UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ඇසළ අව අටවක 2010.08.03

භික්ෂුණී ශාසනය

ශාරීරික වුවමනාවක් වශයෙන් ඇරැඹි නිරුවත වසා ගැනීමේ ක්‍රියාවලිය මානව සංහතියේ වර්තමාන ස්වභාවය තීරණය කළ ප්‍රධාන සාධකයකි. නිරුවත වසා ගැනීමේ ක්‍රියාවලියේ ඓතිහාසික ප්‍රතිඵලයක් ලෙස ශිෂ්ටත්වයට පත් මිනිසා පසු ව එය සංස්කෘතික වුවමනාවක් බවට පෙරළා ගත්තේ ය. ඒ අනුව, ජීව විද්‍යාත්මක වෙනස ඉක්මවා ගිය සංකල්පීය බෙදීමක් ගැහැනිය හා පිරිමියා අතර ඇති විය. එහි දී කාන්තාවට සිදු වූ අසාධාරණය විමුක්ති අරගල බිහිවීමට පවා හේතු වූ කරුණකි.

ආසියාවේ හා මැදපෙරදිග රටවල කාන්තාවන් ගේ එ බඳු විමුක්ති අරගල පිළිබඳ ව කතා කිරීමට මහාචාර්ය කුමාරි ජයවර්ධන විසින් ‘ස්ත්‍රීවාදය සහ ජාතිකවාදය’ නමැති කෘතිය ලියන ලදී. ශ්‍රී ලංකාවේ කාන්තාවන් ගේ යටත් පහත් භාවය හා විමුක්තිය යනුවෙන් එහි දැක්වෙන පරිච්ඡේදයේ සුළු කොටසක් මෙහි පහත උපුටා දක්වමු.

‘බුද්ධාගම බ්‍රාහ්මණයන් ගේ ඉගැන්වීම් ද වත් පිළිවෙත් ව්‍යවහාරයන් ද බොහෝමයකට විරුද්ධ විය. බුද්ධාගම මඟින් ඇති කරන ලද ප්‍රතිසංස්කරණ වලින් ක්‍ෂණික ප්‍රතිඵල දක්නට ලැබුණු එක් ක්ෂේත්‍රයක් වූයේ සමාජයෙහි කාන්තාවන් සතු කාර්යභාරය යි. බ්‍රාහ්මණවාදි සමාජ ක්‍රමය කුලභේදය මත පදනම් විය. තදින් ම පිතෘමූලික විය. එය ගෘහස්ථ වැඩ කටයුතු හැර අන් කිසි කාර්යභාරයක් කාන්තාවන්ට ඇතැයි නො පිළිගත්තේ ය. බුද්ධාගම මඟින් කාන්තාවන්ට සමාජ ගෝලය විවෘත කරනු ලැබිණ. ඒ සඳහා කැරුණු ඉතා ම වැදගත් කාර්ය වූයේ, බෞද්ධ පැවිදි පන්තිය තුළට - භික්ෂුණීන් වශයෙන් - ඇතුළු වීමට කාන්තාවන්ට ඉඩ සැලසීමයි. අනිත් අතින් බ්‍රාහ්මණ ව්‍යවහාරය අනුව, වත්පිළිවෙත් මෙහෙයවීම පිරිමින් සතු වූ ඒකාධිකාරි අයිතියක් විය’.

එම පරිච්ඡේදය අවසානයේ කතුවරිය සිය නිරීක්ෂණ මෙ සේ දක්වයි.

‘පාරම්පරික සමාජයෙහි කාර්යභාරයන්ට වඩා මතු පිටින් පමණක් වෙනස් වූ කාර්යභාර සඳහා කාන්තාවන් සමාජයීය වශයෙන් හැඩ ගැසීමට ද කාන්තාවන් සඳහා වූ අධ්‍යාපන ක්‍රියාදාම උපකාරී විය. මේ ලෙස ශ්‍රී ලංකාව කර්කශ වූ ද නො සැඟවුනා වූ ද, පීඩන ක්‍රමවලට කාන්තාවන් ගොදුරු නො වූ හා එ බැවින් කාන්තා විමුක්තිය සඳහා එ කල පැවැති සමාජ මායිම්වලින් ඔබ්බට ගිය ව්‍යාපාරයක් සංවර්ධනය නො වූ සමාජයක් පිළිබඳ හොඳ නිදසුනකි.’

සිංහල බෞද්ධ සංස්කෘතිය යටතේ කාන්තාව ක්‍රියාකාරකම් පැහැදිලි කැරෙන සිද්ධියක් පසුගිය 25 දා ඉරිදා ලංකාදීප මෙ සේ වාර්තා කොට තිබිණි.

