UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

නිහඬ වූ දාර්ශනික ප්‍රතිභාව

සියලු දාර්ශනිකයන් කලාකරුවන් නො වන්නා සේ ම සියලු කලාකරුවන් දාර්ශනිකයෝ නො වෙති. එහෙත් ශ්‍රේෂ්ඨ කලාකරුවකු වීම සඳහා සෞන්දර්යාත්මක දාර්ශනිකත්වයක් කලාකරුවා තුළ තිබිය යුතු ය. කලාකරුවකු දාර්ශනිකයෙක් වන්නේ දර්ශන විද්‍යාව හැදෑරීමෙන්ම නො වේ. අප මෙහි දී අදහස් කළ දාර්ශනික භාවය නම් සුවිශේෂී මානව අත්දැකීම් අපූර්වත්වයෙන් යුතු ව පරාවර්තනය කිරීම ය. එය සංගීත කලාවට ආදේශ කළ විට, වාද්‍ය භාණ්ඩ උපයෝගී කැර ගෙන සෞන්දර්යාත්මක ව නාදරටා බිහි කිරීමේ දී සුවිශේෂී මානව අත්දැකීම් අපූර්වත්වයෙන් යුතු ව සමාජය වෙත පරාවර්තනය කිරීම අදහස් කැරේ.

පණ්ඩිත් අමරදේවයන් හුදු ගායකයකු නො වී හෙළදිව රන් ස්වරය වන්නේ, ඔහු සතු මේ දාර්ශනික ප්‍රතිභාව නිසා ය. කෙ සේ වූව ද මේ දාර්ශනික ප්‍රතිභාව ඉබේ පහළ නො වන බව කිව යුතු නැත. එය සමාජයීය ක්‍රියාවලියක පුද්ගල පෞරුෂයකි. අප පවසන දෙය නිවැරැදි ව අවබෝධ කැර ගැනීම පිණිස, අමරදේව සහ සිංහල සංගීත සංකථනය නමැති ලිපියෙහි මහාචාර්ය විමල් දිසානායක විසින් දක්වා ඇති අදහස් ඉතා වැදගත් වේ.

“සංගීතය හා සමාජයක ක්‍රම විකාශය අතර ඇත්තේ ඉතා සමීප සම්බන්ධයකි. අමරදේව සංගීත ලෝකයට අවතීර්ණ වූ වකවානුවෙහි මෙරට අධිරාජ්‍යවාදයෙහි බලපෑම් පැහැදිලි ව දක්නට ලැබිණ. සිංහල සාහිත්‍ය කලාවන්ට හිමි වූයේ නොවැදගත් තැනකි. වර්ෂ 1956 දී ඇස්.ඩබ්ලිව්. ආර්.ඩී. බණ්ඩාරනායක මහතා ගේ ජයග්‍රහණයත් සමඟ මෙරට විශාල පරිවර්තනයක් ඇති විය. දේශීය කලාකරුවන් හා බුද්ධිමතුන් කෙරෙහි වඩ වඩා අවධානය යොමු වන්නට විය. මේ වර්ෂයෙහි මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් ගේ ‘මනමේ’ නාටකයත්, ලෙස්ටර් පීරිස් ගේ ‘රේඛාව‘ චිත්‍රපටියත්, මාර්ටින් වික්‍රමසිංහ ගේ ‘විරාගය’ නවකතාවත් බිහි විය. මේ කෘති තුන නාට්‍ය කලාවේත්, නවකතා කලාවේත් වර්ධනය සටහන් කරන ඒවා වේ. ඒ කෘති සිංහල කලා ක්‍ෂේත්‍රයෙහි උද්ගත වූ නව ප්‍රබෝධය සූචනය කරන සංකේතයෝ වෙති. මේ කලා පරිසරය තුළ අමරදේව මහතා සිය නිර්මාණ කාර්යයට එළැඹුණේ පෙර නොදුටු ප්‍රමෝදයකිනි. “

“සිංහල සංගීතය කෙරෙහි වඩා ප්‍රබුද්ධ ප්‍රතිචාරයක් දක්වන රසික පිරිසක් බිහි වීමත්, සිංහල කලා වර්ධනයට උචිත ආයතනික සම්පත් මතුවීමත් මෙහි දී වැදගත් ය. සංස්කෘතික කටයුතු සඳහා වෙන් වූ අමාත්‍යාංශයක් බිහි කිරීමත් වැදගත් සිද්ධියකි. අමරදේව හා සිංහල සංගීත සංස්කෘතිය ගැන කරුණු විමැසීමේදී මේ සමාජ ප්‍රවණතා කෙරෙහි අප ගේ අවධානය යොමු විය යුතු ය.” (පුන්කලස ශාස්ත්‍රීය ලිපි සරණිය – 13 – 14 පිටු)

පසුගිය දා ජීවිතයෙන් සමුගත් ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් (1937.01.25 – 2008.10.24 ) ගේ සංගීත මෙහෙවර පිළිබඳ ව සලකා බැලිය යුත්තේ මේ සමාජ පසුබිම යටතේ ය. ලාංකික සමාජයට සංධ්වනි, ඔපෙරා, සොනාටා හා කැන්ටාටා යන මහා සංගීත සම්ප්‍රදායයන් හඳුන්වාදීමට පුරෝගාමී වූයේ, විධිමත් ශාස්ත්‍රාලීය සංගීත අධ්‍යාපනයක් නො ලද මේ විශිෂ්ට ගාන්ධර්වයා විසිනි.

