UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඓතිහාසික සාධක සපිරි වත්තේගම රජ මහ වෙහෙර

බිරිතානි අදිරදවාදීන් විසින් 1815 මාර්තු 02 වැනි දින කන්ද උඩරට රජය අත්පත් කැර ගැනීමට පෙර ඌව වෙල්ලස්ස පාලනය වූයේ මහනුවර රජවරුන් යටතේ ය. කිතු වසින් 1747 – 1782 මහනුවර රජ කළ කිත්සිරි රාජසිංහ රජු විසින් වෙල්ලස්සේ බොදු පුබුදුව නංවාලීම සඳහා ඉමහත් මෙහෙයක් සිදු කළේය. වසර දහස් ගණනක් තිස්සේ ගරා වැටී තිබුණු වෙල්ලස්සේ ඉපැරණි වෙහෙර පිළිසකර කරවා එහි නව බුදු මැදුරු තනවා බුදු පිළිම හා සිත්තම් කරවා දිදුළුවීම එහි මුල් තැනහි ලා සැලකිය හැකිය.


නුවර යුගයේ පිළිමයක්

සියඹලාන්ඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට අයත් වත්තේගම ඉපැරණි රජ මහ වෙහෙර එයින් එක් වෙහෙරකි. මොනරාගල සියඹලාන්ඩුව මහ මඟෙහි කොඩයාන තෙමංසලට පැමිණ එහි සිට කිලෝමීටර් සොළසක පමණ දුරක් කොටියාගල ගමට යා යුතු මෙගහි ගමන් කළ පසු වත්තේගම පැරණි වෙහෙරට පැමිණිය හැක.

බටහෙල නම් කඳුවැටිය ඇසුරු කරගෙන අතීතයේ මේ වෙහෙර කරවා තිබිණි. එහෙත් වත්මන කොටියාගල ගොවි ජනපදයට යන මහ මඟ ඉදිකිරීමේ දී වෙහෙර බිම දෙපසට බෙදී ගියේ ය. එහෙයින් වත්මනෙහි මෙහි නටබුන් බිම් කඩ දෙකක දැකගත හැකිය.

අඩි අසූවක පමණ උසට සෘජුව නැගී සිටින ගිරි කුළ මත මේ නටබුන් දැක ගත හැකිවේ. කටාරම් කොටා විසීමට සුදුසු සේ සකස් කල ගිරි ලෙන් හතරක් එහි වේ.

අඩි 80ක් පමණ උසවූ ගිරිලෙන් වලට යෑම සඳහා ගිරි කුළ කපා නෙළන ලද පියගැට සියයක් පමණ තිබේ. සෝපාන පෙළ නිමවෙන්නේ ගිරිකුළ මත කපා සකස් කළ විසල් පොකුණු දෙකක් සමීපයෙනි. පොකුණක පළල අඩි 15 කි. දිග අඩි 80 කි. ගැඹුර අඩි 20 ක් පමණ වේ. මෙහි එක් පොකුණක් රහතුන් වහන්සේලාගේ සිවුරුපඩු ගැන්වීමෙහි ලා භාවිතා කළ බව ජන වහරෙහි සඳහන්වේ.


නුවර යුගයේ බිතු සිතුවම්

ගිරි ලෙන් ඇසුරෙන් ලියන ලද සෙල් ලිපි හතරක් මෙහි දී හමුවී ඇත. අඩි තුනක් පමණ පුලුල් වූ මේ සෙල්ලිපි කිතු වසින් පළමු වැනි හෝ දෙවැනි හෝ සියවස් වලට අයත් බැහැමි අකුරුවලින් සමන්විතය. ඉවත්තේගම පෙදෙසේ ගොඩ ඉඩම් හා කුඹුරු ඉඩම් කීපයක් සියලු සඟුන්ට පුද කළ බවත් එහි පුණ්‍ය ඵලය සියලු සත්වයින් විසින් අනුමෝදන් විය යුතු බවත්” එක් සෙල් ලිපියක සඳහන් වේ. (ඌව ඉතිහාසය – පූජ්‍ය නාවුල්ලේ ධම්මානන්ද හිමි – 302 පිටුව)

තල තුනකින් සමන්විතය. පහත මාලයේ නටබුන් අතර ඉපැරණි පන්සල් ගෙය තිබූ තැන ශේෂ වූ දැවමුවා විසල් උලුවහු කඳක් ඇත. එහි කැටයම් චමත්කාරය.

දෙවැනි මහලෙහි තන්හි තන්හි දැක ගැනීමට ඇති සෙල්මුවා කුළුණු රැසෙකි. ඒවා වෙහෙර බිම දෙවැනි මහලට නැගීම සඳහා ඇති සෙල්මුවා පියගැට පෙළකි. එය පියගැට පහකින් යුක්තය. වත්මන් බුදු මැදුර සහ ආවාස ගෙයද දෙවැනි මහලේ කරවා ඇත.

තෙවැනි මහල ඇත්තේ දෙවැන්නට අඩි අටක් පමණ ඉහළිනි. එහි ඉපැරණි දාගබ කරවා ඇත. ඊට අමතරව වත්මන් පොහොය ගෙය ද එහි ඉදිකර තිබේ. තෙවැනි මහලට පිවිසීම සඳහා සිව් පැත්තෙහි මැ සෝපාන පංති ඇත. සෝපාන පංති දෙපස අඩි හතරක් පමණ උස සෙල්මුවා කුළුණු දෙක බැගින් සිටුවා තිබේ. තෙවැනි මහලෙහි දාගබ මෙහි සුවිසෙස් වූ පුරාවිදු සාධකය වේ. ගරා වැටී ඇති එය අඩි හැටක් පමණ උස ඇතැයි අනුමාන කළහැක. අඩි අසූවක පමණ වට ප්‍රමාණයකින් යුක්ත වේ.


