UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ජීවිතය සුවපත් කරන නිවැරැදි මානව සබඳතා

සහජීවනයෙන් පිරි යහපත් සමාජයක් උදෙසා මානව සම්බන්ධතාව අත්‍යවශ්‍ය සාධකයකි. මෙය බුදු දහමේ නිරතුරු අවධානයට යොමු වන දෙයකි. භාග්‍යවතුන් වහන්සේ තරම් මානව සම්බන්ධතාව පිළිබඳ දේශනා කළ ආගමික ශාස්තෘවරයකු ලොව මෙතෙක් පහළ වී නැත. උන්වහන්සේ, සමාජයේ විවිධ පැතිකඩ හරහා යහපත් මානව සම්බන්ධතා මනාව පැහැදිලි කර දුන්හ.

මානව සම්බන්ධතාව බිළිඳකු මවු කුස පිළිසිඳ ගත් මොහොතේ සිටම, ක්‍රමානුකූලව ගොඩනැගෙන්නක් බව දැක්වේ. මවු කුස පිළිසිඳ ගත් ලේ කැටි බිළිඳා ගැන සිත සිතා, ආදරණීය මාතාව ඉතා සතුටින් යුතුව මනා පෝෂණය, සෞඛ්‍යය ආරක්‍ෂාව ලබා දෙමින් තම දෛනික කටයුතු වල යෙදෙන්නේ දැඩි වගකීමකින් හා දැඩි පරිස්සමිනි. ඒ මෙලොව එළිය දැකීමට කල් යල් බලා සිටින ලේ කැටි බිළිඳා ස්වකීය මව සමග ඇති කර ගන්නා, සෙනෙහස් සම්බන්ධතාව නිසාය. මවු සෙනෙහස, දයාව, කරුණාව, ආදරය ලබමින් අනුක්‍රමයෙන් මව්කුස තුළ වැඩෙන දරුවා මෙලොව එළිය දකියි. එතැන් සිට දවසින් දවස පියවරෙන් පියවර සමාජය සමග ඇති කර ගන්නා මානව සම්බන්ධතා සිඟාලෝවාද සූත්‍රය අනුව ලුහුඬින් මෙසේ දැක්විය හැකි ය. මවුපිය දූ දරු සබඳතා ගුරු ශිෂ්‍ය සබඳතා අඹු, සැමි, සබඳතා, කල්‍යාණ මිත්‍ර සබඳතා, සේව්‍ය, සේවක සබඳතා, ගිහි පැවිදි සබඳතා ආදී වශයෙනි. මෙම සබඳතා යහපත්ව සාර්ථක වීමට, අදාළ පාර්ශ්වයන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මාලාවක්ද සිඟාලෝවාද සූත්‍ර දේශනාව තුළින්, වැඩිදුරටත් අවධාරණය කරනු ලැබ ඇත.

දරුවා මෙලොවට බිහි කළේ මවුපියෝ ය. මවුකුසින් මෙලොවට බිහි වූ දරුවා ඇති දැඩි කර ගැනීමට, මව්පියෝ ඉමහත් වෙහෙසක් දරති. මව, කුසගින්නේ හඬන දරුවාට තම ලේ කිරි කර පොවා කුසගින්න නිවාලයි. තම ආදරණීය දරුවාගේ සුවපහසුව සඳහා අවශ්‍ය දේ සපුරාලීම උදෙසා පියා දිවා නොතකා අපමණ වෙහෙසකින් ක්‍රියා කරයි. නිරෝගීව සුරතල් පාමින් වැඩෙන ළදරුවා දකින මවුපියෝ ඒ දෙස මෙත්තා කරුණාවෙන් බලා සතුටට පත්වෙති. පුබ්බ දේට පුබ්බ දිසා, පුබ්බ ආචාර්ය, බ්‍රහ්ම ආදී නාමයන්ගෙන් හඳුන්වා ඇති මවුපියෝ තම දරුවාට හොඳ නරක, යහපත අයහපත, ඇවතුම් පැවතුම්, කළ යුතු නොකළ යුතු දෑ ආදී වශයෙන් සමාජයීය යහපතට අදාළ අවබෝධය ලබා දෙති. දරුවාගේ අනාගත අභිවෘද්ධිය උදෙසා උදෙසා විධිමත් අධ්‍යාපනය ලබාදීම, යහපත් ජීවන මාර්ගයකට මඟ පෙන්වීම, සුදුසු වයස එළඹි කළ අවාහ විවාහ සිදුකිරීම නිසිකළ දායාද පවරා දීම ආදී යුකුකම් ඉටු කරනු ලැබීම සිඟාලෝවාද සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. එසේම වයස්ගතව අබල දුබල තත්ත්වයට පත්වන මවුපියන් වෙත දරුවන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් රාශියකි. මහලු වයසට එළඹි මවුපිය පෝෂණය මවුපිය කටයුතු ඉටු කර දීම කුල පරම්පරාව රැකීම, ප්‍රවේණි උරුම රැක ගැනීම මවුපියන් මියගිය පසු ඔවුන් සිහි කර පින් අනුමෝදන් කිරීම් ඒ අතර ප්‍රධාන වේ.