ප්‍රේමසිරි කේමදාසයන් ගේ අභාවය පිළිබඳ ව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නිකුත් කළ පණිවුඩය ඔහු ගේ මෙහෙවර වටහා ගැනීමට පිටිවහලකි. එහි මෙ සේ සඳහන් ව තිබිණ.

‘නිධානය, බඹරු ඇවිත්, ගොළු හදවත, තුන්වෙනි යාමය ආදී සිනමා නිර්මාණයන්ට ඔහු සැපයූ සංගීතය සිනමාපටය පමණක් නො ව අප ශ්‍රී ලංකාද්වීපය ද ලෝක පූජිත ස්ථානයක රැඳවූයේ ය. බැරි සිල්, කැලෑ මල්, සිංහල අවුරුද්ද, මහ මහුද, පිරිනිවන් මංගල්‍යය ආදී ගීත නාටක, ඔපෙරා, කැන්ටාටා, සංගීත සංධ්වනි ආදියෙන් ඔහු සංගීත ක්‍ෂේත්‍රය පෝෂණය කෙළේ ය.’

‘ආචාර්ය කේමදාසයන් ශ්‍රී ලංකාවෙන් ලෝකයට දිය හැකි විශිෂ්ට දායාදයක් විය. එ සේ ම ලෝකයේ විශිෂ්ට සංගීත සම්ප්‍රදායයන් ශ්‍රී ලංකාවට දායාද කිරීමේ විශිෂ්ට මෙහෙවර ද කෙළේ ආචාර්ය ප්‍රේමසිරි කේමදායන් ය.’

මේ ආකාරයට රාජ්‍ය ගෞරවයට පාත්‍ර වූ කේමදාසයන්, වෙනත් කිසිදු සංගීතඥයකු නො ලද ජනතා සම්මානයක් ලැබී ය. එනම්, ඔහුට බද්ධ කිරීම සඳහා වකුගඩුවක් අවශ්‍ය වූ විට භික්‍ෂූන් වහන්සේ තිස් නමක් ඇතුළු පරිත්‍යාගශීලීන් රාශියක් ඔහු වෙනුවෙන් ඉදිරිපත් වීමයි. මෙයින් පෙනී යන්නේ කුමක්ද? සංගීතය වැනි සෞන්දර්යාත්මක විෂයයන්ගෙන් දුරස් භික්‍ෂූන් වහන්සේ තුළ ද තමා පිළිබඳ ගැඹුරු හැඟීමක් ජනිත කිරීමට කේමදාසයන් සමත් වූ බව නො වේ ද?

අප මෙහි ආරම්භයේ දී සඳහන් කළ සුවිශේෂී මානව අත්දැකීම් අපූර්වත්වයෙන් යුතු ව සංගීතයෙන් සමාජය වෙත පරාවර්තනය කිරීමට කේමදාසයන් දැක් වූ සමත්කම පිළිබඳ හොඳ ම නිදසුන පිරිනිවන් මංගල්‍යය නමැති සංගීත රචනාවයි. වසර දෙදහස් පන්සියකට පෙර සිදු වූ බුදු රදුන් ගේ පිරිනිවන සංගීත රචනාවකින් නූතන සමාජයට සාර්ථක ලෙස දැනවීම අතිශයින් දුෂ්කර කාර්යයකි. ඒ සඳහා සංගීත ඥානය පමණක් නො ව බුදු දහම හා නූතන සමාජය පිළිබඳ ගැඹුරු අවබෝධයක් මෙන් ම මානවහිතවාදී නිර්භීත භාවයක් ද අවශ්‍ය කැරේ. අප මේ සටහන තැබුවේ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන් තුළ ඒ විශිෂ්ට ලක්‍ෂණ සියල්ල තිබුණු බැවිනි.

ඉල් පුර අටවක පෝය


ඉල් පුර අටවක පෝය නොවැම්බර් 05 වනදා අපර භාග 8.37 ට ලබයි.
6 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 10.18 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 6 වන දා බ්‍රහස්පතින්දාය.
 

මී ළඟ පෝය නොවැම්බර් 12 වනදා බදාදා ය.
 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

Second Quarterඅව අටවක

නොවැම්බර් 19

New Moonඅමාවක

නොවැම්බර් 27

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]