පිටතින් වැඩම කළ අය නො දනී නම් ඔවුනට කැප ය. වරද නැත. සියලු දෙන ම දනී නම් සියලු දෙනට නො වටී. එකට සිටින භික්‍ෂූන් පස් දෙනකු අතරින් එක් භික්ෂුවක් සඳහා සතෙකු මරා පිණ්ඩපාතය දෙයි.ඔහු ඒ බව දනී. ඒ නිසා ඔහු එය නො වලඳයි. එහෙත් අනෙක් හතර නම වලඳති. පස්දෙනාට ම ඇවැත් නැත. වරද නැත. දන්නා අය නොවැලඳීම නිසා වරද නැත. අනෙක් සිව් දෙනා නො දන්නා නිසා වරද නැත. ‘

“මේ අනුව අදිට්ඨං භික්‍ෂූන් සඳහා මරා ගන්නා බව නො දුටු අසුතං භික්‍ෂූන් සඳහා මරන ලද්දේ යැයි නො ඇසූ දිට්ඨසුත පරිසංකිත වශයෙන් සැක නො කළ යන ත්‍රිකෝටික පාරිශුද්ධ මාංශය පරිභෝග කිරීම වනයෙහි අල බතල හා ශාඛ පරිභෝග කිරීම හා සමාන ය. කිසිදු වරදක් නැත. මේ තමා බුදු හාමුදුරුවන් ජීවක වෙදදුරාට පැහැදිලි කළ ත්‍රිකෝටික පාරිශූ®ද්ධ මාංශ ය.’

විජිතනන්ද සරත්චන්ද්‍ර මහතාගේ එම ලිපිය පළ කරන ලද්දේ, එය සාර්ථක පිළිතුරක් නිසා හෝ එහි සඳහන් අදහස් අප අනුමත කරන නිසා හෝ නො වේ. පුවත්පතක් ලෙස සත්‍යයට සහ සත්‍යය දැන ගැනීමට පාඨකයන්ට ඇති අයිතියට ගරු කිරීම අප ගේ යුතුකම වන නිසා එය පළ කළෙමු. මෙහි දී සත්‍යය යනු අප විශ්වාස කරන දෙය හෝ අප කැමැති දෙය පමණක්ය යන මිථ්‍යාවේ අප රැඳී නො සිටින බව කිව යුතු ය.

කෙ සේ වුව ද ඔහු ගේ එම ලිපිය කියැවූ කිහිපදෙනෙක් ම අපට දුරකථනයෙන් කතා කළ හ. ඔවුන් සියලු දෙනා ගේ් අදහස වූයේ විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා ගේ මාංශලෝලි එම අදහස් පළ කිරීම නො කළ යුතු ව තිබුණු බව ය. ඊට ප්‍රතිචාර වශයෙන් එස්.ඩී. රසිකා පි‍්‍රයදර්ශනී මෙනවිය විසින් ලියන ලද පාපයෙහි ආදීනව දන්නෝ මස් මාංශ අනුභවයෙන් තොර ය” නමැති ලිපිය 2010.11.05 වන දා පළ කළෙමු. ඇගේ එම පිළිතුර අවසන් කැර තිබුණේ මෙ සේ ය.

“සම්බුද්ධ දර්ශනය පවිත්‍ර වූ දහමකි. පුද්ගලයා හට යහමාර්ගය පෙන්වා දී ඇත. එම මාර්ගයේ ගමන් කිරීම හෝ නො කිරීම තමා සතු ය. තමා ගේ විමුක්ති දායකයා තමා ම මිස අනෙකකු නො වන බව බුදුහිමියන් දේශනා කැර ඇත. සම්බුද්ධ දේශනාවේ දහම් රසය විඳ පාපයෙහි ආදීනව දන්නෝ මස් මාංශ අනුභවයෙන් තොරවීම ද, මාංශ අනුභවයට ගිජුවූවන් එය අනුභව කිරීමට යොමුවීම ද තර්ත විතර්ක නැඟීමට කාරණයක් නො වනු ඇත. “

නීතීඥයකු සිය සේවාදයකයා වෙනුවෙන් උජාරුවට තර්ක ඉදිරිපත් කරන්නා සේ විජිතනන්ද සරත්චන්ද්‍ර මහතා මෙහි දී කටයුතු කැර තිබේ. සූකර මද්දවය පිළිබඳ ව අටුවාචාර්ය බුද්ධඝෝෂ හිමියන් ගේ මතය ඔහුට රස පරීක්‍ෂක වාර්තාවක් වී ඇත.කාලය, දේශය හා සිද්ධිමය කරුණු විශ්ලේෂණයකින් තොර ව පොදු නිගමනයකට එළඹීමට ඔහු දරා ඇති උත්සාහය අසාර්ථකය. එ පමණක් ද නො ව එස් .ඩී. රසිකා පි‍්‍රයදර්ශනී මෙනවිය ගේ මූලික තර්කය වන මස් මාංශ අනුභව කරන සියලු දෙනා එම සතුන් ගේ මරණයට වග කිව යුතුය යන්නට ඔහු පිළිතුරක් දී නැත. පරපණ නැසීමෙන් වළකිමි යැයි ප්‍රතිඥා දී සියලු සත්වයන්ට මෛත්‍රී කරන ඊනියා බෞද්ධයන් මාංශ අනුභවය ත්‍රිපිටකය ඇසුරින් සාධාරණීකරණය පිණිස මෙ සේ උත්සාහ දැරීම ලජ්ජාවට කරුණකි.

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් 05 වන දා ඉරිදා පූර්ව භාග 12.23 ට ලබයි.එදිනම අපර භාග 11.06 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම දෙසැම්බර් 05 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 13 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

Second Quarterඅව අටවක

දෙසැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]