UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

පොසොන් පුර අටවක 2010.06.19

රෝගයට වඩා ප්‍රතිකාරය හොඳ විය යුතු ය 

කාලය හා දේශය අනුව අධ්‍යාපනයේ පරමාර්ථ වෙනස් විය යුතු ය. එය ලෝක ඉතිහාසය විමසා බලන විට ද පැහැදිලි වන කරුණකි. එහෙත්, අපරදිග ජාතීන් විසින් සිය අවශ්‍යතා සඳහා බිහි කරන ලද අධ්‍යාපන ක්‍රමය අපි මහත් අභිරුචියෙන් යුතු ව වැලැඳ ගෙන සිටිමු. එහි ප්‍රතිඵලයක් ලෙස විටින් විට සමාජ සංවාද මතුවනු දක්නට ලැබේ. මේ නිසා අපරදිග දාර්ශනිකයන් ගේ අධ්‍යාපනික මතවාද හැදෑරීම අපට මඟ හැරිය නො හැකි ය. විශේෂයෙන් ම ප්‍රංශ විප්ලවයෙන් පසු ඇති වූ සමාජයීය ආකල්ප අනුව ගොඩනැඟී තිබුණු දාර්ශනික මතවාද පිළිබඳ ව සොයා බැලීම මෙහි දී වැදගත් වනු ඇත. සිංහල විශ්වකෝෂය ඒ සඳහා මෙ සේ උපුටා දක්වමු.

“අධ්‍යාපනයේ පළමුවෙනි පරමාර්ථය නම්: මනුෂ්‍ය සංහතියේ හැම එකකුට ම ඔහුගේ අවශ්‍යතා සපයා ගැනීමට හා ඔහු ගේ අභිවෘද්ධිය සලසා ගැනීමට මඟ පාදා දීම ද ඔහුගේ අයිතිවාසිකම් හඳුනාගෙන එයින් පල ප්‍රයෝජන ගැනීමට හා යුතුකම් අවබෝධ කරගෙන එය ඉටු කිරීමට කරුණු සලසා දීම ද වේ. දෙවෙනි පරමාර්ථය නම්: එක් එක් මිනිසා තුළ සහජයෙන් පිහිටි දක්‍ෂතා වර්ධනය කරමින්, තමාට සහභාගි වන්නට අයිතියක් ඇති සමාජ සේවාවෙහි යෙදීමට හැකියාවක් ලබා දීමෙන් නීතියෙන් ඇති කරන ලද සමානාත්මතාව සාක්ෂාත් කිරීම වේ. තුන්වෙනි පරමාර්ථය නම්: කර්මාන්ත වර්ධනය කිරීමෙන් සමාජයේ වැඩිදෙනාගේ සුඛ විහරණය ද කර්මාන්තයේ නියුක්ත වූවන්ගේ අභිවෘද්ධිය ද සලසා දීම වේ.”

එහෙත්, අප ගේ පාරම්පරික සංස්කෘතික වුවමනාවන් මෙන් ම පැරැණි බෞද්ධ අධ්‍යාපනය මඟින් අපේක්‍ෂිත සමාජ සාරධර්ම ආරක්‍ෂා කිරීම වත්මන් වෙළෙඳපොළ ආර්ථික ක්‍රමය යටතේ කළ නො හැකි ය. මෙය, ඉංගී‍්‍රසි දාර්ශනිකයකු වූ රූසෝ (1812 -1867 ) ගේ වචන වලින් පවසන්නේ නම්, අනාගත ව්‍යාජ අභිවෘද්ධියක් හෙවත් සැපතක් උදෙසා වර්තමානය කැප කරන තරම් අශිෂ්ට වූ අධ්‍යාපන ක්‍රමයක් පවතී. ඒ නිසා ළදරුවා කුඩා අත් පා ඇති වැඩිහිටියකු ලෙස නො ව, ළදරුවකු ලෙස සැලැකිය යුතු ය. ඉගැන්වීමේ අරමුණ ළදරුවා ගේ අරමුණු වලට පටහැනි නො විය යුතු ය.