සිඟාලෝවාද සූත්‍ර දේශනාවේ සඳහන් ගුරු ශිෂ්‍ය සම්බන්ධතාව මානව සමාජයේ යහ පැවැත්ම සඳහා වැදගත් කාර්ය භාරයක් ඉටු කරයි. ළමා පරපුරේ අභිවෘද්ධිය, යහපත සඳහා ගුරුවරයා උදව් වෙයි. ළමා පරපුරට හොඳ නරක, අවබෝධ කරමින් යහමඟ පෙන්වීම, දක්‍ෂතා දියුණු කර ගැනීමට උදව්වීම නුවණැස පාදා දීම. ආදී ගුරුවරයා සතු කාර්යභාරය, ඉතා විශාලය. සෑම කෙනෙකුටම ගුරුවරයකු අවශ්‍ය ය යන්න ලොවට පෙන්වා දුන්, භාග්‍යවතුන් වහන්සේ ධර්මය ගුරු තනතුරේ තබා ගෙන ක්‍රියා කළ සේක. ගුරුවරයා දක්‍ෂිණ දිසා යනුවෙන් සිඟාලෝවාද සූත්‍ර දේශනාවේදී දක්වනු ලැබ ඇත. එහිදී ගුරුවරයාට ගෞරව කිරීම, ගුරුවරයාට උපස්ථාන කිරීම, ගුරුවරයාට හොඳින් ඇහුම්කන්දීම ගුරු අවශ්‍යතා ඉටු කර දීම, ගුරුවරයාට අවනතව මැනවින් ශිල්ප ශාස්ත්‍ර හැදෑරීම ආදියෙන් යුතුව ළමා පරපුර ක්‍රියාශීලීව කටයුතු කළ යුතු ය. මෙසේ ළමා පරපුර වෙත ගුරුවරයා අනුකම්පා සහගතව ක්‍රියා කිරීම ළමා පරපුර මැනවින් හික්මවීම, ගුරු මුෂ්ටි තබා නොගෙන සියලු ශිල්ප ශාස්ත්‍ර කියා දීම, මැනවින් ඉගැන්වීම, මිත්‍රාදීන්ට හඳුන්වා මනා මානව සම්බන්ධතාවනට උදව් වීම, නරක ආශ්‍රයෙන් වළක්වා සිසු පරපුරට පැමිණිය හැකි උවදුරු ආදියෙන් ඉවත් කිරීම ප්‍රධාන ය.

මානව සම්බන්ධතාව ගැන සාකච්ඡා කිරීමේදී බුදු දහම, අඹු සැමි සම්බන්ධතාව කෙරෙහි, දැඩි අවධානයක් යොමු කරවනු ලැබ ඇත. සමාජයේ කුඩාම ඒකකය පවුලයි. පවුලක පූර්ණ වගකීම අඹු සැමි දෙපොළටම පැවරේ. පුරාණ ඉන්දියාවේ තිබූ බමුණු මත පසෙක ලා කාන්තා නිදහස ලබාදෙමින් ක්‍රියා කළ සේක. ඒ අනුව මවට නිසි තැන ලැබිණ. සිඟාලෝවාද සූත්‍ර දේශනාවට අනුව අඹුසැමි දෙපොළ අතර පැවැතිය යුතු සබඳතාවේ ආචාර ධර්ම රාශියක් දැක්වේ. බිරිය නිරතුරුවම ස්වාමිපුරුෂයාගේ පිහිට පතන්නී ය. එහිදී ස්වාමි පුරුෂයා විසින් ඉටු කළ යුතු යුතුකම් පෙළ සිඟාලෝවාද සූත්‍ර දේශනාව දක්වයි. තම බිරියට ගරු කිරීම, බිරියගේ ආත්ම ගෞරවය ආරක්ෂා කිරීම, අවමන් නොකිරීම, බිරිය ඉක්මවා අන්‍ය ස්ත්‍රීන් කරා යොමු නොවීම, තමා උපයන මිල මුදල් සම්පත් බිරියට පවරාදීම, ගෘහ සංවිධානයට උදවු කිරීම, බිරියට අවශ්‍ය ඇඳුම් පැළඳුම් ආභරණ ආදිය සපයාදීම ආදී වශයෙන් එම යුතුකම් ලුහුඬින් දැක්විය හැකි ය. ඊට සමගාමීව බිරියගෙන් ඉටුවිය යුතු යුතුකම් මාලාවකි. ගෘහ කටයුත මැනවින් සංවිධානය, ස්වාමි පුරුෂයාගේ අවශ්‍යතා ඉටුකර දීම, ස්වාමි පුරුෂයා උපයන මිල මුදල්, ධන ධාන්‍ය අරපරිස්සමින් පාවිච්චි කිරීම, ස්වාමි පුරුෂයා ඉක්මවා අන්‍ය පුරුෂයන් සමග සම්බන්ධතා නොපැවැත්වීම දූ දරුවන් රැක බලා ගනිමින් පවුලේ කටයුතු සංවිධානය, ගෘහ සේවක සේවිකා මැනවින් කටයුත වල යෙදවීම හා ඔවුන් රැකබලා ගැනීම ඒ අතර ප්‍රධාන ය. එසේ ගොඩනැඟෙන අඹුසැමි සම්බන්ධතාව තුළින් යහපත් පවුලේ ඒකකයක් ගොඩනැගෙයි. ඉන් සමාජයේ යහපත් මානව සම්බන්ධතාවක් සඳහා මුල පිරෙයි.