‘ශ්‍රී ලංකා භික්ෂුණී සසුනේ ගෞරවයට තවත් විශිෂ්ට ගෞරවයක් පසුගිය දා එක්වුණි. ඒ ඓතිහාසික රංගිරි දඹුල්ල සංඝ සභාවේ උපෝසථාගාරයේ දී පැවැති ශ්‍රී ලංකා භික්ෂුණී උපසම්පදා උත්සවයේ දී ය. මෙ දින ශ්‍රී ලංකාව පුරා වැඩ සිටින ශ්‍රී සම්බුද්ධ ධර්මය පිළිබඳ අවබෝධය හා ඉගෙනුම ලැබූ ධර්ම විනයෙහි හැසිරීම සඳහා අදිටන් කරගත් සාමනේරී භික්ෂුණීන් වහන්සේලා 31 නමක් උපසම්පදා විනය කර්මයේ පිහිටුවීම සඳහා උත්සවය සංවිධානය කැර තිබුණි’.

‘වසර 900 ක් පුරාවට ශ්‍රී ලංකාවේ අභාවයට ගිය භික්ෂුණී සසුන යළි ස්ථාපිත වූයේ 1988 වසරේ මාර්තු 18 වන දින ය. එදා සිට මේ දක්වා භික්ෂුණී උපසම්පදා උත්සව 18 ක් පවත්වා ඇති අතර උපසම්පන් භික්ෂුණීන් වහන්සේ ලා 800 ක් පමණ නමක් සිරිලක තුළ ධර්ම ප්‍රචාරයේ යෙදී සිටිති. උපසම්පදාවීම සඳහා සාමනේරී භික්ෂුණීන් වහන්සේ ලා 3000 ක් පමණ නමක් රටපුරා විසිරී දහම් අධ්‍යාපනය හදාරමින් විවිධ සමාජ මෙහෙවරයෙහි යෙදී සිටිති’.

‘මෙ වර පැවතියේ 18 වන උපසම්පදා උත්සවය යි. එය ඉතා වැදගත් ම උපසම්පදා උත්සවයක් බවට පත්වූයේ මහාචාර්ය හා කථිකාචාර්ය සාමනේරී භික්ෂුණී දෙපලක් ද උපසපන්වීම නිසා ය. එය ශ්‍රී ලංකා භික්ෂුණී ශාසනයේ ඉතා වැදගත් ම වූ අවස්ථාවකි.’

‘ස්වීඩනයේ පදිංචි ව සිට ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකා භික්ෂුණී සසුනට එක් වූ මහාචාර්ය වෛද්‍ය පානබොක්කේ සීවලී භික්ෂුණීන් වහන්සේත්, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයයේ සිංහල හා ජනසන්නිවේදන කථිකාචාර්ය නාවලපිටියේ අනුරාධා සුදම්මිකා භික්ෂුණීන් වහන්සේත් එ සේ උපසම්පදා ලැබූ හ.’

‘සම්බුද්ධ ශාසනයේ කියැවෙන පරිදි භික්ෂු - භික්ෂුණී- උපාසක - උපාසිකා යන සිවුවනක් පිරිස සපිරීම සඳහා මේ සුවිශාල ආගමික මෙහෙවර කළේ ඉනාමළුවේ ශ්‍රී සුමංගල සියම් මහා නිකායේ රංගිරි දඹුලු පාර්ශ්වයේ මහානායක, තලල්ලේ ධම්මාලෝක අනුනායක, මහාචාර්ය කුඹුරුගමුවේ වජිර, මහගල්කඩවල පුඤ්ඤසාර යන නා හිමිවරුන් විසිනි”.

කෙ සේ වුව ද භික්ෂුණී ශාසනය පිහිටුමේ මේ උත්සාහයට බොහෝ විවේචන එල්ල කෙරේ. එ බැවින් භික්ෂුණී ශාසනය පිහිටුවීම පිළිබඳ ව සියලු නිකායන්හි පොදු එකඟතාවයක් ඇති කැර ගැනීම වැදගත් බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය අගෝස්තු මස 2 වන දා සඳුදා අපරභාග 10.01 ට ලබයි. 3 වන දා අඟහරුවාදා පූර්ව භාග 10.47 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු මස 3 වන දා අඟහරුවාදාය.
මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 03

New Moonඅමාවක

අගෝස්තු 09

First Quarterපුර අටවක

අගෝස්තු 16

Full Moonපසෙලාස්වක

අගෝස්තු 24

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]