එහෙත්, මේ යථාර්ථය අපි අමතක කැර ඇත්තෙමු. එ සේ වුව ද එය විවිධ මාර්ගවලින් මතුපිටට පැමිණේ. විටෙක එය දේශපාලන කැරැල්ලකි. තවත් විටෙක එය ආර්ථික ගැටලුවක් විය හැකි ය. අප ගේ අධ්‍යාපනයේ මේ අසම්පූර්ණ භාවය අද වන විට වෙනත් ස්වරූපයකින් මතු වී තිබේ.

ඉරිදා දිනවල උදය වරුවේ හා පෝය දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීම සඳහා නව නීති සැකසීමට ප්‍රධාන අමාත්‍යවරුන් ගේ 27 වන සමුළුවේ දී ගත් තීරණය සලකා බැලිය යුත්තේ මෙ බඳු පසුබිමෙක ය. ඉරිදා හා පෝය දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට සබරගමුව පළාත් සභාව මේ සමුළුවට පෙර තීරණය කැර තිබූ බව මෙහි දී අවධානයට ගත යුතුය. ඉරිදා දිනවල උදය වරුවේ හා පොහොය දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම තහනම් කිරීමට හේතු වී ඇත්තේ, දහම් පාසල් අධ්‍යාපනයෙන් බොහෝ දරුවන් දුරස්වීම කෙරෙහි එය බලපා තිබීම ය.

පන්සල කේන්ද්‍ර කැර ගත් සාරධර්ම අධ්‍යාපනයක අවශ්‍යතාව කොන්දේසි විරහිත ව අපි පිළිගත්තෙමු. එ සේ වුව ද පෞද්ගලික උපකාරක පන්ති තහනම සාර්ධර්ම අධ්‍යාපනය සාර්ථක කැර ගැනීම සඳහා හේතු වේ යැයි කිව හැකි ද? ඊට හේතුව අන් කිසිවක් නො ව පාසල් අධ්‍යාපනය නමැති මහා තරගය නිසා බිහි වූ පෞද්ගලික උපකාරක පන්ති නමැති අවශ්‍යතාව මේ තහනම මඟින් අහෝසි නො වීම ය. මෙය අවබෝධ කැර ගැනීම සඳහා තරුණයන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව (1990 ) උපුටා දැක්වීමට කැමැත්තෙමු.

“1987 අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් 112,577 දෙනාගෙන් සුදුසුකම් ලැබුවේ ශිෂ්‍යයන් 31,079 දෙනකු පමණි. මොවුන් අතුරෙන් විශ්වවිද්‍යාලයට ඇතුල්වීමට හැකිවූයේ තේරුණු 6143 දෙනකුට පමණි. මේ හේතුවෙන් 1987 අවුරුද්දේ පමණක් උසස් පෙළ විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන් 106 , 434 දෙනෙක් විශ්ව විද්‍යාලයට ඇතුල්විය නොහැකි ව සුන් වූ බලාපොරොත්තු ඇත්තෝ බවට පත් වූහ “.

එම වාර්තාවෙහි සඳහන් මෙහි පහත උපුටා දක්වන නිර්දේශය ද අප ගේ අවධානයට ලක්විය යුතු ය.

“අධ්‍යාපනයේ සමස්ත අරමුණු විය යුත්තේ ‘ඉගැන්වීම ‘ නොව ‘ඉගෙනීමය’ තවත් ආකාරයකින් ප්‍රකාශ කරන්නේ නම් ළමයින් දැනුම ලබන්නේ ද යන වග හා අවශ්‍ය නිපුණතා අධ්‍යයනය කරන්නේ ද යන වග පෙරදැරි කොටගත් අනවරත පරීක්ෂණයකට හා ප්‍රතිශෝධනයකට දැනුම ඉදිරිපත් කිරීමේ ක්‍රමය භාජනය කළ යුතු ය”.

එ බැවින් පෞද්ගලික උපකාරක පන්ති තහනමට වඩා වැඩි පිළියමක් මේ සඳහා අවශ්‍ය වී තිබේ.

පොසොන් පුර අටවක

පොසොන් පුර අටවක පෝය ජූනි මස 18 වන සිකුරාදා අපරභාග 11.04 ට ලබයි. 19 වන සෙනසුරාදා අපරභාග 08.59 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූනි 19 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
ජූනි 25 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජුනි 19

Full Moonපසෙලාස්වක

ජුනි 25

Second Quarterඅව අටවක

ජූලි 04

New Moonඅමාවක

ජූලි 11

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]