බුදුදහමේ ඉගැන්වෙන කල්‍යාණ මිත්‍ර සම්පත්තිය තුළින් කෙනෙකුගේ් ජීවිතයට ලැබිය හැකි ආලෝකය ඉතා විශාල ය. එහෙත් ඇසුරට සුදුසු කල්‍යාණ මිත්‍රයන් සොයාගැනීම, ඉතා විමසිල්ලෙන් කළ යුතු බව සිඟාලෝවාද සූත්‍ර දේශනාව තුළින් අවධාරණය කරනු ලැබ ඇත. ඒ අනුව අඤ්ඤදත්ථුහර (යම් ලාබ ප්‍රයෝජන සඳහාම ඇසුරට පත්වන) වචීපරම (වචනයෙන් පමණක් සංග්‍රහ කරන) අනුප්පියභාණී (හොඳ නොහොඳ දෙකම අනුමත කරමින් ක්‍රියා කරන) අපාය සහාය (දුසිරිතට පෙළඹවන) මිත්‍ර ප්‍රතිරූපකයන් ඇසුරට නුසුදුසු ය. එසේම, ඇසුරට සුදුසු පුද්ගලයන් හතර දෙනකු , සිඟාලෝවාද සූත්‍ර දේශනාවෙන් (උත්තර දිසා) පෙන්වා දෙනු ලැබ ඇත. ඒ උපකාරක මිත්‍රයා (උපකාර කිරීමේ චේතනාව ඇති තැනැත්තා) සමාන සුඛ දුක්ඛ මිත්‍රයා (දුක සැප දෙකේදීම එක සේ ඇසුරු කරන මිත්‍රයා) අත්ථක්ඛායී මිත්‍රයා ( අභිවෘද්ධිය පතා උපදෙස් දෙන මිත්‍රයා) අනුකම්පක මිත්‍රයා (අනුකම්පාව දයාව, කරුණා ගුණයෙන් යුතුව ඇසුරු කරන මිත්‍රයා) යනුවෙනි. මේ සිවු පාර්ශ්වයේම පුද්ගලයන් කල්‍යාණ මිත්‍රයන් ලෙස දක්වා තිබේ. කල්‍යාණ මිත්‍රයා තේරුම් ගෙන ඇසුරු කළ හැකි ය.