නටබුන් වූ චෛත්‍යය

සලපතල මලුවේ ඉමේ අඩි හයක විෂ්කම්භයෙන් යුක්ත වූ අඟල් අටක් පමණ ගනකම ඇති වෘත්තාකාර සෙල්මුවා නිමවුමකි. එය දාගබේ කොත් කැරැල්ල වෙනුවට ගබ මැද සිටුවන ලද ඡත්‍රය සේ සැලකිය හැකිය. බුදු දහම පැමිණි අවධියේ ලක්දිව දාගබ් නිමැවුම් කිරීමට ඇබෑසිය ලැබුවේ “බාරතයේ සාංචි ස්ථුපය” ඇසුරෙනි. දෙවැනි පෑතිස්සයන් කළ බොහෝ දාගබ් වල කොත් කැරැල්ල වෙනුවට මෙවැනි සෙල්මුවා ඡත්‍ර කරවා තිබූ බව පෙනේ.

දාගබ සමීපයේ මැ ඇති බුදුරජාණන් වහන්සේගේ සිරිපා සඟල සටහන් කර ඇති සෙල්මුවා පුවරුව මෙහි ඇති තවත් වෙසෙසි පුරාවිදු නිමැවුමකි. එය අඩි දෙකයි අඟල් හයක් දිග හා අඩි දෙකක් පළල අඟල් අටක් උසවූ ගල් පුවරුවකි. බුදු පිළිමය නෙළීමට පෙර බොදු දනෝ වැඳුම් පිදුම් කිරීමට සිරිපතුල සහිත ගල් පුවරු භාවිතා කළහ.


මළුවට නැඟ යාමට ඇති පියගැට පෙළ

දාගබ සමීපයේ ඇති සෙල්මුවා පහන අගනා පුරාවස්තුවකි. අඩි හතරක පමණ විශ්කම්භයක් ඇති එය අඩි එකක් පමණ උස්වේ. තෙල් පිරවීම සඳහා එය මැද කැණ ඇති වළෙහි ගැඹුර අඟල් නවයක් පමණවේ. අඟලක් පමණ විශ්කම්භයක් ඇති සිලින්ඩරාකාර තිරයක් යෙදවීමට හැකි වෙනසේ පහනෙහි මුවවිට නිමවා ඇත. මෙය ද කැටයමින් තොරය. වෙහෙර බිම නිතිපතා අලු කරන දොළොස්මහේ පහනක් සේ මෙය භාවිතා කරන්නට ඇත.

දාගබට මීටර් පනහක පමණ දුරෙන් දෙවැනි මහලේ කරවා ඇති බුදුමැදුර ද වෙසෙසි කලා නිමැවුම් රැසකින් සමන්විත ය. මහනුවර රජ කළ (කි.ව. 1747 – 1782) කිත්සිරි රාජසිංහ රජු වෙල්ලස්සේ නටබුන්ව තිබූ පැරණි වෙහෙර රැසක් පිළිසකර කරවූ බව යටගියාව සඳහන් පත පොතෙහි දැක්වේ. (ශ්‍රී ලංකාවේ ඉතිහාසය - තෙවැනි කොටස 221 පිටුව) එසේ කරවන ලද වෙහෙර අතර වත්තේගම පැරණි වෙහෙර ද එකකි. මෙහි ඇති සියලුම කලා නිමැවුම් මහනුවර යුගයේ කලා සපදමට අයත්වීම එයට සාධක වේ.

ඔත් පිළිමය ඒ නිමැවුම් අතර වෙසෙසි තැනක් ගනී. එය මහනුවර යුගයේ මූර්ති කලාව පිළිබිඹු කරයි. නිදන් සොරුන්ගේ අතවරයට බඳුන්වීම නිසා එහි සිරස්පත ගිලිහී ගොස් ඇත. ඔත් පිළිමය දෙපස නිමවා ඇති අගසව් දෙනමගේ පිළිම අඩි හයක් පමණ උස් වේ.

බුදු මැදුර තුළට ඇතුළුවීමට දැව මුවා දොරටුවකි. එහි උළුවැස්ස පළාපෙති මෝස්තරයකින් ලකර කර තිබේ. දොරටුව දෙපස දොරටුපාල රූ වෙනුවට කර ඇත්තේ විසල් සිහ රූ දෙකකි. දොරටුවට ඉහළින් ඇති මකර තොරණ අගනා නිමැවුමකි.

වත්තේගම පැරණි රජ මහ වෙහෙර අනුරාධපුර යුගයේ සිට මහනුවර යුගය දක්වා යුග ගණනාවක දියුණුව විදහා දක්වන වෙල්ලස්සේ ඇති තවත් අගනා බොදු වෙහෙරකි. එහෙයින් එය රැක ගැනීමට පුරාවිදු නිලධරයින්ගේ නුවන් යොමු කිරීම අගනා මෙහෙයකි.

 

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය ජූනි මස 18 වන සිකුරාදා අපරභාග 11.04 ට ලබයි. 19 වන සෙනසුරාදා අපරභාග 08.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 19 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 25 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]