රටක ආර්ථික සංවර්ධනය උදෙසා වූ මූලික සාධකයක් වන සේව්‍ය සේවක සම්බන්ධතාව බුදු දහමේ ඉගැන්වෙන අතිශය වැදගත් මානව සම්බන්ධතාවකි. මනා වූත්, විධිමත් වූත් සේව්‍ය සේවක සම්බන්ධතාව, එක් එක් ව්‍යාපාරයේ මෙන්ම රටේ සමස්ත ආර්ථික සංවර්ධනය සලස්වයි. සේව්‍ය සේවක සම්බන්ධතා පිරිහී ගියහොත් ආර්ථික පරිහානිය ඇති වෙයි. එබැවින් මනාවූත්, විධිමත්වූත් සේව්‍ය සේවක සම්බන්ධතාවක් පවත්වා ගෙන යාම උදෙසා අන්‍යෙන්‍ය වශයෙන් එම දෙපිරිසෙන් ඉටුවිය යුතු යුතුකම් මාලාවක් සිඟාලෝවාද සූත්‍රයේ දක්වා ඇත. ඒ අනුව සේව්‍යයා තම ව්‍යාපාරය මනාව සංවිධානය, සේවක දක්ෂතා අනුව වැඩ පැවරීම, අධීක්ෂණය, අවස්ථාවෝචිතව කටයුතු පැවරීම, සාධාරණ වේතන ගෙවීම, රාජකාරි වේලා නියම කිරීමේදී පිළිගත් සම්මත නීතිරීති පිළිපැදීම සේවකයා ගිලන්වූ විට නිවාඩු , වෛද්‍ය පහසුකම් ආදිය ලබාදීම සේවක සුබසාධන පහසුකම් සැලසීම ආදිය ඉටු කළ යුතුය. මේ අන්දමට සේව්‍ය යුතුකම් ඉටුවෙද්දී සේවක පාර්ශ්වයෙන්ද ඉටුවිය යුතු යුතුකම් මාලාවකි. කලට වේලාවට රාජකාරියට වාර්තා කිරීම, යහපත් හැසිරීමෙන් යුතුව අවංකව කාර්යක්ෂමව නියමිත වැටුප් දීමනා ආදිය පමණක් ලබා ගැනීම, වංචාවට දූෂණයට ඉඩ නොදී තම සේවා ආයතනය සුරැකීම, සේව්‍යයා සමග යහපත් සම්බන්ධතාව පවත්වා කීර්තිය රැක ගැනීම, අරපිරිමැස්ම, ඵලදායිතාව වර්ධනය ඒ අතර ප්‍රධාන ය.

බුදුදහමේ ඉගැන්වෙන ගිහි පවිදි සම්බන්ධතාව අතිශය වැදගත්කමක් ගනී. අපේ පැවිදි උතුමෝ මහා සංඝරත්නය යි. උන්වහන්සේ උසස් පිළිවෙත් පුරමින් නිවන පසක් කර ගැනීම සඳහා ආර්ය මාර්ගයෙහි ගමන් කරති. අධ්‍යාත්මික ගුණ වගාවෙන් යුතු උන් වහන්සේ ගිහියාට දැහැමි මග පෙන්වා දෙමින් අනුශාසනා පවත්වති. එහිදී ගිහි බෞද්ධයා විසින් පැවිදි උතුමන්ට කළ යුතු සංග්‍රහ මාලාවක් දැක්වේ. සංඝරත්නය කෙරෙහි මෛත්‍රී සහගතව හිතවත්ව ක්‍රියා කිරීම, කරුණා දයාවෙන් ඇමැතීම හා යම් යම් කාර්ය ඉටු කරදීම, මෛත්‍රී සහගත ආමන්ත්‍රණය හා අදහස් පළ කිරීම, බහුමන් දැක්වීම, චීවර පිණ්ඩපාත, ගිලන්පස සේනාසන, බෙහෙත් පිරිකර ආදිය පූජා කිරීම ඉන් කීපයකි. මෙසේ ගිහි යුතුකම් ඉටුවෙද්දී මහා සංඝරත්නය ගිහියා පවින් වැළැක්වීම, කුසලයෙහි යෙදවීම, කරුණා දයාව අනුකම්පාව දැක්වීම නො ඇසූ දහම් කරුණු දේශනා කිරීම ඇසූ දහම් කරුණු මැනවින් පැහැදිලි කරදීම, සුගතිගාමි කිරීම අධ්‍යාත්මික සංවර්ධනය ආදී යුතුකම් ඉටු කරති.

ආධ්‍යාත්මික ගුණවගාවෙන් යුතු ධාර්මික, සාමකාමී, විනය ගරුක, සමාජයක් ස්ථාපනය කිරීමට, සිඟාලෝවාද සූත්‍රයේ දැක්වෙන මෙම මානව සම්බන්ධතා යොදා ගැනීම අවශ්‍ය ය. ඉන් මෙලොව යහපත මෙන්ම පරලොව යහපත ද සඳහා වූ මං පෙත් විවර කර ගතහැකි වනු ඇත.

සබ්බ පාපස්ස අකරණං
කුසලස්ස උපසම්පදා
සචිත්තපරියො දපනං
ඒතං බුද්ධානුසාසනං

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 05 වනදා අපර භාග 8.37 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 10.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 6 වන දා බ්‍රහස්පතින්දාය.
 

මී ළඟ පෝය නොවැම්බර් 12 වනදා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]